Saturday, May 05, 2018

කැරකෙන ලෝකේ...

                
                ලියන්න දේවල් 15002ක් විතර ඔළුවට ආවට කිසිම දෙයක් නොලියා මාස 2ක් ගත වුනා. පෙබරවාරි මාසේ අන්තිම එක ලිව්වට පස්සේ ලියන්න ඕනේ තරම් වෙලාව සහ විවිද දේවල්  තිබුනට හැමදෙයක්ම නිකන් අංජබජල් වෙලා තිබුනේ. සිංහලෙන් Unsettle කියන්නේ. අන්න එහෙම වෙලා. කොටින්ම කිව්වොත් දැන් මම මගේ Motto එක විදියට පාවිච්චි කරන්නේ Never Settle කියල. ඔය වයසට ඔහොම ඉඳල බෑ නේද? අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. අපි නම් ඔය කාලේදී මෙහෙමයි. ඔන්න  ඔහොම ලැබෙන අවවාද අනුසාසනා අහගෙන සම්මත විදියට වැඩ කරන්න ගත්තට මොකද අන්තර් විශ්වීය කුමන්ත්‍රණ වලින් කොහොම කොහොමින් හරි ඒවා වළක්වල, මේ අහිගුන්ටික හෙවත් සිංහලෙන් කිව්වොත් Posh Nomad ජිවිතේකට ගෙනල්ල අතෑරලා දාල තියෙනවා.  මං ඔය මාවල් චිත්‍රපටි, එතකොට ස්ටාර් වෝර්ස්, ස්ටාර් ගේට්, ස්ටාර් ට්‍රෙක් වගේ ඒවා බලන හින්ද ඔය අන්තර් විශ්වීය කුමන්ත්‍රණ ගැන හොඳට දන්නවා. ඒ නිසා මේ බයියන්ගේ ටොයියන්ගේ උපදෙස් පැත්තක තියල අපි දෙන්නා Finding Neverland වගේ ඉන්නවා. 

                  කොටින්ම කිව්වොත් අපි ආපහු ඒ කියන්නේ බැක් ටු මැලේසියා ආවා. මෙතැන් සිට සියලු දේ මැලේසියාවේ සිටය. දැන් ඔය මගේ කෙරුවාවල් ගැන යන්තම් යන්තම් හරි දන්න කියන අයට ලොවෙත් නැති ප්‍රස්න තියෙනව. ඒ කියන්නේ...

අර ගෙයක් හදන්න ගත්ත කිව්වා නේද? එතකොට ඒක? 
ආ ඒක ද? මම එහෙම එකක් කිව්ව ද? ආ කිව්ව ද? 
ඔව් ඔව් ඒ දවස් වල හෙන ටෝක්ස් දුන්න නේද? 
ආ ඒක මේ.. මේ.. මේ... බාගෙට හැදුවා... ඔව් ඔව්... හදල තියෙන්නේ...  මේ මේ... දැන් පොඩ්ඩක් නතර කළා... 
පොඩ්ඩක් කිව්වේ...? 
පොඩ්ඩක් කිව්වේ... පොඩ්ඩක් හදල නතර කළා...
ඇයි නතර කලේ...? එහෙම නතර කරන්න හොඳ නෑනේ...
නතර කලාට මක් වෙනවද? 
නෑ මේ... මම කිව්වේ ඉතින් මේ..... හදන්න පටන් ගත්තු විදියට ඉතින් අපි හිතුවේ.....
අපි ඒක නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළා...  
එතකොට අර ගෙනිච්ච බඩු...? වික්ක ද? 
නෑ නෑ වික්කේ නෑ... 
විකුණනවද දන්නේ නෑ නේද? 
නෑ නෑ විකුනන්නෙත් නෑ... 
හරි හරි.... මම මේ නිකන් ඇහුවේ...  
ඒ කියන්නේ මැලේසියාවේ ඉදන් ගේ හදනව ද?  
නැවත දැනුම් දෙන තුරු නතර කළාම නැවත දැනුම් දීලා තමයි ආයේ හදන්නේ. එතකං පොඩ්ඩක් ඉන්න. 
හරි හරි මම මේ නිකං ඇහුවේ...  

දෙන්න තුං දෙනා වෙන්න අදහසක් නැද්ද දැම්ම? 
තුං වෙනියා මගක් දුර ඇවිල්ල ආපහු යන්න ගියානේ.. අයේ ඕනේ දවසක එයිනේ...
ඒකත් එහෙම ද? ඕවා ඔහොම තමා. හැබැයි එහෙම කියල බෑ... 
දැන් බලන්න අර අපේ අහවලාගේ අහවල් ගෙදර...
අපි ඒකත් නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළා...
හෙහ් හෙහ් එහෙම පුළුවන් ද? ඕවා කල් දාල බෑ...
නෑ නෑ කල් දාන්නේ නෑ... බය වෙන්න එපා...
ඔය කිව්වට අර අපි දන්න ගෙදරක........
හරි හරි මම කිව්වනේ අපි නැවත දැනුම් දෙන්නම්...

දැන් එතකොට මැලේසියාවේ ඉන්න තැනක් රස්සාවක් එහෙම තියෙනවද..?
ඉන්නේ මැලේසියාවේ හන්දියේ බෝ ගහ යට... රස්සාවට කරන්නේ බෝ ගහේ කපුටෝ ගනන් කරන එක..
හෙහ් හෙහ් එහෙම කියල පුළුවන් ද?
ඉන්න තැනක් රස්සාවක් නැතුව කොහොම ද?
ඉන්න තැනක් රස්සාවක් තියෙනවා...
කලින් තැනම ද?
නෑ නෑ වෙන තැනක්.
එතකොට ඉන්නේ..?
ඉන්නෙත් වෙන තැනක...
ආ ඒක හොඳයි...
උයාගෙන ද කන්නේ?
නෑ මා ළඟ මැජික් පොල්ලක් තියෙනවා. මන්තරේ මතුරලා ඒකෙන් මේසෙට තට්ටු කරන්න විතරයි තියෙන්නේ කෑම ඉබේ පහල වෙනවා. 
හහ් හහ් හා.. හරි ෂෝක් නේ... ලංකාවට ඇවිල්ල ගියාට පස්සේ විහිළු කාරයෙක් වෙලා නෙ..
මැලේසියාවේ හන්දියේ කඩෙන් ගත්තේ... ඕනනම් පොල්ලක් ගෙනත් දෙන්නම්...


මටත් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ...
මැලේසියාවේ බඩු ගණන් ද?
නෑ... ඔක්කොම මන්තර බලෙන් ලැබෙන්නේ... 
විහිළු නෙමෙයි අනේ...
මැලේසියාවේ තියෙන්නෙත් ලංකාවේ තියෙන බඩුම තමා. එකම කොම්පැනි වල හදන, එකම බිස්නස් කරන මිනිස්සු ඉන්නේ, බඩු ගණන් තමා.
වෙන රටකට යන්න තිබ්බනේ... ඇයි අපහු මැලේසියා ගියේ?
මේක ඉතින් දන්න කියන තැන නේ...
වෙන කොහේ හරි යනව ද?
අහිගුන්ටික ජිවිතේ නෙ.. කොහේ යයි ද කවුද දන්නේ...
ඒ වුණාට ඔය වයසට ඔහොම ඉඳල බෑ... පිළිවෙලක් වෙන්න එපෑ..
හරි හරි...එහෙම කරන්නම්කො.... එහෙනම් මම ගියා බායි...

ඔන්න ඔහොමයි ඉතින් ඕවා සිද්ද වෙන්නේ. ලෝකේ කැරකෙන එකේ අපිත් ඔය කවද හරි නතර වෙනකම් ඔන්න ඔහේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න එකනේ... 


16 comments:

  1. ඔහොම කිව්වා කියල හරි යන්නෙ නෑනෙ. දන් එතකොට settle වෙන්නෙ නෑද්ද :).

    ReplyDelete
    Replies
    1. ඔය settle කියන එකේ හරි තේරුම පැහැදිලි නැතුව මේ ඉන්නේ... පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරි ද?

      Delete
  2. ඔය බෝ ගහේ කපුටො ගනින්නේ ඇයි?
    ඒක කවුරු හරි කම්පැනියකින්ද ඔයාට පවරලා තියෙන්නේ?
    ලොකු පඩියක් ගෙවනවා ඇති නේද !?
    එකම කපුට දෙපාරක් ආවොත් දෙපාරක් ගනිනවද?
    ඕකේ කපු‍ටු කූඩු නැද්ද?
    ඒවයෙ පැටවු නැද්ද?
    උන් හැමදාම ඔය ගහේමද කූඩු හදන්නේ?
    සුදු පාට කපුටොත් ඉන්නවද?
    ගනින්න උඩ බලන් ඉන්නකොට උන් හෙලන වර්චස් පිඩවල් කටට වැටෙන්නැද්ද?
    ලංකාවෙ මෙච්චර බෝ ගස් තියෙද්දි කපුටො ගනින්න මැලේසියාවෙම බෝ ගහක් ‍තෝර ගත්තේ ඇයි?

    මටනම් තියෙන්නේ ඔය වගේ වැදගත් ප්‍රශ්ණ මිසක් අනම් මනං විකාර ප්‍රශ්ණ නෙමේ. පේනවනෙ අපි කොච්චර වැදගත්ද කියලා...
    :D

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් ප්‍රශ්න... මේ වගේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ප්‍රශ්න අහන්න ඕනේ..
      මම ඔය ප්‍රශ්න වලට උත්තර එක්ක ළඟදීම තව පෝස්ට් එකක් දාන්නම්.. හෙහ් හෙහ් :D

      Delete
  3. ඇයි 15002 ක් ම ලියන්න දේවල් ඔළුවට එන්නෙ.
    ඕක 15000 ට වටයන්න බැරිද?
    15000 අතෑරල දාය ඉතුරු දෙක හරි ලියන්න තිබුණෙ නැද්ද?
    ඇයි ඉතිං මෙහෙම පෝස්ට් එකක් දැම්මෙ?
    අපි ඇහුවද ඔහේ මොකෝ කරන්නෙ කියල?
    මැලේසියාවෙ කපුටො කොළ පාටද?
    ඇයි කපුටොම ගණං කරන්නෙ වෙන සතෙක් හිටියෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. 15002න් මොන දෙක තොර ගන්න ද කියල හිතා ගන්න බැරුව සෑහෙන්න කාලයක් හිටියනේ... අන්තිමට මේ 15003 වෙනියට ඔළුවට ආපු එක ලිව්වේ..

      දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක අනුන්ට අදාළ නැති දේවල් අපිම ප්‍රසිද්ධ කරලා, අනුන් ඒවා ගැන අහන ප්‍රශ්න නිසා අපි අනුන් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එකනේ..

      මමත් දැන් ඒ ට්‍රෙන්ඩ් එකට යන්නේ.. කැරකෙන ලෝකෙත් එක්ක අපිත් කැරකෙන්න ඕනේ..

      අර කලින් සෙන්න අහපු ප්‍රශ්න වලට උත්තර එක්කම ඉතිරි ටිකටත් උත්තර දෙන්නම්..
      ආවට ගියාට උත්තර දෙන්න බෑ...
      ඔය ඔප දුප වගේ නෙවෙයි නේ.. රස්සාව ගැන ප්‍රශ්නනේ...

      Delete
  4. ඔහ්.. එහෙමත් උනාද?
    ඇවිත් මගදී ගියපු අය ගැන වැඩිපුර හිතන්නේ නැතුව ආපු එක හොඳයි. 'යෝගට්'ට කරදරයක් නැහැ නේද? එහෙනම් එච්චරයි!

    පිට රටක කාලාන්තරයක් ඉඳල ලංකාවට ඇවිත් ඔය Settle කියන දේ කරන්න ගියාම ගොඩ දෙනෙක් අවසන් කරන්නේ ආපහු ගිහින්. එහි කිසිම වරදක් පෙනෙන්නේ නැහැ. අනේ ඔය රට්ටු කියන එව්වා මොකටද,තමන් සතුටෙන් ඉන්නවා නම්!

    පැතුම් දිගටම ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ආපහු ගිය කෙනා කරදර නොකරම යන්න ගියා. ආපහු මේ පැත්තට හැරෙන්න සිග්නල් වැටුනේ ඒ ගියාට පස්සේ. කිසි අවුලක් නැතිව යෝයෝ ඉන්නවා.

      ලංකාවේ සෙට්ල් වීම අපි හිතපු තරම් ලේසි වුනේ නෑ තමයි. අමාරුවෙන් වද විඳ විඳ මොකට ඉන්නවද කියල හිතුනා. පස්සේ ඔන්න ඔහේ ආපහු ආවා.

      බය වෙන්ඩ එපා.. මේ සැරේ නම් ලියනවා ලිවිල්ලක්.. ඔන්න බලන්නකෝ...

      තව මාසෙකින් විතර ආයේ එකක් ලියන හැටි... හෙහ් හෙහ්

      Delete
    2. අනේ ඔව්... ලංකාවට adjust වෙනවට වැඩිය ලේසියි මම හිතන්නේ ගැලපෙන තැනකට වෙලා එක. ඔය දේශානුරාගී කාටත් අවස්තාවක් හෝ chance ලැබුනොත් බලාගත්තැකි කරන වැඩේ. ජිවිතේ කෙටියි. විදින්න මිසක් විඳවන්න ඕනේ නැහැ. ඒක තමයි රසවත් ජිවිතේක රහස.

      පැතුම්ගේ ලිවීම් වල වෙනසක් තියෙනවා දැන්. ඒ ඇයිද කියා මම මේ කල්පනා කලේ. පරිසරය වෙනස් උනාම වත් ලියයිනේ නේද? මේ අවකාශයේ ලිවිම කියන දේ සංයමයෙන් කරන දෙතුන් දෙනා අතරේ ඔබත් ඉන්න නිසයි කියන්නේ. ලිවිම බෙහෙතක්. ( ඔබ වගේ ලෙඩ්ඩුන්ට ! හි හි හි )

      Delete
    3. ලිඛිතට විතරයි හරියටම ඔය සංයමය කියන දේ තේරුනේ.. අනිත් අය ඔක්කොම හිතන්නේ මම මේ කම්මැලි කමට නොලිය ඉන්නවා කියල.. හෙහ් හෙහ්

      නියම සංයමයෙන් ලියද්දි මාසෙකට එකක් ලිව්වත් වැඩි ද මන්ද.. නේද..? හෙහෙ හෙහෙ හෙහ්


      ලියන එක මට එපා වෙලා නෑ මේ වෙන කම්. ලියන විදිය වෙනස් වෙලා කියල හිතෙන්නේ මොකද කියල තේරෙන්නේ නෑ... සංස්කරණය කිරීමකින් තොරව ඔහේ ලියාගෙන යන එක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ... වයසට යන හින්ද වෙන්ඩ ඇති ටික ටික වෙනස් වෙන්නේ.. හෙහ් හෙහ්..

      Delete
  5. තමන්ගේ සතුටනේ වැදගත්,අනික් අය කියන දේ අහා කරන්න ගිහින් බුරුවගේ පිටේ ගිය මනුස්සයට උන දෙයි වෙන්නේ. දිගටම ලියන්න ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම තීරණේ කරලා ආවේ. කාගෙන් වත් විරුද්ධත්වයක් නම් තිබුනේ නෑ.. වැදගත් වෙන්නේ ඉන්න තැන අනුව අපේ සතුට නැති වීම වලක්වා ගන්න එක.

      සතුට සාපේක්ෂ වුනාම තාවකාලිකයි.. හෙහ් හෙහ්..

      Delete
  6. මැලයාසියාවෙ සිගරට් ලාබද. කට්ටිය බොනවද. හැක්

    ReplyDelete
    Replies
    1. සිගරට් වල ගණන් නම් දන්නේ නෑ බන්.. බොන අය නම් ගෑනු පිරිමි බේදයක් නැතුව ඕනේ තරම් ඉන්නවා. මම හිතන්නේ ඔය පොඩි පෙට්ටියක් රුපියල් 500ක් විතර ඇති. තැපෑලෙන් එකක් එවන්නද?

      Delete
  7. අපෙත් තුන්වෙනියා මගට ඇවිත් ගියා.ඉතින් ඊට පස්සේ ආයෙමත් අලුතෙන් පටන් ගත්තා....:)
    කොහොම වුනත් ජිවිතේ යන්නේ ඔහොම තමයි.එක එක පති වල එක එක විදියට යනවා.ඒ ඒ විදියට අපිත් හැඩගැහෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් කල් ඉඳල හදපු නිසා වෙන්න ඇති. ආයේ හදනවද නැද්ද කියල තාම හරියටම තීරණේ කලේ නෑ.. එන විදියක් බලනවා..

      ඔව් ලේසියෙන් හැඩ ගැහෙන්න ඉගෙන ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ..

      Delete