Tuesday, December 04, 2018

ත්‍රිමාන - 2 කොටස


මුල් කොටසට මෙතනින් යන්න

ජනාධිපතිතුමනි, දැන් අපි මොකද කරන්නේ?

තවදුරටත් ජනගහනය වර්ධනය වුණොත් අපි විනාශ වෙනවා ස්ථිරයි. රාජ්‍ය ලේඛම්වරයා පැවසීය.

“මම ඕස්ට්‍රේලියාවටයි, අප්‍රිකාවටයි කතා කළා. ඒගොල්ලෝ කියන්නේ කඳුකර බිම් හැර අනෙක් සියලුම ස්ථාන ජනාවාස වෙලා, නමුත් දැන් සම්පූර්ණයෙන්ම ජනගහන වර්ධනය වීම නතර කරලා නිසා ඒ රටවල ආයේ ජන වර්ධනයක් ඇති වෙන එකක් නැහැ කියල. ජන අතිරික්තයක් ඉන්න රටවල මිනිස්සුන්ව එහි පදිංචි කරවන්න කියලා තිබුණා. වීසා,පාස්පෝට් නැති වුනත් ප්‍රශ්නයක් නෑ කිව්වා.”

“ඒ වුණාට ඒක තාවකාලික විසඳුමක් විතරනේ. මේ මුළු ලෝකෙම උපත් පාලනය කරන්න තිබුණෙ මීට ගොඩක්  ඉස්සර. දැන් ඉතින් අශ්වයා පිට වුණාට පස්සෙ ඉස්තාලේ දොර වැහුවා වගේ බලාගෙන ඉන්නවා. "

"කොහෙද මේ කෙහෙල්මල් මානව හිතවාදී සංවිධාන මැරෙන්න හැදුවනේ.”  ලේඛම්වරයා ඉතිරිය සම්පූර්ණ කළේය.

“ඇත්තමයි මිස්ටර් රෙනොල්ඩ්ස් මට ඉල්ලලා අස්වෙන්න හිතෙනවා.”

මේ අතර දැනට ලෝකයේ ඉතිරිව තිබුණු වැසි වනාන්තර අතරෙන් එකක් තුළ වනයේ ඒ පරිසරයට නොගැලපෙන යමක් සිදුවෙමින් තිබිණි. අවකාශයේ සහ පදාර්ථයේ සිදුවුණු ක්ෂණික වෙනසට වනය සංවේදී නොවුවා මෙනි.  මෙලොවට ආගන්තුක එවැනි විපර්යාසයක් මීට පෙර දුටුවේ පෞරාණික හා නායක දියබල්ලන් පමණි.

සේවකයෝ දෙදෙනෙක් අනන්තයේ සිට මෙන් අවකාශය තුලින් මතු වූහ.

"ආදොන් බලන්න. වෘක්ෂ වහන්සේලායි පරිවාර වෘක්ෂයි පිරිලා."

“මොකද්ද මේක?”  හොදොන් කෑගැසීය.

නේක වර්ගයේ රූස්ස ගස් වලින් පිරිණු මහා වනය දුටු ඔවුන් දෙදෙනා කුල්මත් වී ගියේය.

"මේක සමහරවිට අපේ පුරාවෘත්ත වල තියෙන වනාන්තරයක් වෙන්න ඇති." ආදොන් මතක් කළේය.

“අපේ අධිරාජයාණන් ගොඩක් සතුටු වෙයි. දිය බල්ලන්ගේ ලෝකයේත් වෘක්ෂ ගොඩක් තිබුණා කියලා එතුමා බොහෝම සතුටු උනා."

"ඒ උනාට මෙච්චර විශාල වනාන්තරයක් අපේ ලෝකේ කවුරුත් දැකලා නැතිව ඇති.” ආදොන් වටපිට බලමින් මහත් සතුටින් යුතුව පැවසීය.

“අපි අර පර්වතය උඩ නැගලා බලමු ඈත මොනවද තියෙන්නෙ කියලා”

මොහොතකින් දෙදෙනා තම ප්‍රතිගුරුත්ව යන්ත්‍ර භාවිතයෙන් පර්වතය මුදුනට නැගීම ආරම්භ කළෝය.

“මගෙ දකුණු කකුලේ තියෙන සෙරෙප්පුවේ වෑල්ව් එකක් නරක් වෙලාද කොහෙද ඒ පැත්ත ටිකක් පහත් වෙනවා” හෝදොන් ඉහළ නගින අතර තුර පැවසීය.

රක්ෂිතයේ සීමාවෙන් ඔබ්බෙහි වූ ජනාකීර්ණ නගරය තුල වූ තට්ටු ගණන් උස ගොඩනැගිලි සේවකයන් දෙදෙනා තුළ අමුතු ආකාරයේ හැඟීමක් ඇති කළේය.

"මම හිතන්නේ ඒ මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වෙන්න ඇති.  හැබැයි ඉතින් මෙච්චර නිවාස තියෙනවා නම් මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ඇති. කොයි එකටත් යමුද පොඩ්ඩක් බලන්න" ආදොන් ඇසිය.

"ඒ ගොල්ලො කවුරුද කියල නොදැන එහාට යන එක භයානකයි නේද?"  හෝදොන් අනතුරු ඇඟවීය.

 "නමුත් මෙච්චර උසට ගොඩනැගිලි හදන්න තරම් දියුණු තාක්ෂණයක් හා බුද්ධියක් තියෙනවා නම් ඒ මිනිස්සු නරක වෙන්න බැහැ.  ඕන එකක් වෙච්චදෙන් කියලා බැහැලා බලමු පල්ලම" යැයි පවසමින් ආදොන් ඉදිරියට පා තැබීය.

"පොඩ්ඩක් ඉන්න එහෙනම් අපි මේ පාවෙන සෙරෙප්පු ගලවලා තියෙන යමු. නැත්තං ඒ ගොල්ලන්ට අපිව අමුතු විදිහට පෙනෙයි. හෝදොන් පැවසීය. පර්වතයෙන් පහලට පැමිණ සිය  පාවහන් ගලවා තැබූ ඔවුහු වනයේ තුරු ලතා අතරින් පෙනෙන නගරය දෙසට ඇවිදීමට පටන් ගත්තෝය. වනයේ සුවද සහ පයට දැනුනු තෙත් ගතිය ඔවුන් තුල ඇති කලේ පෙර කිසිදිනෙක අත් නොවිදි සංවේදනයකි.

පින්තුරය ගූග්ල්



***********************************************


"ඔබතුමා හිතනවද සේවකයන්ගේ පැමිණීම අපේ ලෝකයේ පැවැත්මට තර්ජනයක් නෙවෙයි කියල?" පෞරාණික දියබල්ලා නායක දියබල්ලා ගෙන් විමසීය. ඒ එකදු වචනයක්වත් නොපවසා ය.

"ඔවුන් අපේ සම්මතයන්ට හා නීති වලට ගරු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව ඔවුන්ගේ ලොවෙන් වඳවෙලා ගිය ශාක හා සත්වයන් මෙහෙන් අරන් ගිහිල්ලා එහේ නැවතත් ඇතිකරන එක. අධිරාජ්‍යයා අපිව පාලනය කරනවා කියන එකෙන් මම අදහස් කළේ ඔවුන් හා අප අතර අන්තර් ලෝක සම්බන්ධතා ඇතිකර සිටීම හා ඔවුන් සමග ඒ සම්බන්ධය වඩාත් තහවුරු වන ලෙස විවිධ ගනුදෙනු පවත්වා ගෙන යාමයි. එසේ නොමැතිව ඔවුන් රටේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ වීමට උත්සාහ දරයි කියලා මම නම් හිතන්නේ නැහැ." නායක දියබල්ලා සිය අදහස සන්නිවේදනය කළේය.

කොහොම උනත් අපි අපේ පුරාවෘතයේ ඇති අදහස් වලට ගරු කරන්න ඕනේ. මෙවැනි බාහිර ලෝක සම්බන්ධයක් ඇතිවන බව එහි පැහැදිලිව සඳහන් වෙන නිසා මම බලාපොරොත්තු වෙනවා හැමදේම හොදින් සිද්ද වෙයි කියල. පෞරාණිකයා ද ඒ අදහසට එකඟ වෙමින් මද සිනාවක් සැලුවේය. නමුත් මෙම සිදුවීම දියබල්ලන් තුල බියක් නොව උද්යෝගයක් ඇතිකිරීමට හේතුවීම ගැන පෞරාණික දියබල්ලා තුල වුයේ තරමක නොසන්සුන් බවකි. වෙනස සැමවිටම සුභවාදී නොවන බව ඔහුගේ දීර්ඝ ජීවිතය ඔහුට බොහෝ විට ඔප්පු කර තිබුනේය. නමුත් ඔහු සිදුවෙන දෙය සුභවාදිව බලාසිටීමට තීරණය කළේය.

*********************************************

"ඒයි ඔහොම නවතිනවා හෙල්ලෙන්න එපා."

ආදොන් ශබ්දය ආදෙස බැලීය. ගිනි අවියක් අමෝරාගෙන අමුතු ඇඳුමක් ඇඳගෙන ඔවුන් දෙසට එන මේ පුද්ගලයා දෙස සේවකයන් දෙදෙනා බලා සිටියෝය. ඔවුන් දෙදෙනාගේ සිත් කුහුලෙන් පිරී ගියේය.

"උඹලා මොකද මෙහෙ කරන්නේ? දන්නැද්ද මේක අධිආරක්ෂිත රක්ෂිතයක්." සේවකයන්ට ඔහුගේ වදන් නොවැටහුනි.

"කතා කරපල්ලා." ආරක්ෂකයා සිය අවිය හෝදොන් දෙසට එල්ල කර පැවසීය.

"සමාවෙන්න අපි ආවෙ වෙන ලෝකෙකින්. අපිට ඔබව තේරුම් ගන්න බැහැ." හෝදොන් තුවක්කුව ගණනට නොගෙන, ඔවුන්ගේ ක්‍රමයට යටත් යටහත් පහත් ලෙස පැවසීය.

ඇත්තෙන්ම ආරක්ෂකයා අතේ තිබූ මෙම කළු පැහැති උපකරණය පිළිබඳව  ඔව්හු කිසිවක් නොදත්හ.

"මොනවද උඹලා කියන්නේ? ඔය භාෂාව මම දන්නෙ නැහැ. කොහොම උනත් වරෙල්ලා අපේ කුටියට එතනදි මම දැන ගන්නම් උඹල කවුද කියලා." කෝපයට පත් නිලධාරියා සේවකයන් දෙදෙනා ඉදිරියට තල්ලු කරමින් පැවසීය.

"හෝදොන් මෙයා අපට සලකන විදිය නම් එච්චර හොද නැහැ." මේ මිනිස්සු දරුණු ජාතියක් වෙන්න ඕන. අපිට මොනව කරයිද දන්නේ නැහැ." ආදොන් සැකයෙන් මෙන් පැවසීය

"මොනව උනත් ගිහිල්ලා බලමු. මට හිතෙනවා මේ මනුස්සයා එක්තරා විදිහක ආරක්ෂකයෙක් කියලා. සමහරවිට මෙයා අපිව ඒගොල්ලන්ගෙ ප්‍රධානියා  ලගට අරන් යයි. අපි පොඩ්ඩක් ඉවසලා බලමු."

ආරක්ෂකයා ඔවුන් දෙදෙනාව ඔහුගේ කුටිය වෙත රැගෙන ගියේය.

එහි වූ පරිගණකය ක්‍රියාත්මක කරවා මයික්‍රෆෝනය  ඔවුන් වෙත ලංකර, "හ්ම්... දැන් කියනවා…"

කුටිය තුළ වූ අපිළිවෙළ බව සහ ඒ පරිසරයේ වූ නොරුස්නා ගතිය ආදොන් සහ හෝදොන් නොසන්සුන් තාවයට පත් කළේය. කෙසේ වුවත් ඔවුන් ආරක්ෂකයාගේ සිතිවිලි තේරුම් ගෙන මයික්‍රෆෝනය ඉදිරියේ "අපි ආවෙ වෙන ලෝකෙකින්" යැයි පැවසීය.

"හරි පොඩ්ඩක් ඉන්නවා." යැයි පැවසූ ආරක්ෂකයා ඔවුන්ගේ භාෂාව කුමක්දැයි පරිගණකය දෙස බලා හඳුනාගත්තේය.

"තමුසෙලා කතාකරන්නේ  සිංහලනේ.  මම නම් සිංහල දන්නෙ නෑ.  කොහොම උනත් කියන දේ මයික් එකට කියනවා. " ඔවුන් දෙදෙනා දෙස නැවත වරක් හිසේ සිට පාදාන්තය තෙක් බැලු ආරක්ෂකයාට ඔවුන් තුල වූ මින්පෙර කිසි දිනෙක කැලයෙන් හමුවූ මිනිසුන්ගෙන් නොදක්නා ලද ශාන්ත පෙනුමත්,   වටිනා රෙද්දකින් මනාව සැකසු අමුතු ඇඳුමත් නිසා මොවුන් සැබවින්ම කවුද යන සැකයේ සිතිවිල්ල  ඇතිවිය. නමුත් ඒ ගැන වැඩිදුර සිතීමට තරම් උවමනාවක් ඔහුට නොවිය.

ආරක්ෂකයා පැවසූ දෙය හෝදොන්ට සහ ආදොන්ට යන්ත්‍රය මගින් සිය මව් භාෂාවෙන් පැවසිය.

"ඔයාල ගොඩක් දියුණුයි නේ." හෝදොන් මද සිනාවෙන් යුතුව පැවසීය.

"විකාර කතා නෙමෙයි. තමුසෙලා කවුද? මොකටද ආවේ? මොනවද කරන්නේ කියලා ඉක්මනට කියනවා. මට තව වැඩ තියෙනවා."

"අපි සේවකයෝ ." ආදොන් කතාව ආරම්භ කරමින් පැවසීය.

 "හොඳයි.  තමුසෙලා කාගේ සේවකයෝ ද?

ආරක්ෂකයා මැද්දට පැන ඇසුවේය

ඒ ප්‍රශ්නයෙන් සේවකයෝ පුදුම වූහ.  "අපි කාගෙවත් සේවකයෝ නෙමෙයි. සේවකයෝ කියන්නේ අපිට තමයි."   පුදුමයට පත්වූ ආදොන් පැවසීය.

"මොනවද අයිසේ  කියන්නේ.   බොරු කියලා මගෙන් ගැලවෙන්න බෑ.  මම දැන් අවුරුදු දහයක් මේ වැඩේ කරනවා. තමුසෙලා දන්නවනේ අධිආරක්ෂිත රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වුණොත් දඬුවම මරණය. කිසිම සමාවක් නෑ.  මේ ජනගහණය වැඩි වෙලා ඉන්න වෙලාවේ දෙන්නෙක් මැරෙන එකත් ලොකු දෙයක්. ආරක්ෂකයා මුහුණ පුළුටු කරමින් පැවසිය.

සේවකයින් එයින් බොහෝ දේ තේරුම් ගත්තෝය.

"මහත්මයා මේ අහන්න. අපි මේ ලෝකේ අය නෙමෙයි. අපි ආවේ සමාන්තර ලෝකෙකින්.  අපි නොදැනුවත්ව ඔබලා මෙච්චර ආරක්ෂා කරන පූජනීය වෘක්ෂයන්ගෙන් පිරි භූමියකට ඇතුළු වුණේ. ඒ ගැන අපි සමාව ඉල්ලනවා. අපි කැමතියි ඔබලාගේ ප්‍රධානියා හමුවන්න" ඔහු පැවසීය.

එබස් අසා මදක් කැළඹීමට පත් ආරක්ෂකයා හෝදොන් ගේ දෑස් දෙස මොහොතක් බලා සිටියේය.  "සමාන්තර ලෝක? අපිට අඩු දැන් සමාන්තර ලෝක තමා. උඹල දෙන්නා කාගේ කවුරු උනත් අමුතුම විදියකට තමා හැසිරෙන්නේ." ආරුඩ කරගත් කේන්තියකින් යුතුව අසල තිබු දුරකථනය අතට ගෙන "සර් මම මිනිස්සු දෙන්නෙක් අල්ල ගත්තා. ඔවුන්ට ඔබව හමු වෙන්න ඕනෙලු."

"මොන කරදරයක්ද අයිසෙ... දැන්  ටිකකට කලින් දකුණේ එකත් කාවද අල්ලගත්තා කිව්වා. දන්නවනේ කරන්න ඕනෙ දේ. මගෙන් අහන්න දෙයක් නෑනේ. අනිත් එක අද ඉරිදා. අද මගේ නිවාඩු දවස. මට එන්න බැහැ. " ඒ මොහොතේ වෙරි මතින් පසු වූ ප්‍රධානියා පැවසීය. ආරක්ෂකයාට අවශ්‍යය වුයේ වාර්තා පිණිස සිය ප්‍රධානියාට දැන්වීම පමණි.  ලැබෙන උත්තරය ඔහුට කට පාඩම් වී තිබිණි.

ලොක්කට තමුසෙලා ව හම්බවෙන්න එන්න බැහැ ලු. තමුසෙලා මට ඇත්ත කියනවද? නැත්නම් මම මගේ වැඩේ කරන්න ද? මට අණ දීලා තියෙන්නෙ අනවසරයෙන් ඇතුළු වන සියලු දෙනාම මරන්න.

ආරක්ෂකතුමාණෙනි පොඩ්ඩක් ඉවසනු මැන. අපට ඔයාලට උදව් කරන්න පුලුවන්. අපිට පුලුවන් ඔයාලගේ වැඩි වන ජනගහණයට විසඳුමක් දෙන්න. ආදොන් ආරක්ෂකයා දෙස බලා පැවැසීය.

"ඕව කියල වැඩක් නැහැ. ඔය එක එක ජාතියේ බොරු කියලා මාව රවට්ටන්න බැහැ..." වැඩිවෙන ජනගහනෙට විසදුමක් දෙන්න තමා මම මේකට එන එන එකාලට වෙඩි තියන්නේ.  එනවල යන්න….  පැනලා එහෙම යන්න හදන්න එපා.  මගෙන් බේරෙන්න බැහැ."

"හරි පොඩ්ඩක් ඉන්න අපි ඔප්පු කරන්නම් අපි මේ ලෝකෙ නෙමෙයි කියලා." හෝදොන් පැවසීය.

"කොහොමද තමුසෙ ඔප්පු කරන්නේ. ඔය සමාන්තර ලෝක කතා මම අහල තියෙනවා. බොරු කතා."

"අපිට අපි ආපු තැනට ආපහු යන්න පුළුවන් නං අපි ආවෙ වෙන ලෝකෙකින් කියන එක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්."

"මේ යාලුවා තමුසෙට බෑ මාව ගොනාට අන්දන්න. තමුසෙලා කවුරු උනත් මට ප්‍රශ්නයක් නැහැ. නීති කඩ කළොත් මරණය.... එච්චරයි."

"මහත්මයා පොඩ්ඩක් ඉවසන්න. මේක අපි දෙගොල්ලන්ටම ඉතාම වැදගත් දෙයක්." හෝදොන් ඉල්ලා සිටියේය.

"වැඩක් නෑ අයිසෙ. ඔය කතා  අහ අහ මගේ කාලේ නාස්ති කරන්න මට බැහැ. එක එක විදියේ බොරු අහලා මට දැන් ඇති වෙලා. මේ රට අස්සේ සිංහලයොයි, චින්නුයි, කල්ලොයි, බල්ලොයි ඔක්කොම දාගෙන මළ කරදරේ…"

"එනවල යන්න." සිය කුටියෙන් එළියට බහිමින් ආරක්ෂකයා පැවසීය.

"හෝදොන්, කරන්න දෙයක් නැහැ. මේ මනුස්සය අපි කියන දේ තේරුම් ගන්නේ නැහැ. මට හිතෙන විදිහට මේ මිනිස්සු කොහොමත් අපිට හරියන අය නෙමෙයි. මෙයාලා දියුණු වුණාට මෙයාලගේ ගතිගුණ එතරම් හොඳ නැහැ. මේ මනුස්සය අපිව මරන්න කලින් අපි ආපසු යා යුතුයි නැත්නම් දිය බල්ලනුත් අපිට නැති වෙයි." ආදොන් කල්පනාකාරීව පැවසිය.

"මමත් හිතුවේ ඒක තමයි. දිය බල්ලොත් එක්ක බලනකොට මේ මිනිස්සු කොහොමත් නොදියුණු ජාතියක්.  ඒත් කොහොමද අපි දැන් මෙයාගේ ගැලවෙන්නේ." කුටියෙන් එළියට බසිමින් හෝදොන් ඇසුවේය.

පරිගණක  සහාය නොමැති බැවින් ඔවුන් කතා කළ දේ ආරක්ෂකයාට  නොතේරුනේ ය.

"උඹල දෙන්න කතා කරන්නේ පැනලා යන එක ගැන නම් ඒක බොහොම නිශ්ඵල දෙයක්.  මොකද මේ තුවක්කුවෙන් බේරෙන්න බැහැ. මම තරම් දක්ෂ වෙඩික්කාරයෙක් මුළු කැලෑ ආරක්ෂක සේවයේම නැහැ.  ගිය අවුරුද්දේ හොදම වෙඩි තබන්නාට හිමි පදක්කම හම්බුනෙත් මට. සිය ඇඳුමේ වූ පිත්තල කැබැල්ල දෙස බලමින් ආරක්ෂකයා උජාරුවෙන් පැවසීය.  ඒක නිසා උඹ පැනලා යන්න හදන්නේ නැතිව ගෞරවාන්විත විදිහට මැරියන්. මේ ලෝකෙට දැන් කරන්න පුළුවන් ලොකුම සේවය තමයි ඉක්මනට මැරෙන එක."  ආරක්ෂකයා අවඥාවෙන් පැවසීය.

ඔහුගේ මේ වදන් සේවකයන් දෙදෙනාට නොතේරුන නමුත් තවදුරටත් ඔහුට සවන් දීමට ඔවුන් දෙදෙනා තුළ කිසිදු අවශ්‍යතාවක් නොතිබිණි.

"හෝදොන් මතකනේ "මික්ස් කික්".  මෙයාට දෙකක් දුන්න ගමන් අපිට ගැලවෙන්න පුළුවන්." ආදොන් සිය මුතුන්මිත්තන්ගෙන් ලැබුණු කුඩා කල සිය ඉගෙනුම් හල් වලදී ඉගෙනගත් සටන් ක්‍රමය සිය මිතුරාට මතක් කළේය.

ඔවුන් මෙය අත්හදා බලන්න ප්‍රථම අවස්ථාව මෙයයි මීට පෙර ඔවුන්ගේ ලෝකයේ දී කිසිදු අවස්ථාවක මෙවැනි අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති නොවුණි.

ගස්වැල් පිරුණු පරිසරය දෙස බැලූ ඔවුනට මේ ලෝකය කෙරෙහි ආදරයක් ඇති වුවද, මේ අකාරුණික මිනිසාගේ ස්වභාවය දෙස කල්පනා කරන විට ඇති වූයේ කලකිරීමකි. ආයුධයක්  උලුප්පාගෙන පිටුපසින් එන මේ මිනිසාගේ ක්‍රියාව නිසා සමස්ත ලෝකය පිළිබඳව තීරණය ගැනීම හරිද වැරදිද යන්න පිළිබඳව ඔවුන් තුළ ගැටළුවක් ඇති වුවද මේ ලෝකය මුහුණ පා ඇති අර්බුදකාරී ස්වභාවය නිසා සාමකාමී සම්බන්ධයක් ගොඩනගා ගැනීම අපහසු වනු ඇතැයි ඔවුන් දෙදෙනාටම තේරුම් ගියේය. වනයෙන් එපිට අහස උසට නැගුණු ගොඩනැගිලි  තුලින් ඔවුන් දුටුවේ අසහනය මිස සාමකාමී සංතෘප්ත බවක් නොවේ.

ඔවුන් දෙදෙනාට තීරණයක් ගැනීමට මේ මිනිසා සහ ඈත පෙනෙන අසන්තෘප්ත පරිසරය ප්‍රමාණවත් විය.

ඔවුන් දෙදෙනා වට පිට බලනු දුටු ආරක්ෂකයා පිටුපසින් පැමිණ දෙදෙනාව ඉදිරියට තල්ලු කළේය.  පියවර කිහිපයක් ඉදිරියෙන් තිබූ හිස් බිම වෙතට පැමිණි සැනින්

"හෝදොන් දැන්" යැයි ආදොන් සංඥාව දුන්නේ ය.

අසුරු සැනින් ආපසු හැරුණු ඔවුන් දෙදෙනා අහසට පැන අඩ වටයක් කැරකී දුන් පා පහරින් අන්දමන්ද වී ගිය ආරක්ෂකයා සෑහෙන කාලයකට නැවත නොනැගිටින  ලෙස වැදහොත්තේය.

"අපිට සමාවෙන්න යාලුවා. අපි ඔබත් එක්ක තරහා නැහැ. අපි ඔයාට ගරු කරනවා ඒ තමන්ට ලැබෙන අණ අකුරටම පිළිපදින නිසා, නමුත් ඔයාගේ ලෝකය අපිට ගැළපෙන්නෙ නැහැ. මේ විශ්වයේ තවත් හොඳ මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. 


***************************************

සේවකයන්ගෙන් ලොවෙහි දර්ශන පුවරුවකින් අප ජීවත්වන සමාන්තර ලොවේ සංඛ්‍යාතයන් සදහටම මැකී ගියේය.


නිමි 

14 comments:

  1. ඈග්...උන් සිංහලද කතා කරන්නේ..??

    එහෙනම් අපේ කට්ටිය මෙි විශ්වයේ හැම තැනම ඉන්නවා වගේ...

    එතාකාට අර දිය බල්ලන්ගෙ⁣් ලෝකයට මමක්කැයි වෙන්නෙ???

    ReplyDelete
    Replies
    1. සමාන්තර ලෝකනේ... සිංහල තියෙන්න පුළුවන් හෙහ් හෙහ්

      දියබල්ලන්ගේ ලෝකේ ඉතින් අවුලක් වෙන එකක් නෑනේ.. එයාල බොහොම සමගියෙන් සහයෝගෙන් කටයුතු කරන්න කැමතියි නේ.. හෙහ් හෙහ්

      කිසි ගතියක් නෑ වගේ නේද? මොකක් හරි අවුලක් නැතිව.. හෙහ් හෙහ්

      Delete
    2. https://en.wikipedia.org/wiki/Sinhala_Hound

      No Sinhala otters though.

      Delete
    3. හෙහ් හෙහ් දිය බල්ලෝද මනුෂ්‍යයෝය... සමාන්තර ලෝක වල මනුස්ස කියන්නේ දියබල්ලන්ට වෙන්ඩත් පුළුවන්.. otters කියන්නේ මනුස්ස වෙන්ඩත් පුළුවන්.. සිංහල සමාන්තර ලෝක ඕනේ තරම් තියෙනවා. කීයක් ඔට්ටුද? හොයා ගත්තු දාක බලමු.

      Delete
  2. සමාන්තර ලෝක. එව්ව අපිට වැඩක් නෑ ඩෝ. සිංහලෙන් කතා කරා නං ඔලු කට්ට පුපුරන්න දෙන්ඩ තිබ්බේ. හැක්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉඳපන් අධිකරණයෙන් තීන්දුව ආපු ගමන් අපි සිංහල ජනතාව රැකගන්නවා. විදේශ බලවේග පරාජය කරනවා.

      Delete
  3. //....humans, having made land uninhabitable, choose sea otters as their successors and, to help them evolve, erect beach monoliths bearing all knowledge condensed to equations.//



    https://books.google.lk/books?id=M9nPQonygUsC&pg=PA214&lpg=PA214&dq=short+science+fiction+story+otters+monoliths&source=bl&ots=F5ITjKWi0U&sig=gV7tB_ORh5fTWcASPpwYPasJKqw&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=short%20science%20fiction%20story%20otters%20monoliths&f=false

    ReplyDelete
  4. පළවෙනි කොටසේ තිබ්බ ආතල් එක දෙවැනි කොටසෙන් හබක් උනා වගේ දැනෙන්නේ මට නම්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්, මට කතාව වෙනස් කරන්නත් හිතුනා මේ කොටස ලියද්දි.. මේක ඉස්කෝලේ කාලේ ලියපු එකක් කියල දාපු නිසා දැන් මගේ අදහස් වලින් වෙනස් කරන එක හරි නෑනේ... හෙහ් හෙහ්..

      මේවා ඉතින් කැමති කැමති විදියට ඉවර කරන්න පුළුවන් නේ.. මේක එච්චර ගතියක් නැති විදියක්... හෙහ් හෙහ්

      Delete
  5. ඔය සිංහල කියන ජාතිවාදී මනුස්ස කොට්ටාසෙ වැඩ ඔහොමමයි. බලහං අර කැලේට හොරෙන් ඇතුල් උනා මදිවට බලාගන්න හටපු එකාටත් නෙලල නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. සමාන්තර ලෝක කියල නෑ... කොහේ ගියත් අපි අපේ අනන්‍යතාව රකින සේස්ට ජාතියක් නේ බන්..

      Delete
  6. කොච්චර දිග උනත් කොටස් දෙකම කියෙව්වා . කාලෙකට පස්සේ තමයි මේ තරම් දිග බ්ලොග් පෝස්ට් එකක් කියවන්න ලැබුනේ . පැතුම් දිගටම ලියන්න ඕනි කෙනක් . ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලක් අයියා... කම්මැලි කම තමා ඉතින් ලිවීමට තියෙන එකම බාදාව...

      Delete