Wednesday, November 13, 2019

බයිසිකල් මතක


          අප කුඩා කල අප හට තිබුණු එකම සහ ලොකුම වාහනය බයිසිකලයයි.  තාත්තා සෝමපාල මාමා සමග මේසන් වැඩට ගියේ බයිසිකලයෙනි. තාත්තා ගියේ අත් උදව් වැඩටය. තාත්තාගේ යාළුවන් සෙට් එකටම බයිසිකල් තිබුණු නමුත් ගාමිණි මාමා සයිකල් පදින්න පුරුදු වුයේ බොහෝ පසු කාලයේය. මාව මොන්ටිසෝරියටත්, අක්කාව ඉස්කොලෙටත් බයිසිකලේ ගිහින් ඇරලවන තාත්තා ඉන්පසුව අම්මාට බස් එක ගැනීමට බෝගහ මුල හන්දියට ඇයව බයිසිකලයෙන් රැගෙන ගොස් ඒ ගමන් ම වැඩ කරන තැනට යයි.

මම මොන්ටිසෝරි යන විට එක්කෝ බයිසිකලයේ මැද පොල්ලට කොට්ටයක් තබාගෙන කකුල් දෙක දෙපසට දමා වාඩි වී ගියෙමි. නැත්නම් සමහර දිනවල පැත්තට ඉදගෙන යන දවස් ද තිබුණි. මේ කොහොම ගියත් සමහර දිනවල මගේ එක කකුලක් ඉස්සරහ රෝදය අස්සට යෑම සිදුවිණි. වම් කකුලේ වළලු කර අසල ඇති ඇටය උඩින් තුවාල කැළැල ඇත්තේ එසේ පැත්තට වාඩි යන විට වම් කකුල දිගට එල්ලෙන නිසාය. දකුණ කකුල එසේ රෝදයට අසූ වුවාදැයි මතක නැත්තේ එහි එවැනි කැළලක් නැති බැවිනි. අතිශය වේදනාකාරී වැඩක් වූ මෙම කකුල රෝදයට අසුවීම කිහිප විටක්ම සිදුවූ බව මට හොඳට මතකය. අඬ අඬ ප්‍රනාන්දු දොස්තර මහතාගේ දිස්පැන්සරියට ගොස් බෙහෙත් දමාගෙන ගෙදර ඒම බොහෝ විට සිදු විය. එවැනි බොහෝ දිනවල  තාත්තා ගෙදර සිටි නමුත් තාත්තාට වැඩට යාමට සිදුවූ දිනවල මාව ලොකු අම්මලාගේ ගෙදර නතර කර යෑම සිදු විය. එසේ තාත්තා මාව දමා යන දිනවල කෑ ගසා හඩමින් තාත්තාගේ අතේ එල්ලී සිටීම මට දැනුදු මැවී පෙනෙයි. කුමක් හෝ හේතුවකට තාත්තාට මාව මොන්ටිසෝරියට රැගෙන යාමට නොහැකි කමක් තිබුනොත් අම්මාගේ නංගි වූ රත්නේ පුංචි මාව මොන්ටිසෝරි එක්කන් යයි. මගේ මොන්ටිසෝරිය වුයේ සපුගස්කන්දේ පිහිටි යොෂිඩා ළදරු පාසල වූ අතර ගෙදරින් කිලෝමීටර් 7-8ක දුරක් යාමට සිදු වූ නිසා මොන්ටිසෝරි යාම යනු එදවස හැටියට මට නම් විනෝද ජනක වැඩකි. අදටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ගද දැනෙන විට මේ සියලු දේ මතකයට නැගේ. 

එකල බියගම වෙළද කලාපය සහ ඒ අවට මාර්ග දියණු කරමින් පැවති අතර සපුගස්කන්ද සිට වෙළඳ කලාපය දක්වා මාර්ගයේ වැඩ සිදු කරන හැටි බලමින් බයිසිකලයේ යාම ඉතාමත් ප්‍රිය ජනක වැඩක් විය. යොෂිඩා ළදරු පාසැල ජපන් ආදාර වලින් සදා දුන් එකක් වූ අතර වරක් එකල ජනාධිපති වරයා වූ ප්‍රේමදාස මහතාගේ ආර්යාව කුමක් හෝ උත්සවයකට එහි පැමිණි ආකාරයත් ඇය පිළිගැනීමට ජපන් සහ ශ්‍රී ලංකා කොඩි වනමින් අප සිටි හැටිත් මතක් වේ. ප්‍රේමදාස ආර්යාව මගේ මුහුණ අතගාන චායාරුපයක් තිබුණු අතර අවාසනාවට දැන් එය විනාස වී හෝ නැති වී ඇත. බැරි වෙලා හෝ හෙට අනිද්දාට ප්‍රේමදාස පුතානෝ ජනාධිපති වුවහොත් ඒ පොටෝව පෙන්වා මට වාසියක් ගැනීමට තිබ්බ අවස්ථාව එසේ මග හරි ගොස් ඇත.

ලොකු අම්මලාගේ ගෙදර යාමට මා ප්‍රිය කල කාරනා දෙකක් විය. එකක් නංගි එහි සිටීම සහ නංගි සමග සෙල්ලම් කිරීමේ අවස්තාව ලැබීමයි. අනෙක ලොකු අම්මලාගේ ගෙදර තිබුණු චොපර් එක පැදීමට හැකිවීමයි. නංගි හම්බ වුනු විගසම වාගේ අම්මාට රැකියාවට යාමට සිදුවූ නිසාවෙන් අම්මා නංගිව ලොකු අම්මාට හදා ගන්නට දී තිබිණි. මම ඉපදුනේ හපුතලේය. ඊට වසර දෙකකට පසු නංගි ඉපදුනේ කොළඹදීය. බියගම පදිංචියට අම්මා සහ තාත්තා පැමිණෙන්නේ මේ අතර කාලයේදීය. අම්මා කියන ලෙස යන්තම් මැටි ගඩොල් (නොපිලිස්සු ගල්) වලින් හදා ගත් පුංචි ගෙදරක පදිංචියට ආ ඔවුනට නංගි හම්බවෙන කාලයේදී තරමක් ආර්ථික වශයෙන් ස්ථාවර ව සිටි ලොකු අම්මාට නංගිව දීම හැර වෙන විකල්පයක් තිබී නැත. ලොකු අම්මලාගේ ගෙදර අපේ ගෙදර සිට කිලෝමීටර් 4-5ක්  දුරින් පිහිටි නිසා මුලින් මුලින් නංගිව එහි  තබා ගොස් ඇතත් පසුව දෙගොල්ලන්ගේම කැමැත්තෙන් නංගි ලොකු අම්මලාගේ ගෙදර හැදී වැඩුනේය. නංගි තාත්තා නැති වෙන තෙක්ම තාත්තාට කිව්වේ බාප්පා කියාය. අම්මා ඇයට සුදු අම්මා වූ අතර අක්කා සහ මම බාප්පලෑ අක්කා සහ අයියා විය. මෙයට හේතුව අපේ තාත්තා සහ තාත්තාගේ අයියා විවාහ වී තිබුනේ අම්මා සහ අම්මාගේ අක්කා සමග වීම නිසාය. ඉතින් එකම පවුලක් වීම නිසා කාටවත් එහි ගැටලුවක් තිබුනේ නැත.

ලොකු තාත්තා වරායේ කම්කරුවෙකු ලෙස වැඩ කළේය. ලොකු තාත්තාට ද බයිසිකලයක් තිබිණි. ඉස්සර ලොකු තාත්තා අපේ ගෙදර විත් ආපසු යනවිට බයිසිකලයට නැගීමට පෙර ආපසු හැරී ටටා කියයි. මෙය අප පොඩි කාලයේ සිට ඉතා මෑතක් වන තුරුම සිදු වූ දෙයකි. අපද කොහේ සිටියත් ලොකු තාත්තාට ටටා කියන්නට දුවගෙන ආවෙමු. දැන් ලොකු තාත්තාට ඇවිද ගැනීමට අපහසුවෙන් සිටියද බලන්න ගොස් එන විට අත වනා ඒම ඉබේටම මෙන් සිදුවෙයි. වෙන කිසිදු වැඩිහිටියෙකුගෙන් සමු ගැනීමේදී මෙසේ අතවනන පුරුද්දක් නැත. 

තාත්තාගේ බයිසිකලය අනිත් බයිසිකල් වලට වඩා වෙනස් ය. තාත්තාට වෙනත් බයිසිකල් පැදීමට හැකියාවක් තිබුණු නමුත් කවදාවත් එසේ පැද්දේ නැත. තාත්තාගේ අතේ ඇඟිලි හතරක් තිබුනේ නැත. තිබුනේ මහපට ඇඟිල්ල පමණි. ඉතිරි සියල්ල උගස් අඹරන මැෂිමකට අසුවීමෙන් කැපී ගොස් ඇත. ඒ මා ඉපදෙන්නට පෙර හපුතලේ සහ පැල්වත්ත සිටියදී සිදුවුණු අනතුරක ප්‍රතිඵලය. අපේ තාත්තා සහ තාත්තාගේ වීරක්‍රියා ගැන තව බොහෝ දේ ලිවීමට ඇති නිසා මේ සිද්දිය ගැන වැඩි යමක් පසුවට ලියමි. තාත්තා ගෙදර ඉවීමේ සිට වෙන ඕනෙම වැඩක් කිසිදු බාදාවකින් තොරව කිරීමට පුරුදු වී සිටියේය. ඔහුට පහසු විදියට සියලු දේ සකස් කර ගත්තේය. බයිසිකලය ද  ඒ ආකාරයෙන් හදා ගත්තේ සාමාන්‍ය බයිසිකල් වල ඉස්සරහ බ්‍රේක්, දකුණු අතටත් පසුපස බ්රේක් වම් අතටත් තිබීම නිසාය. අපේ ගෙදර පිහිටියේ කඳු පල්ලම් කිහිපයක් නැග බැස ඒමට සිදුවූ දුරක නිසා බයිසිකලයේ බ්‍රේක් ඉතා වැදගත් විය. තාත්තාට පහසුවෙන් බ්‍රේක් ඇල්ලීමට මේ ඉස්සරහ සහ පසු පස බ්‍රේක් මාරු කර බයිසිකලය මොඩිෆයි කර තිබුනේය. මෙය නොදැන බයිසිකලය අරන් ගිය අය පල්ලමේ බ්‍රේක් ගසා හොම්බෙන් යාම අනුනමයෙන් බේරුණු අවස්තා බොහෝ තිබුනේය. තාත්තා බයිසිකලය කාට දුන්නත් මේ බව පවසා දෙයි. නමුත් මේ වෙනස නිසා තාත්තාගේ බයිසිකලය ගමේ කා අතරත් විශේෂ විය. තාත්තාගේ අත නිසා තාත්තාත් විශේෂ කෙනෙක් යැයි ඒ දවස් වල මට සිතුණි.

ඉස්සර අපි හතර දෙනාම යනවිට අම්මා පිටිපස ලගිජියේ වාඩිවන අතර අක්කා සහ මම ඉස්සරහ පොල්ලේ වාඩිවෙයි. හතර දෙනා සමග ලොකු අම්මලෑ ගෙදර යන්නේ එසේය. නමුත් තාත්තාට මෙය ඉතා වෙහෙසකර වැඩක් වූ නිසා පසුව එක්කෝ අක්කා සහ අම්මා බස් එකේ හෝ පයින් ආවේය. තාත්තා දෙපාරකට අපව එක්කන් ගියේය.

බයිසිකලයේ ඩයිනමෝව මා හට තිබුණු ඉතා වැදගත් සෙල්ලම් බාන්ඩයක් විය. පොඩ්ඩක් ලොකු වෙනකොට වයර් කෑලි දෙකක් අමුණා ඩයිනමෝව කරකවමින්  බල්බයක් පත්තු කර ගැනීමට මම ඉගෙන ගත්තේය. නිතර රෝදයේ  ස්පෝක් වලට කකුල අසුවීම නිසා ඒ දවස් වල මට ස්පෝක් යනු භයානක දෙයක් විය. ලොකු අම්මලාගේ ගෙදර තිබූ චොපර් එක මාගේ සිහින බයිසිකලය විය. නමුත් එය පැදීමට තරම් හැකියාවක් එකල නොවීය. බොහෝ විට කලේ  නංගී සමග අමාරුවෙන් එහෙට මෙහෙට තල්ලු කිරීම, ලයිට් පත්තු වෙන හැටි බැලීමය. නමුත් පසුව පැදීමට තරම් ලොකු වූ විට ලොකු අම්මලෑ  ගෙදර යෑම යනු චොපර් පැදීම විය. කෙසේ හෝ මට ම කියා බයිසිකලයක් හිමි වූයේ මා සා.පෙ කල පසුවය. එතෙක් තාත්තාගේ බයිසිකලයෙන් සැනසෙන්නට සිදුවිය. අඩුම තරමේ පොඩි ට්‍රයිසිකලයක්වත් තිබුනේ නැත. තාත්තාගේ සයිකලය පොල්ලේ යටින් පැදීමට යන්තම් කකුල් දෙක දමාගැනීමට උස ඇති වූ කාලයේ සිටම ඉගෙන ගෙන ගමේ කොල්ලන් සමග රවුම් ගැසීම පටන් ගත්තේය. සුදුවා, සුගත්, මම, බර්ටි, ලෙඩා  සහ බඩා, චමින්ද, ලොකු දොඩ්ඩා අපේ මුල් කාලින ගැන්සියේ විය. ලොකු දොඩ්ඩා අපේ අක්කාගේ වයසේ වූ අතර චමින්ද සහ සුගත් ඊට අවුරුදු කිහිපයක් බාල විය. සුදුවා සහ මම එක පන්තියේ වූ අතර ලෙඩා සහ බඩා යනු නිවුන් දෙදෙනෙකි. උන් දෙන්නා සහ බර්ටි හෙවත් බොට්ටා අපිට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් විය. අපේ ගෙදර සිට පොඩි බෑවුමක්  නැග මීටර් 50-60ක් ගිය තැන සුදුලෑ ගේ තිබුණු අතර සුග්ගා හෙවත් සුගත්ලෑ ගෙදර තිබුනේ ඊට පොඩ්ඩක් එහායිනි. බොට්ටා, චමින්ද සහ ලොකු දොඩ්ඩා එක පවුලේ සහෝදරයන් විය. උන්ගේ ගෙවල් තිබුනේ තවත් මීටර් 200-300ක් එහාට වන්නටය. ලෙඩා සහ බඩා ගේ  ගෙවල් තිබුනේ තවත් ටිකක් එහාට වන්නටය. 

තාත්තාගේ බයිසිකලය පොල්ලේ යටින් දමා කන්ද පැදීමට නොහැකි නිසා බොහෝ විට කන්ද තල්ලු කර සුදුලෑ ගේ කිට්ටුවෙද්දී නැග කෙලින්ම යන්නේ  සුගත්ලාගේ ගෙදරටය. සුදුවා එහෙට එයි. සුගත් අපට වඩා වසර 3-4ක් වැඩිමල් නිසා ඌ අයියා වුවද කවදාවත් අයියා කියා කතා කලේ නැත. නමුත් ඌ අපේ ලොක්කා විය. සුගත් කියන්නේ මොකක්ද සුදුවා සහ මම ඒකට එක පයින්ය. සුගත්ලාට තිබුනේ පොල් අතු සෙවිලි කල ගෙයකි. සුදුලෑ ගේ සෙමෙන්ති ගෙයක් විය. උන් ටික මතක් වෙද්දී බයිසිකල් මතක හැර තව බොහෝ දේ මතක් වුනත් මේක බයිසිකල් වලින් ඉවර කර ඉතිරි මතක පසුවට ලියමි. තාත්තා ගෙදර සිටි හැමවෙලේම බයිසිකලය මට හිමි විය. කොහේ හරි යන්නට ඕනෑ වූ විට තාත්තා ගෙදර සිටි කතා කරනවා වෙනුවට හෙමින් සැරේ සුගත්ලාගේ ගෙදරට එයි. එතනින් බයිසිකලය ගෙන සුගත්ලාට, ඉස්සරහ ගෙදර පොඩි අක්කලාට හෝ ඔය අවට සිටින කාට හෝ ගෙනත් දීමට දේවල් ඇත්දැයි අසා කඩේ ගොස් ගෙනත් දීම තාත්තාගේ ප්‍රියතම වැඩකි. බොහෝ විට හවස 5-5.30 වෙද්දී අම්මාව එක්කන් එන්නට පාරට යන ගමන් මේ දේවල් ගෙනත් දෙයි. තාත්තා සහ අම්මා එනකම් මම සහ අක්කා බොහෝ විට සුගත්ලාගේ ගෙදරය. සුගත් ගාමිණි මාමාගේ පුතාය. ඔහුට අපේ අක්කාගේ වයසේ අක්කා කෙනක් සහ නංගි කෙනෙක් විය. අපේ අක්කා සහ සුදුලෑ අක්කා සෙල්ලම් කලේ ඔවුන්  සමගය. ගාමිණි මාමා යනු සුපර් මාරියෝ ලුක් එක ඇති හිස මැදින් තට්ටය පෑදුනු විනෝදකාමී චරිතයකි. ඔහු බයිසිකල් පදින්නට ඉගෙන ගත්තේ අපි බයිසිකල් පදින්න ඉගෙන ගත්තාටත් පසුවය. ඒ දවස් වල ගාමිණි මාමා බයිසිකලය පදින්නට පුරුදු වෙන සැටි බලා සිටීම ආතල් ජනක වැඩක් විය.

අපේ ගෙවල් පිහිටියේ දෙපසින්ම කුඩා කඳු දෙකක් නැග පැමිණිය යුතු උස තැනකය. ඉතින් පාරට යන්නට නම් කොහෙන් ගියත් පල්ලම් දෙකක් බැස යා යුතුය. බයිසිකලය පොල්ලේ යටින් පදින විට මේ බෑවුම් නැගීම පහසු නැත. අනෙක බෝගහමුල පාරේ පල්ලම යනු ඉතා ලොකු පල්ලමක් වූ බැවින් මුල් කාලයේ එය නැගීම බැසීම අපට මහා ලොකු වැඩක් විය. ගනේවත්ත පල්ලම ඊට අඩු වුවද පල්ලමෙන් පහල පාර දෙපැත්ත කැලෑව වූ නිසා ඒ පැත්තට වැඩිය ගියේ නැත. පොල්ල යටින් පැදීමෙන් බයිසිකල් අයන්න කියවූ පසු කෙසේ හෝ පොල්ල උඩින් කකුල දමා පැදීමට දඟ දැම්මේය. බැලන්ස් එක ප්‍රශ්නයක් නොවුවද කකුලේ දිග මදි වීම නිසා වැඩේ භයානක විය. පදිනකම් බැලන්ස් එක තියාගෙන පදින්නට හැකි වුවද පටන් ගැනීම සහ නතර කිරීම ලේසි වුයේ නැත. සුගත්ලාගේ ගෙදර පිළිකන්නේ ගැට්ටක් උඩට නැග පොල්ල උඩින් කකුල් දමා බයිසිකලය පැදගෙන යන අප ආයේ නතර කලේ බර්ටිලෑ ගෙදර පිළිකන්නේ කන්දියකට කකුල තබාය. ඔය අතර මග හදිසි බ්‍රේක් පාරක්, බල්ලෙක් හෝ වෙන කිසිම දෙයක් නිසා නතර කිරීම යනු බයිසිකලය පෙරලිමය. එවැනි වෙලාවට බොහෝ විට පාර අයිනේ වූ වැටකට අල්ලා බයිසිකලය නතර කර ගත්තද, පාරමැද හදිසියේ නතර කිරීම යනු ෂුවර් එකට අතක් කකුලක් තුවාල වීමය. බොරළු පාරවල් වල කබොක් ගල් මතුවී තිබුණු තැන්වල කබොක් ගල් රස බැලු වාර ගණන හිසේ කෙස් ගානට වැඩි විය. සීට් එකේ වාඩිවීමට නොහැකි නිසා හිටගෙන පදින විට බයිසිකලයේ බල්ලන් අසු නොවීමෙන් පුරුෂ මෙව්වා එක පොල්ලේ වැදීමෙන් තරු විසිවුණු වාර ගනනද ඊට අඩු නැත. අපිට ලොකු කම් දාන්නට කන්ද පදින හැටි පෙන්නන්නට අයියලා වීරයන් මෙන් හිටගෙන පැදගෙන එනවිට එතෙක් අපුරුවට තිබුණු සයිකලය හරියටම කන්ද මැදදී  බල්ලන් අල්ලනේ නැතුව ගොස් ලොකු අයියලාගේ ලොකු මෙව්වා පොල්ලේ වැදීමෙන් උන්ගේ ඇස වලින් කඳුළු පැන්න අවස්ථාද විය. බොට්ටා, ලොකු දොඩ්ඩා, චමින්ද  සහ සුග්ගා මෙවැනි ආතල් දුන්නේය.

එකල ඔය ගෙවල් රවුම හැර වැඩි දුරක් බයිසිකල් පැදීමට ගෙදරින් අවසර තිබුනේ නැත. දවසක් කලිසම් කොටයක් විතරක්  ගසා ගෙන බෝගහ හංදියට පැදගෙන ගිය එකක් මාට්ටු වී අම්මාගෙන් බඩ පුරා ෂොට් කිහිපයක් වැදුනේය. 

වැඩි කලක් යන්නට පෙර කරදඩු උස වුයෙන් බයිසිකලයේ තාත්තාව දාගෙන පදින්නට හැකි විය. මින් පසුව අම්මා, අක්කා  හන්දියට ගෙන යන හයර් එක තාත්තා මට බාර දුන්නේය. නමුත් මහ පාරේ දුර යාමට අවසර ලැබුනේ තවත් බොහෝ කාලයක් ගිය පසුවය. වෙසක් එකට කොල්ලෝ සෙට් එකත් එක්ක දන්සැල් වැඳීමට සහ වෙසක් බැලීමට බයිසිකලේ යෑම අපේ බයිසිකල් දිවියේ කුටප්‍රාප්තිය ලෙස සැලකිය හැක. ලොකු උන් ටික හැම අවුරුද්දෙම ඔය රවුම ගැසුවද සුදුවාට, මට සහ ලෙඩා බඩාට ද ගෙවල් වලින් අවසර ලැබුනේ පසුවය. අද මෙන් වාහන බහුල නොවුවද මහා පාරේ ගමන අපටද ටිකක් චකිතයක් ගෙන දෙන වැඩක් විය. මේ කාලය වන විට සුමිත් හෙවත් මැක්කා, මයුර, චාම්, පොඩි මංජු, සජියා සහ අනුර ද අපිට සෙට් වී  සිටියේය.  වඩා වැඩිමල් වූ  සරත් අයියා, උස මංජුවා හෙවත් කොකා ද එහෙන් මෙහෙන් සෙට් විය. කොල්ලන් දහ  දොළොස් දෙනෙකුගේ ගැන්සිය ගැන කතා රැසක් මතක් වීම අමාරුවෙන් නතර කරගෙන මාතෘකාවට අදාලව හෙවත් වටේ පඳුරු නොතලා මේ ටික ලියා දමමි. උස මංජුවා අපේ අක්කාට ලයින් දැමීම, අක්කලා වතුර ටැංකියේ හැංගීම, හේනේ වෙරළු තැම්බීම, වෙලේ ක්‍රිකට් මැච්, මහ වලේ මල්වෙසක් පොසොන් දන්සල්, ක්‍රිකට්, එල්ලේ, ෆුට්බෝල් සහ වොලිබෝල් මැච්, ජිම් පප්පා ගේ කොකු, කොකෝවා, කොපි සහ සියඹලා ගස්, බතන්වත්තේ වලි  සහ තවත් අටෝරාසියක් කතා එක ගොන්නට මතක් වේ. 

කෙසේ හෝ වරක් දෙවරක් වෙසක් පොසොන් ටුවර් එක බයිසිකලයෙන් ගියද පස්සේ මම ඉස්කෝලේ වැඩට සහ පන්ති වලට හිර වීම නිසා ගමේ කොල්ලන් සමග ගැන්සි ගැසීම අඩු විය. මටම කියා බයිසිකලයක් ලැබුනේ මම සා.පෙ කල පසුවය. බොරැල්ලේ සයිකර් බසාර් එකෙන් අලුත්ම මවුන්ටන් බයිසිකලයක් ගන්නට ගිය විට දැනුන ආතල් එක අද බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගත්තද දැනෙන්නේ නැත. උසස් පෙළ කරන කාලයේ බයිසිකලය පන්ති යෑමට ඒමට සහ කෙල්ලන් බැලීමට යාමට නැතුවම බැරි විය. කෙල්ලන් සමග බයිසිකල් රවුම් ගැසීමට නම් මට අවස්තාවක් ලැබී නැත. ඒ අවස්තා ලැබුනේ බයික් එකෙන්ය. බයිසිකලය පිහිට වුයේ පස්සෙන් යාම, කෙල්ලන්ගේ  ගෙවල් දොරවල් තියෙන පැති සොයා බැලීමට යාම ආදී මුල් කාලින වැඩ වලටය. එසේ වතාවක් ලෙඩා සහ බඩා සමග කෙල්ලෙක්ගෙ ගෙයක් සොයා  ගිය ගමනක් ගැන උන්ට  තාම මතකය. ඒවා හෙනම ආතල් මතකයන්ය. සා.පෙ / උ.පෙ කාලයේදී දිනේෂයා, බෝගොඩයා, රොෂාන් සහ මහේෂලාගේ ගෙදර කරක් ගැසීම වැඩි වුයේ සුගත්ලා, බර්ටිලා ටිකෙන් ටික ඈත් කරවමිනි.  උ.පෙ කාලයේ වැල පීස් සහ චිත්‍රපට  සීඩී හොයන්නට වීඩියෝ සෙන්ටර් පැදීම මීට අමතරව සිදුවුණු වැදගත් දේවල් ය.

අපි බස් එකේ යනවිට බයිසිකල් නවත්තා ගියේ එක්කෝ බෝහග මුල හන්දියේ වූ තේ කඩේ අයිනේය. කඩුවෙල පැත්ත නම් ආනන්ද ලී මොලේ දමා ගියේය. කවදාවත් ලොක් කර නොගිය බයිසිකල් නැතිවේ හෝ කවුරුන් හෝ ගනීවි යයි බයක් කවදාවත් දැනී නැත. බොහෝ විට කාගේ බයිසිකලයද යන්න ගමේ හැමෝම දැන සිටි අතර, කවුරු ගත්තද ගත්ත කෙනා කොහේ ගියත් අප එන විට බයිසිකලය තිබුණු තැනම තබා තිබුනේය. 

හැමදාම උදේ හවස බයිසිකලයෙන් අම්මාව හංදියට එක්කන් ගිය තාත්තාගේ චරිතය ගමේ බොහෝ අයට අදටත් මතක ඇත. තාත්තා නැති වූ පසු ඒ රාජකාරිය පැවරුනේ මටය. මම  රස්සාවට ගොස් ලෝන් එකක් දමා බයික් එකක් ගන්නා තුරු මේ බයිසිකල් රාජකාරිය එසේම විය. තාත්තා නැතිවූ පසු තාත්තාගේ බයිසිකලය ලොකු තාත්තා අරන් ගිය අතර මම බයික් එක සහ කාර් එක ගත් පසු මගේ ආදරණිය මවුන්ටන් බයිසිකලයද අපේ මල්ලි කෙනෙකුට දීලා දැම්මේය. මේ කාලයෙන් පසු බයිසිකල් මතක එතරම් නැත. ටිකෙන් ටික ශරීරයද b ෂේප් වීමට පටන් ගත් බැවින් බයිසිකලයක් පැදගැනීමට ද අමාරු විය. අන්තිමට අක්කාගේ පුතාගේ බයිසිකලය අමාරුවෙන් මිදුලේ වට භාගයක් පැද්දා මතකය. 




මේ සියලු මතක සිහි වීමටත්, බාලි නුවර අහිංසක ගැමියකුගේ හැකියාවට උදව්වක් වශයෙනුත්, තාත්තාගේ සයිකලයට බොහෝ සමානකම් ඇති  මේ කුඩා මොඩලය පසු ගිය බාලි සංචාරයේදී මිලදී ගතිමි.

මම මේ නොරටට පැමිණ ටික කාලයකට පසු නිවාඩුවට ගෙදර ගිය දිනෙක සිදුවූ අපුරු සිදුවීමක් මට ඇති අවසාන බයිසිකල් මතකයි. සිය සැමියාගෙන් වෙන්ව ජිවත් වූ අපේ අක්කා කෙනෙකුගේ අවුරුදු 4-5ක් වයසැති කුඩා කොලුවෙක් හදිසියේම මා සිටින කාමරයට පැමිණියේය. අපේ පවුලේ නෑදෑයින්ගේ පොඩි පොඩි උන් 10ක් 12ක් කොයි වෙලෙත් එහෙ මෙහෙ කරකැවෙන බැවින් එය එතරම් දෙයක් නොවීය. පසුවදා උදේ නැවත ඒමට බඩු අස් කරමින් සිටි මම මේ කොලුවා එතරම් ගණන් නොගෙන සිටියෙමි. හෙමින් සැරේ ඇඳ උඩින් වාඩිවී "මේ ඔයාට බැරිද මට බයිසිකලයක් අරන් දෙන්න?" පොඩි එකා කාමරයට පැමිණ ඇසුවේ එපමණකි.

මේ සියලු මතක සමගින් තාත්තා ළඟ නැති ඒ පොඩි එකාගේ ආසාව ටික දිනකින් ඉටු කර දුනෙමි.







ප.ලි 

මේ ඊයේ පෙරේදා ලංකාවට ගිය සැරේ මු නැවත ළඟට පැමිණ මගේ අතෙහි වූ ඔරලෝසුව දෙස බලමින්  "මටත් මේ ජාතිය එකක් ගෙනත් දෙන්නකෝ" යැයි කිවේය. "අඩි 6ක් උස ගොස් ඉංග්‍රීසියෙන් කතා කිරීමට හැකිවූ දිනෙක ගෙනත් දෙන්නම්" කියා මෙවර මම ඌව එළවා දැම්මේය... ඌ ආයේ මගෙන් මොකුත් ඉල්ලන එකක් නැත.... හෙහ් හෙහ් 








28 comments:

  1. මේ සියලු මතක සමගින් තාත්තා ළඟ නැති ඒ පොඩි එකාගේ ආසාව ටික දිනකින් ඉටු කර දුනෙමි.
    ++++++++++++++++++

    ReplyDelete
  2. අතීතය, අතීතතය, තිත්ත රසද පැණිරස කරවන කාලය.

    ReplyDelete
    Replies
    1. ධම්මික, ඇත්ත ඇත්ත, පුදුම රසක් තියෙන්නේ...

      Delete
  3. මොකක්දෝයි මේ. මේකෙ තියෙන්නෙ බයිසිකල් ගැන විතරනෙ. නරකද පඳුරක් දෙකක් තලල දැම්මනං ඉඳගෙන.

    මොනව උනත් අර පොඩි එකාට බයිසිකලයක් අරන් දීපු එකනං ලොකු දෙයක්. අපරාදෙ ඌව බය කලේ. තව ටික කාලෙකින් ඌට කෑල්ලක් හොයල දෙන වැඩෙත් ඔහේට පංගාර්තු වෙන්න තිබ්බ. හැක්..

    ReplyDelete
  4. අයිසේ මාතෘකාවට අදාලව කතාවක් ලියන හැටි තවුසෙලට උගන්නන්න මම මේක ලිව්වේ. දැන් පඳුරක් නැත්නම් තවුසෙල බ්ලොග් කියවන්නේත් නැද්ද?හැබෑටම කොහොමට තිබ්බ තැනක් ද මේක..

    ඌ දැන් ලොකුයි... දැන් උගේ තාත්තත් ආපහු ඇවිල්ලද කොහෙද... හෙහ් හෙහ් ... කොහොම උනත් ඌට තාම බයිසිකලේ මතකයි ... ඒ පොතම දාල තව දේවල් ඉල්ලලා බලන්නේ එකයි.... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අර රවිය තමයි මේවට වග කියන්න ඕන හිටං.

      Delete
    2. රවිය නේන්නම්... රවියට දැන් මාතෘකාවට අදාලව දෙයක් ලියා ගන්නම බෑනේ.. අනේ මන්ද පොරගේ අනිත් වැඩත් ඔහොමද කියල හෙහ් හෙහ් ... ඒ කියන්නේ ගමන් බිමන් එහෙම යනවා ඇත්තේ හිතෙන හිතෙන පාරවල් වලින් හරවල වෙන්න ඇති... හෙහ් හෙහ්

      Delete
  5. /* මේ සියලු මතක සමගින් තාත්තා ළඟ නැති ඒ පොඩි එකාගේ ආසාව ටික දිනකින් ඉටු කර දුනෙමි. */

    ඇස් තෙත්වුණු තැන!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික, පොඩි එකෙක් ඔහොම කෙලින්ම ඉල්ලන්නේ ඇත්තටම ගොඩක් ආසා නිසා. අපි පොඩි කාලෙත් ඔහොම ආස දේවල් තිබුනට අම්මා තාත්තා ඇර ඉල්ලන්න වෙන කවුරුත් හිටියේ නැති නිසා ඔහේ අමතක කරලා දාල හිටියා... දැන් ඉතින් අපිට කරන්න පුළුවන් කම තියෙද්දී පොඩි වුන්ගේ ඔය ආසාවල් ඉෂ්ට කරන එක මට නම් හරිම තෘප්තියක් දෙන වැඩක්...

      Delete
  6. කෙරවලපිටියේ සිට ගෑස් පටවන් එන ලොරි වලට කෙලින්ම දකුණු ලක බලා යෑමට හැකිවන පරිදි කඩවත කෙරවලපිටිය අධික වේගී මාර්ගයක් සාදා ව්වෘත කෙරු අතිගරු අගමැතිතුමාට ගෑස් පටවන් එන ලොරි එලවන රියදුරන්ගේ ආචාරය. දැන් බලන්න ගෑස් පටවන් එන ලොරි කඩවත හුවමාරුව හරහා ගිනිකාගෙන දකුණු ලක දෙස යන උජාරුව. මහත්තයා අගමැතිතුමාගේ ආණ්ඩුවටද ජන්දේ?

    ReplyDelete
    Replies
    1. අධිවේගී මාර්ගේ හදපු එක නම් කවුරු කලත් වැදගත් වැඩක් ඇනො. චන්දේ නම් දෙන්න එන්නේ නැහැ.

      Delete
  7. බුද්ධාගමද හැර දමමින් ක්‍රිස්තියානි බයිබලය උඩ දිවුරමින් ඇමරිකානුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දුප්පතාගේ දුක දන්නා සජිත් ප්‍රේමදාස ජනපති කරවමු. ඇමරිකන් පුරවැසි බිරිඳක් සිටින, ඇමරිකන් පුරවැසි පුතෙක් සිටිනා ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවා පරදවමු.

    ReplyDelete
  8. පට්ට පෝස්ට එක පැත්තො. මටත් අපේ තාත්තගෙ බයිසිකලේ ගැන මාර මතක ගොඩක් තියෙනව. පටං ගන්නෙ අවුරුදු හතරෙදි විතර, මැදපොල්ලට කොට්ටයක් දාල මාව දාගෙන නැන්දෙක්කෙ ගෙදර යාමෙන්... මාළඟ තාම තියෙනව ඒ බයිසිකලේ...

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ කොල්ලෝ ටික ඉස්සර මට කතා කලෙත් පැත්තො කියල හෙහ් හෙහ් ...

      හෙන ආතල් කාලයක් නේද එක...

      Delete
    2. ඒකනෙ කියන්නෙ... තව, ලෑන්ඩ් මාස්ටරේ පස්සෙන් දුවගෙන ගිහිං ඒකෙ ටේලරේට ගොඩවෙන එක එහෙම...

      Delete
  9. මටත් මතක් උනා මගේ බයිසිකල් රස මතක! ලියන්න ඕණෑ! සුන්දර ලියමනක් (ලිවීමක්!)!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තට්ටයා, බයිසිකල් මතක අපි හැමෝටම තියෙනවනේ ..

      Delete
  10. අපෝ බං බයිසිකල් මතක සේරම ලිව්වොත් ඒකේ තාසය භිතිය කුතුහලය, වලත්තකම මනමාල කම කොටු පැනීමං කොටින්ම සේරම කැටගරි අහු වෙනවා.

    “මේ ඔයාට බැරිද මට රොකට් එකක් අරන් දෙන්න?

    ReplyDelete
    Replies
    1. තනමල්විල පැත්තෙ එකෙක්ට කියහං. අඩුම ගානෙ ඉන්ධන ටික හරි ලැබෙයි.

      Delete
    2. දේශකයා, සිරාවට ඕනේ කැටගරියකට අදාලව විස්තර තියෙනවා තමා... හෙහ් හෙහ් .. පඳුරු ගානේ රිංගන්න ඕනේ තරම් කරුනු කාරනා තියෙනවා ..හෙහ් හෙහ්

      Praසන්ன අයියේ මෙන්න මේ අසරණයට ඔය හන්දියේ කඩේකින් රොකට් එකක් අරන් දියන්කෝ...

      Delete
  11. අපේ තාත්තායි බයිසිකලේයි කියන්නේ වෙන් කරන්න බැරි දෙයක්.තාත්තාගේ කකුල් දෙක තමයි බයිසිකලේ.

    තාත්තාගේ බයිසිකලේ කන්දක පැල්ලමක් බහින කොට පැඩල් දෙක උඩ හිටගෙන කෙල්ලෙක්ට පේන්න වැඩ දාන්න ගිහින් ඒ කෙල්ලගේ කකුල් දෙක ඉස්සරහාම වැටුණු මතකයක් අලුත් උනා මේකෙන්.

    ඉස්සර කොයි කවුරුත් අලුත් බයිසිකල් ගත්තේ බොරැල්ලේ සයිකල් බාසර් එකෙන් නේ.මටත් එහෙන් මවුන්ටන් බයික් එකක් අරන් දීලා තියෙනවා 97 දී විතර.

    ReplyDelete
  12. එදා අපිට තිබුන එකම වාහනය ...
    බයිසිකල් අතීතය. ඇදගෙන ගියාට තුති පැතුම් .... !!!!!!!

    ReplyDelete
  13. යුතුකමක් ඉටු කරන්න පමා වුණා, හොඳටෝම.

    පමාව ගැන සමා වෙන්න පැතුම්!

    ReplyDelete