Wednesday, June 27, 2018

බාලි සංචාරය - 2



පසුගිය කොටසින් බාලි නගරය ගැන පොඩි හැඳින්වීමක් කලානේ. අද අපේ බාලි අත්දැකීම් ටිකක් ලියන්නම්. අපි දෙන්නා බාලි ගියේ පසුගියදා යෙදිච්ච Hari Raya Aidilfitri නිවාඩුවට. බහුතර මුස්ලිම් රටක් වෙච්ච මැලේසියාවේ මිනිස්සුන්ගේ අවුරුදු කාලය තමයි මේ Hari Raya සමය. ලංකාවේදී මම මේ Hari Raya කියන වචනය දැනගෙන හිටියේ නෑ... ලංකාවේදී අපි මුස්ලිම් අවුරුද්ද හඳුන්වන්නේ වෙන විදියකටනේ. Hari Raya කියන්නේ festival of breaking of the fast කියන අදහස. අපි උත්සවයට කලින් දවසේ රෑ තමයි බාලි වලට ගියේ.

බාලි එයාර්පෝට් එකේ කටයුතු ඉවර වෙලා හොටෙල් එකට යද්දී රෑ 9.00 විතර වෙලා හින්ද එදා දවසේ මොකුත් කරන්න දෙයක් තිබුනේ නෑ. අපේ හොටෙල් එක තිබුනේ Sanur කියන ප්‍රදේශයේ නමුත් වෙරළ කිට්ටුව නෙවෙයි. ටිකක් ඇතුලකට වෙන්න තිබ්බ හොටෙල් එක ප්‍රියමනාප තැනක් වුනාට රෑ වෙනකොට වටපිටාව පාලු බවක් තිබුනේ. අපි දෙන්නට රෑට කන්න කඩයක් හොයා ගන්නත් පොඩි රස්තියාදුවක් ගහන්න වුනා. අන්තිමට ලංකාවේ තියෙන පොඩි රෑ කඩයක් වගේ පුංචි තැනකින් රෑට කන්න දෙයක් අරගෙන හොටෙල් එකට ඇවිල්ලා නිදා ගත්තේ පහුවදා උදේ 6.30ට විතර මෙහෙ සංචාරකයින් අතර ප්‍රසිද්ධ වෙච්ච Nusa Penida කියන දුපතට යෑම පිණිස Sanur වෙරළට යාමට බලාපොරොත්තුවෙන්. 

මම මෙහෙන් යන්න කලින් බාලි වල සංචාරක මගපෙන්වන්නෙක් සමග පොඩ්ඩක් කතා බහ කරගෙන අපේ ගමන කලින් සුදානම් කරගෙන හිටියේ. නමුත් ඕනෑම හොටෙල් එකකින් අපිට ඉතා පහසුවෙන් එවැනි ගමන් සුදානම් කරගන්න පුළුවන්. මේ මනුස්සය ගැන මම වෙනත් බ්ලොග් අඩවියක හොඳ රෙකමදාරුවක් දැක්ක නිසා මිනිහව සෙට් කරගත්තා. නමුත් පස්සේ මට තේරුනා හොටෙල් වලින් වඩා පහසුවෙන් ඒ වැඩ කරගන්න පුළුවන් කියන එක. නමුත් අන්තිම මොහෙතේ ටුවර් බුක් කරන එක අවදානම් වැඩක්. විශේෂයෙන් ඔය වගේ නිවාඩු දවස් වල යන කොට. 

උදේ පාන්දර 6.30 වෙද්දී මේ මනුස්සය හොටෙල් එකට ඇවිල්ල අපිව අරගෙන Sanur වෙරළට අරන් ගියා. 7 පහුවෙද්දී වගේම අපි වෙරළට ගියත් ඒ වෙනකොටත් දුපතට යාමට ඇති අධිවේගී බෝට්ටු වලට නැගීමට ඉතා විශාල පිරිසක් වෙරළේ හිටියා. 

මේ තියෙන්නේ එදා උදේ 7.15 -7.30 වෙද්දී වෙරළේ තත්වය.
නිවාඩුව පටන් ගන්න දවස නිසා අධික සෙනගක්

මේ තියෙන්නේ ටිකට් කවුන්ටර්


අපි දෙන්නව තව කෙනෙකුට බාර දුන්න අපේ ගයිඩ් වාහනේ පාක් කරලා එන්නම් කියල ගියා. ඒ මනුස්සය තමා අපිව දුපතට එක්කන් යන කටයුත්ත බාරව හිටියේ. අපේ දුපත් සංචාරයට අදාළ සම්පුර්ණ මුදල් ගෙව්වට පස්සේ අපිට තිබ්බේ පැත්තකට වෙලා ඉන්න.  හොටෙල් එකේ ඉඳල එක්කගෙන ඇවිල්ල, අපි එකග වෙච්ච තැන් ඔක්කොම පෙන්නලා, දවල් කෑම සහිතව නැවත හවස හොටෙල් එකට ගෙනත් බැස්සවීම තමා සාමාන්‍ය පැකේජ් එක.  අපි සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මිලියන වලින්ම දෙකක් විතර ගෙව්වා. ඉතින් අපි දෙන්නා මේ සෙනග දිහා පැත්තකට වෙලා බලං ඉන්නවා. කට්ටි කට්ටි ටික ටික යනවා නමුත් අපිව එක්කන් යන පාටක් නෑ... ඔහොම ටිකක් ඉන්නකොට අර ගයිඩ් කාරයා අපහු ආවා. ඇවිල්ල අපිට කිව්වා අද අධික සෙනග දවසක් හින්දා උදේ 7.30ට පිටවෙන බෝට්ටු වල අපිට යන්න වෙන්නේ නෑ... යනකොට කොහොමත් 9.00 විතර වෙයි කියල... ඉතින් මොකද කරන්නේ කියල අපි දෙන්න පොඩි තාප්ප කැල්ලක් උඩට වෙලා හිටිය බලාගෙන..

පැකේජ් එකක් වශයෙන් මේ ගමන් යන්නේ නැතුව ඕනනම් තමන්ටම ගිහින් ටිකට් අරන් බෝට්ටුවේ යන්න පුළුවන්. බාලි සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධ පොඩි මොටර්සයිකලයක් අඩු ගානකට කුලියට අරගෙන ඕනේ තැනක ඇවිදින්න පුළුවන්. දුපත පුරා එහෙම බයික් වල යන සංචාරකයින් ඉන්නවා. බාලි නගරයේත් ඒ වගේ. නමුත් ඉතින් අවු වැසි කරදර සහ අතරමග බයික් වල එන ලෙඩ, පොලිස් ප්‍රශ්න ආදියට මුහුණ දෙන්න වෙනවා. අපි ඉතින් ඔය කටු ආයේ අමුතුවෙන් කන්නේ මොකටද කියල සැපට යන්න ටුවර් එකක් බුක් කළා. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යයි මේ විදියට බයික් අරන් යන්න නම්.


ඔහොම පැයක් විතර යද්දී අර අපිව ගයිඩ් කාරය ෂේප් එකේ යන්න ගියා. ඊට පස්සේ අර අපිව බාර දුන්න මනුස්සය අවුරුදු 16-17ක වගේ ළමයෙක් පෙන්නලා මෙන්න මෙයා ඔයාලව එක්කන් යයි, හැමදේම මෙයා බලා ගනියි කියල තව ළමයෙක්ව සෙට් කළා. සල්ලිත් ගෙවල ඉවර හින්ද ඉතින් කියන දෙයක් අහගෙන ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද කියල අපි ඔහේ හිටියා. මේ වෙද්දී හිටපු සෙනග ටිකෙන් ටික බෝට්ටුවල නැගල යන්න ගිහින්. අපේ කණ්ඩායමේ තව කට්ටියක් එනකම් ඉන්නවා කියල අර මනුස්සය ඒ සැරේ කිව්වා. තවත් ටික වෙලාවකින් මෙන්න සුද්දෝ සෙට් එකක් ඇවිල්ලා  උන් උදේට කන්න කඩේකට සෙට් වුනා. අපි දෙන්න උදේ පාන්දර ආපු හින්ද හරි කෑමකුත් නෑ.. හැබැයි ඉතින් කඩේකින් අරං බනිස් ගෙඩි දෙකතුනක් කාපු හින්ද හරි හමන් උදේ කෑමක් නැති වුනත් බඩගින්නක් තිබුනෙත් නෑ.. කොහොම කොහොම හරි 9 විතර වෙද්දී අපි කණ්ඩායම ගියා වෙරළේ බෝට්ටු නතර කරන පැත්තට...


මේ තියෙන්නේ වෙරළ


මේ තියෙන්නේ ස්පීඩ් බෝට්ටු සහ මිනිසුන් බෝට්ටුවට ගොඩවෙන හැටි.


මේ බෝට්ටු එන්ජින් 5-6ක් සහිත වේගවත් යාත්‍රා. වෙරළට ආවට පස්සේ බෝට්ටුවට නගින එක අමාරු වැඩක්. මොකද මෙතන ජැටියක් නෑ. බෝට්ටුවට ඇතුල්වෙන්න තිබුනේ බෝට්ටුව පිටුපසින් එන්ජින් හයිකරලා තියෙන තැනින්ම පැත්තකට වෙන්න. වැඩේ අමාරු වෙන්නේ රළ ගහනකොට බෝට්ටුව පැද්දෙන නිසා නගින්න බෑ... එක රළක් ඇවිල්ලා ගියාට පස්සේ අනිත් එක එන්න කලින් ටක් ගාල නැග ගන්න ඕනේ.

වෙරලෙත් තව විනාඩි 20ක් විතර රස්තියාදු වෙලා කොහොම කොහොම හරි අපිත් බෝට්ටුවකට නැග ගත්තා. බෝට්ටුව ගොඩට ආවට පස්සේ වෙරළේ හයි කරලා තියෙන කඹ දෙකකින් බඳිනවා හෙලවෙන එක නතර කරන්න. බෝට්ටුවට නගින්න ගිහින් බට්ටි නගාගෙ කකුල ඔය කඹේකට අහුවෙලා සිරුනා. නගින්න ගිහින් මගේ රාජකීය බාටා යුවලෙන් එක බාටාවක් මුහුදට වැටුනා. එතන තිබ්බ කලබලේ හින්ද වැටුන සෙරෙප්පුව ආපහු ගන්න විදියක් තිබුනේ නෑ... බෝට්ටුවට නගින්න මිනිස්සු කාපු කටු දැක්කම අපිට ඒ හැටි අලාභයක් වුනේ නෑනේ කියල හිත හදාගෙන, හවස් වෙලා අයේ ආවම ඒ වෙද්දී වෙරළට ගහගෙන ගිහින් තිබ්බ මගේ අසරණ බාටා කකුල නැවත ගන්න බලාපොරොත්තුවෙන් අපි බෝට්ටුවේ නැගල යන්තම් දුපතට ආවා.

බට්ටි නගාගෙ කකුල සෑහෙන ප්‍රමාණයක් හීරිලා තිබ්බ නිසා ආපු ගමන් මොනවා හරි බෙහෙතක් හොයා ගන්න බැලුවත් කඩයක්වත් තිබුනේ නෑ.. හැබැයි අපිව දුපතේ ඇතුලේ එක්කන් යන්න ඒ වෙද්දීත් ඇවිල්ල තිබ්බ Toyota Avanza රථයේ වෙලාවට First Aid කිට් එකක් තිබුනා. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳුනා. මම තනි කකුලට අසරණ බාටාව දාගෙන ගමන යන්න පිටත් වුනා.

මේ වෙද්දී අපිත් එක්ක ආපු සුද්දෝ සෙට් එක තව වෑන් එකකට නැගල හිටියේ.  කොහොම හරි පැය 1/2 ක් විතර දුපත ඇතුලේ යද්දී අපේ වාහනේ නවත්තල අපේ අසරණ ගයිඩ් ළමය ඇහුවා අපේ වාහනේට තව 3න් දෙනෙක් ආවට කමක් නැද්ද කියල. 7 සීටර් එකක් නිසා අපිට ඉතින් ඒකෙ අවුලක් තිබුනේ නෑ... තරුණ ලස්සන සුදු ගෑනු ළමයි දෙන්නෙකුයි තව කොලුගැටයෙකුයි අපේ වාහනේට ගොඩ උනා. දැන් ඉතින් ඔහොම තවත් විනාඩි 20ක් විතර ගමනේ ගියා. පාරවල් ඉතින් ලංකාවේ පාරවල් වගේ... අලි නාවන්න පුළුවන් වලවල් එක්ක ගැස්සෙමින් පැද්දෙමින් ගමන යද්දී මෙන්න එකපාරටම වෑන් එක නතර කළා. මොකටද තෙල් පොඩ්ඩක් දා ගන්න.

මෙන්න මෙහෙමයි වාහනේට තෙල් දැම්මේ...


ඔය ඉන්නේ අපේ ගයිඩ් ළමයා.


මේ තියෙන්නේ තෙල් ගත්තු කඩේ

තනිකර ලංකාව වගේම තමා.


ඔය කඩේට ටිකක් එහායින් තිබ්බ කඩේක සෙරෙප්පු තියෙනවා දැකල මම දඩබඩ ගාල දුවල ගිහින් තව සෙරෙප්පු කුට්ටමකුත් ගත්තා. වැඩි ගානක් වුනේ නෑ 25,000යි.

ඊට පස්සේ ගමන පටන් අරන් තව කොහොම හරි පැය 1/2ක් විනාඩි 45කට විතර පස්සේ ඔන්න අපේ එක නැවතුමකට ආවා.  අපිත් එක්ක හිටපු සුද්දෝ ටික ඉතාලි ජාතිකයෝ කියල යන අතරේ දැන ගත්තා.


මෙතන ඉඳල බලපු ටික ෆොටෝ වලින්ම බලන්න


සොබා දහමේ අපූරු නිර්මාණයක්. පුදුම ලස්සන තැනක්


මෙතෙන්ට කියන්නේ Kelingking Secret Point නැත්නම් KelingKing Beach. 




පහල තියෙන වීඩියෝ වලින් තව දුරටත් බලා ගන්න පුළුවන් කැමති කෙනෙකුට


මෙතන මේ අට්ටාලයක් වගේ එකක් හදල තියෙනවා. පහල බෑවුම දිහා බලන්න. මේ තියෙන්නේ එකේ ඉඳල ගත්තු වීඩියෝ එකක්. දිරච්ච උන බටවලින් හදපු අට්ටාලයක්.



මෙතන ඉතින් ෆොටෝ අල්ලලා වට පිට බල බල ඉන්නකොට ගයිඩ් ළමය ඇවිල්ල කිව්වා දැන් යන්න ඕනේ පරක්කු වෙනවා කියල. මොකද අපි පිටත් වුනේ පරක්කු වෙලා නිසා හවස ආපහු Sanur වලට යන ස්පීඩ් බෝට් යන වෙලාවට අපිට වෙරළේ ඉන්නේ සිද්ද වුනා. ඉතින් හැමදේම ටිකක් කලබලෙන් බලන්න වුනා.


අපිව කලින් එක්කන් ආපු ගයිඩ් ළමයා ගිහින් අපේ එකේ ආපු සුද්දෝ ටිකත් හොයාගෙන ආවා.

මේ ඉන්නේ ඒ සෙට් එක.

ඔය ඉස්සරහින් ඉන්නේ වාහනේ ඩයිබර්.

ඊට පස්සේ තවත් කැඩුණු පාරක් දිකේ විනාඩි 20ක් විතර ගිහින් Broken Beach කියල තව තැනකට ගියා. එතන අතන තරම් ලස්සන නැති වුනත් ලස්සන තැනක්

මේ තියෙන්නේ Broken Beach






ඒ හැටි ගතයුතු දෙයක් එතන නැති වුනත් මුහුද හරි ලස්සනයි. එතනත් තව ෆොටෝ ටිකක් අල්ලලා අපි ඉකමනට දවල් කෑමට ආවා. ඒ වෙද්දී වෙලාව හවස 2.30 විතර වෙලා


කෑම කන ගමන් සුද්දෝ ටිකත් එක්ක කතාවට වැටුනා. එයාල ඉතාලියේ මිලාන් නගරයේ ෆැෂන් ඩිසයින් ඉගෙන ගන්න ළමයි ටිකක්. අවුරුදු 18-20 වගේ. එක ළමයෙක් සිසිලි කියන පැත්තේ අනිත් ළමයි දෙන්න නේපල්ස් ද කොහෙද කියන පළාතේ.  Buddha Bar කියල ගහපු ටී ෂර්ට් එකක් ඇඳගෙන නවගුණ වැලක් කරේ දාගෙන හිටපු ඒ තරුණයාගෙන් මම ඇහුවා බුද්ධාගමේද කියල. ඔවුන් කතෝලික. නමුත් කොල්ලාගේ පෙම්වතිය විය හැකියැයි අපි සැක කල තරුණිය කිව්වා ඔවුන් බුද්ධාගමේ වුනා නම් කැමතියි කියල. මොකද ඔවුන් බුද්ධාගමට කැමති නිසා. ආගම් ගැන වැඩි දුර කතා නොකර රට ගැනයි, මිලාන් වල ෆැෂන් ගැනයි කතා කර කර කාලා බීලා එලියට බැස්ස අපේ ඊළඟ නවතුව වෙච්ච ක්‍රිස්ටල් බීච් කියන තැනට යන්න. එතන නාන්න තමා ප්ලෑන් එක තිබුනේ.

තවත් දුෂ්කර ගමනකට පස්සේ කුණු පිරිච්ච කළු වැලි තියෙන කසි කබල් මුහුදු වෙරළකට එක්කන් ගියා ඔන්න එහෙනම් නාගනිල්ලා කියල. 

ඒ බීච් එකට වඩා ගෝල්පේස් බීච් එක ලක්ෂවාරයක් හොඳ හින්දා එතන ෆොටෝ ගහන්න ගියේ නෑ.. හැබැයි ඒ වෙලාවේ තිබ්බ රස්නෙත් එක්ක මම නම් ඕනේ ජරාවක් කියල මුහුදට පැන්න. නාපු එකේ නම් කිසි ආතල් එකක් නෑ... කළු වැලි තියෙන වෙරලක් නිසා පිරිසිදු ගතියක් දැනෙන්නේ නෑ.. මුහුදත් කුණු රොඩු බහුලව තියෙන අපිරිසිදු තැනක්.

එතනින් ගොඩ වෙලා කොහොම හරි ඉර බැහැගෙන යද්දී ආපහු Sanur වලට යන බෝට්ටුවට ගොඩවෙන්න අපි වෙරළට ආවා...

ආපසු ගමනේදී තව හොඳ අත්දැකීමක් ලැබුණා. බෝට්ටුවට ගොඩ වුනාම අපේ ගයිඩ් ළමය ඇහුවා තට්ටු දෙකකින් යුතු මේ බෝට්ටුවල උඩ තට්ටුවේ ඉස්සර යන්න කැමතිද කියල. අපිත් ඉතින් එක පයින් හා කියල බෝට්ටුවේ වහල උඩට නැගල ඉස්සරහීන් වාඩි වෙලා අපුරු සන්සෙට් එකක් බලබල, මුහුදු හුලං සහ මුහුදු රළ පහරේ සුවය විඳගෙන කළුවර වැටෙනකොට ආපහු ආවා.

මේ තියෙන්නේ ආපසු ගමන


එද්දී බෝට්ටුවේ වහලේ උඩ ආපු හින්දා බහිද්දී නියම ඇඩ්වෙන්චර් එකක් තිබ්බා රළපහරට ගැස්සෙන බෝට්ටුවෙන් බැහැ ගන්න එක. හෙහ් හෙහ්... යන්තම් කරදරයක් නැතුව බෝට්ටුවෙන් බැහැගෙන, අපිව එක්කන් යන්න ඇවිල්ල තිබ්බ වෑන් එකෙන් ආපසු හෝටලය වෙත පිටත් වුනා.

ආපහු එද්දී ගන්න හිතාගෙන හිටපු මගේ රාජකීය බාටා කකුල හොයා ගන්න බැරි වුනා මොකද බෝට්ටු ආපහු ආවේ අපි නැගපු තැනට නෙවෙයි. කළුවර වැටිලා තිබ්බ හින්දා ඔය සෙරෙප්පු කකුල හොයන්න ආපහු ගියේ නෑ...

ඉතාලි යහළුවන්ගෙන් සමු අරන් අපි දෙන්නා හොටෙල් එකට එද්දී හොඳටම රෑ වෙලා. 

පහුවදා ගිය ටුවර් එකේ විස්තරයි බාලි නගරයේ සහ බාලි මිනිසුන් ගැන විස්තරත් එක්ක තව කොටසක් ලියන්නම්කෝ...


23 comments:

  1. මොන රෙද්දක්ද පටන් ගත්ත තැන ඉදල ඉවර වෙන්කම්ම බාටා එක ගැන.. හැක්.

    ඔච්චර කට්ටක් කාගෙන ගියත් අවුලක් නෑ බඩ පිරෙනවා වතුර ටිකයි පිහිටීමයි දැක්කම.

    ReplyDelete
    Replies
    1. දුර රටකදී බාටා දෙකක් නැති වෙනේ එකේ දුක මෙහෙම ලියල ඉවර කරන්ඩ බෑ මහත්තයෝ... හෙහ් හෙහ්

      උඹලට තේරෙන්නේ නෑ මේවා..

      දේශා youtube එකේ බලපන්. Drone වලින් ගත්ත සිරා වීඩියෝ තියෙනවා ඔය ප්ලේස් එකේ.. අපිත් youtube දැකල තමා ඔය තැන ගැන දැන ගත්තේ...

      Delete
    2. විසි පන්දාහකට පෙරේත වෙන්න එපා බං.. හැක්

      Delete
    3. යකෝ ලක්ස 25ක් දීලාවත් ඩොට් ඩොට් බාටා දෙකක් ගන්ඩ නෑ මෙහෙ. අනිත් ජාති දැම්මට කිසි ගතියක් නෑ..

      Delete
  2. කුණු පිරිච්ච මුහුදු වෙරලක නාන්න ඔච්චර දුක් විඳගෙන මිලියන ගණනං වියදං කරගෙන යන්න ඕනැයි. උඹට ලංකාවට ආව වෙලාවෙ කොළඹ තියෙන කුණු ඇලක නොමිලෙම ඔය වැඩේ කරගන්න තිබ්බ. හැක්..

    පළවෙනි ප්ලේස් එකනං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. කුණු පිරිච්ච මුහුදු වෙරලේ නම ක්‍රිස්ටල් බීච්... හෙහ් හෙහ්...

      කුණු බීච් වල නාන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවද මන්ද... හෙහ් හෙහ්

      ගිහින් බලන්න වටින තැනක්. එතන පහල බීච් එකට යන්න අඩි පාරක් තිබුනා. අපිට තිබ්බ වෙලාවේ ප්‍රශ්නේ හින්ද යන්න විදියක් තිබුනේ නෑ...

      Delete
  3. ගිය ආත්මේ බාටා දෙකක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. පතාගෙන ආපු එකක්...

      Delete
  4. ඉංදියාවේ මුම්බායි වල ජූහි බීච් ගිය වෙලාවේ මටත් ඔහොම හිතුන.. මේ මොන ලබ්බක්ද අපේ ගෝල්පේස් බීච් එක මිට වඩා කොච්චර ලස්සනද කියල...හැක්. ට්‍රින්කෝ බිච් ගැන පෝස්ට් එකක් දාන්න ඕනි. :D

    ReplyDelete
    Replies
    1. [ට්‍රින්කෝ බිච් ගැන පෝස්ට් එකක් දාන්න ඕනි.]

      මේ සියවස ඇතුලත දාන්න බලාපොරොත්තුවක් තියෙනවද?

      Delete
  5. https://www.quora.com/Does-Bali-province-of-Indonesia-derive-its-name-from-the-King-of-Kishkindha-mentioned-in-Ramayana

    ReplyDelete
    Replies
    1. බාලිවල තියෙන හිංදු බලපෑම ඉන්දියාවට මෙච්චර කිට්ටුවෙන් තියෙන අපිට වඩා සෑහෙන වෙනස්. අපිට මහාභාරත් කියන්නේ නිකන් කතාවක් විතරයි. හැබැයි ඒ මිනිස්සු සෑහෙන්න මහාභාරත් කතාවේ එන චරිත අදහනවා.

      Denpasar ගුවන්තොටුපල පාස් වෙනකොටම තියෙන මේ නිර්මාණය හොඳ උදාහරණයක්..

      https://www.enidhi.net/2017/11/ghatotkacha-karna-war-statue-near-denpasar-airport-bali.html


      මේකේ ඉන්නේ මහාභාරත් කතාවේ එන Ghatotkacha කියල චරිතයක්. ඒ චරිතය ලංකාවේ අපි දන්නේ නෑ...

      හොයල බලන්න වටින ඉතිහාසයක් බාලි වලට තියෙනවා මට හිතෙන්නේ..

      Delete
  6. මමත් මේ අවුරුද්දේ යන්නේ හිතාගෙන ඉන්නේ බාලි පැත්තේ. රෙකමන්ඩ් කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි, බාලි හොඳයි. හැබැයි දවස් 4ක් වත් ඉන්න බලාගෙන යන්න නැත්නම් වැඩක් නෑ කියල හිතෙනවා. පරිසරය ලංකාවම තමා.අලුත් දෙයක් නෑ.. හැබැයි කරන්න දේවල් තියෙනවා. ටිකක් වියදම් කරන්න පුළුවන් නම් අනිත් රටවලට සාපේක්ෂව වැඩි දෙයක් කරන්න පුළුවන්.

      උදාහරණයක් විදියට surfing පැයක් උගන්නල පැයක් අපිට තනියම කරන්න රුපියල් වලින් නම් 2500k විතර, පැයක දෙහෙක මසාජ් එකක් දාන්න පුළුවන් රුපියල් 1000ට අඩුවෙන්..
      අන්න ඒ වගේ

      දුපත් කීපයක් තියෙනවා snorkeling,diving වගේ කරනවානම් ඒවාට ඉතින් වෙනම දවසක්වත් ඕනේ

      Delete
  7. සුන්දර අත්දැකීමක් කියල පේනව. ලංකාවට ගොඩක් සමාන වටපිටාවත් විශේෂයි.

    ReplyDelete
    Replies
    1. තව කොටසක් තියෙනවා. තව විස්තර ටිකක් ලියන්නම්
      ලංකාව වගේම තමා පරිසරය නම්

      Delete
  8. බාලි
    දූපත් තියෙන්නේ ඉන්දුනීසියාවේ නෙවිද ?

    ReplyDelete
    Replies
    1. ඉන්දුනීසියාවට තමා අයිති. ඉන්දුනීසියාවේ ආණ්ඩුව යටතේ තමා පාලනය වෙන්නේ. බාලි වල බහුතරය හිංදු. ඉන්දුනීසියාවේ ඉතිරි කොටස් බහුතරය මුස්ලිම්. ඒක තමා වෙනස

      Delete
  9. ස්තුතියි, බාලි එක්ක ගියාට!

    ReplyDelete
    Replies
    1. තව කොටසක් තියෙනවා. ආයේ එන්න

      Delete
  10. ලංකාවේ rs1000 බාලි වල කියක් වේනවද..මට විස්තර ටිකක් දැනගන්න පුලුවන් කොහොමද????

    ReplyDelete