Wednesday, August 30, 2017

දෙවියෝ සහ භූතයෝ


             කොච්චර මතවාද තිබුනත් මේ දේව භූත සංකල්ප අපේ ඔලුවෙන් අයින් කරන්න හරි අමාරුයි. අපි කොච්චර උගත්, බුද්ධිමත්, දියුණු ජාතියක් කියල හිතුවත් ජීවිතේ යම් යම් අවස්ථා වලදි මේ දේවල් වලට යොමු වීම සිද්ද වෙනවා. හැමදේම හරියට ගානට සිද්ද වෙන තාක්කල් අපි මේවට බැන්නට අපේ ජිවිත වලට එන කරදර බාධක වලදී  අඩුම තරමේ අපේ පවුල් වල අය හරි අපි වෙනුවෙන් මේ දේවල් වලට යොමු වෙනවා.

           තම තමන්ගෙ පුද්ගලික මතවාද මොනව උනත් ඔන්න ඔහෙ ඕවා කරලා දානව මම නම්.  එහෙම කලාම දෙවියෝ භූතයෝ කොහොම වෙතත් ගෙදර දොරේ කනක් ඇහිලා සැනසිල්ලේ ඔය තියෙන ප්‍රශ්නෙකට විසදුමක් හොයන්න පුලුවන්. නැත්නම් ඉතින් මේ ඔක්කොම වෙන්නේ දෙයියෝ කෝප වෙලා හින්දා නැත්නම් මොනව හරි දෝශ හිංද තමයි කියන එක ඔලුවට ඇවිල්ලා සිහි බුද්ධියෙන් හිතල මතල වැඩක් කරන්නෙත් නැතුව යනවා. ඉතින් මුලින්ම දේව භූත සයිඩ් එක ඒ ඒ අයගෙ හිතේ හැටියට බැලන්ස් කරල හිටියහම වැඩක් කරගෙන යන්න ලේසියි.

             මම එක සැරයක් හෝ දෙසැරයක් ඔය දේවතා එලි කියන පාවෙන ලයිට් දැකල තිබීම ඇර වෙන කිසිම අත්දැකීමක් මෙච්චර කාලෙකට ඔය සම්බන්දයෙන් ලැබිලා නෑ.

හැබැයි මේ පහුගිය දවසක සිද්ද වෙච්ච දෙයක් නිසා මේ දේවල් ගැන අපි හැමෝම නැවත සිතා බැලිය යුතුයි කියල හිතුනා.

මොකද මේ විශ්වයේ තියෙන සමහර ශක්තීන් ගැන අපි තවම නොදන්න නිසා. පෞරාණික දැනුම හෝ විශ්වාස ගෙඩි පිටින් බැහැර නොකර සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුයි කියල මට හිතුනා.

කතාව මෙහෙමයි.

අපි දෙන්න රට ඉදලා මෙහෙ ඇවිල්ලා දැන් මේ අපේ සකලසිරින් පිරි සිරි ලංකාවේ අලුතින් ගෙයක් හදන්න පටන් අරන්නෙ ඉන්නෙ.

"අයියෝ පිස්සුනෙ.. කවුද මේ රටට ආපහු එන්නෙ. මේක කවදාවත් හැදෙන රටක් නෙවෙයි. ඔය වයසට තව ටිකක් රට ඉදල, තව සල්ලි හොයල, ජොලි කරල ඉන්න එපැයි."

ඔහොම අවවාද අනුශාසනා බොහොමයක් ලැබෙද්දි අපි ඉතින් මෙහෙ ඇවිල්ලා අපිට පුලුවන් විදියට ගෙයක් හදන්න ගත්තේ මොනව උනත් මේක අපේ රට නිසාත් තමන්ගෙ රටේ තමන්ට කියල හරි හමන් තැනක් නැතුව නිකන් අහිගුන්ටික ජීවිතයක් ගෙවන්න අපි අකමැති වීම නිසා තමයි.

තව කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද කියන එක ගැන දැනට අපි අමතක කරලා මාතෘකාවට බහිමුකො... හෙහ් හෙහ්

ඔය ගෙවල් දොරවල් හදනකොට සුභ දවස්, නැකත්, වාස්තු එහෙම බලන එක අපේ සම්ප්‍රදායක් නේ. හරියට අවුරුදු නැකත් අපේ සම්ප්‍රදායක් වෙලා තියෙනවා වගේ... මට ඉතින්  ඕවා ගැන තියෙන්නේ පතෝල වගේ හැඟීමක් හින්ද උනන්දුවක් දැක්වුවේ නැති වුනාට ඉතින් සෙසු පිරිසගේ සිත් සතන් සනසවනු පිණිස ඔය හැමදේම බැලුව. මම ඉතින් ඔය ඩයිබර් වැඩේ, එතකොට ඔය අනිත කටු වැඩ එහෙම කරලා කොහොම කොහොම හරි අවශ්‍ය දේවල්, නැකත්, වාස්තු, ඊට පස්සේ ඔය එක එක දේවල් ඔක්කොම ලැස්ති කරලා ගත්ත.

ඔය වාස්තු බලපු කෙනා ඉතින් දකුණු ලකේ බොහොම පිළිගත් කෙනෙක්. ඒ වගේම උගත් කෙනෙක්. ව්‍යාපාරයක් විදියට නැතුව සේවයක් විදියට තමන් දන්න සාස්තරෙන් අනුන්ට උදව් කරන ඉංජිනේරු මහත්තයෙක්. කට්ටක් කාල තමයි හම්බ වෙන්න එහෙම පුළුවන්. කොහොම වුනත් ඉතින් ඒ මහත්මය කියපු විදියට අපි මේ වැඩේ පටන් ගත්තා. 

ගෙදර වැඩ කටයුතු පටන් ගන්න දවසට දවස් 3ක් කලින් ඉඳල රෑ 9න් පස්සේ අපේ ඉඩමට ගිහින්, පහන් පැලවල් හදල, පහන් පත්තු කරලා තුන් සුත්‍රය, ධජග්ග සුත්‍රය එහෙම කියන්න කියල තව තව පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තිබුනා. මේ වෙද්දී අපේ ඉඩමයි ඊට අල්ලපු ඉඩමයි දෙකම මම සුද්ද කරලා වැඩේට ලැස්ති කරගෙන තිබුනේ. අල්ලපු ඉඩමේ කෙනාගෙන් අවසර අරගෙන තිබුනේ ඒ හිස් ඉඩම අපි අපේ වැඩ වලට ගන්නවා කියල.  ඔය අල්ලපු ඉඩමේ තිබුනා ලොකු කැන්ද ගහක්. මම බැකෝ එකෙන් ඉඩම සුද්ද කරද්දී ඕක ගලවන්නත් හදල ඔන්න ඔහේ හෙවනටත් එක්ක කියල ඔහේ තියෙන්න ඇරිය.

ඉතින් කොහොම හරි අපි කට්ටිය ඒ කිව්වේ මමයි, මමයි, අම්මල දෙන්නයි දවස් 3ක් ඔය වැඩේට ගියා. කිසි අවුලක් නැතුව වැඩ ටික කළා. අන්තිම දවසේ ඒ කියන්නේ පහුවදා මුල් ගල තියෙනවනම් ඊට කලින්දා රෑ 10න් පස්සේ කරන්න කියල තව ඔය පොඩි පොඩි දේවල් ටිකක් එහෙම දුන්න. එදා ඉතින් මුළු දවසම එහෙට මෙහෙට දුවල, පහුවදා වැඩේට ඕනේ කරන දේවල් එහෙමත් ඔක්කොම ලැස්ති කරලා අපි රෑ වෙලා ඇවිත් ඔය කරන්න කියපු දේවල් කරන්න පටන් ගත්තා. 

ඔය ගෙවල් හදපු අය දන්නවා ඇති, සාමන්යෙන් ඉඩම් වලට ආරක්ෂාවල් එහෙම දාන සීන් එකක් තියෙනවනේ. මම පොඩි කාලේ අපේ තාත්තා ගේ හදනකොටත් ඕවා දැම්ම, ඊට පස්සේ අක්ක ගේ හදද්දීත් ඕව කළා. ඉතින් මේකත් අන්න ඒ වගේ දෙයක්. ඔය ආරක්ෂාවල් කරන්නේ ඉඩම් කඩම් වලට අයිතිවාසිකම් කියනවයි කියල කියන අමනුෂ්‍ය කොට්ටාශ වලින් ඒ ඉඩම් ආරක්ෂා කර ගන්නයි, හදන නිවසට ඔය ඒ වගේ බලවේග වලින් සිද්ද වෙන්න පුළුවන් කරදර වලක්වා ගන්නයි කියලයි මම නම් දන්නේ. ඔය වගේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හරි භාරගැනීම හරි තම තමන්ට ආදාල වැඩක් හැබැයි ඉතින් අර මම කිව්වා වගේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඕවා කරලා දැම්මම ලේසියි නේ. 

එතකොට වෙලාව රෑ 11 පහු වෙලා, වටේ පිටේ ගෙවල් වල මිනිස්සුත් ඔක්කොම ලයිට් නිවල නිදි, පහුවදා සතියේ වැඩ දවසක් නිසා පාරේ තොටෙත් කවුරුවත් නෑ. අපේ ඉඩම තියෙන්නේ කොහොමත් ප්‍රධාන පාරක් කිට්ටුව නොවන නිසා පැත්තම පාලුයි. 

අපේ ඉඩම කිට්ටුව ගස් කෝලන් ගොඩක් නෑ. තිබුනේ අර ලොකු කැන්ද ගහ විතරයි. ඔය ආපු දවස් ටිකේ අපි පහන් පැලවල් කීපයක් හදල පහන් පත්තු කළා කියල මම කිව්වනේ.  ඔය පහන් පත්තු කරද්දී මට තේරුණු දෙයක් තමයි අර කැන්ද ගහ කිට්ටුව තිබුණු පහන් පැලේ පහන අපි කොච්චර පත්තු කලත් ටක් ගාල නිවෙනව කියන එක. හුලං නිසා වෙන දෙයක් නෙවෙයි කියල හොඳටම තේරුණා ..පහන පත්තු කරන්න හරි අමාරු වුනා.  ඒ වෙලාවේ අපි කාටවත් ඕක ගානක් නැති වුනාට ඊට පස්සේ වෙච්ච සිද්දියත් එක්ක නම් හොල්මන් වෙලා ගියා.

අපේ ඉඩම පාරවල් දෙකකට මායිම් වෙනවා.  එකක් ප්‍රධාන පාර, අනිත් එක අතුරු පාර. ඔය පාරවල් දෙක සෙට් වෙන තුන්මන් හංදියට පස්ස හැරිලා මම මොකක් හරි වැඩක්, අනිත් කට්ටියත් ඉඩමේ ටිකක් එහාට වෙන්න ඔය පහන් පත්තු කරන, දුම් අල්ලන වැඩ. ඉඩමේ මුල්ලකට වෙන්න මම ෆෝන් එකේ යු-ටියුබ් එකෙන් තුන් සුත්තරේ දාල තිබුනා ටිකක් සද්දෙට. වෙන කිසිම කිසි සද්දයක් නෑ. එතකොට වෙලාව 11.30ට කිට්ටු වෙලා. වටේ පිටේ ඒ හැටි කරුවලක් තිබුනේ නෑ, මොකද පාරේ ලයිට් සහ අවට ගෙදරක එහෙම එළියේ ලයිට් දාල තිබුන නිසා. 

මම පාරට පිටුපාල හිටියා කිව්වනේ. ඊට විනාඩි 2-3කට කලින් මම පාර දිහාට හැරිලා තව මොන මොනවදෝ කළා, කොහොම හරි මම මගේ වැඩේ කරලා එක පාරටම අනිත් පැත්ත හැරුනා.

මුහුණ පුරා රැවුල වැවුණු, කොන්ඩේ උරහිස දක්වා විතර වැවුණු, කොන්ඩේ උඩ කොටස තාපසයෝ බඳිනවා වගේ උඩට ගෙඩියක් වෙන්න බැඳගත්තු, කෙට්ටු, කළු, උඩුකය නිරුවත්, කෙටි සරම් කෑල්ලක් වගේ ඇඳගෙන, මොනවදෝ පුරවපු මලු කිහිපයක් අතින් ගත්තු මනුස්සයෙක් මං ගාව හිටගෙන ඉන්නවා.

ඒ වෙලාවේ එතන අපි කරපු වැඩෙයි, වෙලාවයි, පරිසරයයි එක්ක බොරු කියන්නේ මොකටද මාව ගැස්සිලා ගියා. 

"අපි තමයි මේ ඉඩම බලා ගත්තේ, දැන් ඉන්නේ අර පල්ලෙහා". ඇසිපිය නොහෙලා නිකන් තියුණු හඩකින් මේ මනුස්සය එකපාරටම කිව්වා.

"මේ මොකාද යකෝ මේ.. කොහේ යන මරාලයක් ද දන්නේ නෑ... කොයි එකටත් වැඩිය ගණන් ගන්නේ නෑ.." ගැස්සිලා තිබුණු මගේ හිත ඇතුලේ වැඩ කලේ එහෙම. මොකා වුනත් කමක් නෑ කියල

"ආ එහෙමද? අපිත් මේ පොඩි වැඩක්" කියල මම ඕනෑවට එපාවට කිව්වා. මිනිහා මා දිහා නිකන් අමුතු හිනාවක් වගේ දාගෙන බලාගෙන හිටියා. දිලිසෙන ගිලුණු ඇස්, රැවුලෙන් වැසුනු තොල්, වක ගැසී ගිලි ගිය කම්මුල්, ගන ඇහිබැමී... හරියට ආත්මා ලියනගේ වගේ පොරක්. මුහුණේ ෂේප් එක, කොන්ඩේ රැවුල ඔන්න හිතා ගන්නල. ඊට වැඩිය වයසයි, අවුල් වෙච්ච කොන්ඩෙයි, රැවුලයි. පෙනුම හිඟන්නෙක් වගේ.

ටික වෙලාවක් මා දිහා කෙලින් බලාගෙන හිටපු මනුස්සය බුදු සරණයි කියල මෙන්න පාර දිගේ යන්න යනවා.

මේ මොකක් ද යකෝ මේ වුනේ කියල මම ඒ යන චායාව දිහා බලාගෙන හිටියා. අනිත් අය ඉඩම ඇතුලේ නිසා එයාල මේ යකාව දැක්කද කියල මට ෂුවර් නෑ...  ඒ වෙලාවේ මගේ ඔළුවට ඔය ඊට කලින් අහල තිබුණු දේව භූත කතා ඔක්කොම ආවා. යථාර්තය සහ ෆැන්ටසිය කියන දෙක අතර මැද තැනක තත්පර ගානක් හිටිය කියන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි මේ අර කියන ජාතියක අමනුෂ්‍යයෙක් ද කියන දේ ටෙස්ට් කරන්න ඕනේ කියල මට ක්ෂණිකව කල්පනා වුනා. මම ෆෝන් එක අරන් මේ යන රූපේ ෆොටෝ එකක් ගන්න හිතලත් හැබයි එහෙම කලොත් ඒ වෙනකොට සද්දෙට තිබුන තුන් සුත්‍ර දේශනාවට බාධාවක් වෙන නිසා ෆෝන් එක එහෙමම තියෙන්න ඇරලා යන චායාව දිහා බලාගෙන හිටිය.

මගේ අරමුණ වුනේ ඔය මේ වගේ අවස්තාවල බොහොමයක් දෙනා කියන විදියට ඔය හදිස්සියේම දකින මේ වගේ චරිත එක පාරටම අතුරු දහන් වෙනවද කියන එක ටෙස්ට් කරන්න. ඒ වෙද්දී මට නිකන් තුෂ්නිම්භූත වෙච්ච නමුත් පොඩි ආතල් excited ගතියක් තමයි තිබුනේ. ඒ කියන්නේ මේ මොකාද කියල දැන ගන්න ඕනේ වගේ එකක්. මමත් ඉතින් ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා මේ යකා දැන් අතුරු දහන් වෙයි දැන් අතුරු දහන් වෙයි කියල.

අපේ ඉඩම තිබුනේ ප්‍රධාන පාරේ ඉඳල ටිකක් දුරින්. ඒ කිව්වේ දැන් මේ මනුස්සය ඇවිදන් යන පාරේ 30-50m විතර ගියාම ප්‍රධාන පාරට පිවිසෙන තුන් මං හන්දිය තියෙනවා.

මම දිගටම බලාගෙන හිටියා. මේ මනුස්සය හෙමින් හෙමින් ඇවිදන් ගිහින් අර තුං මං හංදියෙන් හැරිලා නොපෙනී ගිය හැටි!












******************************************************************************












මේ සිද්දිය අපුරු ප්‍රවාදයක් හැටියට අපේ පවුලෙයි, අපේ අහල පහල නෑ හිත මිතුරන් ගේ පවුල් වලයි, තව එතකොට ඔය මල ගෙවල්, පාටි, ට්‍රිප් ආදී ඕනෙම තැනක හොඳට රස කර කර මට කියන්න පුළුවන්. එතකොට අපේ අනාගත දරු මල්ලොත් රස කර කර මේ කතාව අනාගත පරම්පරාවට අරගෙන යයි. කට්ටිය මේකේ එක එක විදියේ අතුරු කතා නිර්මාණය කරයි. දිලිසෙන රතුම රතු පාට ඇස් එකතු වෙයි. ඇඟ පුරාම මයිල් එහෙමත් තියෙයි.

මේ විදියෙම කතා තව තව අය එකතු කරයි.  මේ චරිතෙට නම් එහෙමත් වැටෙයි. සමහර විට යන්ත්‍ර මන්ත්‍ර එහෙමත් හැදෙයි මේ තාපස වෙස් ගත්තු අමනුෂ්‍යාගෙන් ආරක්ෂා වෙන්න.

හැබැයි ඔය ඔක්කොම ප්‍රවාද ඇතිවීම මට වලක්වන්න පුළුවන් ඊට දවසකට පස්සේ හවස් වරුවේ මම ඉඩමට යනකොට අහිංසක, පොඩි මානසික රෝගයක් සමහරවිට තියෙන්න ඉඩක් තියෙන මුහුණ පුරා රැවුල වැවුණු, කොන්ඩේ උරහිස දක්වා විතර වැවුණු, කොන්ඩේ උඩ කොටස තාපසයෝ බඳිනවා වගේ උඩට ගෙඩියක් වෙන්න බැඳගත්තු, කෙට්ටු, කළු, උඩුකය නිරුවත්, කෙටි සරම් කෑල්ලක් වගේ ඇඳගෙන, මොනවදෝ පුරවපු මලු කිහිපයක් අතින් ගත්තු මනුස්සයෙක්ව මට හම්බ වුනා කිව්වම.

ඒ මනුස්සය ඒ පැත්තේ ජිවත් වෙන අසරණ මනුස්සයෙක්! නොපෙනී ගියේ පාරෙන් හැරිච්ච ගමන් තියෙන ගස් පේලිය හින්ද! අපේ ඉඩම බලාගත්තු කතාව නම් දන්නේ නෑ.. හැබැයි ඉතින් ඔය කුලී වැඩ කරන මිනිස්සු ඉන්නවනේ අන්න එහෙම කාලෙකට කලින් ඔය ඉඩම් වල ඉන්න ඇති.

දෙවියෝ සහ භූතයෝ අපිම මවා ගත්තද කියල හිතෙනවා! පුරාවෘත අපිම මවනවද කියල හිතෙනවා!









35 comments:

  1. බූතයෙක් දකින්න ආසයි මමත්.මේ ලගකදි හාමුදුරු නමක් වටිනා පොත් වගයක් දීල ඒ අතර , රත්තරන් පවුමක් රුපියල් 200 ක් වෙන කාලෙ යන්ත්‍ර සූත්‍ර පොතක් තිබිල හම්බවුණා. ටිකක් කියෙව්ව. ඒකෙන් පල ප්‍රයෝජන ගන්න නම් උපරිම පන්සිල් රැකිය යුතුයි අවුරුදු දෙක තුනක්...ඉදිරියටත්. ඒ හිංද වැඩේ ඉදිරියට කල් දැම්ම

    ReplyDelete
    Replies
    1. මමත් ඔය දේවල් වලට උනන්දුවෙන් හිටිය කාලයක්. දැන් නම් ඒ හැටි ගණන් ගන්නේ නෑ.. වැව් ඉස්මත්තට පුළුවන් නේ පොතේ විදියට ඉඳල ට්‍රයි එකක් දීල බලන්න. විනෝදාංශයක් විදියට හොඳයි කරන්න

      Delete
  2. මමත් නැවකදි අත්දුටුව හොල්මන් සීන් එකක්. පස්සේ බලද්දි ඇත්ත වැටහුනේ. ඒ ගැන ලියු ලිපිය
    https://kolompure.blogspot.com/2017/08/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වා. පොඩ්ඩක් සැලකිලිමත් නොවුනානම් ඕයී යකා කියල අලුත් යකෙක් හදා ගන්න තිබුනා හෙහ් හෙහ්..

      Delete
  3. ඔය දකුණේ බුවා පොරවගම ඉස්කෝලේ මහත්තයද??

    මට නිකං මතක මේ හෙඩිමෙන්ම උඹ කලින් පෝස්ටුවක් ලිව්ව කියලයි..

    ReplyDelete
    Replies
    1. මම නම් හම්බ වුනේ ගාල්ලේ කෙනෙක්... අම්මල තමයි ඔය වැඩ ටික කරලා දුන්නේ. ඔය පොරවගම කියන නමත් කියවෙනවා ඇහුනා. ෂුවර් නෑ බන්. මම අහල බලන්නම්..

      Delete
    2. He is a son of porawagama iskole mahattaya

      Delete
  4. අනේ කොල්ලෝ වඳින්නං ඔව්ව අපේ හාමිනේට එහෙම කියනවා නෙවෙයි. මාත් මේ පැලක් හදන්න යන එකේ මටත් ඔය ක‍ටු කන්න වෙයි. කතා කරන කරන කෙනා මොකක් හරි අළුත් කෑල්ලක් එකතු කරනවා. අපිනං අරක කරා මේක කරා කියලා. ඇයි යකෝ මේ ගේ හදන එක ලේසියි එක එක මඟුල් කිරිල්ලයි ඊටත් වඩා අමාරු..

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... සියලු දෙනාගේ සිත් සතන් සනසලා කරන්න ගියාම කන්න වෙන කට්ට ගැන කියල වැඩක් නෑ.. මම ඉතින් ඕවා ගැන කාටවත් උපදෙස් දෙන්නේ නෑ.. හැබැයි ඉතින් දැන් ගේ හදාගන්න බැරි වුනත් අවුලක් නෑ.. භූතයෝ ටික ෂේප් කරලනේ.. නැත්නම් ඉතින් සල්ලි නැති වුන ගමන් මතක් කරන්නේ භූතයෝ ටික .. හෙහ් හෙහ්

      Delete
  5. දවස් තුනකට කලින් පාන් පැලවල්?? අපේ ගොඩනැගිල්ල හදනකොටනං උදේ ලණු අදින්න බාස එනකොටවත් පාන් පැලවල් ටික හයිකරල තිබුනෙ නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් එහෙම තමා.අකුරටම කරලා ඇති. කොටින්ම දැන් ඒ පැත්ත පළාතේ බෙහෙතකට භූතයෙක් හොයා ගන්න නෑ කියල තමයි අල්ලපු ගෙවල් වල මිනිස්සු කියන්නේ

      Delete
  6. නෙට් එකට සම්බන්ධ වෙලා යූ ටියුබ් එකෙන් සූත්තරේ දාල තියෙද්දි පෝන් එක අස්සෙන් ඉන්ටනැෂනල් භූතයෙක් නොආවෙ බොලාගෙ වාසනාවට කියල හිතාගං.

    ReplyDelete
    Replies
    1. භුතය වුනත් ඉන්ටනැෂනල් නම් අවුලක් නෑ බන්. මේ ලංකාවේ භූතයෝ එක්ක තමා වැඩක් කරන්න බැරි. පිට රට උන් පොෂ් එකට ඉන්නවනේ.. උන්ගෙන් අවුලක් නෑ.. හෙහ් හෙහ්

      Delete
  7. "ෆෝන් එකේ යු-ටියුබ් එකෙන් තුන් සුත්තරේ දාල තිබුනා ටිකක් සද්දෙට" - මේක මරු කතාව..

    ReplyDelete
    Replies
    1. තුන් සුත්තරේ දාන්න ලේසිම විදිය නේ බන්.. දැන් අර ඉස්සර වගේ බැටරි දාන රේඩියෝ කබල් නෑනේ..

      Delete
  8. හිත ගැස්සුනොත් තමයි ඔක්කොම...ඒ කොහොම වෙතත් රෑට ඔහොම කෙනෙක්ව දැක්කම කොහොමත් බය වෙනව නෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගැස්සිලා නම් ගියා. පස්සේ බලද්දී අනිත් කට්ටියත් මිනිහව දැකල.. ඊට පස්සේ ඉතින් අවුලක් නෑ.. හැබැයි හැමෝටම පුදුමයි ඒ වෙලාවේ ඒ වගේ මිනිහෙක් ඇවිල්ල කියපු කතාව ගැන.. හෙහ් හෙහ්

      Delete
  9. මගේ ලඟ නම් හොල්මන් කතා කියලා කියන්න තියෙන්නේ දෙකයි.
    කොම්නෙට් එකක් විදිහට කොටන්න බෑ දිග වැඩී සහ වෙලාව නෑ දැන්. පස්සේ වෙලාවක ලියන්නම්කෝ.

    උඹ ලියලා තියෙන විදිහට නම් බන් සිරාවට උඹ හොල්මනක් දැක්කා කියලා හිතෙනවා මුල් කෑල්ල කියවද්දී

    ReplyDelete
    Replies
    1. මටත් ඔය මෙහෙම සීන් එකක් වුනා මයි. තව ලුණු ඇඹුල් දාල ලියන්න තිබුනා කොටස් දෙකකට විතර. අර රවියා ලියනවා වගේ.. හෙහ් හෙහ්

      හොල්මන් කතා තියෙනවනම් ලියල දාන්න. මම නම් කොහේ දැක්කත් කියවනවා.

      Delete
    2. අනිවා ලියනන්ම්
      උඹේ මේ පෝස්ට් එකට ලින්ක් කරලා ලිව්වහම ලියන්න හේතුවකුත් තියෙනවා කියලා හිත හදාගන්න ඇහැක්නේ හෙ හෙ

      Delete
  10. මාත් හොල්මන් වෙලා ගියා කියහංකෝ .. මම ඕවා තඹේකටවත් ගණං ගන්නේ නෑ වගේම මගේ වැඩ වලදි ඔය කිසිම දෙයක් බලන්නේ නෑ. තුන්වෙනි පාර්ශ්වයක් සම්භන්ද වෙනවනම් පතෝල ප්‍රතිපත්තිය තමයි ..

    ReplyDelete
    Replies
    1. මමත් ඔළුවට ගන්නේ නෑ.. අනිත් අයගේ හිත සුව පිණිස සහ මගේ කන සුව පිණිස මම ඕවා කරන්න එකග වෙනවා. හැබැයි ඉතින් මේ වගේ ආතල් සීන් එහෙමත් තියෙනවා ඕවා කරද්දී හෙහ් හෙහ්..

      Delete
  11. ඔය ඔක්කොම හොල්මන් වලට වඩා අපේ හිත බලවත් කියලයි මම හිතන්නේ.. දෙවතාවක් ඔය වගේ අත්දැකීම් විඳලා තියෙනව. එකක් නම් බ්ලොග් එකේ ලිව්වා. මිනිස්සු අද්බූත දේවල් ගැන කොච්චර උනන්දුද කියනවනම් මේ පොස්ට් ඒක තමයි මගේ බ්ලොග් එකේ All the time hit ඒක විදිහට වීව්ස් ලැබිල තියෙන්නේ මෙච්චර කාලෙකට .
    http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. මේක තෙල්දෙණියේ පොලිසියේ වෙන්න ඕනේ , හිටපු ඉන්ස්පෙක්ටර් කෙනක් කියපු කතාවක්. නුවර පෙරහැර කාලේ එහෙන් තෙල්දෙණි එනකොට ලස්සන් කෙල්ලෙක් තනියම යනවලු. ජිප එක නවත්වල ඇහුවම පෙරහැරේදී කට්ටිය මග හැරිලා කියල. එයා කෙල්ලව ජීප් එකේ ගෙන ඇවිත් පොලිසිය පහු කරන් ගිහින් බස්සලා . කෙල්ල පහළ ගෙයක් පෙන්නලා කිවලු අරක ගේ කියල ස්තුති කරලා ගිහින්. පහුවද හවස කෙල්ලත් ලස්සන නිසා බලන්න ගිහින්. අර ගෙදර වයසක් ජෝඩුවක් හිටියලු. අනේ මහත්තයෝ අපේ දුවෙක් නම් හිටිය තමයි. පෙරහැර බලලා පරක්කු වෙලා ඇවිත් යාළු කොල්ල ගහලා මැරුණා . ඔය එනතන් තමා සොහොන කියල.
      මේ කතාව අහල තියනවද ?

      Delete
    2. මේ වගේ කතා ගොඩක් අහල තියෙනවා. හැබැයි ඇත්තට මුහුණ දීල නෑ..

      Delete
    3. අන්න ඒකයි මටත් විශ්වාස නැත්තේ. මට වෙලා නැහැ. ඔය කතාව මතක් වුනේ අම්බලන්ගොඩ ගේ අනිත් කතාව දැකල. දෙකම එකද කියල කල්පනා කලේ.

      Delete
  12. ඔහොම තියා කොහොම අත්දැකීමක්වත් හොල්මන් ගැන නැහැ.
    හොල්මන්ට ඉඩම එපා වුනේ පැතුම්ලා ඉඩම ගත්තු නිසාද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම අදත් ඒ මනුස්සයව දැක්ක. ෆොටෝ එකක් ගන්නත් හදල වැඩේ හරි නැති හින්ද නිකන් හිටියා.

      මේ සිද්දිය ආතල් වුනේ.. වෙලාවයි අපි කරපු වැඩෙයි හින්ද.. නැත්නම් ගත යුතු දෙයක් නෑ..

      Delete
  13. බොරු කාරය කියල බනින් කට හදන් එද්දි තමයි පහල ටික දැක්කෙ ඒකත් මරු.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පහල ටික දෙවෙනි කොටසට දාන්න තිබුනේ.. අර මැලේ රාලය කියල තියෙනවා වගේ හොඳ ආතල් කොමෙන්ට් ටිකක් බලා ගන්න තිබුනා.. හෙහ් හෙහ්

      Delete
  14. දෙවියන් සහ භූතයන් ඉන්නවද නැත්ද කියන්න මමත් ලිපි පෙළක් ලියාගෙන ගියා. ළඟදීම ආයිත් පටන් ගන්නයි හිතන් ඉන්නේ.
    http://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal-1.html

    ReplyDelete
    Replies
    1. මම ඔය ලිපි පෙළ දිගටම කියෙව්වා අජිත්.. අලුත් විස්තර හම්බ වුනා ද?

      Delete
    2. නැහැ. තව ටිකක් ලියන්න තියනවා. හොල්මන් නොව කාලය කියන එකත් සාපේක්ෂයි කියල ගත්තහම ඇතිවෙන ප්‍රශ්නයක් නම් තියනවා.

      Delete
  15. ලොක්කා ලංකාවට යනකම්ම දන්නේ නෑනේ........... යන්න කලින් හම්බවෙන්න හිටියේ එත් බැරිඋනා කියහන්කෝ
    ..........
    පොස්ටුවට මමනම් කැමති අර අන්තිම කැල්ල ආවේ නැත්නම් තමයි........... එහෙනම් මෙතන කට්ටිය ගන්න අතල් ටික බලන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගණන් ගන්න එපා බන්.. කවද හරි හම්බ වෙයි.

      සිරාවට කොටස් දෙකකට කඩල හොඳ ආතල් එකක් ගන්න තිබුනා. හැබැයි එහෙම කළා නම් අසරණ මනුස්සයෙක් නිරපරාදේ හොල්මනක් හෝ භූතයෙක් වෙනවා.. හෙහ් හෙහ්

      Delete