Tuesday, March 24, 2015

Toastmasters ලාගේ පබ්ලික් ස්පිකින්

     වේදිකාවක් උඩ නැගල කතාවක් කරන්න කොච්චර පුරුෂ මෙව්වා එකක් (ගෑනු අයට නම් මොනවා තියෙන්න ඕනේ ද කියල මම දන්නේ නෑ) ඕනේ ද කියල ඔය බැරි වෙලා හරි එහෙම කතා කරපු අය දන්නවා ඇති.

       ඔන්න කතාවක් කරන්න ඕනේ කියල සෙට් වෙද්දී මුලින් ම හිතෙනවා ආ ඕක මොකක් ද ... ඔය දන්න ටික කියල දාන එක නේ කියල පොර වගේ ලැස්ති වෙලා, විස්තර හොයාගෙන ඇට්ටි හැලෙන්න දෙන්නම් කියල ඉන්නවා. සුපුරුදු පරිදි ඉතින් ඕනෙම දෙක අන්තිම මොහොත එනකම් ආතල් එකේ ඉඳල ඔන්න ටිකෙන් ටික උඩට නගින්න වෙලාව එනකොට හාට් එකේ ලබ් ඩබ් සද්දේ එළියටත් ඇහෙන්න පටන් අරන් හීනියට දාඩිය දාගෙන එනවා. මේ අපුරුවට තිබ්බ කකුල් දෙක හීනියට මෙව්වා වෙන්න පටන් ගන්නවා. තව ටිකක් වෙලා යනකොට කලිසමත් හෙල්ලෙනවද කියල ෂුවර් නැති තරමට අර කකුල් දෙකේ මෙව්වා එක වැඩි වෙන්න ගන්නවා. හදිස්සියට කෙල පොඩ්ඩක් හොයා ගන්න බැරි තරමට උගුර කට වේලෙන්න පටන් ගන්නවා. "මොන මගුලකට මේක බාර ගත්තද, යකෝ අපුරුවට අර පුටුවක වාඩි වෙලා කියන දෙයක් අහගෙන ඉන්න තිබුනනේ, අනිත් එක මේවා මේ එහෙම කියන්න පුළුවන් දේවල් නෙවෙයි, හරියට ලැස්ති වෙන්නත් බැරි වුනා, මේකද යකෝ යහපාලනේ කියල හිතෙන්න පටන් ගන්නවා ."



       තව ටිකක් ලං වෙනකොට වටේ පිටේ වෙන්නේ මොකද කියලවත් සිහියක් නැති තරමට අර හීනියට වගේ පටන් ගත්ත මෙව්වා ඔක්කොම ටික උපරිමේටම ආපු ගමන් අපිට ස්ටේජ් එකට නගින්න වෙනවා.... අඩුම තරමේ ඉඳන් ඉන්න පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන්න වෙනවා ... 

      ඔය ස්ටේජ් එකට නැගල මයික් එක ගාවට යන ටික හරි පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන ටික හරි 90% ක් විතර වෙලාවට සිද්ද වෙන්නේ ෆුල් ඔටෝමැටික්. ඒ කියන්නේ නින්දෙන් ඇවිදිනවා වගේ තමයි. එකපාරටම ඉස්සරහ වාඩි වෙලා ඉන්න උන් ටික දැක්ක ගමන් තමයි අම්මට හුඩු කියල සිහිය එන්නේ ... 

     කොහොමින් හරි අටවාගෙන අවසර ගත්ත කියමුකෝ. ප්ලෑන් කරපු වචන ටික දාල වාක්‍යක් දෙකක් කියාගන්නත් පුළුවන්. ඊට පස්සේ ටික ටික එකින් එක මඤ්ඤං වෙන්න පටන් ගන්නවා. අන්තිමට කියන්න හිටපුව මුලින් කියවෙනවා. හුටා දැන් කමක් නෑ කියල කියාගෙන යද්දී කියන්න හිතපුවත් නැති කෑලි අතර මැද්දෙන් කියවෙනවා. එතකොට තමයි ආතල් මොකද කතාව ට්‍රැක් පැනගෙන යනවා නේද කියල හීනියට දැනෙන්න පටන් ගන්නවා. ආයෙත් ට්‍රැක් එකට අරගෙන මාතෘකාවට අදාළව කතා කරන්න කියල මොනවා හරි කියන්න ගියාම මුලින් කිව්වේ මොකක් ද කියල මතක නෑ. ටිකෙන් ටික ආ...ආ ... ම්ම්ම් .. හ්ම් ..වගේ සද්ද , පොඩි පොඩි කැස්ස.. ආදිය එන්න පටන් ගන්නවා ... 

      වාඩි වෙලා ඉන්න උන් එකා දෙන්න මුනට මුණ බලාගෙන හීනියට හිනා වෙද්දී වැඩේ ජෝන් බාස් ට ගිහින් කියල ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. අර පුරුෂ මෙව්වා එකේ ඉතිරි වෙලා තියෙන ප්‍රමානේ හැටියට ඔය අවස්ථාව වෙද්දී ඉරණම තීරණය වෙනවා. පුරුෂ මෙව්වා රින මට්ටමට ඉවර වෙච්ච උන් කෙලින් ම ගිහින් ඉඳ ගන්නවා. (සභාවේ සිනා  සැපයි කියල හිතාගෙන ). බින්දුව මට්ටමට වගේ තියෙන උන් බොහොම ස්තුතියි වගේ එකක් කියල හිනාවක් දාල යනවා ... මුලින් අනාගෙන පස්සේ හතර වටේ ගාගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වගේ හරි කතාව කරලා පිළිවෙලකට ගැලපෙන්න අවසානයක් දාල එන්න තරමින් පුරුෂ මෙව්වා ඉතිරි වුනා කියන්නේ ඉතින් ඌ සිරා පොරක් තමයි .. ඔය අතින් ගත්තම ඔය දේශපාලකයෝ කියන්නෙත් සිරාම පොරවල් ... මොකද ඉතින් වගේ වගක් නැතුව ගල් බොරු කියල ජාතික වීරයෝ වගේ අපුරුවට බැහැල යනවනේ. 

       මම කිව්වේ මේ අපි වගේ හුදී ජනයට ඔය හිටපු ගමන් කට්ටියක් ඉස්සරහ කතා කරන්න සිද්ද වුනොත් මුණ දෙන්න වෙන සන්තැසිය ගැන .. හැබැයි උපතින් ම ඔය හැකියාවල් තියෙන අය ඉන්නවා. එයාලට ඕව සිම්පල් වැඩ ..

      මට ඔය පබ්ලික් ස්පිකින් කියන එක ටිකක් පුළුවන් .. මම හිතන්නේ අපේ තාත්තාගෙන් ආපු හැකියාවක්. හැබැයි ඔය මම කියපු ලක්ෂණ ඔක්කොම පහලවෙනවා කතාව කරන්න කලින්. යන්නේ කොහෙද මල්ලේ පොල් සින් එහෙමත් වෙලා තියෙනවා. හැබැයි පිළිවෙලකට අවසානයක් කරලා ඇවිල්ල ජාමේ බේරගන්න පුළුවන්. (කතාවේ හරය / ගත යුතු දේවල් වගේ ඒවා ගැන මට අදාළ නෑ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ ඒකනේ ..හෙහ් හෙහ් ) 

      මම මුලින් ම කතාවක් කලේ දහම් පාසලේ. මම හිතන්නේ ඔය උදේ රැස්වීමේ ද කොහෙද ඒ ගැන නම් ඒ හැටි මතකයක් නෑ. ඉස්කෝලේ කාලේදී ඒ හැටි ඕවට උනන්දු වුනේ නෑ. ඒත් ඔය කථික තරඟ වලට ද කොහෙද හිටිය.මට හැබැයි එච්චර අල්ලලා ගියේ නෑ ඔය කථික තරඟ වල දෙන හෙන පොර ටෝක් සහ අතපය විසි කරන විදිය මට එච්චර දිරවන්නේ නෑ. 

     ඉතින් පිරිසක් ඉදිරියේ ටිකක් වැදගත් විදියේ කතාවක් ස්ටේජ් එකක් උඩ නැගල මුලින් ම කලේ ඔය මගේ අර පොත එලි දක්වපු දවසේ ස්කොලේ මේන් හෝල් එකේ. එකත් ඉතින් සැහෙන්න නා ගත්තා . ගෙදරින් හොඳට පුරුදු වෙලා මෙහෙමයි අවසර ගන්නේ , මේ ටික තමයි කියන්නේ , මේ විදියට ඉවර කරන්නේ ආදී වශයෙන් ඔය මහතා ,මහත්මිය , මැතිතුමා යන වචන එහෙම හරියට කියල ඇවිල්ල ඉන්න අයට උදව් කරපු අයට ස්තුති කරන්න ඕනේ ආදී දේවල් ගැන හෙන අවවාද රැසක් එහෙම හම්බවුණා උත්සවේ දවසේ සහ ඊට කලින් ඉඳන් ම. 

     හැබැයි ඉතින් සිද්ද වුනේ මෙහෙමයි. මම අර පෝඩියම් එක ගාවට ගියා පිළිවෙලකට අවසර නම් ගත්තා. ලෑස්ති වෙච්ච කතාවකියන්න පටන් ගත්තට ප්ලෑන් කරපු පිළිවෙලට හරියට මතක් වෙන්නේ නෑ .. හැබැයි ඉතින් කොහොම කිව්වත් කියන්න ඕනේ මේවනෙ කියල ඔලුවේ තිබ්බ නිසා මම මට පුළුවන් විදියට කතාව කළා .ටික වෙලාවක් යද්දී මෙන්න හෝ ගාල ඇඩෙනවා .. ඒ ඉතින් ඔය අම්ම, තාත්තා උදව් කරපු පවුලේ අය ගැන කියද්දී .. කොහොම හරි ටික වෙලාවකින් හෝල් එකේ හිටපු සැහෙන කට්ටියක් ඇඬුව. හෙහ් හෙහ් .. ඊට පස්සේ ඉතින් මහතා මැතිතුමා කෑලි නෑ. අවසානය නම් කොහොම වුනාද කියලත් මතක නෑ දැන්. හැබැයි ඒ හැටිම චාටර් නම් වුණේ නැද්ද කොහෙද . කට්ටියම අනුකම්පා කරලා සද්ද නැතුව ඉන්න ඇති .. :)

      හරි ඊළඟට කරපු කතාව නම් ඉතින් ඔන්න පබ්ලික් කියන්න පුළුවන්. එකත් ඔය පොතේ සින් එකක් ම තමයි . ඔය පොතේ සින් එක කලේ මම උසස් පෙළ කරන කාලේ නේ. උසස් පෙළ කරන කාලේ වැඩිපුරම කරන්නේ රටේ ඉන්න ටියුෂන් මාස්ටර් ල ගාවට දුවන එකනේ . අපිත් ඉතින් ගම්පහ ටවුමේ තියෙන හැම පන්තියක් ම වගේ ඒ දවස් වල වන්දනා කළා . ඉතින් ඔය ගිය ප්‍රසිද්ධ පන්ති වල අවසන් දවසේ තියෙනවනේ පොඩි පාටි සීන් එකක් . මම ගිය එක ෆිසික්ස් පන්තියකත් දැන් ඔන්න ඔහොම පොඩි පහේ පාටි සීන් එකක් තිබුන . සර් ළමයින්ට දෙන්න ඕනේ අවසන් උපදෙස් දීල සුභ පතල අනම් මනම් කරලා එහෙම ඔය ඉතින් කට්ටිය ස්ටේජ් එකට් නැගල ඔය සින්දු කියල ආතල් ගන්න අවස්තාව ආව. 

     දැන් ඉතින් වැඩේ නැගලම යනවා අපිත් ඉතින් ඔහේ සිංදු අහගෙන ආතල් එකේ ඉන්නවා . දැන් ඔය කට්ටිය එක එක්කෙනාව ස්ටේජ් එකට නග්ගන්නේ සර් ට තුන්ඩු කෑලි යවලනේ . 

      සරුත් ඉතින් ඕව කියවල "ආ මෙන්න මෙයාට සින්දු කියන්න පුළුවන් ලු .. ආ කෝ එයා එන්න බලන්න" කියල කතා කරනවා . 

     කොල්ලො කෙල්ලෝ ඉතින් ආතල් එකටත් එක්ක නවා. හැබැයි ඉතින් ලස්සනට සිංදු කියන්න පුළුවන් ළමයි ගොඩක් ඔය පන්තිවල ඉන්නවා . වැඩේ ඔහොම නැගල යන අතරෙදි අපිත් ඉතින් දන්න දන්න උන්ගේ නම් ලියල සර්ට යවනවා . 

     ටික වෙලාවක් යනකොට මෙන්න සර් කාරය මගේ නම කියල කතා කරනව .. .කවුරු හරි එකෙක් හරි එකියක් හරි මගේ නමත් ලියල සර්ට යවල මට සිංදු කියන්න පුළුවන් කියල . අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු . මේ මොන මගුලක් ද කියල මම උඩ බිම බලනවා .. මට එහා පැත්තේ හිටපු එකා .. බක බක ගගා හිනා වේවි මාව තල්ලු කරනවා පලයන් පලයන් කියල .. හෙහ් හෙහ් .. 

      මම ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල නැගිටලා දැන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට යනවා . ඔය පොතේ සීන් එක ගැන මම සර් ට කලින් දවසක කියල තිබ්බ නිසා සර්ට මාව මතකයි . මම පස්සේ ඉඳන් ඉස්සරහට යන ටිකට දැන් සර් ඔය පොතේ සීන් එක ගැන එහෙමත් කියල "අහ් මම දැනගෙන හිටියේ නෑනේ ඔයාට සිංදු කියන්නත් පුළුවන් කියල " වගේ පොඩි පොඩි චාටර් ටෝක් දෙනවා .. 

     ඔය විදියට ක්ලාස් එකේ බංකු මැද්දෙන් යනකොට දැන් අර උඩ හරියේ කියපු විදියට කකුල් මෙව්වා වෙන එක , හාට් බීට් වැඩි වෙන එක , තොල කට වේලෙන එක ආදී දේවල් සියල්ල එකවිට වෙනවා .. මොකද මම ඔය නානකොට බාත්රුම් එකේදී සිංදු කැල්ලක් කිව්වට මලාට සිංදු නම් කියන්න පුළුවන් එකෙක් නෙවෙයි නේ .. මම හිතන්නේ ජීවිතේටම සිංදුවක් මුල ඉඳන් අගට කියල නැතිව ඇති .. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ වගේ ෆුල් කොර වෙලා ඉතින් ඔටෝමැටික් වගේ යැවෙනවා. 

    ඕනේ එකක් කියල ස්ටේජ් එකට නැග්ගා ... බොක්ක කූල් වේලා ගියා හෝල් එක දිහා බැලුවහම ඔය ටියුෂන් ක්ලාස් එකක අඩුම තරමේ 500ක් වත් ඉන්නවනේ .. අන්තිම දවස නිසා හවුස් ෆුල් .. සර් ඉතින් පිටට තට්ටුවකුත් දාල මයික් එක අතට දුන්න .. ඔය වගේ ඒවායේ ඉතින් ඔය අවසර ගැනිලි , ෆෝමල් කතන්දර නෑනේ .. කොල්ලෝ ඉතින් මයික් එක ගත්ත සිංදු කිව්වානේ  . 

    මම ඉතින් හොඳට හුස්මක් එහෙම අරන් "අනේ මට සිංදු නම් කියන්න බෑ. මම මේ සර් දැන් කියපු , මම ලියපු පොතේ තියෙන කතාවක් කියන්නම් කියල අර පොතේ තිබ්බ පලවෙනි කතාව කියාගෙන කියාගෙන ගියා .. මොකද ඒ දවස් වල මගේ ඔලුවේ තිබුනේ ඕක නේ .. ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනේ නෑ .. කතන්දරේ කිව්වා .. හීනියට හූ පාරවල් එහෙමත් ඇහුනද මන්ද .. දැන් නම් මතකත් නෑ .. කොහොම හරි ඉතින් විනාඩි 10ක් විතර ඕක කිව්වා ... ටික වෙලාවක් යද්දී ඉතින් අර කකුල් මෙව්වා වෙන එක එහෙම හරි ගියාට කොච්චර වුනත් ෂුවර් එකක් තිබුනේ නෑ කලින් නිකං එන්ජිම ස්ටාර්ට් කළා වගේ හෙල්ලිච්ච හැටි ඔය ඉස්සරහ පේලි වල හිටපු ගෑනු ළමයි එහෙම දැක්ක ද කියල .. හෙහ් හෙහ් 

    ඊට පස්සේ ඉතින් කතාවේ අවසානයට අවට පස්සේ එහෙනම් ඉතින් "ඔන්න ඕකයි කතාව .. මෙච්චර වෙලා අහගෙන හිටියට බොහොම ස්තුතියි" කියල ස්ටේජ් එකෙන් බැහැල රොබෝ වගේ හිටපු බංකුවට ගිහින් වාඩි වුණා .

  හැබැයි ඉතින් ක්ලාස් එක ඉවර වෙලා ගම්පහ ටවුන් එකේ ඔය ස්ටේෂන් එක පැත්තෙන්  යනකොට හොරෙන් හොරෙන් බලන ගෑනු ළමයි කීප දෙනෙක් ම දැක්ක .. හෙහ් හෙහ් මල් මල් ආතල් ඉතින් ..

   කොහොම හරි ඉස්කෝලෙන් පස්සේ විභාග ඉවර වෙලා රස්සාවලට ආවට පස්සේ ඔය පබ්ලික් ස්පිකින් තියා ගෙදර මිනිස්සු එක්කවත් හරියට කතා කරන්නේ නැති තරමට මේ කොම්පියුටරේට ඇබ්බැහි වුණා .

එතනින් මගේ පබ්ලික් කතා සමය ඉවර වුණා ...ඒ කාලේදී මට තිබ්බ තව බොහෝ හැකියාවල් සිරාවටම මේ කොම්පියුටර් රස්සාව නිසා මොට්ට වෙලා ගියා කියන්න පුළුවන් කනගාටුවෙන් වුනත් 

   හරි දැන් ඉතින් ආගිය කතා පොර ටෝක් ඇති නේ. කවුද මේ Toastmasters කියන්නේ කියල බලමු . මම හිතන්නේ ගොඩක් පුද්ගලික ආයතන වල වැඩ කරන අය මේ Toastmasters clubs ගැන දන්නවා ඇති . මොකද මේ සංගම් පෞද්ගලික අංශයේ රැකියා කරන අය අතර ප්‍රසිද්ධයි . මේ Toastmasters clubs වල ඉතිහාසය ගැන නම් ඒ හැටි විස්තරක් මම දන්නේ නෑ . මෙන්න මේකෙ තියෙන දෙයක් තමයි . කෙටියෙන් කිව්වොත් ඇමරිකාවේ  තමයි මේකේ උපත සිද්ද වෙලා තියෙන්නේ  මේ වෙනකොට ලෝකේ රටවල් සිය  ගානක මේක ව්‍යාප්ත වෙලා තියෙනවා .



   දැන් ඔය මම කියපු පබ්ලික් ස්පිකින් කියන සිද්දි ඔක්කොම කලේ සිංහලෙන් නේ . ඔය වගේ එකක් මේ යන්තම් ගැට ගගහ කතා කරන ඉංගිරිසියෙන් කියන්න වුනොත් කොහොමද ..? 

   මේ Toastmasters club කියන්නේ මේ විදියට ඉංගිරිසියෙන් පිරිසක් ඉදිරියේ කතා බහ කිරීම හුරු කරන්න . අර කකුල් මෙව්වා වෙන එක , හාට් එක බල්ටි ගහන එක , තොල කට වේලෙන එක ආදී දේවල් නැතුව ඉදිරිපත් වෙලා ටිකක් පිළිවෙලකට කතාවක් කරන හැටි තමයි මේ සංගම් වලදී ප්‍රැක්ටිස් කරන්නේ .



   මම ඔය දෙවෙනියට වැඩට ගිය ටෙලිෆෝන් කොම්පැනි එකේදී මේ වගේ සංගමෙකට සම්බන්ද වෙන්න මට පුළුවන් වුණා .  මම එකට සම්බන්ද වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ඉංග්‍රීසි කතා බහ කරනකොට අපිට තියෙන ලජ්ජා බය ටිකක් නැති කරගන්න එක .

ඔය සංගමේ ගැන පොඩ්ඩක් විස්තර කලොත් මෙහෙමයි සිද්දිය වෙන්නේ 

අනිත් ඕනෙම සංගමයක් වගේ මේකෙත් ඉන්නවා සභාපති කෙනෙක් , ලේඛම් කෙනෙක්  භාණ්ඩාගාරික කෙනෙක් ආදී වශයෙන් තනතුරු . තව එක එක ඒවා තියෙනව. මේ තියෙන්නේ ඉන්න ඔක්කොම නිලධාරි මණ්ඩලය 

President 
Vice President Education
Vice President Membership 
Vice President Public Relations 
Secretary Treasurer 
Sergeant at Arms 

Ah-Counter 
The purpose of the Ah-Counter is to note any overused words or filler sounds. 

Grammarian 
The Grammarian helps club members improve their grammar and vocabulary. 

Timer 
A Timer is responsible for monitoring the time of meeting segments and speakers. 

Toastmaster 
The Toastmaster is a meeting's director and host. 

Topics master 
The Topics master delivers the Table Topics portion of the meeting. 

Meeting Speaker 
Every speaker is a role model and club members learn from one another's speeches. 

Table Topics Speaker 
Table Topics helps members develop their impromptu speaking skills. 

Evaluator 
Evaluators provide verbal and written feedback to meeting speakers. 

General Evaluator 
The General Evaluator evaluates everything that takes place during the club meeting.

            ඔය ආයතනයේ තිබ්බ අපේ සංගමේදී මම දැරුවෙ Sergeant at Arms කියන තනතුර . ඒ කියන්නේ මේ වගේ සංගමයක් පවත්වන තැන පොඩි පොඩි සංවිධාන කටයුතු කරන එක තමයි රාජකාරිය වෙන්නේ .  ඔය කට්ටිය හමු වුනේ  අපේ ඔෆිස් එකේ උඩම තට්ටුවේ තිබ්බ roof top එකේදී.  ඉතින් ආයතනයේ  විවිධ අංශ වලින් සමහරවිට දුර ඉඳල එහෙම එන අය ඉන්න නිසා මේ හමුවීම පවත්වන තැන ඉන්න කෙනෙක් තමයි ඔය තනතුරට පත් වෙන්නේ වැඩේ කරන්න ලේසි නිසා .

අනිත් තනතුරු ඔක්කොම නිල වශයෙන් තියෙනවා . ඒ නිලධාරින් ම තමයි ඉතින් ගොඩක් වෙලාවට සමාජිකයින් විදියට ඉන්නෙත් . මොකද සාමන්යෙන් ඔය ආයතනයක තියෙන සංගමෙකට 10-20 ක් අතර ප්‍රමාණයක් තමයි සහභාගී වෙන්නේ ..

 මේ Toastmasters club වලදී කෙරෙන්නේ සහභාගී වෙලා ඉන්න අයට පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් විනාඩියක් දෙකක් මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරන්න අවස්තාව ලබා දෙන එක . නමුත් මේක සිද්ද වෙන්නේ සම්මත විදියට පිළිගත්ත ක්‍රමයකට . නියම විදියට පවත්වන Toastmasters club එකක් හරියට පවත්වන විදිය ගැන ලියවෙච්ච උපදෙස් ලියවෙච්ච පොත පත මේ සංගම් ලියාපදිංචි කරනකොට ලබා ගන්න පුළුවන් . ඒ විස්තර මේ අඩවියෙන් බලා ගන්න පුළුවන් .

සාමාන්යෙන් රැස්වීම සති දෙකකට සැරයක් වගේ පැවැත්වෙනවා . රැස් වෙන හැමෝටම වගේ තත්පර 30 ක් විතර කතා කරන්න සිද්ධ වෙන රවුන්ඩ් රොබින් වටයේදී සිද්ද වෙන්නේ ටොපික් මාස්ටර් විසින් නියම කරන මොකක් හරි දෙයක් ගැන එක් කෙනෙක් තත්පර 30 ක් කතා කරනවා . කාලය අවසානයේදී Timer බෙල් එකක් ගහල කලින් පුද්ගලයා අවසන් කල වචනය අරගෙන ඊලඟට ඉන්න කෙනා තව තත්පර 30 ක් කතා කරනවා . මේක ගොඩක් විනෝද ජනක වැඩක් . කවුරුත් කාවවත් විහිළුවට ගන්නේ නෑ .. අඩු පාඩු හෙවිල්ලක් නෑ .. හැමෝම තමන්ට පුළුවන් විදියට තත්පර 30 ක් කතා කරනවා . හිර වුණා  කියල ගානක් නෑ .. මොනවා හරි ටිකක් කියන එක තමයි වැදගත් . පොඩි වෝම් අප් සෙෂන් එකක් .  මේක ඉතින් හැමදාම මෙහෙම නැතිව වෙනත් වෙනත් මාතෘකා ගැන ටිකක් විනෝද ජනක විදියට කරනවා

 ඊට පස්සේ සංගමයේ ඉන්න අයට තම තමන් සුදානම් වෙච්ච මාතෘකා ගැන විනාඩි 5-7ක් වගේ කාලයක් කතා කරන්න පුළුවන් . මේවා ගොඩක් වෙලාවට Competent Communication Manual කියලා නිත්‍ය සමාජිකත්වය ගන්න අයට  Toastmasters International එකෙන් ලබා දෙන පොතට අනුකුලව එක් එක් සාමාජිකයා විසින් කරන කතා . සාමාන්යෙන් නම් පිළිවෙලට පොත් සඳහන් විදියට අදාලව කතා පවත්වනවා තමන් කැමති මාතෘකාවක් යටතේ . ඒ කියන්නේ උදාහරණයක් විදියට ආධුනිකයෙක් මුලින් ම කරන්න ඕනේ ice break කියන කතාව . මේක ටිකක් පුරුදු වෙලා පිළිවෙලකට කරන්න ඕනේ . මේ කතා වලදී අපේ තියෙන අඩුපාඩු ගැන අපට උපදෙස් ලැබෙනවා . ඒ වගේම නිත්‍ය සාමාජිකයින් ගේ පොතේ තමන් කරපු කතාව සහතික කරලා තමන්ගේ සංගමයේ Toastmaster ගෙන් අපිට අත්සනක් ලබා ගන්න ඕනේ . මේ විදියට පොතේ තියෙන හැම කොටසකටම අදාලව කතාවක් පැවැත්වීම තමයි කරන්න ඕනේ . මේ තියෙන්නේ පොතේ තියෙන ටොපික්ස් ගැන පොඩි සටහනක් http://www.1stlondontoastmasters.com/CC_Manual.pdf

ඊට පස්සේ ටේබල් ටොපික් වටය එනවා . එතැනදී ටොපික් මාස්ටර් විසින් කලින් ලෑස්ති කරපු මාතෘකා ගැන කැමති කෙනෙකුට විනාඩි පහක් කතා කරන්න පුළුවන් . මෙහෙදී හැමෝම කරන එක අනිවාර්යයය නෑ .. ස්වේච්චාවෙන් කැමති අයට කරන්න පුළුවන් . හරියට හිටිවන කතා වගේ . ක්ෂණික කතා (impromptu speeches)මේ කතා වලදී ඒ ගැන පොඩි උපදෙස් දීමක් , අඩුපාඩු ගැන කියල දීමක් සිද්ද වෙනවා . ඒ සියල්ල බොහොම සුහදව සිද්ද වෙන දේවල්.

 සාමාන්යෙන් සෑම සමිති වාරයකදීම වෙනත් ක්ලබ් එකකින් හෝ එහෙම නැත්නම් වෙනත් ප්‍රවීන Toastmaster වරයෙකුගේ දේශනයක් සුදානම් කරනවා . බාහිරින් නැති නම් සංගමයේ ඉන්න ප්‍රවීන කෙනෙක් ගේ කතාවත් තියෙනවා . ඊට පස්සේ කෙරෙන ප්‍රධානම දෙයක් තමයි විවිධ සංගම් වල සමාජිකයින් සහභාගී වන තරඟ . මේවා ක්ලබ් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් රටවල් මට්ටමින් පැවැත්වෙනවා .

පසුගිය වසරේ WORLD CHAMPIONSHIP OF PUBLIC SPEAKING දිනුවේ ලංකාවේ කෙනෙක් මේ තියෙන්නේ ඔහු ගැන විස්තරේ . මේ ධනංජය මහතා වරක් අපේ ක්ලබ් එකට ආවා . එහිදීත් ඔහු අපුරු කතාවක් පැවැත්තුවා . මේ කතා ගොඩක් වෙලාවට හිතන්නට යමක් තියෙන කතා . කෙටියෙන් අවශ්‍ය දේ නිර්මාණාත්මක විදියට පැවසීම තමයි කෙරෙන්නේ . මේ ධනංජය හෙට්ටිආරච්චි මහතාගේ කතා ඒ අතින් අති විශ්ෂ්ටයි කියන්න පුළුවන් .

 මේ තියෙන්නේ ඔහුගේ ජයග්‍රාහි කතාව .

 එක හමුවක් සාමාන්යෙන් පැයක් පැය 2ක් අතර කාලයක් තියෙනවා . පටන් ගන්න කලින් පොඩි කෙටි කෑමක් කාලා පොඩ්ඩක් රිෆ්‍රෙශ් වෙලා තමයි වැඩේ පටන් ගන්නේ.

ඔය තියෙන්නේ Toastmasters club එකක් ගැන සරල විස්තරයක් .

 මම මාස 6-8ක් විතර මේ සංගමේ හිටිය . පස්සේ ඒ ආයතනයෙන් අයින් වුනාට පස්සේ ආයෙමත් වෙන ක්ලබ් එකකට සෙට් වෙන්න බැරි වුනා . ඔය හිටපු කාලේදී මම එක තරගෙකට සහභාගී වුණා . 3න් වෙනි තැනද කොහෙද හම්බ වෙලා තව තරගෙකට යන්න සුදුසුකම් ලැබුනත් මට යන්න උනේ නෑ .. ඔය ජොබ් මාරුව නිසා . ඒක එතනින් ම ඉවර වුණා . කොහොම වුනත් අපේ ක්ලබ් එකේ Charter Ceremony එකට සහභාගී වෙන්න මට අවස්තාව ලැබුණා . ඒ කියන්නේ නිලවශයෙන් Toastmasters International වල පිළිගත්ත ක්ලබ් එකක් බවට අපේ club එක පත්වෙන උත්සවය තමයි ඒක . ඒ දක්වා එන්න ක්ලබ් එකක් බොහෝ දේවල් කරන්න ඕනේ . කොහොම හරි අපි හිටපු කාලේ තුලදී ඒ තත්වයට ක්ලබ් එක පත් කරගන්න අපිට පුළුවන් වුණා . හිටපු නිත්‍ය සාමාජිකයෙක් වශයෙන් මටත් වරලත් සාමාජික (Charter Member) සහතිකයක් ලබා ගන්න පුළුවන් වුණා .

මේ Toastmasters club එකට සම්බන්ධ වීම නිසා අපිට ඔය පිරිසක් එක්ක සාමාන්‍ය ඉංගිරිසියෙන් කතා බහක් කරනකොට තියෙන කුලෑටි ගතිය , පොඩ්ඩක් ඉදිරියට එන්න තියෙන අකමැත්ත , ලැජ්ජාව වගේ දේවල් හදා ගන්න පුළුවන් . මොකද ගොඩක් වෙලාවට අපිට තියෙන අවුල දන්න චුට්ටවත් කියා ගන්න බැරි කමනේ .. ඒ වගේ දේවල් හරි යනවා ඉතින් මේ වගේ දේවල් වලට සහභාගී වුනාම .

මගේ නම් දැන් ලැජ්ජා බය සැහෙන දුරට නැති වෙලා .. අමු වැරදියට උනත් කමක් නෑ මට ඕනේ දේ කියල දාල කිසි ගානක් නැතුව ඉන්න පුළුවන් ... හෙහ් හෙහ් .. එංගලන්තේ මහ රැජින ගැන හිතල අපිට කතා කරන්න බෑනේ  නැද්ද .. :D

Wednesday, February 25, 2015

The කවි ද ?

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

මාස        යක්
ගෙවිලා       දැන්
කිසිදෙ       යක්
ලියල        නෑ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

හිතට          නම්
එන්නෙ       නම්
නෑනේ        බන්
කිසිදෙ         යක්

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

මේ           වැඩේ
දිගට           නම්
ඇදන්       යන්න 
බෑ             වගේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

උඹල           වත්
පින්           තකා
උදව්           වක්
කරපි           යව්

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

දේශ       යේ
පාල        නේ
දන්න     උන් 
හිටු        කියා

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

ලියන     දේ
බල      බලා
ඇති   වෙලා
මේ    වැඩේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

අපි          වගේ
චුටි          උන්
වේලෙ     මින්
කර        වෙලා

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

ඇයි         යකෝ
හැම         කලේ
පොඩි       එවුන්
කර          කලේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

මේක         දැයි
කෑ            ගසා
තොපි     ගෙනා
(යහ)      පාලනේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

එළිසමය (රැ)කාලා කවියක් ලිව්වම දැනෙන සනීපෙ ... :D

Sunday, January 18, 2015

ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave

ගිය දෙසැම්බරයේ පවුලේ කට්ටිය ආපු වෙලාවේ ගිය පොඩි සංචාරයක සටහනක්. මැලේසියාවට එන ගොඩක් දෙනෙක් බලන්න යන ප්‍රසිද්ධ තැනක් තමයි මේ Batu Caves කියන්නේ . ක්වාලා ලාම්පුර් නගරයේ සිට කිලෝමීටර් 15-18 ක් විතර දුරින් තමයි මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සංකීර්ණය සහිත කඳු ගැටය පිහිටලා තියෙන්නේ . ඒ ප්‍රදේශය අයත් වෙන්නේ Gombak කියන දිස්ත්‍රික්කයට . ඒ වගේම තමයි මේ නම හැදිල තියෙන්නේ ඒ අසලින් ගලන ගංගාව නිසා කියල තමයි කියන්නේ . Batu Caves ගැන වැඩිදුර විස්තර විකිපිඩියාවෙන් බලාගන්න පුළුවන්

අපි මේ ගිය Batu Cave සංචාරයේදී මේ ගුහා සංකීර්ණය අයත් නමුත් සාමාන්යෙන් බොහෝ සංචාරකයින් නොයන තවත් ගුහාවක ඇවිදලා බැලුවා . 

 Limestone නමින් හඳුන්වන පාෂාණයෙන් සැදුනු Batu Caves ගුහා සංකීර්ණය අවුරුදු මිලියන 400ක් පමණ පරණයි කියල තමයි කියන්නේ. 1860-1870 දශක වලදී සොයා ගත්ත මේ ගුහා වලින් ප්‍රධාන ගුහාව පසුකාලීනව මැලේසියාවේ වෙසෙන හින්දු බැතිමතුන් විසින් තමන්ගේ පුජනිය ස්ථානයක් විදියට භාවිතාවට ගනු ලබනවා . බොහෝ සංචාරකයින් බලන්න යන්නේ මේ Temple Cave නම්වූ ඒ හින්දු පුජනිය ගුහාව .

බොහෝ අය මේ සුප්‍රසිද්ධ ප්‍රතිමාව එහෙම දැකල ඇති . මේ දේව රුපය මුරුගන් ලෙස ඔවුන් හඳුන්වනවා . 
 මේ තියෙන්නේ ඔය Temple Cave එක ඇතුලත දර්ශන කීපයක්.
මේ තියෙන්නේ ගුහාව ඇතුලත . ඔය වහලවල් වගේ තියෙන්නේ පොඩි පොඩි කඩ . දේව ප්‍රතිමා ආදිය විකුනන්න තියෙනවා .
මේ තියෙන්නේ ගුහාවට හිරු එලිය ලැබෙන විවරයක් 
මේ තියෙන්නේ ගුහා බිත්තියේ දර්ශනයක් 

කඳුගැටය සෑදී තියෙන්නේ මෙන්න මේ විදියට 

මේ කඳු මුදුනට නගින පඩිපෙලේ ඉහලට වන්නට තවත් මාර්ගයක් තියෙනවා මම මේ කියන්න යන Dark Cave එකට යන්න. අපි Temple Cave එකට ගිහින් එන ගමන් අපේ අක්කගේ දුවගේ බලවත් ඉල්ලීම නිසා තමයි මේ Dark Cave බලන වැඩේට සෙට් වුණේ. Dark Cave කිව්වම පොඩි ෆැන්ටසි සුරංගනා ගතියක් තියෙන නිසා වෙන්න ඇති එයාට ඒක බලන්න ඕනේ මයි කිව්වා . පස්සේ අපි 4 දෙනෙක් විතරක් ගියා අනිත් කට්ටිය පහලට බැස්ස . 

මෙතන ඉඳන් කතන්දරේ ෆොටෝ වලින් දාන්නම් .
මේ තියෙන්නේ Dark Cave එක ගැන තියෙන කෙටි විස්තරය . 

මේ ගුහාව මුලින් ම සොයාගෙන තියෙන්නේ 1878 දී Captain H. C. Syers සහ William T. Hornaday කියන දෙන්නා .

මේකේ හැටියට ලොව වෙසෙන දුර්ලභ ම මකුළු විශේෂය ජිවත් වෙන්නේ මේ ගුහාවේ (Trapdoor spider (Liphistius batuensis)) ඒ වගේම අවුරුදු මිලියන 100ක්  පමණ වයස සත්ව විශේෂ රැසක් මේ ගුහාව තුල ජිවත් වෙනවා . ඒ වගේම ලොව වැඩිම පර්යේෂණ වලට බාවිතා වෙච්ච ගුහාවක් සහ සුවිශේෂී වූ ගුහා නිර්මාණ වලට උරුමකම් කියනවා මේ ගුහාව. ඒ වගේම අතිශය සංවේදී විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් නිසා මේ තුලට ඇතුල් වීමේ දී අනුගමනය කල යුතු දේවල් ගැනත් මෙන්න මේ විදියේ සඳහනක් තියෙනවා . 


 මේ තියෙන්නේ ගුහා සංකීර්ණයේ සිතියම . ඔය නිල්පාටින් ලකුණු කරපු මාර්ගය විතරයි දැනට මහජනයා සඳහා විවෘත කරලා තියෙන්නේ .

 මේ තියෙන්නේ ගුහාව  අපූරු ලෙස නිර්මාණය වෙලා තියෙන ආකාර පිළිබඳව විස්තර 
 ගුහාව තුල දකින්නට ලැබෙන කෘමින් ගැන විස්තර 
බෝතල් කරපු වවුලෙක් සහ වවුලන් ගැන විස්තර . මේ ගුහාව ඇතුලේ ලක්ෂ ගානක් වවුලන් ජිවත් වෙනවා .

ගුහාවට යනකොට අපිට දෙනවා පොඩි ටෝර්ච් එකකුයි හෙල්මට් එකකුයි . මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ගත්ත පින්තුර . කැමරා ෆ්ලෑෂ් බාවිතාව තහනම් නිසා අමාරුවෙන් ගත්තේ .

ගුහාවේ පොළව . ඔය වැටක් තියෙන්නේ මිනිසුන්ට ගමන් කරන්න හදපු මාර්ගය. කිසිම විටෙක ඒ මගෙන් එලියට අඩිය තැබීම තහනම්
 විවිධ විදියට නිර්මාණය වුනු ගුහා බිත්ති .
 මේ තියෙන්නෙත් ස්භාවිකව නිර්මාණය වුනු ගුහා පොලොව සහ ගුහාවේ බිත්ති එකිනෙකට සම්බන්ධ වෙච්ච තැනක් . මේ දේවල් ගැන ඔය භූ විද්‍යාව ඉගෙන ගත්ත අය  එහෙම දන්නවා ඇති .
මේකත් ඉහල ෆොටෝ එක වගේම තම එකක් . මේ දීප්තිමත් ආලෝකය වැටුනේ අපේ කණ්ඩායමේ ඔක්කොම ටෝර්ච් එක ගහල බලන වෙලාවක ගත්ත නිසා ..

 ගුහාව තුලින් ගලා එන ජලය එක්  රැස්  වූ  තැනක් . මේ ජලය එතරම් පිරිසිදු  නැති බවයි අපේ කණ්ඩායම රැගෙන ගිය පුංචි ගෑනු ළමයා පැවසුවේ .
 ප්‍රතාපවත් ගුහා බිත්ති .
 ගුහා බිත්තියක් හෝ පොලව හරියටම ෂුවර් නෑ ..
මේ ඉන්නේ අපේ කණ්ඩායමෙන් කොටසක් . ඔය ටෝර්ච් එක ගහගෙන විස්තර කරලා දෙන්නේ අපිත් එක්ක ආපු ගයිඩ් ළමය . හරි අපුරු ගෑනු ළමයෙක් . මැලේසියාවේ ඉන්න මුස්ලිම් ගෑනු ළමයි හරිම කඩිසර විදියට විවිධ රැකියාවල් කරනවා . මේ ළමය විහිළු තහළු කරමින් ඒ වගේම බොහොම හොඳට විස්තර පැහැදිලි කරමින් අපිව එක්කන් ගියා .
 ප්‍රාග් ඓතිහාසික වැස්ස ..
මේ ඉන්නේ අර කියපු මකුලුවද කොහෙද .. ෆොටෝ එක ගන්න දැඟලුව මිසක් අර ළමය කියපු දේ හරියට අහ ගත්තේ නෑ ...

මේ ඉන්නෙත් අර කියපු අවුරුදු මිලියන 100ක් වයස සතෙක් . නම් ගම් විස්තර ඒ හැටි ඔළුවට ගියේ නෑ . 

හැබැයි මේ ගුහාවේ සමහර තැන් වලට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඉතින් මේ ඉන්න ජීවින් ආහාරයට ගන්නේ ගුහාවේ වෙසෙන ලක්ෂ ගණනක් වූ වවුලන් ගේ වසුරු කියල තමයි ඒ ළමය කිව්වේ .

ගුහාව තුල සම්පුර්ණ ගමන කිලෝමීටර් 2ක් විතර වෙනවා . විනාඩි 45ක් විතර ගමනට ගතවෙනවා . මේ යන මාර්ගයේ එක තැනක් තියෙනවා කිසිම ආලෝකයක් වැටෙන්නේ නැති . අපි රැගෙන ගිය විදුලි පන්දම් නිවා දමුවම කට්ට කළු ඝන අන්ධකාරය සහ ගැඹුරු නිහඩතාවයක් තියෙන තැනක් . එතන විනාඩි කිහිපයක් නිහඩව කළුවරේ ගෙවපු එක තමයි මේ ගමනේ මට තිබුණු වඩා වැදගත්ම මතක සටහන . 

එකා පස්සේ එකා බොහොම පරිස්සමින් ටෝර්ච් එක ගහගෙන යන මේ ගමන අවසන් වෙන්නේ The Great Chamber  නමින් ඔවුන් හඳුන්වන ගුහාව අභ්‍යන්තරයේ ඇති ගුහාවට සුර්යාලෝකය ලැබෙන අපුරු විවරය සහිත ස්ථානයකින් . හරියට නිකන් ඔය ෆිල්ම් වල තියෙන ලස්සන දර්ශනයක් වගේ අපුරු තැනක් . ඒ වගේම අඳුරු ගුහාවෙන් එහා ලෝකය පෙනෙන නිදහස පිළිබඳව හැඟීමක් දැනෙන තේජවන්ත තැනක්   


Great Chamber එක

The Great Chamber එක තමයි ගමනේ කෙලවර . එතනින් එහාටත් යන්න හැකියාව තිබුනත් ඒවා තවම පොදු ජනතාව සඳහා විවෘත කරලා නෑ .. ආපසු ආ මග ඔස්සේ එලියට එන්නයි තියෙන්නේ .

මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ඉඳන් එනකොට අපි ඇතුලට ගිය ප්‍රධාන පිවිසුම පේන හැටි ... මිට අමතරව තවත් ගුහා කීපයක් මේ කඳු ගැටය ආශ්‍රිතව තියෙනවා . ඒවා ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ . ඔබ මැලේසියාවේ සංචාරය කරනවා නම් බලන්න යන්න වටින තැනක් . හරිම පහසුවෙන් කෝච්චියෙන්ම යන්න පුළුවන් බොහොම සුළු ගානක ටිකට් එකක් අරන් . 

මේ අවුරුද්දේ මැලේසියාවේ තියෙන ඔය සංචාර වලට එන කට්ටිය වැඩිය නොයන තැන් කීපයක් බලන්න යන්න හිතාගෙන ඉන්නවා . ඒවා ගැනත් ලියන්න බලන්නම් (ගියොත්). සැමට සුබ අලුත් අවුරද්දක් සහ මෛත්‍රී පාලනයක් වේවා!

Monday, December 08, 2014

වෘකයාගේ ආගමනය !!!

මොකුත් ලියන්න දෙයක් ඔළුවට එන්නේ නැතුව ඔපිස් එකේ වැඩට හිර වෙලා ඉන්න අතරේ එකපාරටම මෙන්න ආයෙත් වෘකයා එනවා කියල නිවුස් එකක් දැක්ක. ඕ ... මයි ..වෘකයා !!!!!! ..

මේ වෘකයා ගැන ඉතින්  අලුතින් කියන්න දෙයක් නෑනේ .. දන්නේ නැති අය  මෙතනට ගිහින් විස්තරේ බලා ගන්න ..

ගිය සැරේ ගත්ත පොත් සෙට් එක කන්දක් වගේ ගොඩ ගහගෙන ඉන්න අතරේ මෙන්න මේකා ආයේ අපේ පළාතේ එනවා කියල යාලුවෙක් බුකියේ දාල තිබුනා .... 

"තාම අර ගත්ත පොත් කියෙව්වේත්  නෑ නේ .. මොකට තව පොත් ගොඩ ගහගන්නවද .. ඕව තියන්න ඉඩත් නෑ ..."  

"ඇහ් .. මොකද කියෙව්වේ නැත්තේ පොත් දෙකක් එහෙම් පිටින් ම කියවල ඉවර කළා ..  මෙන්න සයිස් එක පොතක් ... මේවා මේ ගන්නේ ඉන්වෙස්ට්මන්ට් විදියට .. අනාගතේට  පැන්සන් ගත්ත කාලෙට කියවන්න  .. දැන් කියවන්න නෙවෙයි .. "

"ඕනේ එකක් කරගන්න. අපරාදේ සල්ලි .. ඇඳුම් කෑලි කියක් ගන්න පුළුවන් සල්ලි ද ඔය ..."

"ඔයාට ඕව තේරෙන්නේ නෑ .. මේවා හෙන සම්භාව්‍ය කෘතීන් .. ඔය ඇඳුම් කෑලි වගේද "

"ඕනේ එකක් කරගන්න !!"

ඔන්න ඔය විදියට මණ්ඩලේ අපෘවල් එක ලැබුණ ..

ඊයෙ උදේම යෙදුනු නැකතින් නැගිටලා කා බී  සියලු වැඩ අත් හැර, පැය  2ක් විතර ට්‍රයි කරලා ටැක්සියක් හොයාගෙන රවුමක් ගිහින්  මණ්ඩලේ කටයුතු අහවර කරලා  මණ්ඩලේ නැවත ටැක්සියෙන් ගෙදර එවලා මම ගියා වෘක හාමිගේ සාදයට .. වෘක හාමිගේ සාදය කියන්නේ ඉස්සර මම ආසාවෙන් කියවපු පොඩි කතන්දර පොතක් .. හෙන ලස්සන චිත්‍ර තිබුණු පොඩි කතා පොතක් ..

මේ තියෙන්නේ  සූ ගාල පොත් ..


මේ සැරේ කලින් සැරේ වගේ පෙට්ටිය පුරවලා පොත් දෙන සීන්  එක තිබුනේ නෑ ... පොත් වල ගාන ටිකක් වැඩියි .. ලකුණු කරපු මිලට සාමාන්‍ය විදියට පොත් ගැනීමක් තමයි තිබුනේ ..

මුලින් ම ඉතින් වටේම ඇහැ දාගෙන රවුමක් ඇවිද්ද ... අපරාදේ කියන්න බෑ  සිරා පොත් තියෙනවා ..

ඊට පස්සේ අපේ රිසි මල්ලි ට (ඒ කියන්නේ අක්කාගේ පුතා) ඕනෙයි කියපු මේ 


පොත් සෙට් එක හොයාගෙන ගියා .. චීන නංගිලා කීප දෙනෙක් ගෙන් ම ඇහුවට ඒ ළමයි පෙන්නපු කිසිම තැනක පොත තිබ්බේ නෑ .. පස්සේ ඉතින් පොඩි එකාට  පොත් හෙවිල්ල පැත්තක තියල මම වැඩේ පටන් ගත්තා ..

ගිය සැරේට වැඩ හොඳ තත්වයේ පොත් තිබුනා .. ඒ වගේම පොත් ප්‍රමාණයත් වැඩියි .. මේ සැරේ පෙට්ටිය පුරවල ගන්න බැරි නිසා මම ටිකක් හිතල මතල කියවයි කියල හිතෙන ලෙවල් එකේ පොත් විතරක් ගත්තා .. ගිය සැරේ නම් ඇත්තටම ආසාවටනේ ගත්තේ ...

හරි මේ තියෙන්නේ ගත්ත ටික .. වැඩිය නෑ  පොත් 6යි ..


ඔය වම් පැත්තේ උඩින් ම තියෙන්නේ කුකරි පොත් නැති වුනත් පට්ට රසට කෑම උයන්න පුළුවන් බස්ටි නගා වෙනුවෙන්  මේ සැරේ ගත්ත පොත ..  කෑම  වර්ග 400ක විතර වට්ටෝරු සහ පින්තුර තියෙන පොතක්.  දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ .. 

ඊට පස්සේ තියෙන්නේ මගේ ඔල්ටයිම් ෆෙවරිට් වෙච්ච ආතර් සී  ක්ලාක් මහත්මයාගේ පොතක් ..3 වෙනියට තියෙන එක  නම් සයි - ෆයි  කෙටි කතා පොතක් ...  ලේඛකයෝ ගැන අදහසක් නෑ .. 

යට පේලියේ වම් පැත්තේ කොනේ තියෙන්නේ මේ දවස් වල හිට්  වෙලා තියෙන Game of Thrones සිරිස් එක ලියපු  George R. R. Martin ගේ  පොතක්  මට Game of Thrones කතාව එච්චර අල්ලලා ගියේ නැති වුනාට පොර සිරා නිසා මේ පොත ගත්තා ... 

ඊට පස්සේ ඉතින් මේ දවස් වල මගේ වීරයා වෙලා ඉන්න Michael Crichton (මේ නම කියන්නේ මයිකල් ක්‍රයිටන් කියල - ස්තුතිය ඩුඩේ (Dude ට )) විසින් රචිත අවසන් නවකතාව .. මයිකල් ක්‍රයිටන් 2008 දී මිය ගියා .. ඔහු මිය ගිය පසු ඔහුගේ පරිගණකයේ තිබුනු  අවසන් නොකළ  පිටපත් (manuscript) එකතු කරලා Richard Preston කියන ලේඛකයා විසින් තමයි මේ පොත සකස් කරලා තියෙන්නේ ... පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 2011 දී .. මේ තියෙන්නේ විස්තරේ 

කලින් සැරේ දී මම ගත්තා Pirate Latitudes. ඒක  නම් පට්ට කතාවක් .. මාර අපුරුවට ගලාගෙන යන සරල ඉංගිරිසියෙන් ලියවෙච්ච මුහුදු හොරුන් ගේ කතාවක්. Thriller එකක්  ..  පුළුවන් නම් හොයාගෙන කියවන්න ... මේ පොත 2009 දී ප්‍රකාශයට පත් කරපු එකක්.

තව ඉතින් වටේ පිටේ කැරකි කැරකි ඉන්නකොට මෙන්න මේකත් හම්බ වුනා ... Inferno. මතබේදයට තුඩුදුන් The Da Vinci Code , Angels & Demons සහ  The Lost Symbol කෘති වල රචකයා වෙච්ච  Dan Brown ගේ අලුත් ම පොත මේක ... 2013 දී තමයි නිකුත් වුනේ ..

මම මෙහෙ පොත් කඩවල් වල රස්තියාදු ගහද්දි ගම්දෝ නොගම්දෝ කියල හිත හිත හිටපු පොතක් මේක ...  දැක්ක ගමන් ඉතින් සුටුස් ගාල ගත්තා ...

මේ පොත් 6ටම මට ගියේ රුපියක් 2500ක් විතර  ...  ඔය පොත් වල ලකුණු කරපු ඔර්ජිනල් මිල වගේ 5-6 ගුණයක් අඩුවෙන් තමයි මේ පොත් ටික මම ගත්තේ .. බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් ම තියෙනවා ... සිරාවට පට්ට ලාබයි ..

ලබන සතියේ පුළුවන් වුනොත් ආයෙත් රවුමක් දාල බලනවා .. සේල්  එක 16 වෙනිදා වෙනකම් තියෙනවා .

කලින් සැරේ ගත්ත පොත් ගොඩක් ඒවා තාම කියෙව්වේ නෑ .. කලින් කියෙව්වා වගේ  Pirate Latitudes එකයි . 




මෙන්න මේ පොතයි තමයි කියවල ඉවර කලේ .. ගත්ත ගොඩක් ඒවා මම අපේ රිසි මල්ලිට යැව්වා .. අනිත් ටික ඉතින් ඔය පස්සේ කාලෙක කියවනවා ..

මේ Goliath පොතත් මරු කතාවක්.  පිටු 600ක් විතර තියෙන තඩි පොතක්.  හැබැයි කතාව හෙන අමුතු එකක් . අපි කවුරුත් දන්නා නිකොලා ටෙස්ලා කියන නිපැයුම් කරුවා ගැන ලියවෙච්ච පලවෙනි ලෝක සංග්‍රාමය ට අදාළ කාලය හා සම්බන්ද  කතාවක් ...  යාන්ත්‍රික යන්ත්‍ර  ඒ  කියන්නේ ඉලෙක්ට්‍රොනික නොවන යන්ත්‍ර වගේ ඒවා  සහ අමුතු විදියට පරිණාමය වෙච්ච සත්තු ඉන්න කතාවක් ...ඒ කියන්නේ කතා කරන, බුද්ධිමත්  උනහපුලුවන් (loris) , ඒවගෙම  පණිවිඩ හුවමාරු කරන කටුස්සන් (lizards )වගේ අමුතු සත්තු ඉන්න ටිකක් විකාර ගනයේ කතාවක් ... හෙහ් හෙහ් නිකොලා ටෙස්ලා කතාවේ දුෂ්ටයා වගේ වෙන සීන්  එකක් තියෙන්නේ ...  මේ කතාවේ ඕඩියෝ පොත් එහෙමත් තියෙනවා ...

අමාරුවෙන් හිත හදාගෙන පොත් 6ක් අරන් ආවේ ලබන අවුරුද්දේ ආයෙත් අර පෙට්ටිය පුරවල පොත් දෙන සීන්  එක තියෙයි නේ කියල හිතාගෙන .. හැබැයි එලියට ඇවිල්ල අදාළ ආයතනේ චීන ඇන්ටි කෙනෙක් ගේ ඇහුවට පස්සේ තමයි දන ගත්තේ ඒ පෙට්ටි සීන්  එක තියෙන්නේ අවුරුදු 3කට සැරයක් ලු ... හත්හිලව්වට ගහපු කලාබරේ කියල මම ආව ඉතින් ... 

ඔය කිව්වට වෘක හාමි ලබන අවුරුද්දෙත් එන්නේ නැතැයි ..

වෘක හාමි ලබන අවුරුද්දේ ආවට ඔපීසියේ ඉන්න චීන්නු ටික ටටා බායි දැන් වැඩ ඉවරයි උඹල පලයල්ලා කියල අපිව එලවයි ද දන්නේ නෑ ... චීනා විස්වාස නෑ .. විල් සී කෝ ...


Sunday, November 09, 2014

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය - 2 කොටස

මේ තියෙන්නේ මුල්  කොටස . ඒ කොටස කියවල මේ කොටස කියවන්න පුළුවන් නම් වඩා හොඳයි  


ඉතිරි ටික ලියන්න කලින් තව පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට 

මට  මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ මට දුක හිතන ඕනෑම වේලාවකදී මම හිතල බලනවා ඇයි මම මේ සිද්දියට දුක් වෙන්නේ ? මිට වැඩිය දෙයක් මට වුනානේ. ඉතින් මේක මොකක් ද ? ඔච්චරයි.

හරි ඉතින් මම බණ පොත්, ජාතක කතා  එහෙම ඊට ගොඩක් කලින් ඉඳන් කියවල තියෙනවා.  මම මේ කතාව කෙටියෙන් පටන් ගන්න තමයි අර රේරුකානේ හාමුදුරුවන්ගේ පොතෙන් පටන් ගත්තේ. 

ඔය එහෙන් මෙහෙන් කියවපු දේවල් වලින් සහ දෙමව්පියන්ගෙන් මම හොඳ නරක කියන දේ දැනගෙන හිටියා ..ඒ කියන්නේ පන්සිල් රකින(ඉඳල හිටලා මදුරුවෙක්, කුඹියෙක්  මරල/ ඉස්කෝලෙට රස්සාවේ බොසාට බොරුවක් කියනවා ඇරුනම)  මහා ලොකු ලෙස පවක් නොකරපු කෙනෙක්. මේ අපි හැමෝම  වගේ තමයි.

මම ඔය බොහොමයක් පොත් වල දී දැක්කේ, එහෙම නැත්නම් ඔය බණ වලදී අහන්න ලැබෙන්නේ මිනිස්සුන්ගේ අන්න ඒ බේසික් ටික හදන්න ඕනේ කරන ධර්මය .. ඊට අමතරව ඉතින් මේ සංසාරේ දුකයි . අපි පින් කරලා කොහොම හරි කෙලවර නිවන් දකින්න ඕනේ කියන ටික තමයි මට නම්  ඔය හැම බණකදිම ඇහිලා තියෙන්නේ.

අපිට නිතර ඇහෙන්නේ සමස්ථ සමාජය හදන්න කියන බණ  මිසක් ධර්මයේ හරය නැත්නම් ගැඹුරු තැන් පැහැදිලි කරන බණ නෙවෙයි . අනිත් එක බණ අහනකොට මුලින් ම ඔළුවට දෙන්නේ මේක ඔය ආවට ගියාට තේරුම් ගන්න බෑ  .. මේවා පින් කරපු අයට විතරයි තේරෙන්නේ  වගේ  අදහස් ..

අවංකවම සමහරවෙලාවට ඒ වගේ බණ  කියන හාමුදුරුවන්ට වැඩිය නම් ගමේ කුලී වැඩක් කරලා , හවසට ෂොට් එකක් දාගෙන, සිංදුවක් කියාගෙන ඉන්න මනුස්සය තුල නිහතමානි කම , අව්‍යාජ කම , නිරහන්කාරය වගේ මහා සුත්‍ර වලින් පැහැදිලි කරන ධර්මය ප්‍රායෝගිකව තියෙනවනේ කියල මට හිතිලා තියෙනවා.

ඉතින් මට හිතුනේ හරි මේ ටික මම දැනටම දන්නවා . ඒ කියන්නේ හොඳට ජිවත් වීම කියන කොටස. කෙළවර තියෙන නිවන ගැන කවුරුත් දන්නේ නෑනේ. අඩුපාඩු ඇති. හැබැයි   මෙතනින් එහාට කොහොමද කියන එක 

ඊට පස්සේ අපි හැමෝම කරන භාවනාව, මමත් අනාපානසතිය, සමථ , විදර්ශනා  ආදී වශයෙන් ඔය උගන්නන හැම එකම වගේ ට්‍රයි කළා සැහෙන කාලයක් . බොරු කියන්නේ මොකටද එක විනාඩි යක් හිතේ සිතුවිලි නැතුව ඉන්න මට බැරි වුණා.  නමුත් අර හිත ඇනලයිස් කරලා බලන ගතිය නිසා විදර්ශනාව එච්චර අමාරු දෙයක් විදියට හිතුනේ නෑ .. නමුත් මම විදර්ශනා භාවනාව කියල මහ ලොකුවට භාවනා කලේ නෑ.. 

මට ඔය දවස් වල නිකමට වගේ හිතුනා භාවනා කරන්න, හිත එකග කරන්න මෙච්චර අමාරු නම් .. ඒ කාලේ කොහොමද තොග ගානට මිනිස්සු සෝවාන්  ආදී මාර්ග ඵල ලැබුවේ කියල ... හැබැයි ඒ පෙර පින නැත්නම් සසර පුරුද්ද කියන එකෙන් එහා ගිය උත්තරයක් මට හොයන්න ඕනේ වුණා. 

ඔන්න ඔය වගේ ආපු ප්‍රායෝගික ප්‍රශ්න වලට අර පොත් වල උත්තර නොතිබුන නිසා තමයි  ඒ දවස් වල මම ඒවා කියවන එක අතෑරියේ ...රේරුකානේ හිමියන්ගේ පොත් වල තියෙන ධර්මය හෝ ඒ මාර්ගය ගැන මට කිසි ගැටලුවක් නෑ .. ඒව  100% ක් ඇත්ත . හැබැයි මට ඒ මාර්ගය  හරි නොගිය නිසා අතෑරලා දැම්ම. 

මට ඕනේ වුනේ මම ගෙවන මේ ජීවිතය තියාගෙන මේක තේරුම් ගන්න . ඒ නිසා වෙන්න ඇති මට අධිකාරම් මහත්මය සහ ක්‍රිෂ්නමුර්ති තුමාගේ ජිවන චරිත සහ ඉගැන්වීම් අල්ලලා ගියේ ..

ඌණ පුරණය ඉවරයි ...

දැන් තමයි ඉතිරි කොටස ...

ඉතින් එක දවසක දිමුතු අයියා පොඩි කතාබහකට කියල මේ කියන කෙනාව එක්කන් ආවා . ඒ කතා බහ අපි කලේ අක්කලාගේ ගෙදර . මගේ ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් ඒ කතා බහේදී සිදු වුණා කියල කියන්න පුළුවන් .

මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙතුමාව අඳුරනවා ඇති. ලංකාවේ දැනට ඉන්න විද්වත් අධ්යාපනඥ්යෙක් ,ඒ වගේම කවියෙක් සහ ලේඛකයෙක් වෙච්ච ඒ.එස් බාලසුරිය මහතා තමයි ඒ අපුරු පුදගලය. 

ඉලක්කය , දොරමඩලාව , අසිරිමත් බුදු වදන් ,  ආදී රුපවාහිනි වැඩසටහන් වලිනුත් මේ දිනවල විකාශය වෙන ඉඳුරු දොර නම් පෙරදිග දර්ශනය පිළිබඳව කෙරෙන ගුවන් විදුලි වැඩ සටහනිනුත් ඒවගේ තව බොහෝ විද්‍යුත් මාධ්‍ය වල තියෙන  වැඩ සටහන් සහ පාසල්  සිසුන්, ගුරුවරුන් සමග කරන වැඩ සටහන් ආදියෙන් බාලසුරිය මහත්මය  ලංකාවට එතුමාගේ දැනුම අවබෝධය ලබා   දෙනවා . ලෝකයේ විවිද  රටවල තමන් ලද අවබෝධයෙන් සේවයක් කරපු කෙනෙක් සහ භාෂා කිහිපයකට පරිවර්තනය වෙච්ච පොත පත රාශියක් රචනා කරපු විද්වතෙක් .



බාලසුරිය මහත්තය බොහොම සරල හරි අපූරු කෙනෙක් . අපිත් එක්ක හොඳට හිතවත්ව කතා බහ කරලා කාලයක් තිස්සේ දන්න අය වගේ  ආශ්‍රය කලේ . මගේ ඔලුවේ තිබුනේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන මේ වගේ අය ගැන වෙනස් ප්‍රතිරූපයක්. ඒ කියන්නේ පොඩි ආරුඩ කරගත් සිල්වත් බවක්  එහෙම නැත්නම් ශාන්ත දාන්ත ගතියක් තියෙන අමුතු රුපයක් තමයි මට මැවිලා තිබුනේ . හැබැයි බාලසුරිය මහත්තය ඊට හාත්පසින් ම වෙනස් . හරිම නැචුරල් විදියට ඉන්න අව්‍යාජ ගමේ මනුස්සයක් .

නමුත් මම පස්සේ කාලෙක එතුමාව ආශ්‍රය කිරීමෙන් දැන ගත්තේ නවීන විද්‍යාව ගැන  නිතර අලුත්වන දැනුමකින් ඉන්න, විද්‍යාවේ අලුත් සොයා ගැනීම් , මතවාද ගැන බොහොම බුද්ධිමත්ව බලන ,  ඒ වගේම පුරාණ පෙරදිග දර්ශනය  ගැන එහෙම නැත්නම් සතර වේදය ගැන ව්‍යක්ත දැනුමක් තියෙන , නමුත් මේ නුතන විද්‍යාව ප්‍රතික්ෂේප නොකරන හරිම ප්‍රායෝගික කෙනෙක්. ඒ වගේම හරිම විවෘත කෙනෙක් . 

ඉතින් එදා පොඩි සතුටු සාමිචියකින් පස්සේ   අපි කට්ටිය බාලසුරිය මහත්තයත් එක්ක අක්කලාගේ ගෙදර තියෙන  සඳලු තලේකට සෙට් වෙලා ඉතින් මේ ධර්මය ගැන කතා බහ පටන් ගත්තා . 

මට එදා කතා කරපු  සියල්ල මතක නෑ. නමුත් ඒ කතාවේ හරය වුනේ මෙන්න මේ වගේ දෙයක්  . 

මුලින්ම අපි ඔක්කොම නිහඬව ටික වෙලාවක් ඉඳල අවට පරිසරයේ තියෙන නිහඩ බව අත්වින්ද ඊට පස්සේ බාලසුරිය මහත්තය අපට පැහැදිලි කරලා දුන්නේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීම කියන්නේ  ස්භාව ධර්මය සමග ජිවත් වීම කියන දේ . අපි මනසින් ගොඩ නගාගෙන තියෙන ලෝකයෙන් මිදිලා සොබාදහමට එහෙම නැත්නම් මේ වීශ්වයට අප විවෘත වෙන්න ඕනේ කියන එක. ඒක අත්දකින්න අපිට අපේ මනසින් ගැලවෙන්න ඕනේ කියන එක එතුමා පැහැදිලි කරලා දුන්න . ඒ වගේම අපිට පැහැදිලි කරලා දුන්නා  මේ සිහිය පවත්වාගෙන යන හැටි ගැන  සහ සිහිය   (consciousness) ගැන සහ ආධ්‍යාත්මික ජීවනයට  මේ සිහිය කොහොමද උපකාරී වෙන්නේ කියන එක ගැන . 

ඒ කියපු ගොඩක් දේවල් අපිට එදා තේරුනේ නෑ .. නමුත් ඒ කතාවේ අපි මිට කලින් කවදාවත් අහල නැති නැවුම් බවක් තියෙනවා කියල අපිට වැටහුනා .

ඒ නැවුම් බව අපිට දැනුනේ ඒ කතා බහ තුල කිසිම වෙලාවක පාලි වචන  එහෙම නැත්නම් අපි බණ කියල දන්න වචන වලින් තොරව මේ ධර්මය  ගැන සහ අපේ සිත ගැන කතා කිරීම නිසා වෙන්න ඇති . 

ඔන්න ඔය විදියට මුල්ම හමුවීම සිද්ද වුණා. 

ඊට පස්සේ ඉඳන් අපි නිතර හමුවෙන නිතර කතාබහ කරන හිතවතුන් බවට පත්වුනා  . ඒ වගේම එතුමා විශිෂ්ට මනෝ උපදේශකයෙක් වශයෙන් සහ වැඩිහිටියෙක් වශයෙන් මගේ ජිවිතයේ ඒ ඒ කාල වලදී ආපු ගැටළු විසඳගන්න මට සැහෙන්න උදව් කළා .

බාලසුරිය මහත්මය විවාහකයි දරුවෝ ඉන්නවා . ඒ  දරුවන්ගේ දරුවොත් ඉන්නවා . ඒ වගේම හොඳ නවීන පන්නයේ ගෙදරක් එතුමාට තියෙනවා. ඒ කියන්නේ බොහොම හොඳ ලෞකික ජිවිතයක් එතුමා ගෙනියනවා . 

ඒ කියන්නේ ඇත්තටම මේ වගේ දෙයක් හොයන කෙනෙකුට තේරුම් ගන්න ඕනේ වැදගත් ම දෙයක් තමයි ආගමික හෝ ආධ්‍යාත්මික ජීවිතය කියල දෙකක් නෑ කියන එක . තමන්ගේ එදිනෙදා ජීවිතය තුලින් මේ ආධ්‍යාත්මික ජීවනය අපි ප්‍රගුණ කරන්න ඕනේ . 

ඒ කියන්නේ තමන්ගේ දැනට තියෙන ප්‍රශ්න ටික ඉවර කරගෙන , එහෙම නැත්නම් නිවාඩු දාල , නැත්නම් හැමෝම වගේ වයසට ගියාම කරන්න ඕනේ දෙයක් නෙවෙයි මේක . මේ දැන් මේ මොහොතේ ඔබේ ජීවිතය ඔබ ගෙනියන්න ඕනේ මේ මාර්ගයේ.

ඒකට හොඳ ජීවමාන උදාහරණයක් බාලසුරිය මහත්තයාගේ ජීවිතය තුල තිබුණා .

මේ ලෞකික ජිවිතයේ තියෙන ප්‍රශ්න එක්ක කොහොමද මේ දේවල්  කරන්නේ ? අපි කොහොමද භාවනා කරන්නේ ?එහෙම නැත්නම් අපි කොහොමද පින් කරන්නේ? වගේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න වලින් තොරව මේ ගෙවන ජීවිතය මීටත් වඩා හොඳින් සාර්ථකව ගෙවන ගමන් අපි ඇතුලතින් වෙන්න ඕනේ දේවල් කොහොමද අපි දියුණු කරගන්නේ කියල බාලසුරිය මහත්මයා කියල දුන්න  

මම මේ කාලයේ දී  එදිනෙදා  ජීව්තයේ සිද්දි වලට මුහුණ දෙනකොට මගේ හිත හැසිරෙන්නේ කොහොමද මගේ හිත වැඩකරන්නේ කොහොමද කියන දේ ගැන සංවේදී වෙන්න  පුරුදු වුණා . ඒ කියන්නේ දුක, කෝපය, ඉරිසියාව  වගේ දේවල් පමණක් නෙවෙයි අපිට නොපෙනී  අපි තුලින් හීනියට මතුවෙන ලොකු කම , උද්දච්ච කම , ආඩම්බරය වගේ දේවල් මතු වෙනකොටම කොහොමද ඒක  දකින්නේ කියන එක තේරුම් ගත්තා .

ඒ වගේම අනික් වැදගත්ම කරුණ තමයි ඔබ තුල තියෙන කරුණාව නැත්නම් හොඳ නිසා අනිත් අයට වඩා තමන් උසස් කියන මානසිකත්වය නැත්නම් අපි ධර්මය දන්නවා,  මම මේවා දන්නවා කියන අපේ දැනුම නිසා   අපි තුල ඉබේම ඇතිවෙන සියුම් මානය  පවා  ඒ සිතුවිලි ඇතිවෙන වෙලාවේදීම දැනගන්න  තරමට හිත සියුම් කරගන්න පුරුදු වුණා .

අනිත් එක අපි තුල තියෙන නිහතමානිකම ගොඩක් වෙලාවට අපිට වඩා සමාජ මට්ටමින් හෝ ධනයෙන් , බලයෙන් හෝ මොනයම් හරි දෙකින් අඩු අයත් එක්ක ඉන්නකොට හරිම ලේසියෙන් තිබුණට , අපේම මට්ටමේ  නැත්නම් අපේම රැකියාවේ ඉන්න අපිට වඩා පොඩ්ඩක් ඉහල කෙනෙක් එක්ක ඉද්දි ඒ නිහතමානිකම ඉබේම අතුරුදහන් වෙලා ego  එක (මමංකාරය) එලියට එන හැටි දකින්න තරම් අපේ හිත සියුම් වෙන්න ඕනේ.

අපිට ජීවිතය තියෙන්නේ මේ මොහොතේ විතරයි කියන දේ තේරුම් කරලා දුන්නේ බාලසුරිය මහත්තය . ඒක  තේරුම් ගන්න එක බලෙන් වෙහෙස වි කළහැකි දෙයක් නෙවෙයි . ඒකට අපි තුල තියෙන යහපත දියුණු කරන්න ඕනේ . ඒක ක්‍රියාවෙන්   කරන්න ඕනේ . ආදරය කරුණාව වගේ මානුෂික ගුණාංග අපි තුල දියුණු වෙනකොට මේ සොබාදහම ගැන අපේ තියෙන සංවේදී කම වැඩි වීම තුලින් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් කියල තේරුම් කරලා දුන්න. 

මට හිතෙන්නේ අපේ සිත සියුම් වෙන්නේ අපි සොබාදහමට ලං වෙන තරමට .. සිත බලෙන් සියුම් කරන්න බෑ... සිතට සිතිවිලි එන එක නවත්තන්න අපිට බෑ .. නමුත් එන සිතිවිලි වලට සංවේදී වෙන්න පුළුවන් .. හිතට එන හිතුවිලි වලට සංවේදී වෙනකොට හිත සියුම් වෙනවා . ඒක නිරායාසයෙන් වෙන දෙයක්.

අනිත් වැදගත් ම දේ තමයි  "Learn to unlearn" කියන එක. ඒ කියන්නේ  ජිවිත කාලයක් තිස්සේ අපි මේ සමාජයෙන්, ආගමෙන් ඉගෙන ගෙන තත්වාරෝපනය කරගෙන තියෙන ඒ කියන්නේ condition කරගෙන ඉන්න දේවල් වලින්  තොරව යමක් දිහා නැත්නම් පුද්ගලයෙක් දිහා බලන්නේ කොහොමද කියන එක.  

සරලව කිව්වොත්  judge  නොකර බලන්න. මේ ඉන්නෙත් මම වගේම මනුස්සයෙක්  නැත්නම් ප්‍රාණියෙක් එහෙම නැත්නම් මම හැදිච්ච සොබා දහමෙම තව නිර්මාණයක් විදියට  දේවල් දිහා ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියන එක .

මේ විදියට ජීවිතය දිහා බලනවා කියන්නේ අපේ හිත්  ඇතුලේ රාගය, ද්වේශය,මෝහය නිකන් ම නැති වෙලා යනවා කියන එක . රාග  ද්වේශ  මෝහ  ආදී වශයෙන් ඇතිවන සිතුවිලි දකින්න ඕනේ ඒ මොහොතෙදිමයි. විභාගෙකට ඉගෙන ගන්නවා වගේ ධර්ම කරුණු ඔක්කොම ඉගෙන ගෙන ඒවා ප්‍රැක්ටිස් කරලා පස්සේ කොහොම හරි රාගයයි , ද්වේශයයි  මෝහයයි නැති කරගන්නවා කියන දේ වැරදියි කියන එක අපි ප්‍රත්‍යක්ෂයෙන්ම   තේරුම් ගත්තා .

ඒ වගේම අපි කළයුත්තේ  කවදාවත් දුක් නොවෙන , කවදාවත් රාගයක් ඇති නොවෙන, මොනම හේතුවකට වත් තරහක් ඇති නොවන  කවදාවත් සතුටක් නොදැනෙන, සියලුම බැඳීම් වලින් ඉවත් වෙච්ච ජිවිතයක් ලබා ගැනීමට උත්සාහ කිරීම නොවෙයි කියන දේත් අපි තේරුම් ගත්තා .

මේ විදියට අපි කිසිවක් නොදන්නා අලුත් මිනිසෙක් විදියට ලෝකය දිහා බලනකොට ඔබට නැවුම් ලෝකයක් පෙන්න පටන් ගන්නවා. ඒ ලෝකයේ හැමදේම නැවුම් හැම මොහොතක් ම අලුත්.

මේ විදියට ජිවත් වෙනකොට ඔබට වැටහෙයි නිවීම තියෙන්නේ මේ දැන් , මෙතන මිසක් කෙළවර නෙවෙයි කියන එක .

අපි මේ දැනටම දන්න, අපි වන්දනා කරන සංකල්ප ගැන අපේ ඔලුවේ තියෙන අදහස ගැන වෙනස් කෝණයකින්  නැත්නම් වෙන  perspective  එකකින් බැලුවම ඒ දේවල් අපිට තේරුම් ගන්න පහසුවෙනවා . අපේ ඔලුවේ ආගම විසින් ගොඩනගල තියෙන ප්‍රතිරුප සියල්ල බිඳ වැටුනම අපිට මේ දේවල් වටහාගන්න ලේසියි කියල මම තේරුම් ගත්තා.

අපි මෙහෙම ටික කාලයක් ඉන්නකොට අපිට තවත් අපි වගේම මේ වගේ දේවල් ගැන උනන්දු වෙච්ච බොහෝ දෙනෙක් හම්බ වුණා .   ඒ අය  එක්ක එකතු වෙලා කතා බහ කරපු දේවල්, අපි කරපු වැඩසටහන් , ගිය තැන්  ගැන විස්තර මහ  ගොඩක් තියෙනවා . 

සත්‍ය ගවේෂකයින් ගේ කණ්ඩායමක් අපිට හිටිය  (දැනුත් ඉන්නවා)

මම මේ හම්බවෙච්ච ගොඩක් අයගෙන් කීප දෙනෙක් ගැන විස්තර ලියන්නම් . නැත්නම් මේක ඉවර වෙන්නේ නෑ ..

අපි මේ විදියට ටික කාලයක් ආශ්‍රය කරද්දී බාලසුරිය මහත්මය කිව්වා අපි වගේම මේ ක්‍රමයෙන් මේ ගැන හොයන්න උනන්දු වෙන තව අය ඉන්නවා . අපි ඒ අයත් එක්ක එකතු වෙලා මේවා ගැන තව හොයමු  කියල

ඊට පස්සේ අපි කට්ටිය ගියා තවත් අපුරු තැනකට .

ඔය ගම්පහ පැත්තේ ඉන්න අය දන්නවා ඇති වතුරුගම පාරේ ටික දුරක් ගියාම තියෙනවා මාලිගාකන්ද පන්සල .. ඒ පන්සලට ටිකක් කලින් තැනක් තියෙනවා  සනාතන ධර්ම නිකේතනය (මේ වගේ නමක් ) කියල කඳු ගැටයක් උඩ  ගල්තලාවකට මුහුණ දාල හදපු පොඩි තැනක්.

නියම නිස්කලංක පරිසරයක තියෙන තැනක් .

මේ තැන 1950 ගණන් වල ඉඳන් අපි මේ කතා කරන ගිහි ජීවිතය තුල ඉඳගෙනම කොහොමද මේ සත්‍යය තේරුම් ගන්නේ නැත්නම් ධර්මය අවබෝධ කරගන්නේ කියන එක ගැන උනන්දුවෙලා ඒ මාර්ගයේ ගිහින් ප්‍රතිඵල ලබා ගත්තු එක්තරා මහත්මයෙක් හදපු තැනක් .  බාලසූරිය මහත්මය ඒ කාලේ සිටම ඒ අය  ඇසුරු කරපු ඒ වගේම ඒ ස්ථානය පටන් ගන්න මුලික වෙච්ච අයගෙන් කෙනෙක් .

මෙතන විවිධ වැඩසටහන් පැවැත්වෙන තැනක් . දැනට එතන පාලනය කරන අයගෙන් අවසර අරගෙන තමයි අපි ඔය වැඩසටහන් වලට ගියේ ..

 මේ තියෙන්නේ එම ස්ථානය.
බාලසුරිය මහතා සමග සාකච්චා කරමින් 

මේ හමුවීම්  වලදී බාලසුරිය මහත්මය අපිට බොහොම ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරලා දුන්නා .ඒවගේම වැඩි පුරම අපි කලේ ඒ අවට තිබුණු කැලෑවේ තිබිච්ච ස්භාවික පරිසරයේ හුදෙකලා වෙලා පරිසරයට සංවේදී වෙච්ච එක . ගහකොලට සංවේදී වෙච්ච එක . වත් පිළිවෙත් රැකීම් , සාම්ප්‍රදායික ඇදහිලි වලින් තොරව නිදහස් පරිසරයක නිදහසේ ඉන්න ගමන් මේ ධර්ම කරුණු කතා කරපු එක තමයි මේ වැඩසටහන් වලදී කෙරුනේ. ඒ කතා කරපු හැමදේම මේකේ ලියන්න බෑ .. නමුත් ඒ හැමදේම තුලින් මේ "මම" කවුද කියල හඳුනාගෙන "මම" නැති කිරීමේ මාර්ගය බාලසුරිය මහත්මය අපිට කියල දුන්නා .

අනිත් එක තමයි අපි කාලයක් මේ විදියට මේ දේවල් ගැන ඉගෙන ගන්නකොට අපිට පොඩි සැකයක් මතුවුණා  අපි මේ කරන්නෙත් තවත් දෘෂ්ටියක් ඇතුලේ හිරවිමද  එහෙම නැත්නම් "බාලසුරිය දහම" කියල අමුතුම දහමක් ඇතුලේ හිරවීමක් ද කියන එක. මට මතකයි දිමුතු අයියා මේ කතාව කෙලින් ම බාලසුරිය මහත්තයගෙන් ඇහුවා . මොකද ඒ කාලේ තමයි ඔය විවිධ බුදුවරු ගොඩක් එක පාර පහළ වුණේ . 

ඒ වෙලාවේ බාලසුරිය මහත්තය හිනා වෙලා කිව්වා . "එහෙම හිතෙන එක සාධාරණයි . මම මේ කතා කරන්නේ කිසිම ආගමකට , සංවිධානයකට අයත් නැති සොබා දහමේ පවතින සත්‍යය ගැන. මට කාගේවත් ගුරුවරයෙක් වෙන්න ඕනේ නෑ .. මමත්  ඔබ සමග එකතු වෙලා සත්‍යයය සොයන කෙනෙක්" කියල. එතුමාගේ තිබුණු මේ නිර්ව්‍යාජ බව නිසා අපි තුල තිබුණු ඒ සැකය ඉවත් වුණා.

ඉතින් දැන්  අවුරුදු 5-6ක කාලයක් තිස්සේ අපි මාසෙකට සැරයක් ඔය වගේ හමුවීම් තිබ්බා. සමහර වෙලාවට ඔය එකතු වෙච්ච අයගේ ගෙවල් වලදී අපි හමු වුණා .  බොහොම අව්‍යාජ මිනිසුන් රැසක් මේ ගමන් වලදී මට හමුවුණා . සමාජයේ බොහොම සරල දිවිපෙවෙත් ගෙවන නමුත් බොහොම උසස් තල වල ඉන්න අය  ඉන්නවා කියන එක මම තේරුම් ගත්තා .

විජේසිංහ මහත්තය , රත්නායක මහත්තය ඒ වගේ අපි නිතර ඇසුරු කරන දෙන්නෙක්. ඒ අය බාලසුරිය මහත්මය සමග බොහෝ කාලයක් .. ඒ කියන්නේ දශක ගණනාවක් තිස්සේ මේ දේවල් අධ්‍යනය කරමින් , ඒවා තුල හැසිරෙමින්  ඒ වගේම ඒ අවබෝධය නිහඩව ලබාදෙමින් මේ කටයුතු වල යෙදුන අය. විජේසිංහ මහත්මය විද්‍යා ගුරුවරයෙක් වගේම සියනෑ  කොරළයේ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් . රත්නායක මහත්මය තමන්ගේම කියල කර්මාන්තයක යෙදෙන ඉංජිනේරු මහත්තයෙක් .

මේ චරිත වල තිබ්බ මනුස්සකම  තමයි අපිට  ධර්මය ප්‍රයෝගිකව තේරුම් කරලා දුන්නේ. ඔවුන්ගේ හැසිරීමේ, කතාබහේ ධර්මය තිබුණ. 

මේ ගිය හැම ගමනකදීම අපිට හිතන්න බොහෝ දේවල් ලැබුන. බාලසුරිය මහත්මයාගේ හැම දේශනයකින් ම අපි ලෝකය දකින විදිය වැඩිදියුණු වුණා .  අපේ සිහිය දියුණු වුණා  කිව්වොත් හරි . සිහිය දියුණු වෙන විට සමාධිය දියුණු වෙනවා .  ඒ දේවල් වුනේ අපි මේ දුවන, ගැටෙන , සල්ලි පස්සේ යන  මේ සමාජයේ  ඔහේ ජිවත් වෙන අතර තුරම තමයි .

අවසානයේදී ධර්මයත් ඇතුළුව සියලු දේ අපෙන් ගිලිහි ගිය විට පමණක් ඔබට ඒ සත්‍යයට නිරාවරණය වීමට හැකි බව බාලසුරිය මහත්මය අපිට කියල දුන්නා 

පෞද්ගලිකව මං ගැන කිව්වොත් තාත්තගේ මරණයත් එක්ක අඩාල  වෙමින් ගිය ජීවිතය නැවත ගොඩ නගාගන්න මම මේ ගිය මාර්ගය උදව්වුනා . ජීවතේ කලකිරිච්ච  සමාජයට , රටට, ලෞකික දියුණුවට වෛර කරන, ආගම් වාදී ,  හිස් චරිතයක් වෙනුවට කාල ඇඳලා,  රටේ ලෝකේ ඇවිදලා, පවුලක් පන්සලක් වෙලා අනිත් මිනිස්සුන්ටත් උදව් පදව්වක් කරගෙන , සිහියෙන් යුතු මනුස්සයෙක් විදියට ලෞකික ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක මම තේරුම් ගත්තා .

ඒ වගේම තමයි මම සහ ලෝකය කියන්නේ තවදුරටත් 2ක්  කියල නොහැගෙන,  විශ්වයේ අපරිමිත බවට විවෘත වෙච්ච, නිරන්තරයෙන් පවතින හේතු විරහිත ප්‍රීතියක් , සතුටක් , මහා සැනසීමක් සමග නතර වූ සිතක් සහිතව ජීවිතය දුකින් විමුක්තව ගෙවන්නේ කොහොමද කියන සත්‍යයය මම ප්‍රයෝගිකව අත්දැක්ක කියන්න පුළුවන් ..

මේ සටහනේ මම ලිව්වේ බොහොම ටිකයි . මේ ගෙවුණු කාලය තුල අපි අවබෝධ කරගත්ත දේවල් කතා කරපු දේවල් සැහෙන්න තියෙනවා . මම මේ ලිව්වේ ඒ දේවල්  කැටි කරපු  පොඩි සාරාංශයක් විතරයි .

මේ සටහන කියවපු කාට හරි බාලසුරිය මහත්මයාගේ දේශන, වැඩසටහන්  ආදිය ගැන උනන්දුවක් ඇති වුණා  නම් මේ තියෙන අඩවි වලින්  වැඩි දුර විස්තර දැනගන්න පුළුවන්

මම හිතන්නේ එතුමා යු ටියුබ් එකේ දාල තියෙන වීඩියෝ වලින් එතුමා ප්‍රායෝගිකව කරන වැඩසටහන් ගැන ඔබට බොහෝ කරුණු දැන ගන්න පුළුවන් ..

මේ ලින්ක් එකෙන්  එතුමා ගැන සහ එතුමාගේ පොත් පත් ගැන ඔබට විස්තර දැන ගන්න පුළුවන් .

ඒ වගේ ම මේ අඩවියෙන් එතුමා විසින් රචිත තවත් ලිපි සහ සිංහල බසින් සහ ඉංගිරිසි බසින් කරන ලද විවිධ දේශන ඔබට බලන්න පුළුවන්

මේ තියෙන්නේ යු ටියුබ් ලින්ක් එක කෙලින් ම ඔබට වීඩියෝ බලන්න පුළුවන්.

කිසියම් කෙනෙකුට මට වගේම මේ වගේ දේවල් ගැන උනන්දුවෙන් හොයන්න ඕනේ කියල හිතෙනවනම්  ඒ වගේ අයට උදව්වක් වෙන්න කියල හිතාගෙන ලියපු සටහනක් මේක. 

ඒ වගේම තමයි මේ සමාජය තුල ඉන්න  මවා ගත්තු ප්‍රතිරුප නැති , එහෙත් ජිවිතයේ හරය වටහාගෙන බොහොම උසස් තල වල ජිවත් වෙන මින්සුන්  ගැන  පොඩි දැනුවත් කිරීමක් කරන්න ලියපු සටහනක්.  

Monday, November 03, 2014

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය

ආගම ගැන මම මේ බ්ලොග් එකේ කවදාවත් ලියල නෑ ... හේතුව සමහරවිට මට ඒ සබ්ජෙක්ට් එක ගැන තියෙන උදාසීන කම නිසා වෙන්න ඇති . මේ සටහන ලියන්න මම සෑහෙන කාලයක් හිතුවා . ලියනවද නැද්ද කියල තීරණේ ගන්න බැරුව මම හිතන්නේ අවුරුදු 3-4ක් වත් ඉන්න ඇති . ඒකට ප්‍රධානම හේතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මම මොනවාද දන්නේ කියන එක. 

එක අතකින් දන්න දෙයක් ලියල තිබ්බම කවදාහරි කාටහරි වැදගත් වෙයි නේ කියලත් හිතෙනවා . අනිත් අතින් මේ වගේ ගොඩක් අය  සංවේදී දේවල් ගැන කතා කරන එක ගොඩක් පරිස්සමින් කරන්න ඕනේ කියලත් හිතෙනවා  

කොහොම වුනත් දැන් බොහෝ කාලයක් තිස්සේ ලියම් දෝ නොලියම්දෝ කිය කිය හිතපු දිග කතාවක් මේ ලියන්න හදන්නේ .. සමහරවිට කොටස් කීපයක් ඇදෙයි ...

මේක තනිකරම මගේ අත්දැකීමක් . පහුගිය අවුරුදු 10-12ක් තිස්සේ මම කරපු එක්තරා විදියක රිසර්ච් එකක් එහෙම නැත්නම් යමක් පිළිබඳව සොයා බැලීමක් ගැන මගේ අත්දැකීම් තමයි මේ ලියන්නේ . හැඩ වැඩ කරන්න කිසිම දෙයක් අතින් නොදමා මම අත්විඳපු දේවල් ඒ විදියටම ලියන්නම්. 

අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ මේ දේවල් තම තමන් ගේ දැනුමේ අවබෝධයේ හැටියට කෙනෙක් තේරුම් ගන්න ඕනේ දේවල් මිසක්  මතයක් විදියට කාගේවත් ඔළුවට දාල කෙනෙකුට උගන්නන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ .. 

මගේ අරමුණ මම දැනටත් අත්විඳින, සහ අත්විඳපු දේවල් ලියා තැබීම. මේ සටහනේ ලියවෙන කිසිම දෙකින් කිසිම පුද්ගලයෙකුගේ මතයක් ,දැකුමක් හෝ පුද්ගලයෙක් බලෙන් ප්‍රමෝට් කිරීමක් මට අවශ්‍ය නෑ .. අනිත් එක බුද්ධ ධර්මය ගැන අටුවා ටීකා ලියන්න හෝ ඒ ගැන නව මත ඉදිරිපත් කිරීම නෙවෙයි මේ ලිපියේ අරමුණ . මට ඕනේ මම කරපු සහ මම දැනගත් දේ බෙදා ගැනීමට විතරයි   . නමුත් මෙහි ඇති යම් යම් කාරණා ගැන වැඩිදුර විස්තර ඇත්තටම අවශ්‍ය කෙනෙකුට ලබා දෙන්න පුළුවන් .

මේ කතාව පටන් ගන්නේ 2002 අවුරුද්දේදී . ඒ කියන්නේ මට වයස 20-21 ක් ඇති . ජනවාරි මාසේ අන්තිම හරියේ දවසක අපේ තත්තා සදිසියේම අසනීප වුණා . සාමන්‍ය ලෙඩක් කියල හිතල බෙහෙත් ගත්තත් සති දෙකක් විතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගත්ත තාත්ත අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ඒ  අවුරුද්දේ පෙබරවාරි මාසේ 7 වෙනිදා සදහටම අපෙන් සමු අරන් යන්න ගියා . තමන්ගේ මවගේ පියාගේ මරණයේ වේදනවා අත්දැකපු අයට මෙහෙම වුනාම දැනෙන දුක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ ... වයසින් මුහුකුරා ගිහින් ඉන්න තරම අනුව ඒ දුකේ ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙනවා වුනත් කෙනෙකුගේ ලෝකය උඩුයටිකුරු කරන්න ඒ වගේ සිදුවීමක් හොඳටම ප්‍රමාණවත් .

උසස් පෙළ දෙපාරක් කරලා නමුත්  ඉදිරි අනාගතය ගැන පැහැදිලි විශ්වාසයක් නැතුව හිටි මම , අම්මාගේ උනන්දුව නිසා  මාමාගෙන් ණයට ගත්ත සල්ලි වලින් කරන්න පටන් ගත්ත පරිගණක ඩිප්ලෝමාවේ පලවෙනි සෙමෙස්ටර් එකේ අවසාන හරියේ  ඒ වෙනකොට හිටියේ .

ඒ  අතරෙදි ලෝකේ පෙරලුනා වගේ සිද්ද වෙච්ච මේ සිදුවීම  කොහොමත් ලාමක හිතක් තිබ්බ මට දරාගන්නම බැරි වුණා . අපේ පවුලේ කවුරුවත්  සිහිනෙන් වත් බලාපොරොත්තු නොවුන දෙයක් . ඒ වෙනකොට අක්ක කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් හොයන ගමන් හිටියේ . තාත්ත ඉස්පිරිතාලේ ඉන්න අතරෙදි  තමයි අක්ක පරිපාලන විභාගේ පාස් කියල දැන ගත්තේ . නමුත් ජොබ් එකක් තිබුනේ නෑ . අම්ම කරපු ආණ්ඩුවේ රස්සාව විතරයි තිබුනේ .

කොහොම වුනත් අපිට අපේ නෑදෑයෝ සෙට් එකම හිටියා .  කට්ටිය 50-60ක් විතර ඕනේ වෙලාවක ඉන්නවා . නමුත් ඒ හැමෝම අපි වගේ එකම මට්ටමේ . මාමා විතරයි ඉහල මට්ටමක හිටියේ . නමුත් ඒ නෑදෑයෝ ටික තාත්තගේ මරණේ දුක තුනී කරන්න අපිත් එක්ක හිටියා .

තාත්තගේ මරණේ දැන ගත්ත මොහොතේ මම කෑ ගගහ ඇඬුව. ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ගාව උදේ පාන්දර 7.30-8.00 වගේ වෙලාවේ මමයි අම්මයි අක්කයි කෑ  ගගහ අඬපු හැටි මට මැවිලා පේනවා .

මම  අඬන එක නතර වුනේ දවස් 2කට පස්සේ තාත්තගේ මිනිය උස්සගෙන කනත්තට ගිහින් අවසන් කටයුතු කරලා  ආපහු එනකොට . ඒ වෙනකොට තවදුරටත් අඬල වැඩක් නෑ  කියන එක මට දැනුන . මොකද තාත්ත නැති ගෙදර තව කරන්න බොහෝ දේවල් තියෙනවා කියල මට යන්තම් වගේ දැනුනා . 

මමයි අක්කයි දෙන්නම පොඩි කාලේ ඉඳලම තාත්තට ගොඩක් එකතුයි .  තාත්ත ගොඩක් වෙලාවට හිටියේ ගෙදර . තරුණ කාලේ බොහොම ජයට තාත්තගේ ගම වෙච්ච හපුතලේ දේශපාලනේ කරලා පස්සේ ඒ සියල්ල අතැරලා අම්මගේ ගමට ඇවිල්ල හිටියේ . මම පොඩි කාලේදී තාත්තා කලේ මේසන් වැඩට අත්  උදව් දෙන්න ගිය එක . පස්සේ පස්සේ පොඩියට කොන්ත්‍රාත් වැඩ කළා . අවසාන කාලේදී කොළඹ නිවාස සංවර්ධන අධිකාරියේ පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩ කළා . නමුත් ඒවා එතරම් සාර්ථක වුනේ නෑ . ඉතින් තාත්ත ගොඩක් වෙලාවට හිටියේ ගෙදර. අම්ම හැමදාම වැඩට යන නිසා අපි ගොඩක් කිට්ටු උනේ තාත්තට .

ඉතින් තාත්තගේ වියෝව අපිට බොහොම තදින් දැනුනා . 

මගේ කෝස් එකේ වැඩත් එහෙම් පිටින් ම කඩා වැටුන . ඒ කියන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේ ගොඩක් සබ්ජෙක්ට් ෆේල් වුණා. මම කොහොමත් ඉස්සර ඉඳලම ඉලක්ක හඹා යන කෙනෙක් නෙවෙයි . ඉතින් අර ෆීනික්ස් කුරුල්ලා වගේ අළු මතින් නැගිටින්න ඕනේ කියල ලොකු ශක්තියක් මට තිබුනේ නෑ ... පටන් ගත්ත කෝස් එක කොහොම හරි ඉවර කරන්න ඕනේ කියන හැඟීම විතරයි තිබුනේ . 

කොහොම හරි තාත්තගේ තුන් මාසේ දානේ දීලා ඉවර වෙලා අපි අක්කගේ වෙඩින්  එක බොහොම සුළුවට ඉවර කළා . ඒ වෙනකොට තාත්තත් දැනුවත් ව සියලු දේ තීන්දු වෙලා තිබුන  නිසා සියලු දෙනාගේම උපදෙස් මත තමයි අක්කගේ වෙඩින්  එක ගත්තේ . ඊට පස්සේ අක්කලත් අපිත් එක්කම ගෙදර නතර වුණා . තාත්තගේ මරණෙන් පස්සේ පොඩි කාලේ ඉඳල ලොකු අම්මලාගේ ගෙදර හැදුන නංගිත් අපේ ගෙදරට ආවා . එයා ඒ දවස් වල උසස් පෙළ කර කර හිටියේ .

ඊට පස්සේ ඉතින් අපේ ජිවිත ඔහේ ගලාගෙන ගියා . ඒ හැටි සාර්ථකව නොවුනත් මම කෝස්  එකේ වැඩ ටික කරගෙන ගියා . නමුත් තාත්ත නැති දුක අපේ ජිවිත අඳුරු වලාවක් වගේ වහගෙන හිටියේ .

ගොඩක් වෙලාවට ඇස්වල කඳුළු පුරෝගෙන බලාගත්තු අත බලාගෙන ඉන්න එක තමයි කලේ .. මග යන එක බස් වලදීත් , ඉගෙන ගන්න ලෙක්චර්ස් අතරේදීත් ඕනේ තරම් අඬල  ඇති . 

දුක තුනී කරගන්න පන්සල් යන එක කලාට මගේ හිතට පන්සලෙන් සැනසීමක් ඒ හැටි දැනුනේ නෑ .පන්සලේ තියෙන වට පිටාව නිසා සැහැල්ලුවක් දැනුනට ඇත්තටම හිතට දැනුන දුක අඩුවීමක පන්සල් ගියාට වත් බණ ඇහුවටවත් සිදු වුණේ  නෑ .. වෙච්ච එකම දේ පොඩි වෙලාවකට අවධානය බිඳිලා තාවකාලික සැහැල්ලුවක් දැනෙන එක විතරයි .

අපේ ගෙදර කොහොමත් ලොකුවට පන්සල බදාගත්ත , ආගම දහම ඔළුවට ගත්ත තැනක් නෙවෙයි . එහෙම පන්සල් වලට කරන්නවත්, අපිට මෙලොව පරලොව සඳහා පින් කරන්නවටවත් වඩා අපේ අම්මටයි තාත්තටයි එදිනෙදා ජිවත් වීමට ලොකු සටනක් කරන්න වෙලා තිබුණ . ඉතින් පන්සල කියන්නේ තවත් එක තැනක් විතරයි .

නමුත් තාත්ත හැමපෝයටම පන්සල් ගිහින් සිල් ගන්න අයට දානේ බෙදල, ඒවා ගානට සංවිධානය කරලා, පන්සලේ තියෙන වැඩ වලට උදව් පදව්  කරලා , ඔය ගමේ කාගේ කාගේත් වැඩවලටත් ඒ විදියට උදව් පදව් කරලා කාත් එක්කත් එක වගේ හොඳින් හිටපු  හවසට හීනියට පොඩ්ඩක් අනුමත වෙලා ගෙදරට වෙලා මැයි පෙළපාලි වල කියන සිංදු  කිය කිය ඉන්න ජාතියේ චරිතයක් .

තාත්ත ගැන වෙනම සටහනක් ලියන්නම්

අම්මත් රස්සාවට යන නිසා කොහොමත් වැඩිය පන්සල එක්ක සම්බන්ද වෙච්ච කෙනෙක් නෙවෙයි . නමුත් දානේ ටිකක් හදල යවන එක , ඔය බෝධි පුජාවකට යන එක එහෙම කළා .

අපි තාත්ත වෙනුවෙන් හැම අවුරුද්දේම දානයක් දුන්න . දැනටත් ඒක   කරනවා . පුළුවන් හැටියට පන්සලේ මල් ආසනයක් එහෙම හදල පින් දෙන වැඩ කළා .

ඒ දේවල් කිරීම නිසා අපිට පොඩි අස්වැසිල්ලක් තිබුනට හිත ඇතුලේ තියෙන දුක කිසි වෙනසක් වුනේ නෑ . ඒවත් කරගෙන ඔහේ ජිවත් වුණා . මේ කාලේදී මම ගොඩක් පොත් කියෙව්වා . මට අවංකවම ඕනේ වුනා බුදුහාමුදුරුවෝ මේ කියල තියෙන දුක නැති කිරීම ගැන ඉගෙන ගන්න . එක ගැන හොයන්න .



ඒ වෙනුවෙන් මම ඔය ගොඩක් හාමුදුරුවරුන්ගේ පොත් කියෙව්වා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොත් පත් , රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත පත එහෙම . රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ පොත් වල බොහොම ගැඹුරු ධර්ම කරුණු තියෙනවා . නමුත් මට ටික කාලෙකදී ඒවා කියවන එක එපා වුණා . මොකද ඒක  තව එක විෂයක් ඉගෙන ගන්නවා වගේ කියල හැඟීමක් ආපු නිසා . ඒ හැම එකම කියවද්දී මට හිතුනේ පොත් වල දැනුම ගොඩක් තියෙනවා හැබැයි කොහොමද මේක මම ප්‍රායෝගිකව යොදා ගන්නේ කියන එක.

අනිත්  එක ඒ හැම එකම පැවිදි වෙච්ච අය  ලියපු දේවල් . ඒවා කියවද්දී ඔළුවට එන්නේ මේ දේවල් අපිට මේ අපේ ගිහි ජිවිතේ ඉන්න ගමන් කරන්න බෑ  කියන එක . නමුත් මට කවදාවත් ජිවිතේ ගැන කලකිරීමක් ආවේ නෑ. මොකද මම හොඳට තේරුම් අරන් හිටිය මට තිබ්බ ආසාවල් , බැඳීම්  එක්ක කවදාවත් මහන වෙන නැත්නම් එවැනි අපිස් ජිවිතයක් ගෙවන්න බෑ කියල .

තාත්ත නැතිවීමේ දුක සසර කලකිරවන තරම් වුනත්  ඔක්කොම අතාරින්න තරම්  හයියක් මට තිබුනේ නෑ .

අනිත් එක අපේ අම්ම පුදුම විදියට තාත්ත නැති ජිවිතේට හුරු වුණා . කාලයක් අඬමින්  දුක් වෙමින් හිටියට පස්සේ අම්මත් තේරුම් අරන් අපිටත් කිව්වේ මේ දේවල් ඉතින් කාටත් මෙහෙම තමයි . අපි පුළුවන් හැටියට තාත්තට පින් දීල ජිවත් වෙමු කියන එක . ඒක වචන වලින් කියපු අදහසකට සිමා නොකර  අම්මා ප්‍රායෝගිකව ඒ විදියට ජිවත් වෙන්න පටන් ගත්තා . ඉතින් එහෙම තියෙද්දී මට නිකමටවත් අම්මව තනිකරලා සත්‍යය සොයන්න යන්න ඕනේ වගේ හැඟීමක් ආවේ නෑ .

මට හොඳට මතකයි මම පර්ස් එකේ තාත්තගේ තරුණ කාලේ ගත්ත කලුසුදු  ෆොටෝ එකක් දාගෙන හිටිය . ටික දවසක් යනකොට පර්ස් එකේ ඉටි කවරේට ඇලිල ඒ පින්තුරේ ටික ටික දියවෙලා යන්න පටන් ගත්ත . ඒක දැකපු වෙලාවේ මම ඒ ෆොටෝ එක පර්ස් එකෙන් අයින් කරන්න හදනකොට මට එක පාරටම ඔළුවට ආවේ තාත්ත නැතුව මම මේ පින්තුරයක් රැක ගන්න හදන එකේ තේරුම මොකක් ද කියන එක . ඒවගේ වෙන පින්තුර එකක් වත් නෑ. හැබැයි මම ඒ පින්තුරේ රැක ගන්න ට්‍රයි කලේ නෑ. මම ඒ පින්තුරේ ඔහේ දියවෙන්න ඇරිය. මට එහෙම කරන්න පුළුවන් වුනේ අම්මගේ ඒ හැසිරීම නිසා වෙන්න ඇති .

ඔහොම කාලේ ගෙවෙද්දී මට එක්තරා පොතක් කියවන්න ලැබුන . ඒ තමයි අහිංසාවේ උල්පත කියන ආචාර්ය ඊ .ඩබ්ලිව් අධිකාරම් මහතාගේ ජිවන චරිතය ලියවෙච්ච පොත . ඒ පොතේ තිබුන සමහර කරනු කියෙව්වම මට හිතුනා මේ කියල තියෙන දේවල් ප්‍රායෝගිකයි කියන එක . අධිකාරම් මහත්මය ගිහියෙක් . ක්‍රියාවෙන් පරම අවිහිංසාවාදියෙක් . මට මග ඇරුණු කාලයකදී ඒ කියන්නේ මම ඉපදෙන්න කලින් එතුමා බොහොම ක්‍රියාශීලිව මේ අවිහිංසාවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තිබුනා . මම හිතන්නේ තාමත් ඒවා තියෙනවා  නමුත් ඒ හැටි ඇක්ටිව් නෑ දැන්.

ආචාර්ය ඊ. ඩබ්ලිව් අධිකාරම් මැතිතුමා  (පින්තුරය ගුගල් වෙතින්)

ඉතින් ඔය පොතේ තිබුණු එක කරුණක් මගේ හිතට තදින් වැදුන .

"අපි කරන්නේ වෙදාටයි බෙහෙත්වලටයි වැඳ වැඳ ඉන්නවා විතරයි . කවදාවත් බෙහෙත් ගන්නේ නෑ  කියල " .

පොඩි කාලේ ඉඳන් එක එක අනම් මනම් පොත් කියවපු මට මේ වගේ රැඩිකල්  අදහස් හොඳට වදිනවා . ඉතින් මම සෑහෙන්න මේ ගැන හිතුව .

 ඒ වගේම උදේ හවස පන්සිල් ගන්න එක, ඔය පින්කම් කරන එක ගැනත් අධිකාරම් මහත්මය දරල තිබුන අදහස් මගේ සිත් ගත්ත . ඒ කියන්නේ  උදාහරනෙකට කෙනෙක් ජිවිතේ එක පාරක් පන්සිල් ගත්ත නම් ඇති කියන එක . මේ අදහස් මගේ සිත ගත්ත .  මටත් හැමදාම පන්සල් ගිහින් ගාථා කියවන වගේ දේවල් පොඩි කාලේ ඉඳන් ඒ හැටි අල්ලලා ගියේ නෑ ... ඕක නොකළ කියල මොනවා වෙන්නද කියල තමයි හිතිලා තිබුනේ .

කොහොම හරි මේ අදිකාරම් දර්ශනය මාව සම්පුර්ණයෙන් වෙනස් පාරකට  ගෙනිච්චා .  මම කොහොමත් අමද්‍යප චරිතයක් සහ ඒ හැටි වල බහින ජාතියේ නොවන, ගෙට වෙච්ච කොල්ලෙක් නිසා ඒ කියපු බොහෝ දේවල් නිරායාසයෙන් ම මගේ ළඟ තිබුන .

මේ ඉන්න අතරේ ඉතින් මගේ වැඩත්  ඔහේ කෙරීගෙන ගියා , අක්කටත් රස්සාවක් හම්බ වෙලා අක්කගේ මහත්තය වෙච්ච දිමුතු අයියටත් හොඳ රස්සාවක් ලැබිල ආර්ථික ප්‍රශ්න එතරම් දැනුනේ නෑ... අමාරුවෙන් රිපීට්  වේවි මමත් කොහොම හරි කෝස්  එක කර ගත්ත .

දිමුතු අයියත් අවංකවම මගේම සහෝදරයා වගේ තමයි . එයා අපි වෙනුවෙන් බොහෝ දේවල් කළා . අක්කත් එක්ක හොඳ සැප ජිවිතයක්  ගෙවන්න ඕනේ තරම් පුළුවන් කම තියෙද්දී අපිත් එක්ක අපේ ගෙදර නතර වෙලා සැහෙන උදව් කළා . ඒ වගේම වැදගත් ම දේ තමයි එයත් මම වගේම මේ ඇත්ත මොකක් ද කියල හොයන්නන් උනන්දු වෙච්ච චරිතයක් වීම . මගේ ජීවිතේ  කඩා වැටිච්ච ගොඩක් වෙලාවට ආයේ මාව ගොඩ ගත්තේ දිමුතු අයිය . අදටත් ඕනේ වෙලාවක ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියන්නේ එයාට .

මේ අතරේ මමත් ජොබ් එකකට ගිහින් ඉතින් දැන් ඔහේ ජිවිතේ ගෙවාගෙන යනවා . නමුත් හිත ඇතුලේ තිබුණු දුක , තාත්තාගේ මතකය නිසා සැරින් සැරේ හිත අඳුරු වෙලා ජිවිතයම දුකින් බර වෙන ස්භාවය තිබුනා . ඒ එක්කම තව දුරටත් පන්සලෙන් හෝ හාමුදුරුවරුන් ගේ බණ  අසා වැඩක් නැති බවත් මට තේරුම් ගියා . ඒක  පුද්ගල සාපේක්ෂ දෙයක් . මට පුද්ගලිකව හිතුනේ එහෙමයි . නමුත් අම්මට අක්කට පන්සල සහ හාමුදුරුවරු ගැන ගැටලුවක් තිබුනේ නෑ .

ඔහොම විවිධ විදියට මේ බුදුදහම සහ ධර්මය ගැන විස්තර හොය හොයා ඉන්නකොට මට කියවන්න ලැබුන බුදුහාමුදුරුවන් සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පසුව මෙලොව ඉපදුනු ශාස්තෘ කෙනෙක් විදියට මිනිස්සු සලකන ජේ. ක්‍රිෂ්නමුර්ති  තුමා ගැන . ක්‍රිෂ්නමුර්ති තුමා ගැන මම මුලින්ම කියෙව්වෙත් අදිකාරම් මහත්මය ගැන ලියවෙච්ච පොතෙන් .  මේ කාලේ 2007 වගේ . මේ බ්ලොග් එකේ මම 2007 අවුරුද්දේ ලියල තියෙන්නේ එකම එක ලිපියයි.  ඒ ලිපිය මේ ක්‍රිෂ්නමුර්ති  තුමා ගැන බොහොම සරල හැඳින්වීමක් .

ජේ.ක්‍රිෂ්නමුර්ති තුමා 

 ඒ  ලිපිය ලියන්න හේතු වුනේ මම දවසක් ඔය ඒ දවස් වල පොඩි සින්  එකක් තිබ්බ ගෑනු ළමයෙක් සම්බන්ධ මොකක් හරි වැඩකට බයික් එකේ නුගේගොඩ ගිය වෙලාවක නුගේගොඩ තියෙන ජාත්‍යන්තර ක්‍රිෂ්ණ මුර්ති මධ්‍යස්ථානය ගැන දැන ගන්න ලැබීම . ඒ බෝඩ් එක දැකපු මම යන්න ගිය ගමන පැත්තක දාල ඒ ක්‍රිෂ්නමුර්ති  සෙන්ටර් එකට ගියා .

එදා ඉඳන්, මම ඒ වෙනකොට හොයන්න උත්සාහ කරපු දේ ලැබෙන මාර්ගයේ මම යනවා කියන හැඟීම මට දැනෙන්න පටන්  ගත්තා .

මම ක්‍රිෂ්නමුර්ති තුමා විසින් කරපු හැම දේශනාවකවම වගේ වීඩියෝ හොයා ගත්තා . ඔය නුගේගොඩ තියෙන සෙන්ටර් එකේ හොඳ පුස්තකාලයක් තියෙනවා . ඒ වගේම එතන ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශන අසන්න ඉඩ පහසුකම් තියෙනවා . මම ඉතින් සමහර වෙලාවට එතෙන්ට ගිහින් ඔය දේශනා අහගෙන ඉඳල එනවා . ඒ හැම එකම ඉංග්‍රීසියෙන් තියෙන ඒවා නිසා මට ගොඩක් දේවල් නොතේරුණත් ඒ කියන සමහර කරුණු ගැන හිතන්න සැහෙන දේවල් තියෙනවා කියල මම ඒ වෙනකොට තේරුම් අරන් තිබුනේ .

පස්සේ මම ගෙදර ඇවිත් ඉන්ටර්නෙට් එකේ තිබුණු ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශනා සහ සාකච්චා ඩවුන්ලෝඩ් කළා . ගොඩක් ඒව සබ්ටයිටල් එක්ක තිබුණු නිසා නතර කර කර බලල තේරුම් ගන්න පුළුවන් වුණා.

මේක කියවන කෙනෙකුට මේ කතාව ගැන නිකන් හරි උනන්දුවක් තියෙනවනම්  ඒ වගේම ඔබ බුදුදහම නැත්නම් මේ ආගම් ගැන විවෘතව  හොයල බලන්න කැමති කෙනෙක් නම් මම කියන්නේ ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශන, සාකච්චා  සහ ලිපි පොඩ්ඩක් කියවල බලන්න කියන එක . මේ කියන්නෙත් අර කියපු දේම නේ කියල ඔබට තේරෙයි . නමුත්  දවටන වලින් තොර හරය ඒ කතාවල තියෙනවා කියල ඔබට දැනෙයි .

ඒ වගේ ම ක්‍රිෂ්නමුර්ති  තුමාගේ ජිවිත කතාව කියවල බැලුවොත් ඔබට තේරුම් යයි  එතුමා තමන් විසින් අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා මිසක් කටපාඩම් දැනුමක් දේශනා කරන කෙනෙක් නෙවෙයි කියල. ඒ ඔරිජිනල් ගතිය මම ඒ වෙනකොට කියවපු කිසිම පොතකින් වත් කතා බහ කරපු කිසිම හාමුදුරුකෙනෙක් තුල වත්  දැක්කේ නෑ ...

එසේම මේ ක්‍රිෂ්නමුර්ති තුමා ගැන සහ එතුමාගේ ඉගැන්වීම් ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ගේ අදහස්  හැකිනම් කියවා  බලන්න. අපි නොදන්න  තව බොහෝ දේවල් ඉතිහාසයේ තියෙන බව ඔබට වැටහේවි .

මෙන්න මෙතන තියෙනවා බලංගොඩ  ආනන්ද මෛත්‍රී හිමියන් ක්‍රිෂ්ණ මුර්ති තුමා ගැන ලියපු සටහනක්

ගොඩක් වෙලාවට අපි හිරවෙන තැනක් තමයි අපි මේ උපන්දා සිට උදේ හවස අහන බණ  ටික විතරයි හරි  එතනින් එහාට දෙයක් නෑ කියන  එක . මම හිතන්නේ ඒක තමයි අපිට මේ බුදු දහම තේරුම් ගන්න බැරි වීමේ මුලික අවුල. බුදු දහම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි . බුදු දහම ලෝකය පුරා තව විවිධ විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා . සෙන් දහම , මහායානය ආදිය කිසිත් නොදැන මේවා බොරු කියල ප්‍රතික්ෂේප නොකර ඒවා ගැන ඉගෙනීමෙන්  බුදු දහමේ අපෙන් සැඟව  ගිය බොහෝ කරනු හොයා ගන්න පුළුවන් .

බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කවුරු කිව්වත් පිළිගන්න එපා . තමන් විසින් සොයා බලල තේරුම් ගන්න කියල. ඉතින්  ඇයි  අපි ඒක නොකරන්නේ ?  බුදු දහම කියන්නේ අපිට තර්කයෙන් හිතල , ඇනලයිස් කරලා  තමන් විසින් ප්‍රඥාව මෙහෙයවල තේරුම් ගන්න ඕනේ ධර්මයක් කියලයි මම විස්වාස කරන්නේ. මම ඒ දවස් වල කලේ අන්න ඒක.

කොටින් ම කිව්වොත් සමහර දවස් වල ඔය දේශනා වල තිබුණු සමහර කරනු ගැන ඔලුව කැක්කුම හැදෙන කම් මම කල්පනා කරලා තියෙනවා . ඒ කරුණු සැහෙන ගැඹුරුයි .

දිමුතු අයියයි  මමයි සැහෙන්න මේ කරුණු ගැන සාකච්චා කරලා තියෙනවා . ඔය ක්‍රිෂ්නමුර්ති තුමාගේ සාකච්චා දාගෙන ඒවායේ තියෙන කරනු ගැන අපි සැහෙන්න කතා කරනවා . ගොඩක් දේවල් අපි දෙන්නටම තේරෙන්නේ නෑ මොකක් කියන්නේ කියන එක. නමුත් අපි අත අරින්නේ නැතුව ඉතින් බලනවා.   

අක්කත් අපිත් එක්ක එකතු වුනාට  ඒ වෙනකොට අක්කට බබාලා ලැබිල එයා ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ. 

ඔය විදියට කාලේ ගෙවෙද්දී මම රස්සාවත් හොඳට කරගෙන ගියා . මේ දේවල් වලට යොමු වුණා කියල මගේ පුද්ගලික ජිවිතේ වෙනස් වුණේ  නෑ .. කෙල්ලන්ට ලයින් දාන ඒවා , පොඩි පොඩි රස්තියාදු ගහන දේවල් ඒ විදියටම තිබ්බා . හැබැයි ඉතින් ඒ වෙනකොට ජීවතේ දිහා බලන විදිය සහ ප්‍රශ්න වලදී මුණ දෙන විදිය සැහෙන්න වෙනස් වෙලා තිබුනා .  තාත්ත නැතිවෙලා අවුරුදු 4-5ක් ගෙවිලා තිබුන නිසා දුක තුනී වෙලා අපි තාත්ත නැති ජිවිතේට පුරුදු වෙලා තිබුනේ.

මෙහෙම කාලයක් ඉන්නකොට මට හිතෙන්න පටන් ගත්තා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන කොට අපිට එන ගැටළු  නැත්නම් මේ කියන්නේ මොකක්ද කියන එක තව ටිකක් පැහැදිලි කරගන්න විදියක් ඕනේ කියන එක . දිමුතු අයියත් ඒ ගැන සැහෙන උනන්දුවකින් හිටපු නිසා  අපිට මේවා ගැන කෙලින් කතා බහ කරන්න පුළුවන් කෙනෙක් හෝ  කණ්ඩායමක් ඕනේ කියන හැඟීම ඇවිල්ල තිබුනේ .

හැබැයි අපි තේරුම් ගත්ත හාමුදුරුවරුන් ගෙන් මේ දේවල් ගැන අහල ඒ හැටි වැඩක් නෑ  කියන එක. මොකද අපි ඔය දාන වලට එන හාමුදුරුවරු වාහනේ එක්ක යන අතරේ ඔය වගේ මාතෘකා ඇදල  ගත්තට ගොඩක් වෙලාවට හාමුදුරුවරු දෙන්නේ අර පොතේ තියෙන උත්තරේ. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ මෙච්චර කාලෙකට මට හම්බවෙච්ච කිසිම හාමුදුරු කෙනෙක් විවෘතව මේ ධර්ම කරුණු ගැඹුරින් සාකච්චා කරන්න තරම් ඒවා ඉගෙන ගෙන ඇති කියල මට හිතුනේ නෑ.  ඒ කියන්නේ එක්කෝ පොතේ තියෙන දෙයින්  එහා ගිය දෙයක් ගැන හාමුදුරුවරු හිතල බලල නෑ . නැත්නම් අපි ඇහුවට  කියන්නේ නෑ . මම මේ කියන්නේ ඉතින් ගමේ පන්සල් වල ඉන්න හාමුදුරුවරු ගැන . මේ දැනුම තියෙන හාමුදුරුවරු ඉන්නවා නමුත් අපිට හම්බ වුනේ නෑ .

මට ඒ වෙනකොට මේ ධර්මය ගැන තර්ක කරන්න දැනුමක් තිබුනේ නෑ . නමුත් කියන දේ ඒ කියන පුද්ගලයාවත් හරියට තේරුම් අරගෙනද කියන්නේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් කමක් තිබුණ. මම අදිකාරම් චරිතය සහ ක්‍රිෂ්නමුර්ති  ගේ ඉගැන්වීම් වලට කැමති වුණේ  තමන් විසින් පිළිපදින තමන් විසින් අවබෝධ කරගත්ත දෙයක් ඔවුන් ගේ දේශනා වල තිබිච්ච නිසා .  

ඉතින් මේ විදියට කාලයක් යනකොට අක්කල අලුතින් ගෙයක් හදල පදිංචි වුණා . මමයි අම්මයි නංගියි විතරක් ගෙදර හිටිය . ටික කාලෙකින් නංගිත් බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි මමයි විතරක් ගෙදර ඉතිරි වුණා.

මෙහෙම ඉන්නකොට අපේ දිමුතු අයියට තවත් අපුරු චරිතයක් හම්බ වුණා....

ඒ චරිතය අපි හැමෝගෙම ජිවිත වෙනස් කරපු හැටි පස්සේ ලියන්නම්