Thursday, May 11, 2017

මැලේසියාව කෙටියෙන් - Glimpse of Malaysia


     මැලේසියන් ජිවිතයට අවුරුදු 4ක් පිරීමට ආසන්න වී ඇත. ජීවිතය ගලාගෙන යන හැටි අපුරුයි කියා සිතෙන්නේ කිසිදිනෙක පිටරටක වැඩ කිරීමට හෝ පදිංචියට කිසිදු කැමැත්තක් නැතිව සිටි මා දැන් මේ රටේ සිව් වසරක් ගෙවා ඇති බව සිතෙන විටය. මම නම් මෙහෙමයි, මම නම් මෙහෙම වෙන්නේ නෑ යනුවෙන් සිතා සිටීම හරිම විහිළු සහගත දෙයක් බව මගේ කුඩා මොළයට මේ වනවිට වැටහී ඇත.

කොහොමද ඔහේ ජිවිතේ යනුවෙන් අසන අයට මගේ පිළිතුර ඔන්න ඔහේ ඉන්නවා හෝ මෙලෝ රහක් නෑ යනුවෙන් බොහෝ විට ආරම්භ වේ. ඒ මට උපතින්ම ලැබී ඇති සහජ හැකියාව ඔහේ ඉඳීම නිසා හෝ රස දැනීම පිලිබදව ඇති පොඩි අවුලක් නිසා විය හැකිය.  කෙසේ හෝ ඉතින් අවුරුදු 4ක් ගෙවා දමා ඇත. 

මැලේසියන් ජීවිතය ගැන මට වඩා අත්දැකීම් ඇති සහ ඇසු පිරු තැන් ඇති බොහෝ අය මේ අවකාශයේ සිටී. මගේ සත දෙකත් ඉතින් මෙසේ ලියා තබමි.

ඔබ කෙදිනකවත් මැලේසියාවට පැමිණ නැත්නම්, ඇවිත් ගියාට පාඩුවක් නැති, පහසුවෙන් සහ අඩු වියදමකින් පැමිණිය හැකි රටක් නිසා පොඩි රවුමක් දමා යාමට ඉතා සුදුසු රටකි.

මම මැලේසියාවට පැමිණීම හා පහුගිය අවුරුදු 4 තුල විටින් විට ආගිය තැන් ගැන බ්ලොග් සටහන් කිහිපයක් ම ලියා ඇත. ඒ සියලු දේ අතරින් මගේ සිත් ගත් දේ සහ මේ ජීවිතය නීරස වීම ගැන ඔන්න ඔහේ ලියා තැබීම සුදුසු යැයි සිතමි.

ලංකාවද මැලේසියාවද යනුවෙන් සිතා බලනවිට නිතැතින්ම මට ලංකාව හොඳ වේ. හේතුව මෙය යැයි කීමට නොහැකි හොඳ කමක් ලංකාවේ ඇත. ඉතින් මැලේසියාවට වඩා මට ලංකාව හොඳය. නමුත් ලංකාවට වඩා මැලේසියාව හොඳ වන බොහෝ හේතු සාධක ඇත. තවමත් සංවර්ධිත රටක් ලෙස නිල වශයෙන් නම් වී නොමැති නමුත් භෞතික වශයෙන් සෑහෙන දුරට සංවර්ධය වී ඇති බැවින් ඒ සමග ලැබෙන පහසුකම් අතින් ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් මැලේසියාව සිටී. ප්‍රධාන වශයෙන් වෙසන ජාතින් තුන් වර්ගයේම මිනිසුන් තුල බොහෝ ආචාරශීලි ගුණධර්ම ඇති අතර, වැඩි කලබලයකින් තොර සෞම්‍ය මිනිසුන් ලෙස මට දැනේ. මැලේ, ඉන්දියානු සහ චීන ජන වර්ග වලින් ප්‍රධාන වශයෙන් සමන්විත මැලේසියානුවන් ගෙන් මැලේ ජාතිකයින් ප්‍රියමනාප, මිත්‍රශීලි, කම්මැලි ගති ලක්ෂණ ඇති මිනිසුන් ලෙස හිතෙන අතර, ඉන්දියානුවන් කොහේ සිටියත් ඉන්දියානු ගති ලක්ෂණම පෙන්නුම් කරයි. සල්ලි කාර, වැඩ කාර,  උද්දච්ච චීනුන් නිසා මේ රට මෙලෙස දියණු වී ඇති බව සත්‍යයක් නමුත් චීනුන් සමග ගනුදෙනු කිරීම නම් ඉතා අමාරුය. මම මැලේ මිනිසුන්ට කැමතිය. චීනුන් අප්‍රිය වී ඇති අතර, ඉන්දියානුවන් සමග ගනුදෙනු අතේ දුරිනි.

දේශගුණිය අතින් ලංකාවට සමාන නමුත් ලංකාව වඩා සුවදායක බව සිතෙයි. මම දන්නා පරිදි රටේ ඉතිහාසය පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ සහ ඊට මදක් එපිට කාලයක් තෙක් ලියවී ඇති අතර මම වැඩි දුරටත් ඒ ගැන සොයා බලා නැත. මේ අවුරුදු 4ටම ජාතික කෞතුකාගාරයට යාමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ගත කල කාලය ඇතුලත මැලේසියාවේ 3න් කොනක ඇති බොහෝ ප්‍රසිද්ධ ස්ථාන දැක බලා ගැනීමේ අවස්තාව හිමිවීම නිසා ආයේ බලන්න ඉතිරි වී ඇත්තේ නැගෙනහිර කොනේ ඇති දුපත් කිහිපයක් පමණි.  ඒ ඒ ගමන් ගැන සටහන් කිහිපයක් ම දැනටමත් ලියා ඇති බැවින් වැඩි දුරට ඒ ගැන ලිවීමෙන් පලක් නැත.

මැලේසියාවේ රජයට සම්බන්ධ තොරතුරු තාක්ෂනය පිළිබඳව  ජාතික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන ව්‍යපෘති දෙකක මේ වන විට මමත් මගේ බිරිඳත් වැඩ කර ඇත. අප දෙදෙනා ගෙවුණු පසු ගිය අවුරුදු 4ටම  24x7 එකටම සිටියා යැයි කීම වඩා නිවැරදි වන්නේ මේ ගත කල අවුරුදු 4ම එකම ප්‍රොජෙක්ට් වල එකම මොඩියුල් වල එකට වැඩ කිරීම නිසාය. අප දෙදෙනාට එක ළඟ මේස පුටු ලබා දීමට මේ මිනිසුන් හැම වෙලේම කාරුණික වූ බව නොකියාම බැරිය.

මුල් අවුරුදු දෙක මැලේසියානු මුදල් අමාත්‍යංශයේ ව්‍යපෘතියකත් ඊළඟ අවුරුදු 2ක සෞඛ්‍ය අමාත්‍යංශයේ ව්‍යපෘතියකත් වැඩ කිරීමේ අවස්ථාව අපට හිමිවිය. රටක් වශයෙන් සැලසුම් සහගතව ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ විදෙස් දැනුම සිය රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමත්, වසර 2020 වනවිට මැලේසියන් තාක්ෂණික යෝධයින් (Tech Giants)  බිහි කිරීමේ අරමුණත් ඇතිව ඔවුන් කරන මේ ව්‍යපෘති වලින් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. ලංකාවේ ICTA ආයතනය හා සමානව මැලේසියානු රජයට අවශ්‍ය තාක්ෂණික ව්‍යපෘති සිදු වන්නේ මේ ආයතනය හරහාය. නමුත් මම දිනක් මේ ආයතනයේ CTO හමුවූ විට ලංකාවේ ICTA ආයතනය ගැන දැනුවත් දැයි විමසු විට එහෙම ආයතනයක් ගැන කිසි දෙයක් නොදන්නා බව පැවසුවේය. ඇත්තටම නම් අපිට මොවුන්ගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔවුන් ඒ සඳහා උදව් උපකාර කිරීමට පවා කැමති වනු ඇත. ඒවා ඉතින් ලොක්කන්ගේ වැඩය.

ගෙවී ගිය අවුරුදු 4ම එකම බොසෙක් යටතේ වැඩ කිරීමේ අවස්ථාව අපට හිමිවිය. ඇඟ පුරාම මොලේ තියෙන හැකර කටක් ඇති වැඩ කාර චීන බොසා සහ ඇල්වතුරත් නිවලා බොන හරිම අහිංසක නමුත් දැනුමෙන් ලොක්කාටත් උගන්නන තවත් චීන සහෝදරයෙකුත් අප සමග හැමදාම එකට වැඩ කළේය. ඔවුන් දෙදෙනා සැබවින්ම දක්ෂයින් වන අතර නොමසුරුව ඒ දැනුම තමන්ගේ කණ්ඩායමට ලබා දීමටත් ඔවුන් කාරුණික වීම සඳහන් කල යුතුය. ඔවුන් අප ලවා වැඩ කර ගත්තා සේම, නිසි ලෙස සිය වගකීම ගෙන අවශ්‍ය වෙලාවේදී ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මැදිහත් වීම අගේ කල යුතුය.  පර්ෆෙක්ෂනිස්ට් කෙනෙකු වූ බොසා සමග වැඩ කිරීම අභියෝගයක් වූ බොහෝ දිනයන් අවසන් වුයේ ඌට හොම්බට දෙකක් දෙන්න සිත් වීමෙනි නමුත් ඒ හැම දිනම ඉගෙන ගත් දේවල් ජිවිත කාලයටම වැදගත් ය. බොසා දකින විට හොම්බට අනින්නට හිතුනත් ඌ කෙරෙහි ගෞරවයක් හැමදාම සිතේ ඉතිරි වී ඇත.

රැකියාවට එන්නට පෙර බොහෝ දේවල් ගැන හොයා බලා එන්නම් වාලේ එන්නේ නැතුව අපිට අවශ්‍ය පරිදි සියල්ල සුදානම් කරගෙන පැමිණීම නිසා මෙහි ජීවිතය සුවදායි ලෙස ගලා ගියේය. ආපු හැටි ගැන සටහනක් මෙහි ඇත.   රැකියාවේ තිබුණු අපහසුකම් සහ කාලයක් යන විට ඇති වන නීරස ගතිය හැරුණු කොට වෙන අවුලක් තිබුනේ නැත. කොහොමත් ගෙට වූ චරිතයක්  නිසා වැඩි සමාජ ආශ්‍රයක් නැතිව ඉතාම හිතවත් මිතුරන් කිහිප දෙනෙකුට ආශ්‍රය සිමා වීම නිසා සමහරවිට ඒ නීරස බව වැඩි වන්නට ඇත. නමුත් මම එසේ හිඳීමට ප්‍රිය කරමි. කෙතරම් සැප පහසුකම් තිබුනත් හිත පවුලේ අය සහ නෑ හිත මිතුරන් ගේ ඈත් වී ජිවත් වීම කාලයක් යන විට එපා වේ. සැපක් ලෙස දැනුනත් එය අමුතුම ආකාරයේ දුකකි.

ඔය නීරස ගතිය දුරු කර ගැනීමට සෑම සති අන්තයකම ෂොපින් මෝල් ගානේ කරක් ගැසුවද අවසානයේ සිදුවුයේ ෂොපින් මෝල් ද එපා වී යෑමය. කම්මැලි කම යන්නට තවත් නානාප්‍රකාර දේවල් කරන්නට පටන් ගත්තා වුවද ටික කලකින් සියල්ල එපා වී අමුතුම ආකාරයේ හොල්මන්ද පොල්කොළ ගතියක් සහිතව බොහෝ දින ගෙවී ගියේය. චීන නංගි කෙනෙක් සමග පුල් එකට බැස පිහිනීමට ඉගෙන ගැනීම ඔය අතර සිදුවූ වැදගත් වැඩකි. ආකිමිඩිස්ට යුරේකා කියන්නට උදව් වූ පරිදි ජබොස් ගා පුල් එකට පනින්නට පමණක් දැන සිටි මට දැන් යාන්තමට එගොඩ මෙගොඩ පිහිනා ගැනීමට ඒ නංගි උදව් උපකාර කළේය. රස්සාවෙන් ඉගෙන ගත් දේ හැර ජිවිතයට වැදගත් යමකට අලුතින් ඉගෙන ගත්තේ එපමණකි.

අප දෙදෙනාගේම පවුලේ අයත් සමග කිහිප විටක් මැලේසියාවේ විවිද ස්ථාන වල සංචාරයට අවස්තාව ලැබීමද, ලංකාවේ උදව් අවශ්‍ය කිහිප දෙනෙකුට නොමසුරුව උදව් පදව් කිරීමේ අවස්තාව ලැබීම ද රට සිටීමෙන් ලැබුණු අනෙක් ප්‍රයෝජන වේ. පිට රටක වැඩ කර අත්දැකීම් ලබාගැනීම, ලෝකයේ විවිධ රට වල ඇවිද ලෝකය කොතරම් විව්ධාකාරදැයි දැක බලා ගැනීම අපුරු වැඩකි. උපන් රටට ලැදි වීම නොවැලැක්විය හැකි දෙයක් වුවත්, උපන්දා සිට මැරෙන තුරු උපන් රටට වීම අනුවණකමක්  යැයි සිතේ. මට කෙදිනකවත් ලංකාව ගැන දුකක් කනගාටුවක් මේ රටේ සිටින විට ඇති නොවිනි. මන්දයත් මිනිසුන්ගේ ජිවන අරගල ලෝකයේ කොහෙත් එක හා සමාන බැවිනි. එකම දේ සමහර රටවලදී වඩා පහසුවෙන් ඒ අරගලය කිරීමට හැකි වීම පමණි. ලංකාවේ ජීවිතය සුවපහසු නැති වුවද එය එතරම්ම අපහසු යැයි ද මට නොසිතේ. ඉතින් වැඩි සැපක් යටතේ වුවද විඳින්නේ දුකක් නම් විඳින සැප මදක් අඩුවීම එතරම් ගැටලුවක් නොවේ. (මේවා ඉතින් තියරි පමණි. ගෙදර උන්දෑගේ කතන්දර අසා සිටිය යුතුය)

ඉතින් මැලේසියන් ජීවිතය ඔය ආකාරය. මේ අතරේ ඉන්න ඉන්න ගමන් ගත් පින්තුර ටිකක් දමා සටහන අවසන් කරමි. නැවත බ්ලොග් බැලීමට ලිවීමට හැකි වන්නේ මේ සියල්ල නිමාකොට ජිවිතයේ මැලේසියන් පරිච්චේදය නිමා කොට ලබන සතියේ ලංකාවට පැමිණි පසුය. ලංකාවේ ජීවිතය යටතේ වැඩිපුර යමක් ලියවේ යැයි සිතමි.

මැලේසියාවේ පළමු වසර දෙක ගෙවී ගිය මුදල් අමාත්‍යංශය. මැලේසියානු රාජ්‍ය සේවකයෝ ද 9ට විතර පැමිණ, පැය දෙක තුනක් කා බී 4.30 වෙනවිට සෙමින් මාරු වන ජනකොටසක් බව මෙහිදී අපි ඉගෙන ගත්තෝය.


මුදල් අමාත්‍යංශ ගොඩ නැගිල්ලේ ඇතුලත සිට ගත් පුත්‍රජයා නගරයේ පැනොරාමාවක්. පුත්‍රජය නගරය ගැන ලිවීමට සිතා සිටිය මුත් එය ඉටු නොවිණි. පසුව ලියමි.


පුත්‍ර ජයාවේ ඇති ප්‍රධාන මුස්ලිම් පල්ලිය.

ඔබ සැම අදුනන පෙට්‍රොනා කුළුණු


දිනෙක ඉර බැස යන වෙලාවක. මැලේසියාවේ වඩාත් ම සිත් ගත් දෙය වන්නේ සැම තැනකින්ම විසල්ව පෙනෙනා අහස සහ මෙවැනි තේජාන්විත ඉර බැසයාම්ය. අප සිටි කොන්ඩෝවට ඉතා අපුරු ලෙස මේ ලෙස ඉර බැස ගියේය.


කැමරන් හයිලන්ඩ්ස් නමින් හඳුන් වන මැලේසියානු කඳුකර තේ වගාවක්. අපගේ සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකු සමග ගිය ගමනක්දි ගත් පොටෝවකි. ඒ මහතා දැන් පේන්නට නැත.

චීනුන් ද බෞද්ධයෝය. නමුත් ඔවුන් අපට වඩා වෙනස් ය. ඒ වෙනසට මම කැමතිය.

මැලේසියාව ලංකාවට වඩා දියණු වන්නේ මේ ලෙසය.

ලංකාවී දුපතේදී වැස්සට හසුවූ උකුස්සෙක්.


අනේ මෙවැනි ලස්සන විදි චිත්‍ර ලංකාවේ නොඅදින්නේ ආණ්ඩුවෙන් උදව් උපකාර නොලැබෙන නිසා දැයි මට සැමදා සිතේ.



28 comments:

  1. Vatinaa satahanak. Sthuuthi obata. Kihipavitak gos thibunath nodhannaa dhe bohomayi.

    ReplyDelete
    Replies
    1. මැලේසියාව ගැන තව ගොඩක් දේවල් තියෙනවා. ටිකෙන් ටික ලියන්නම්.

      Delete
  2. වටිනා සටහනක්. මමත් ක්වාලාලම්පූර් ගිහිල්ලා තියෙනවා දෙපාරක්. එකපාරක් පුහුණු සැසියකට, සතියක් විතර හිටියා. ඊට පස්සේ විනෝද සවාරියකට. දෙකම දැන් අවුරුදු 7කට විතර කලින් වුනේ.

    මැලේසියාවේ මිනිස්සු ගැන කියපු එක හරියටම හරි. චීන්නු, ඉන්දියන් කාරයොන්ට වඩා මැලේ මිනිස්සු හොඳයි. ඇහුවම පාරක් හරි කියන්නේ උන් විතරයි. කඩේකට ගියත් මැලේ මිනිස්සුන්ගෙ කඩයක් නම් සුහදයි. චීන්නුන්ගෙ පුදුම ආඩම්බර නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් චීනුන් ගැන කතා කරලා වැඩක් නෑ. පුදුම ජාතියක්. හැමදේම බලන්නේ ලොජිකලි. තමන්ට වාසියක් නැත්නම් එයාලත් එක්ක ගනුදෙනු කරන්න හරි අමාරුයි. හැබැයි වැඩ කරන්න දක්ෂයෝ.

      රටක් විදියට එයාල විවිධ ජන වර්ග එක්ක සහයෝගෙන් ජිවත් වෙනවා. අනිත් එක මිශ්‍ර ජාතින් ගොඩක් ඉන්න නිසා බොහෝ දේවල් ගැන විවෘතව බලන ගතියක් තියෙනවා. කොහොම වුනත් ඒ මිනිස්සුන්ට සෞම්‍ය ගති ගුණ තියෙනවා අපිට සාපේක්ෂව. තිස් අවුරුදු යුද්දේ නිසාද මන්ද අපේ ගතිගුණ රළු වෙලා.

      Delete
  3. එයාපෝට් එකට නම් ගිහින් තියෙනවා ලංකාවට ගිය ගමන් දෙකක දී සිව්වරක් ම.

    මගේ චීන මිතුරෙකු ඉන්නවා මලක්කාවල. දවසක යන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. මලක්කා ගැන මම පෝස්ට් කීපයක්ම ලිව්වා. ඔය යන එන අතරමගදී දවසක් දෙකක් නතර වෙලා යන්න. ෂොපින් වලට හොඳයි..

      Delete
  4. සාමාන්‍යයෙන් පිටරට සිටිය දී බ්ලොග් ලිවීම ඇරඹූු අය ලංකාවට ගියාම සද්ද නැතුව යනවා. ඔබ ලංකාවේ සිටිය කාලේ දී ම සිංහලෙන් බ්ලොග් ලියන ආදීතමයෙකු නිසා එසේ නොවේවි!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම ලංකාවේදී වැඩිපුර ලියයි. මැලේසියාවේදී තිබුනේ හිරවෙච්ච ගතියක්. මෙහෙ ආපු ගමන් ඔලුව හරි නිදහස්.. හෙහ් හෙහ්

      Delete
  5. ඒ කියන්නේ ලංකාවට එනවද හැමදාටම? වෙල්කම් වෙල්කම්... ලේසි නෑ හරිද... දැන් අප්පොච්චිත් නැහැනේ!

    මැලේසියාවේ කීපවතාවක් නම් ගිහින් තියෙනවා, මටත් දැනෙන්නේ ඇල්වතුර වගේ ගතියක්. ( ජින්ටින් ඇරුනාම) ඒ කියන්නේ නරකත් නැහැ, විශේෂ හොඳකුත් නැහැ. මම වඩාත් කැමති ඩෙන්මාර්ක්, නෙදර්ලන්ඩ් වගේ රටවල් වලට. ඒවායේ තියේනම මම කැමති හුදකලා නිදහස් බව!

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල ඉන්නේ.. ආයේ යන්නේ නෑ.. ජිවිතේ කොහෙත් ලේසි නෑ මෙයා.. අප්පොච්චි නැති වුනාට my3 මාමි ඉන්නවනේ..මාමි අපිව බලාගනියි :D

      මැලේසියාව හරියටම ඇල්වතුර වගේ තමයි. මට නම් මෙලෝ රහක් නෑ.. හෙහ් හෙහ්

      Delete
  6. හොඳ සටහනක්. කරදරයකින් තොරව ලංකාවට පැමිණි පසුවත් දිගටම ලියයි කියා හිතනව.

    //අප දෙදෙනාට එක ළඟ මේස පුටු ලබා දීමට මේ මිනිසුන් හැම වෙලේම කාරුණික වූ බව නොකියාම බැරිය// හොඳට තියෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. කරදරයක් නැතිව ගොඩ බැස්සෙමි. දැන් අනාථ වෙලා ඉන්නවා. ජෝබ්ලස්, හෝම්ලස්, වාහනලස්, මේ දවස්වල වයිෆ්ලස්, ඊට පස්සේ වයිෆයි ලස්.. හෙහ් හෙහ්

      හැබැයි හරි ජොලි...

      වැඩ කරද්දී සිද්ද වෙච්ච ආතල් කතා ටික ටික ලියන්නම්

      Delete
  7. අගේ ඇති සටහන. දින කීපයක් කේ එල් වල ගත කරන්න ලැබිලා තියනවා. ඒ අවස්ථාවේ ඉතින් පැතුම්වත් හමුවුණානේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් වෙලාවට එහෙම හරි හම්බ වුනේ. මට ඊට පස්සේ දවසක වෙනිවැල් අයිය හම්බ වුනා. ඒත් නලින් අයිය සෙට් වෙච්ච ගැජට් කඩේ Low Yat එක්දීම තමා

      Delete
  8. මුල සිටම පුදුමාකාර රසවත් බවකින් ලිපියම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. අඩෝ එච්චර මොකක්ද බන් මේකේ තියෙන රසේ.හෙහ් උඹ බීලද?

      Delete
  9. ඒ කියන්නේ පැතුම් මැලේසියාවට ඇවිත් තියෙන්නේ මම රට ජීවිතය අවසන් කරලා ලංකාවට ආපු කාලෙනෙ. එ්ත් මට මතක පැතුම්ගෙ මැලේසියා බ්ලොග් සටහන් මම රට ඉඳනුත් කියෙව්වා වගේ..උඹේ ගති ලක්ෂණ කියවද්දි මට හිතෙන්නෙ මම මං ගැනම කියවනවා කියලා, බොහෝ දුරට ළගින් යනවා...

    මටනම් ලංකාවට ආවට පස්සේ බ්ලොග් ලිවිල්ලට කණ කොකා හැඩුවා..රට ඉද්දි තිබුන වේගය බිංදුවට බැස්සා. ඉඳලා හිටලා එකක් දාන්නෙත් ටික ටික මාස ගානක් ලියලා...

    මැලේසියාවෙ අය කෙසේ වෙතත් ලංකාවෙ මිනිස්සු කියන්නෙ කාලකන්නි අසමජ්ජාති ජාතියක් කියලා මට මේ වෙසක් පෝයෙන් පස්සෙ වැඩට යනකොට හිතුනා.. පාරවල් හැමතැනකම ප්ලාස්ටික කප්, පිඟන් විසිකරලා විනාශ කරලා, කැත කරලා තියන හැටි දැක්කම හිතුනා මුන්ව බුදු කෙනෙකුටවත් හදන්න බෑ කියලා...මෝඩි පුකෙන් හිනා වෙවී යන්න අැති.

    එහෙනම් අලුත් ජීවිතයට සුබපැතුම් !!

    ReplyDelete
    Replies
    1. මැලේ රටේ චයිනා විදියේ රාත්‍රී දෙක තුනක් ගත කරා. සෙනග දාස් ගාණක් පාන්දර දෙක විතර වෙනකංම මේ විදිවල සැරිසරනවා කනවා බොනවා. ප්ලාස්ටික් කාඩ්බෝඩ් ඊයම්කොළ දාස් ගානක් උනුත් පාරට දානවා. ඒ කොහොම දැම්මත් පාන්දර තුන වෙනකොට බලධාරීන් මේ සේරම ඉවත් කරලා පාරත් හෝදලා දානවා. ආයි උදේ පහ වෙනකොට පිරිසිදු නගරයට සෙනග එනවා.

      Delete
    2. අලස, නිද්‍රාශීලී, වගකීම් විරහිත බලධාරීන් ඉන්න අපේ වගේ රටවලට ස්වයං විනය හරිම වැදගත්. අපිට නැත්තෙත් ඒකමයි.

      Delete
    3. //අලස, නිද්‍රාශීලී, වගකීම් විරහිත බලධාරීන් ඉන්න අපේ වගේ රටවලට ස්වයං විනය හරිම වැදගත්.//

      මමත් එකඟයි මේ කතාවට.හැමදේම දේශපාලන අධිකාරියෙන් කෙරෙනකම් බලන් හිටියොත් කිසි දෙයක් වෙන්නේ නැහැ.

      Delete
    4. සෙන්නා, මම 2013 මැයි මාසේ මැලේසියාවට ගියේ.. සෙන්නා ඒ කාලේ රට ඉන්න ඇති.

      මිනිස්සු ගැන කියනවනම් ලංකාව ගැන ඇති වෙන්නේ දුකක්. අපේ මිනිස්සුන්ට අඩු වෙලා තියෙන්නේ හරි පොඩි දේවල් ටිකක්. උදාහරණයක් විදියට පිළිවෙල සහ ඉවසීම තව පොඩ්ඩක් තිබුනානම් අපිට බොහෝ දුරක් යන්න තිබුනා.

      මට හිතෙන්නේ නිවැරදි නායකත්වයක් යටතේ අවුරුදු 5-10ක් යද්දී ඔය බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි කියල. අඩුපාඩු දැකල කලකිරිලා වැඩක් නෑ. පුළුවන් හැමවෙලාවෙදීම අපි හරි දේ කරන්න ඕනේ.

      Delete
  10. එහේ රජයේ සේවක රජයේ සේවකයෝ වගේමනේ. පැතුම් ඒ රජයේ සේවකයන්ටත් අපේ අයට වගේ විශේෂිත වරප්‍රසාද තියෙනවාද ?හැබැයි මම නම් හිතන්නේ නැහැ ඒහේ මේ තරම් ප්‍රමාණාත්මක ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා කියල.

    ReplyDelete
    Replies
    1. මනෝජ්, රජයේ සේවය ලංකාවේ තරම් අකාර්යක්ෂම නෑ.. ඔවුන් නවීන තාක්ෂනය බාවිතා කරලා බොහෝ කාටයුතු පහසු කරගෙන තියෙනවා. මිනිසුන්ගේ ආකල්ප අතින් අපිට වඩා ලොකු වෙනසක් නම් නෑ. නමුත් අර කස්ටමර් සර්විස් වගේ දේවල් හොඳට තියෙන නිසා වෙනසක් දැනෙනවා.

      Delete
  11. When you have some time just drop me an email. Looking forward to have a Sri Lankan tea over a relaxed chat.
    chandima.gomes@gmail.com

    ReplyDelete
  12. අද තමා මෙතෙන්ට ආවෙ. අපේ තාත්තගෙ මල්ලිගෙ පුතා ඉන්නෙත් මැලේසියාවෙ. මිනිහා ගියේ සරණාගතයෙක් විදිහට. ගිය හැටි මං දන්නෑ. හැබැයි දැන් ඉන්දුනීසියන් කෙල්ලක් බැඳලා කාරිය ජය පහට ඉන්නවා.

    ReplyDelete
  13. කමෙන්ට් වලින් දැක්කා අයියා දැන් ලංකාවේ කියලා. ගංවතුර එහෙම නෑ නේද , ස්තුතී සටහන රසවත්. කියවන ගමන් මගේ අත්දැකීම් එක්ක සංසන්දනය කෙරුනා ඉබේටම, ඒත් මේ රටේ හැම දවසක්ම මට අලුත් අත්දැකීමක් කම්මැලි කමක් ,එපාවිමක් දැනෙන්නෙම නෑ .

    ReplyDelete