Monday, January 02, 2017

නැවත හමු නොවන සඳ ! අනාථ ජිවිත


     හිරු මුහුදේ ගිලී යමින් ටිකෙන් ටික අඳුර ගෙනෙන සැන්දෑ යාමයේ මුහුදු වෙරළේ සැන්දෑ සුව විඳිමින් සතුටු වන තරුණ පෙම්වතුන්, දරු පැටවුන් සමගින් ආ දෙමාපියන්, ජිවිතයේ සැන්දෑ සමය ගෙවා දමමින් සැනසිලි සුව විඳින මහල්ලන් අතර නොනවතින රැලි වලට දෙපා තෙමා ගනිමින් වෙරළ දිගේ ඇවිදින තරුණයෙකි.

ඔහුගේ වයස හරියටම හිතා ගත නොහැකි වුවත් ජිවිතයේ දෙවෙනි දශකය ගෙවා දමමින් සිටින බව සිතිය හැක. වෙරලේ සතුටු වන මිනිසුන් වෙනුවෙන් ඇති නොයෙකුත් ජල ක්‍රීඩා ගැන කිසිදු උනන්දුවක් නොදැක්වූ ඔහු අත රැඳුනේ දියෙන් දුර්වර්ණ වී ගිය කොටු කැබැල්ලකි.  රැල්ලෙන් සේදී යන වැල්ලේ යමක් ලියන්නට ඔහු දැරූ මහන්සිය කිහිප විටක් සේදී ගියද එයින් සැලුනේ ඔහු නොවේ.  තාරුණ්‍යයේ ජවය බාධක හමුවේ නොසැලෙන බව ඔහු නිහඩව කියා පෑවේය.

වැල්ලේ විනෝද වෙන සියක් දනන් දෙස ඔහේ බලා සිටි මගේ දෑස් මේ තරුණයා වෙත යොමු වුයේ ඔහු මේ රැල්ල සමග තරඟයට මෙන් වැල්ලේ ලියන්නට තැත් කරන දේ කියවීමට ඇති වුනු කුතුහලය නිසාවෙනි. අනුන්ගේ දේ සෙවීමේ සහජ ආශාවට  ඔන්න ඔහේ ඉඩ දුන් සැනින් වැල්ලේ අඩි කිහිපයක් ඉදිරියට ඇදි ගියේ නිරායාසයෙන් මෙනි. 

I MISS එවර ඔහුට ලියා ගත හැකි වුයේ එපමණකි. රැල්ල ඔහු පැරදුවේය.

I MISS YO.. රැල්ල පරදවා ඔහු මදක් ඉදිරියට ගියේය..

ෂුවර් එකට බූට්‌ එකක් කාපු එකෙක්.. කිසිවක් නොදන්නා අනුන් ගැන තීරණ ගැනීමේ සහජ හැකියාව මට උපදෙස් දුන්නේය..

I MISS YOU M..

"කෙල්ලගේ නම M වලින් වෙන්න ඇති පටන් ගන්නේ.. හෙහ් ..  පිස්සෙක්.. කොල්ලෝ කාලේ ඉතින් ඔහොම නේ.." තමුන්ගේ අතීතයෙන් අනුන්ගේ වර්තමානය සහ අනුන්ගේ අනාගතය ගැන කරුණු කාරනා පැහැදිලි කර දීමට ඇති සහජ හැකියාව මට තේරුම් කර දුන්නේය.

තරමක් ලොකු රැලි කිහිපයක් නිසා මුහුදු වෙරළ සුමට වූ පසු වඩා වේගයෙන් ඔහු නැවත මුල සිට කොටු කැබැල්ලෙන් වෙරළ හැඩි කළේය.

මෙවර ඔහු රැල්ල පැරදුවේය

"I MISS YOU MOM"

තීරණ දීමට පණ්ඩිත වූ මොළයට අතුල් පහරක් එල්ල කරමින් කීරි ගැසුණු හදවත මොහොතකට නතර විය.

අපේක්ෂා භංගත්වයකින් වැසි ගිය අසරණ කමකින් යුතුව ඔහු කොටු කැබැල්ලත් අතින් ගෙන මට අඩි කිහිපයක් නුදුරින් මුහුදට පිටුපා නැගී සිටියේය.

මා ඔහු ලියු දෙය දුටු බව ඔහු දැන ගත්තේය. ඒ මගේ ඇස් ඒ වන විට රැල්ලෙන් මැකී යමින් තිබුණු ඉරි කැබලි දෙසට යොමු වී ක්ෂණයකින් ඔහු දෙසට නැවත යොමු වූ බව ඔහු දුටු නිසාවෙනි.

"I'AM A ROHINGYA"

ඔහු කතාවට මුල පිරුවේය

සිංහල බෞද්ධ අප සැමගේ හිත සුව පිණිස කතාව මෙතැන් සිට සිංහලෙනි.

කතාව ට පෙර ROHINGYA ගැන යමක් පැහැදිලි කරදීම වැදගත්.

දැනට ලෝකයේ සිටින වඩාත් ම හිංසාවට පත් ජන කොටසක් ලෙස හඳුන්වන ROHINGYA අනාථයින් යනු අන්තවාදී බෞද්ධයින් ගෙන් එල්ල වන මර බියෙන් මිදීමට ජීවිතය පරදුවට තබා අනාරක්ෂිත බෝට්ටු මාර්ගයෙන් මියන්මාරයේ (බුරුමයේ) සිට ගිනිකොන දිග ආසියානු රටවලට පැමිණෙන මියන්මාරයේ Rakhine නම් ප්‍රදේශයේ වෙසෙන සුළුතර මුස්ලිම් ආගමික ජන කොටසක්. බෝට්ටු මිනිසුන් ලෙස පොදුවේ හදුන්වන මේ මිනිසුන්  හොර ජාවාරම් කාර බෝට්ටු මාරගයෙන් සිය දිවි බේරා ගැනීමට මුහුදට පනින්නන්.

මෙම ආගමික සංහාරය ගැන අන්තර්ජාලයේ සඳහන් තොරතුරු වලට අනුව නම් මියන්මාර් රජය මේ මිනිසුන් සමුලගාතනය කිරීමේ සැලසුමක් තමයි ගෙනි යන්නේ.   ඔවුන් සිය රටේ වෙසෙන තවත් ජනකොටසක් විදියට පිළිගැනීමට මියන්මාර් රජය   සුදානම් නෑ. ජාත්‍යන්තරව රටක් නැති මිනිසුන් (stateless entities) විදියට තමයි මේ Rohingya අනාතයින්ව හඳුන්වන්නේ. බෞද්ධයින් සහ මුස්ලිම් වරුන් අතර මියන්මාරයේ පවතින මේ ගැටුම් ගැන මම වැඩි දෙයක් දන්නේ නැති නමුත් මේ ගැටුම දශක කිහිපයක් තිස්සේ තියෙන දෙයක්. 2012 දී පමණ කණ්ඩායමක් විසින් මියන්මාරයේ බෞද්ධ කාන්තාවක් සමුහ දුෂණය කිරීම මේ ගැටුම් උග්‍ර වීමට හේතුවක් විදියට සඳහන්. 

දැනට මේ මිනිසුන් මියන්මාරයේ සිට මැලේසියාව , තාලන්තය, ඉන්දුනීසියාව ආදී රටවලට බෝට්ටු මාර්ගයෙන් පැමිණෙනවා. ජාත්‍යන්තර මැදිහත් වීම නිසා මේ රටවල් දැන් මේ මිනිසුන් ව තම රටවලට බාර ගැනීමට ඉඩදී තියෙනවා. 

මැලේසියාවට අයත් Penang දුපතේ වෙරළේදී තමයි මට මේ Rohingya තරුණයාව හමුවුනේ

"ආ මම ඔබලා ගැන දන්නවා. මට හරිම කනගාටුයි"

ඔහුගේ හඳුන්වා දීමට මගේ පිළිතුර වුනේ ඒක. මේ මිනිසුන් ගැන වැඩි විස්තරයක් මම නොදැන සිටියත් එහෙන් මෙහෙන් කියවන ප්‍රවෘත්ති නිසා යමක් දැන සිටීම මේ වෙලාවේදී මට ප්‍රයෝජනවත් වුණා.

"ඔයා කොහොමද මෙහෙට ආවේ" බෝට්ටු කතාව දැන දැනත් මම ඔහුගෙන් එහෙම ඇසුවේ සාකච්චාව දික් කරගැනීමේ අරමුණින්. 

"හැමෝම වගේ බෝට්ටුවෙන් තමයි. දවස් 3ක් කෑම මොකුත් නැතිව බෝට්ටුවේ ආවා. අපිත් එක්ක ආපු 25 දෙනෙක් මගදී මැරුණා. කන්න බොන්න නැතිව. වතුර ටිකක් විතරයි තිබුනේ"

"ඔබගේ මවට මොකද වුනේ?"

වැල්ලේ සටහන සිහිපත් කරමින් මම ඇසුවා.

"අම්මට මාත් එක්ක එන්න බැහැ. බෝට්ටු ගමන ඇයට දරන්න බැහැ. බොහෝ අය අතර මගදී මැරෙනවා."

"මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි  ඔයාට පුළුවන් නේ වෙන විදියකට අම්මව ගෙන්න ගන්න. "

"වෙන විදි මොකුත් නෑ" එහෙම තිබුන නම් අපි මෙහෙම එන්නේ නෑ..

"හ්ම් මට තේරෙනවා.."

"නමුත් ඔබලාට වෙන රටවලට යන්න පුළුවන් නේ. ඇයි මුහුදින් එන්නේ? මියන්මාරය ලෝක සිතියමේ ඇති තැන ගැන හරි  මතකයක් නොමැතිව මම ඔහුගෙන් ඇහුවා.

"කොහේ ගියත් වෙනසක් නෑ. අඩුම තරමේ ටිකක් දියුණු රටකට ආවම අපිට හොඳට ඉන්න පුළුවන්. එකයි මෙහෙ එන්නේ. වෙන කොහේ යන්නද"

වැඩි තන්හාවට ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන මිනිසුන් ඉන්න රටක මිනිහෙක් විදියට එහෙම අහන එක මෝඩයි නේද කියල මගේ යටි හිත ඒ වෙලාවේ මට කිව්වා.

"මට හරිම කණගාටුයි.  මම ඔබලා ගැන විස්තර ටිකක් දන්නවා. ඇත්තටම හරිම කණගාටු දායක තත්වයක්. මොකක් ද ඕකට හේතුව?"

"ඔවුන්ට ඕනෑ අපි ඔක්කොම මරන්න. ඔබ ethnic cleansing ගැන දන්නවද? මියන්මාර් රජයට ඕනේ අන්න ඒක."

"හරියට හිට්ලර් යුදෙව්වෝ මැරුවා වගේ" මම ඔහුට කිව්වා. ඔහුගේ මුහුණේ තිබුනේ අන්ත අසරණ හැඟීමක්. නමුත් ආචාරශීලි වීමට ඔහු මා සමග සිනා සුනා.

"මම ශ්‍රී ලාංකිකයෙක්. මමත් බෞද්ධ තමයි. සැබෑ බෞද්ධ ආගම අවිහිංසාවාදී ආගමක්. හරිම කනගාටුයි බෞද්ධයින් අතින් ඔබලාට සිදු වෙන හානිය ගැන. නමුත් මේ අන්තවාදීන් ගැන අපිට කරන්න දෙයක් නෑ. හැම ආගමකම ඔවුන් ඉන්නවා."

"ඔබට ඉන්න තැනක් තියෙනවද? ඔබ මෙහෙ මොකද කරන්නේ?"

මනුස්සයෙක් අසරණයි කියල දැනුන ගමන් අපේ ඔළුවට එන සල්ලි කීයක් හරි දුන්න නම් හරි කියන හැඟීමෙන් මම ඇහුවා.

"ඔව් මට ඉන්න තැනක් තියෙනවා. මම NGO එකක වැඩ කරනවා. එහෙම කරදරයක් නෑ දැන්. හැබැයි මට අම්මා නැතිව පාලුයි. මට ඒකට කරන්න කිසිම දෙයක් නෑ."

සල්ලි වලින් සැනසිය නොහැකි දුක්ක දෝමනස්සයන් තව බොහෝ ඇති බව බෞද්ධ මට, මුස්ලිම් ඔහු මතක් කරලා දුන්නා.

වෙරළේ මදක් එහායින් සිටි පවුලේ අය හමුවීමට මම ගියේ ඔහු හා කතාව ටිකක් දුර ගෙනයාමට මට අවශ්‍ය වූ බැවින් ඒ බව පවුලේ අයට දැන්වීමට. 

මම ඔහුගෙන් මොහොතකට සමුගෙන ආපසු හැරි ගොඩබිම පැත්තට ගියා. ඔහු සිනාසී මුහුද දෙස බලන්නට ඇති. මට හරියට මතක නෑ. 

මිනිත්තු කිහිපයකින් මම ආපසු හැරී බලන විට ඔහු එතැන සිටියේ නෑ. වෙරළේ සිටි බොහෝ ජනයා අතරට ඔහු දියවී ගොසින්. මට නැවත ඔහුව සොයා ගැනීමට හැකි වුනේ නෑ.

සමහර විට පවුලේ නෑසියන් සමගින් සැපවත් ජිවිතයක් ගෙවන මගේ අනුකම්පාවෙන් ඔහුට වැඩක් නැතැයි ඔහුට දැනෙන්නට ඇති. 

වාර්ගික ගැටුම් , ආගමික ගැටුම් ගැන අතොරක් නැතිව ඇසෙන මේ කාලයේ ඒ දේවල් අපිට දැනෙන්නේ සිල්ලර ගානට. මහ ජාතියක් වෙලා ඉන්න කම් සුළු ජාතියකට දැනෙන හැඟීම හරියට තේරුම් යන්නේ නෑ. ඔක්කොටම වඩා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ටතම ආගමක් අවුරුදු 2500ක් තිස්සේ පුද පුජා කරමින්, වන්දනා මාන කරමින් රැකගෙන ආපු ජාතියක් විදියට ඒ ආගමේ මුලික ඉගැන්වීමක් වෙච්ච මනුස්සකම අපිට අමතක වෙලා තිබීම පුදුමයකුත් නෙවෙයි. 

ආගම වෙනුවෙන් ජිවිතේ පුජා කරන මානසික ලෙඩුන් ට වන්දනා මාන කරන අපිට ආගම වෙනුවෙන් තව මනුස්සයෙක් මරණ එකත් දැන් මහ ලොකු දෙයක් නෙවේ වගේ. සමහර විට ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ මං ගැන Rohingya  මුස්ලිම් ඔහුට දැනෙන්න ඇත්තේ ඒ වගේ හැඟීමක්.

සියල්ල අවසානයේ ආපසු එන ගමන් මට දැනුන එකම සහනය වුයේ සියලු ආගම් වලින් සිත නිදහස් කර ගෙන ජිවත් වීමට මම පුරුදු වී සිටීමේ වැදගත් කමයි. මම බෞද්ධ වන්නේ රාජකාරි කටයුතු සහ ඔය සීනිබෝල සමාජ කටයුතු වල පහසුව සඳහා පමණක් වීම ගැන මට දැනුනේ සහනයකි. 

අදහන ආගම අනුව හොඳ නරක තීරණය කර සැප දුක වර්ග කර ලබා දෙන බාල මට්ටමේ මෙහෙයුම් පද්ධතියකින් හෝ එවැනි බාල වර්ගයේ අදහස් ඇති සර්ව බලධාරියෙකුගේ අතින් මේ විශ්වය මේ තරම් අපුරුවට නිර්මාණය වුවා යැයි පිළිගැනීමට මගේ හිත කවදාවත් මට ඉඩ දුන්නේ නැත. සමහරවිට ආගමික ග්‍රන්ථ සියල්ල කියවා අවසන් කල අයට ඒවා හරියට ම තේරෙනවා ඇති. 

බමුණෙක් හෝ වසලයෙක් ලෙස නොව  මිනිසා මිනිසෙක් ලෙස  දැකීමට අපිට හැකි වන තාක් අප සියල්ලෝම අනාථ බව පමණක් මට අවසානයේ තේරුම් ගියා.


13 comments:

  1. "ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනම නෑ" කියන්නේ ඔන්න ඕකයි.
    බොහොමයක් අය ආගම කරේ තබාගෙන මමයි රජා කියාගෙන යනවා මිසක් ආගමේ අර්ථය වටහා ගන්නෙ නෑ.
    (වටහාගන්න ඕන කමකුත් නෑ)
    ඒ ගමනේ අවසානය තමයි අන්තවාදය. ඒවයින් බැට කන්නේ ඒවා නිර්මාණය කරන ආගම්වාදී උන්නාන්සේලා (ඕනෑම ආගමක සිටී අපේ නානසාර වැනිය)නෙමෙයි අහිංසක මිනිස්සු. ඒ බැට කෑමේ අවසානය නොහොත් ඉවසීමේ සීමාව තමයි ජාතිවාදී අරගල සහ යුද්ධය.
    ROHINGYA ගැන ඇහුවෙත් අදමයි, ඒ ගැන වැඩි විස්තර හොයල බලන්න ඕනෙ.ස්තූතියි පැතුම් තොරතුරට.
    Happyම හැපී new year එකක් වේවා!


    ReplyDelete
    Replies
    1. හසිත ඇතුලේ පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      සියලුම ආගම් කියන්නේ මහා මිත්‍යාවක් කියල තමයි මම නම් ඉගෙන ගෙන තියෙන්නේ.

      අහිංසක මිනිස්සු මොන ආගමේ උනත් විඳවනවා. අවසානයේ වෙන්නේ හොඳ මිනිස්සුත් අනුන්ට වෛර කරන මට්ටමට ඇවිල්ල..

      Delete
  2. මමත් ඔය Rohingya ගැන දන්නෙ නෑ
    පොඩි කාලෙ අපි අල්ලපු පන්තියත් එක්ක ගහගන්නවා
    ඊට පස්සෙ අනිත් හෝල් එකේ එවුන් එක්ක ගහගන්නවා
    ඊට පස්සෙ ළගම ඉස්කෝලෙත් එක්ක ගහගන්නවා
    ගමට ගහගන්නවා
    පළාතට ගහගන්නවා
    වයසේ පරිණාමයත් එක්ක ජාතිය සහ ආගමට ගහගන්නවා
    ඔය හැම දෙයක් තුලම තියෙන්නේ පොඩි දෙයක්
    මිනිස්සු ආසයි බෙදෙන්න

    රවින්ද්‍රනාත් තාගෝර් "ගෝරා" පොත මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. රෝමා,
      බෙදීම ගැටලුවක් නෙවෙයි. ගැටලුව තියෙන්නේ තමන් බෙදිලා වෙන් වෙලා ඉන්න ගොඩ හරි අනිත් සියලුම ගොඩවල් වැරදි කියල හිතන එක. පවුල් වශයෙන් අපි බෙදිලා ඉන්නවා. හැබැයි අනිත් පවුල් වලට ඇඟිලි නොගහනකම් කිසි අවුලක්ත් නෑනේ. ආගම්, ජාති වුනත්එහෙම තමා. ඒවා වැරදියි කියල කියන්න බෑ. හැබැයි අපේ එක හරි, අනිත්ඒ ඔක්කොම වැරදි කියන එක තමයි අවුල. අනිත් අය ඒ ඒ විදියට බෙදිලා ඉන්නේ තමුන් බෙදිලා ඉන්න හේතුව නිසාමයි කියන දේ තේරුම් ගන්න අපිට බුද්ධියක් නෑ.

      මම ගෝරා පොත කියවල නෑ.. පොත් ප්‍රදර්ශන වලදී දැකල තිබුනත් කවදාවත් අරගෙන නෑ.. :)

      Delete
  3. කිසිම දෙයක අන්තවාදයෙන් ඇතිවන යහපතක් නැත.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි,
      මල්ලි හරි මල්ලි, ඒක තමයි අමුලික ඇත්ත.

      Delete
  4. ආගම එක්තරා කාලෙක ලෝකෙ මිනිස්සු තුළ තිබුණු ගෝත්‍රික ගති වෙනුවට දියුණු ආකල්ප හදාගන්න උදව් වෙන්න ඇති. හැබැයි දැන් ආගම් වලින් කරන්නේ දියුණු ආකල්ප වෙනුවට ගෝත්‍රිකත්වය පවත්වාගෙන යන එක

    ReplyDelete
    Replies
    1. සමහර සංකල්ප ඇර ගොඩක් දේවල් නම් ඇත්තටම යල්පැන ගිහිල්ල තමයි.

      අලුත් ආගමක් ඕනෑ කර තිබේ වගේ හැඟීමක් තියෙන්නේ දැන්.. හෙහ් හෙහ්

      Delete
  5. ආගම, ජාතිය, කුලය හෝ වෙනත් ඕනැම කරුණක් නිසා තව කෙනෙක් හිංසාවට පීඩාවට පත් කරන එක කොයි තරම් අමානුෂිකද? ඒ පීඩිත මිනිසාට දැනෙන හැඟීම මොන වගේද කියල හරියටම තේරුම් ගන්න තරම් සංවේදී, මානුෂික හදවත් ඇති කරන්න කිසිම ආගමක් තවම සමත් වෙලා නැහැ පැතුම්... ආගම් අසමත්... ඒක දහමේ වරදක් නෙවි.. මිනිස්සු හැමදේම කරන්නෙ ආත්මාර්ථය මුල් කරගෙනනෙ...

    ReplyDelete
    Replies
    1. ආගම් කියන්නේ තනිකරම මිත්‍යාවක්. අපිට ඒක පිළිගන්න තරම් ආත්ම ශක්තියක් ඇති වෙන කම් අපිට ආගම් වලින් තොරව මානුෂික වෙන්න බෑ. අපි දැන් මනුස්සයෙකුට අනුකම්පා කරන්නෙත් පිං බලාගෙන මිසක් අවංකවම ඒ මනුස්සය ගැන කරුණාවෙන් නෙවෙයි.

      හැමදේම ගනුදෙනුවක් වෙලා තියෙන්නේ. අපි කෙනෙකුට උදව් වක් කලාම හෝ අපට යමක් ලැබුනම ආචාර ශීලි විදියට ස්තුතියක් කරනවා වෙනුවට එක්කෝ පිං බලාපොරොත්තු වෙනවා. නැත්නම් පිං දෙනවා. ඒ සිද්දිය සිද්දියක් විදියට අරගෙන සැහැල්ලුවෙන් අත අරින්නේ නෑ.

      මාර විදියට වැරදිලා කියල මට වෙලාවකට හිතෙනවා. හෙහ් හෙහ්.

      Delete
  6. ඔතන මල්ලි දෙපැත්තක් තියනවා නේද? මුස්ලිම් කොටසක් වෙනම කෑල්ලක් ඉල්ලා සටන් කරනවා. බුරුමයේම අනිත් පැත්තේ බංගලාදේශයේ ඉන්නා බෞධ්ධ්‍යන්ට මුස්ලිම් වරු පහර දෙනවා. මෙහෙන් බුරුම වරු රෝහින්ගියා මිනිසුන්ට පහර දෙනවා. ඉතා ඛේද ජනකයි.
    ඔබට සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා අජිත් අයියා ඇතුළු පවුලේ සැමටත්.

      මේ වගේ ආගමික, වාර්ගික ගැටළු වලදී කවුරුත් හරි නෑ කියලයි මට හිතෙන්නේ. නිකන් අහිංසක මිනිස්සු විඳවනවා.

      ජන වර්ග විදියට මිනිස්සු බෙදිලා ඉන්න එක ටිකක් හරි සාධාරණ වුනාට ආගම් විදියට මිනිස්සු බෙදිලා ඉන්න එක නම් මහ මෝඩ වැඩක් විදියට මට හිතෙන්නේ. ඕවා වෙනස් කරන්න අපිට බැහැ තමයි.

      Delete
  7. මේවා මහා අපරාධ පැතුම්. ආගම කියන සෝඩා බෝතලේ ශැන්ඩි හැටියටවත් කිට්ටු කරගන්න නරකයි.

    The Rohingya minority

    /////The situation of the Rohingya minority continued to deteriorate. Most remained effectively deprived of citizenship rights under the 1982 Citizenship Law, and continued to face severe restrictions on their right to freedom of movement, limited access to life-saving health care, and denial of their rights to education and equal employment opportunities. There were ongoing reports of arbitrary arrests and torture and other ill-treatment of Rohingya in detention, as well as deaths in custody at the hands of security forces. Access to Rakhine State for international observers remained severely restricted.

    In February, the President announced the revocation of all Temporary Registration Cards (TRCs) – also known as “white cards” – leaving many Rohingya without any form of identity document. The move effectively barred Rohingya – and other former TRC holders – from being able to vote in the November elections. The exclusion of the Rohingya was further cemented by the disqualification of almost all Rohingya who applied to contest the elections as candidates. Many other Muslims were also disqualified on discriminatory grounds.

    The deteriorating situation of the Rohingya led increasing numbers to leave Myanmar. According to UNHCR, the UN refugee agency, 33,000 people – Rohingya as well as Bangladeshi nationals – left the Bay of Bengal by boat during the year. In May, a crackdown on trafficking in neighbouring Thailand saw thousands of people – many Rohingya fleeing Myanmar – stranded at sea on overcrowded boats controlled by traffickers and people smugglers. Many were beaten and held hostage for ransom./////////
    (AMNESTY INTERNATIONAL ANNUAL REPORT 2015/2016)

    ReplyDelete