Sunday, January 20, 2019

සංක්‍රාන්ති සමනලයින්


         අපි කොච්චර දේවල් වලට ආස වෙලා, ඒ ඒ දේවල් ලබා ගන්න වෙහෙස මහන්සි වෙනවද? සමහරවිට පොඩි කාලේ හිතට ආපු පොඩි ආසාවක් වෙනුවෙන් ජිවිතේ බොහෝ දේවල් කැප කරමින් වෙහෙසෙනවා. සමහර අයට ඒවා ඉෂ්ට කරගෙන සතුටු වෙන්න පුළුවන්, තවත් අය ඒ බොහෝ ආසාවන් ජිවිතේ එන නොයෙකුත් ප්‍රශ්න නිසා මගදී අතැරලා දාල ඊට වඩා වැදගත් දේවලට ප්‍රමුඛතාවය දෙනවා. අඩු වැඩි වශයෙන් අපි හැමෝම මේක ඇතුලේ ඉන්නවා. හැබයි ඉතින් බහුතරයක් අපි අපිට දැනටම ලැබිල තියෙන අපූරු දේවල් ගැන සතුටු වෙන්න දන්නේ නෑ... 

ලද දෙයින් සතුටු වීම කියන අල්පේච්ච සංකල්පය ගැන නෙමේ මම මේ කියන්නේ. අපිට සාමාන්‍යය මිනිසුන් විදියට ලැබිල තියෙන ශරීරය, ලෙඩක් දුකක් නැතිව ජිවත් වෙන්න පුළුවන් නිරෝගිකම,  කැමති රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් කම, නිදහසේ යාලු මිත්‍රයෙක් ආස්සරේ කරගෙන, පාරේ තොටේ ඇවිදලා පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් කම කියන්නේ අපි නොහිතන තරම් වටිනාකමක් තියෙන දෙයක්.  අපි ගොඩක් වෙලාවට ශාරීරිකව හෝ මානසිකව අබාධිත කෙනෙක් දැක්කම ඒ මිනිස්සුන්ට අනුකම්පා කරලා අපිට ලැබිල තියෙන මේ අපුර්ව සුවපහසු ජිවිතේ ගැන පොඩ්ඩක් හිතනවා. ඒ ඇරෙන්න අපි මේ අපිට ලැබිල තියෙන අපුරු ජීවිතය ගැන සංවේදී වෙන්නේ නෑ...

අපේ බේසික් ප්‍රශ්න විසඳිලා නිසා අපිට අපේ ආසාවන් ගැන හිතල වැඩ කරන්න පුළුවන්. බොහෝ ආබාධිත අයට උනත් එයාලට හුරු වෙච්ච ජිවන ක්‍රමයක් එක්ක කාගෙන්වත් කරදරයක් නැතුව පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් කම තියෙනවා. සමාජය ඔවුන්ව පිලිගන්නවා. නමුත් මේ අපේ සමාජයේ අප අතර ඉන්න තව එක පිරිසක් ගැන සමස්ත මිනිස් සමාජයේම තියෙන්නේ හරි වෙනස් ආකල්පයක්. රටේ ජනාධිපතිත් විහිළුවට ගන්න ඒ මිනිසුන් ගැන පොඩ්ඩක් හිතල බලන්න හිතෙන්නේ නැද්ද ඔය නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට.

මට මේ ලිපිය ලියන හේතු වුනේ මම දැනට ඉන්න මැලේසියාවේ උදේ හවස වැඩට යන එන පාරේ ඉන්න ඔය පිරිසක් නිතර නිතර ඇස ගැටීම හින්ද... ක්වාලා ලාම්පුර් නගරයේ කාර්යබහුල ප්‍රධාන මාර්ගයක,  අයිනට වෙන්න තැනක මෙවැනි මිනිසුන් නිතර රැස් වෙනවා. එතන තියෙන මාර්ග සංඥාවට වාහනේ නතර වෙන නිසා දවසට මිනිත්තු කිහිපයක් මේ මිනිසුන් දකින්න ලැබෙනවා. 

මේ මිනිසුන් ගැන ලියන්න තරම් වෙනසක් මට පේන්නේ ඇයි කියල මම කල්පනා කළා. ඇත්තටම ඔවුන් අපි වගේමයි. එකම වෙනස, ඔවුන් ගැහැණු සිතිවිලි පහල වෙන පිරිමි ශරීර. සාමාන්‍ය පිරිමි අපි රළු බවට, දහඩියට, ගොරෝසු ගතියට කැමති යි, ගැහැණුන් සිනිදුවට, සෞම්‍ය බවට,  මෘදු බවට කැමති යි... මේ මිනිසුන්ගේ ඒ ආශාවල් පොඩ්ඩක් මාරු වෙලා... ඉතින් රළු හැඩි දැඩි ශරීර තිබුනට ඔවුන් කැමති සිනිදු ඇඳුම් අඳින්න, පාට තවරලා ලස්සනට ඉන්න,ලතාවට ඇවිදින්න, කතා කරන්න... 

මේ සංක්‍රාන්ති ලිංගික මිනිසුන්ගේ සැබෑ ජිවිත මොනවගේ ද කියල කියන්න තරම් දැනුමක් මට නෑ... නමුත් පිරිමි මුහුණකට පුන් පියයුරු දෙකක් එක්ක, කොට සායක් ඇඳගෙන, රෝසපාට කම්මුල් එක්ක නැළවෙමින් ගමන් කරනකොට මැවෙන චිත්‍රය ගැන අපේ හිතේ ඇතිවෙන්නේ පොඩි අසහනයක්. සමහර අයට මේක අප්පිරියාවක්, තව කෙනෙකුට තනිකර විහිළුවක්, බොහෝ දෙනෙක් මේ මිනිසුන්ට වෛර කරනවා. හැබැයි ඒක ඔවුන්ගේ පොඩි කාලේ ඉඳල තිබ්බ ආසාව වෙන්න ඇති.

මම ලොකු වුනාම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙනවා වගේ ආසාව තියෙන ළමයි අතරේ මට ලොකු වුනාම ගැහැණියෙක් වෙන්න ආසයි කියල හිතෙන ළමයි, නැත්නම් මට පිරිමියෙක් වෙන්න ආසයි කියල හිතෙන ළමයි, එතකොට ටිකක් තරුණ වෙද්දී ගැහැණු අවයව තියෙන පිරිමි හෝ පිරිමි අවයව තියෙන ගැහැණු වෙන්න කැමති මිනිස්සු මේ බිලියන ගානක් අතරේ ඉන්න එකේ අවුල මොකක් ද?

මේ වගේ ගති ලක්ෂණ තියෙන අය මග තොටේදී අපිට හම්බ වෙනවා. බස් එකේ යද්දී කිහිප සැරයක් මේ වගේ මිනිස්සු හමු වෙලා තිබුනට මට කවදාවත් මෙවැනි මිනිසුන් ආශ්‍රයක් ලැබිල නෑ... ඉතින් ඔවුන්ගේ සිතුම් පැතුම් තේරෙන්නේ නෑ.. නමුත් ලංකාවේ සාමාජය මේ මිනිසුන්ව කොච්චර අපහසුතාවයට පත් කරනවද කියන දේ නම් මම දන්නවා. ගොඩක් වෙලාවට වැඩිපුර නින්දාවට සමච්චලයට ලක්වෙන්නේ ගැහැණු ගති ලක්ෂන පෙන්නුම් කරන පිරිමි අයව. බොහෝ වෙලාවට පිරිමි ගති තියෙන ගැහුණු අයව මිනිස්සු එහෙම පහත් කරන්නේ නෑ... ගොඩක් වෙලාවට පිරිමි වගේ අඳින පළදින, කතා බහ කරන, හැසිරෙන ගැහැනුන් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් වෙනවා කියල මම හිතන්නේ. මොකද ගොඩක් වෙලාවට පිරිමි අපිට ඔවුන් ගැන ලොකු අමුත්තක් දැනෙන්නේ නෑ... ගැහැණු අයට එවැනි අයව කොහොම පේනවද දන්නේ නෑ.. කොහොම උනත් ගැහැණු වගේ හැසිරෙන පිරිමි අය ගැන තියෙන ලාංකික ආකල්ප නම් තවම සෝචනීයයි කියලයි මම හිතන්නේ...

මම පෞද්ගලිකව දන්න හොඳට කනබොන,සෙට් වෙන, ජිම් යන නියම පිරිමි විදියට හැසිරෙන කෙනෙක් ඔෆිස් එකේදී පොඩ්ඩක් අසනීප වෙලා පොඩි ගැහැණු ළමයෙක් වගේ ඉකිගගහ ගෙදර එක්කන් යන්න කියල අඬපු අවස්තාවක් මට මතක් වෙනවා මේ වගේ මිනිස්සු දකිද්දී. මේ මොන ***යෙක් ද කියල එදා ඌ ගැන මට හිතුනා. හැබැයි ඉතින් ඌ හෙන පිරිමියෙක් වගේ තමා අදටත් ඉන්නේ. සමාජයේ අපි අතර ඉන්න ලාබ ප්‍රයෝජන තකා මෙහෙම හැසිරෙන හෝ ඇත්තටම වෙනත් පවුල් ගැටළු, පොඩි ශාරීරික ගැටළු නිසා මෙහෙම හැසිරෙන මිනිසුන් පවා අපි විහිළුවට ගන්නවා. 

ඔබ මේ මිනිසුන් ගැන වෛරයක්, පිළිකුලක් ඇතිවෙන කෙනෙක් නම් Danish Girl චිත්‍රපටය බලන්න කියල මම කියන්න කැමතියි. මට මේ මිනිස්සු ගැන තිබුනේ පොඩි අපහසුතාවයක් වගේ හැඟීමක්. දැනටත් ඒක එහෙම තියෙනවා. නමුත් ඒ චිත්‍රපටය මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ මොකද කියන දේ ගැන මට තේරුම් ගන්න උදව් වුනා. ඔවුන් දෙස අමුතු ලෙස නොබලා ඉන්න, මග තොටේදී ඔවුන්ව විශේෂ මිනිසුන් ලෙස නොසලකා පාඩුවේ ඉන්න එක අපිට කරන්න පුළුවන්.

මැලේසියාවේ මෙවැනි මිනිසුන් ගොඩක් සාමන්‍යය විදියට ජිවත් වෙනවා. අර මම දකින පාර අයිනේ හැඩ වෙමින් නැලවෙමින් ඉන්න මිනිසුන් ගැන ඒ අසලින් යන කිසිවෙක් සැලකිල්ලක් දක්වන්නේ නෑ... උපතින් මැලේසියානුවන් නොවන නේපාල, බංග්ලාදේශ ආදී රටවල මිනිසුන් පවා ඔවුන් දෙස කිසිදු වෙනසක් දක්වන බවක් මට දැනුනේ නෑ... මේ අය සමාජයේ අඩුම මට්ටමට අයිති අය. ඉහල පන්තිවල මෙවැනි මිනිසුන් බොහෝ වැදගත් ආයතන වල රැකියාවල් කරනවා. ගොඩක් වෙලාවට රුපලාවන්‍යය සමාගම් මෙවැනි මිනිසුන්ගේ සේවය ලබා ගන්නවා. 



බොහෝ රටවල දැන් මෙවැනි අයට තම තමන් කැමති පරදී අවයව මාරු කරගන්න ඔපරේෂන් එහෙම කරගන්න පුළුවන්.  ඔවුන්ගේ හැඟීම් සහ පෞද්ගලික ජීවිතය කොහොම ගෙවෙනවද කියන එක නම් හිතා ගන්න අමාරුයි.  නමුත් එහෙම කරගෙන ඔවුන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න එක සමහරවිට අපිට අපේ සිහින රස්සාව ලැබුන වගේ දැනෙනවා ඇති. 

බුද්ධාගම්කාර අපි කරුමෙටත්, අනෙක් අය දෙවියන්ගේ කැමත්තටත් බැර කරලා දාල සමාජයෙන් කොන් කරලා, වෙනස්වූ ආශාවන් ඇති මේ මිනිසුන්ගේ ජීවිතය කටුක කිරීම හරි පහත් දෙයක්. කාලයක් තිස්සේ ඔද්දල් වෙලා තියෙන  අපේ සිතුවිලි එකපාර වෙනස් කරගන්න අපිට බැරි වෙයි. නමුත් අඩුම තරමේ ඔවුන් සමග ගැටෙන එදිනෙදා ජීවිතේදී සරලව සාමාන්‍ය විදියට ඔවුන්ට සලකන්න පුරුදු වෙන එක එච්චර අමාරු වෙන එකක් නෑ. ඔවුන්ට අපේ අනුකම්පාවවත්, විශේෂ සැලකිල්ලක්, නොසැලකිල්ලක් නොදක්වා ඉන්න එක තමා අපිට කරන්න පුළුවන් හොඳම දේ. 

බොහෝ රටවල දැන් සමලිංගික, සංක්‍රාන්ති ලිංගික බව සාමන්‍යය දෙයක් බවට පිළිගන්න පටන් අරන් තියෙන නිසා අනාගත පරම්පරාවලට මේවා ප්‍රශ්න වෙන එකක් නෑ.. හැබැයි ගොබ්බ අදහස් වලින් පිරිච්ච අපේ නායකයින් සහ ඔවුන් පසු පස යන අඳ බාල වැඩිහිටි පරම්පරාවටත්, ඔවුන්ගේ සෙවනේ හැදුනු වැඩුණු අපේ පරම්පරාවලටත් සමාජයක් වශයෙන් මේ මිනිසුන් සාමාන්‍යයි කියල පිළිගන්න තව කාලයක් යයි.


18 comments:

  1. පළවෙනි ප්‍රශ්ණේ උඹ ආයිම රට ගියාද? ඔහෙ සිස්ටම් එකට හුරු උනාම මෙහෙ තියෙන රස්සාවල් ඒවයේ ටයිමින් සහ සමස්ථ රටේම සිස්ටම් එක හෙන අවුලට දැනෙනව ඇති නෙහ්? :) මට තායිලන්තෙදි ඔය ජාතියේ උන් හෙනට සෙට් වෙලා තියෙනව. එහෙනම් ඒක කර්මාන්තයක් වගේ.. Alcazar වගේ නමකින් කැබරේ එකක් තියෙනව තනිකරම උන් කරන්නේ.. හැබෑ ගෑණුන්ට වඩා ලස්සනයි..;) දැන් දැන් ඔය සීන් එකට මිනිස්සුන්ගේ තියෙන ප්‍රතිරෝධය අඩු වේගෙන යනව.. මටනම් දැනටම එහෙම උන් ගැන කිසිම ගැටලුවක් නෑ..

    ReplyDelete
    Replies
    1. මම ආපහු ඇවිල්ල දැන් අවුරුද්දක් විතර වෙන්ඩ ආවා බන්. හෙහ් හෙහ්.. මේ රටෙයි ලංකාවෙයි ලොකු වෙනසක් නෑ වැඩ වලදී නම්... ජිවිතේ ලංකාවට වඩා ලේසියි.. එච්චරයි එකම වෙනස.

      ලංකාවේ සිස්ටම් එක අනිත් රටවල් එක්ක කම්පෙයාර් කරන එක තේරුමක් නෑ බන්... හරි පාරකට වැටුනොත් ලංකාව මිට වඩා දියුණු වෙයි. එතකල් ඉන්නයි තියෙන්නේ..

      මේ මිනිස්සු නිතර ඇහැ ගැටෙන හින්ද ලියල දැම්මේ.. දැන් දැන් මිනිස්සු වෙනස් වෙන්න පටන් අරං හින්ද මේවා ලොකු දේවල් නෙමෙයි.. අර ෆිල්ම් එක බලල නැත්නම් බලපන්.. පට්ට

      Delete
  2. ප්‍රශ්නය තමාගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියනවලුනෙහ්.මගෙත් පෞද්ගලික මතය උන්ට ඒක හොද නම් අපිට මොකද කියන එක. ඒත් පොඩි දෙයක් අහන්නද? තමන්ගෙ කෙනෙක් ඔය තත්වයකට පත්වෙන්න කැමති කම් ඔයාගෙ ප්‍රතිචාරය මොන වගේ වෙයිද? මට ඇත්තටම ඒකට උත්තරයක් නෑ. පුලුවන්නම් ට්‍රයි එකක් දෙන්න???

    ReplyDelete
    Replies
    1. මලියා,
      මම ඕක ගැන හිතල බැලුවා. මගේ දරුවෙක් ඔහොම උනොත් දැනට කරන්න පුළුවන් හොඳම දේ තමා ඔය දේවල් ඒ හැටි ගැටලුවක් නොවන රටක ජිවත් වෙන එක.

      කොහේ ගියත් පෞද්ගලිකව ඇතිවෙන අපහසුතාවයට මුහුණ දෙන්න වෙයි. බොහෝ දුරට කුඩා කාලයේ සහ තරුණ කාලේදී... හැබැයි තනිව තීරණ ගන්න වයසට ආවම අනිත් අයට වගේ කැමති විදියට ජිවත් වෙන්න අරින එක තමා කරන්න වෙන්නේ..

      හැබැයි ඉතින් අපි ඒක ඒ විදියට පිළිගන්න ලැස්ති නම් ඕවා ඒ හැටි අමාරු නෑ...

      එහෙම පිළිගන්න හිත හදාගන්න පුලුවන් මේ වටේ පිටේ දකින මිනිස්සු ගැන අපි හිතන විදියට වෙනස් කර ගත්තම..

      හෙහ් හෙහ් ප්‍රශ්නය අපේ වෙනකම් එහෙම ඉමු..

      Delete
    2. හොද උත්තරයක්! දැනට...

      Delete
  3. අපේ රටේ සමනලයින්ට ඉඩ නෑ, ඕ යේස්, ඒක අපේ අතිගරු ජනාධිපති උතුමා කිව්වේ පැතුමෝ

    ReplyDelete
    Replies
    1. ජනාධිපතු උතුමා නියම පුරුසයනේ... එතුමානො කිව්වොත් කිව්වා...

      Delete
  4. https://www.ranker.com/list/transgender-people-in-history/devon-ashby

    ReplyDelete
    Replies
    1. ප්‍රා. Danish girl ෆිල්ම් එකේ තියෙන්නේ Lili Elbe ගේ කතාව.

      Delete
  5. මට නම් ඔවුන්ව එදි නෙදා ජීවිතේදි හමු වෙලා නැතිම තරම්..ඔවුන් ගැන අමුතු ආකල්පයක්, හැඟීමක් තමා තියෙන්නේ හැබැයි ඒ වෛරයක්වත්, පිළිකුලක්වත් නෙමේ..

    මලියා කිව්වා වගේ තමන්ගේ දරුවෙක් ඔය තත්ත්වෙට පත්වුනොත් කරන්නෙ මොකක් ද කියලා හිතද්දි නම් නිරුත්තර වෙනවා තමා..

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නේ අන්න ඒ වගේ අමුතු හැඟීමක්... විස්තර කරන්න අමාරුයි.. සෙන්නා පුළුවන් නම් අර ෆිල්ම් එක බලන්න..

      Delete
  6. Thanks hoda article ekak. hamoma sathutin jiwath wennai ona. widawala epa wela.

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෝටම ඒ අය ආස විදියට ජිවත් වෙන්න ඉඩ හරින එක තමා කරන්න ඕනේ..

      Delete
  7. මට නම් සිරිසේනව එපා උනේ ඒ සමනළ කතාවෙන්.

    ReplyDelete
    Replies
    1. රැල්ලට ඔහේ කියවනවා මිසක් රටේ ප්‍රධානියා විදියට මිනිස්සු ගැන හිතන්න තරම් මොලේ මෝරලා නෑ බන් ඔය යක්කුන්ගේ

      Delete
  8. අරක වගේම A fantastic Woman ෆිල්ම් එකත් බලපං. ඒකේ ඇත්තටම රඟපාන්නේ සංක්‍රාන්ති කාන්තාවක්. වැඩි විස්තර ගුගල් කරල හොයාගන්න බැරියැ. සත්‍ය කතාවකට ආසන්නයි ෆිලුම

    ReplyDelete