Tuesday, October 18, 2016

ලංකාවේ ජපන් වාහන මගඩි


          ජපානේ හදන කාර් එකක් විකුණලා ජපන් රජය  ලබන ආදායමට වැඩිය ආදායමක් ලංකාවේ රජය ඒ වාහනේ ලංකාවට ගෙන්වලා ලබා ගන්නවා කියන එක මම හිතන්නේ හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ ඒ වාහනේ හදල තියෙන සියලුම අමුද්‍රව්‍ය වලට, හදන්න ගිය වියදම, හදපු මිනිස්සුන්ගේ මහන්සිය, ආදී මෙකි නොකී සියලු වියදම පියවල ඉවර වුනාම ලැබෙන ලාභයටත් වඩා වැඩි මුදලක් අපි  ලංකා රජයට  ජපානෙන් වාහනයක් ගෙන්නද්දී   ගෙවනවා. හැබැයි කොච්චර නොවටිනා ගණන් වලට වුනත් අපි තාම ගන්න බලන්නේ ජපන් වාහනයක්. 

ජපන් වාහනයක් ගන්න එකේ කිසි වරදක් නෑ. යුරෝපියන් වාහන නඩත්තු කරන්න වත්කමක් නැති අපි වගේ රටකට හරි යන්නේ උසස්ම තත්වයේ තියෙන ජපන් වාහන තමයි. ඉන්දියන් වාහන ගැන කතා කරන එක වැඩක් නෑ. මොකද ඒ වාහන අනිත් ඒවා එක්ක සංසන්දනය කරන්න හදන එකම තේරුමක් නැති වැඩක් නිසා. 

මම වාහන ගැන දන්න දෙයක් නෑ. මේ ජපන් වාහන ගැන හදිස්සියේම එකක් ලියන්න හිතුනේ මේ පහුගිය දවස් ටිකේ අපේ ළඟම ඥාතියෙකුට මේ දවස් වල ලංකාවේ නැගලම යන හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න ගිහින් මුහුණ දුන්න සිදුවීම් කීපයක් නිසා. 

ඔය අපේ ඥාතියා විසින් එයාට හොඳ ටොයෝටා Aqua එකක් හොයල දෙන්න කියල මට නිලවශයෙන් දැනුම් දුන්නා.  ඉතින් මම නිල වශයෙන් වැඩේ බාරගෙන ඔය වාහන හොයන්න ගත්ත මෙහෙ ඉඳන් ඔන්ලයින්. ඔය වගේ වාහන, යකඩ බඩු, ටින් බෙලෙක්ක, වයර් කෑලි වැඩ වලට නියම යාලුවෙක් මට ඉන්නවා. නොකා නොබී හරි වැඩේ කරලා දෙනවා කියන පරක්කුවෙන්. ඒ කියන්නේ හැබැයි ගරාජ් බාස් කෙනෙක් නෙවෙයි. ඔන්ලයින් බාස් කෙනෙක්. මිනිහත් යහපාලනේට නිතර කඩේ යන හැබැයි රාජ ආණ්ඩුව පෙරලෙන්න කලින් අඩු ගානට ජපානේන් ඔය ටොයෝටා Aqua එකක් ගෙන්න ගත්තු හාදයෙක්. වාහනේ පට්ට.

අපි මුලින්ම කලේ මගේ යාලුවා වාහනේ ගේන්න ගත්තු ලංකාවේ ප්‍රසිද්ධ වාහන ගෙන්නවන ආයතනයකට කතා කරපු ඒක. RamaDBK එක දැනට තියෙන අනිත් වාහන ආනයනය කරන ආයතන වලට සාපේක්ෂව සාධාරණ මිලකට උසස් තත්වයේ වාහනයක් ගෙන්නලා දෙනවා කියල තමයි මගේ යාලුවා ගේ අදහස. එයාගේ වාහනේ ගෙන්නලා දීල තිබුනේ ඒ ආයතනයෙන්. වැදගත් දේ මේ ආයතනයේ වැඩ කරන අය එක්ක අපිට skype එකෙන් කතා කරලා විස්තර දැන ගන්න පුළුවන් වීම. ඕනේ වෙලාවක ඔන්ලයින් ඉන්නවා.

ඉතින් මුලින්ම මම එහෙම කෙනෙකුට කතා කරලා ඇහුවම කිව්වේ, මේ දවස් වල ඔය වර්ගයේ කාර් එකක් ගෙන්නන්න ආසන්න වශයෙන් ලක්ෂ 50ක් වත් යනවා. ටැක්ස් එක ගොඩක් වැඩි නිසා කියල. අපේ ඥාතියාගේ වාහන බජට් එක ඒ තරම් නැති වෙච්ච නිසා අපි අලුත් වාහනයක් ගෙන්නන අදහස අත ඇරලා දැම්ම. පස්සේ තිබුන විකල්පය තමයි අතේ ඇති මුදලට වෙනත් වර්ගයක වාහනයක් ගැනීම හෝ ලංකාවේ දැනට තියෙන Aqua එකක් ගැනීම.

අපි ඉතින් යෝජනා කළා වෙනත් වර්ගයක වාහනයක් ගන්න හැබැයි ඉතින් මේ දවස් වල ලංකාවේ නැගලම යන මාකට් කාර් එක ඔය Aqua එක නිසා වෙන එකක් හොයන වැඩේ ජෝන් බාස් ට ගිහින් තවත් දන්නා අදුනන අය මාර්ගයෙන් ජපානෙන්ම එකක් ගේන්න ගන්න බැලුවා. එහෙම හොයද්දි ටිකක් දුර පලාතක ඒ ආකාරයට වාහන ගෙන්වන තැනකින්  පුළුවන් කිව්වා අපේ අතේ තියෙන ගානට එකක් ගෙන්නලා දෙන්න.

මම කිව්වා හරි එහෙනම් එහෙන් ගන්න හැබැයි ගන්න කලින් අපිට වාහනේ Auction Sheet එක බලන්න ඕනේ කියල.

ජපන් වාහන ලංකාවට හෝ වෙනත් රටකට අපනයනය කරන්න කලින් එහෙදි  Auction වලට දානවා. ඒ Auction  වලදී ඒ වාහනයේ තත්වය අනුව වාහනේ වර්ගීකරණය කරනවා.  ඒ විස්තර තියෙන පත්‍රිකාව තමයි ඔය  Auction Sheet  එක කියන්නේ. මේ Auction Sheet එක තියෙන්නේ ජපන් භාෂාවෙන් හැබැයි ඉතින් එකක් දෙකක් බැලුවහම තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන්. මේකේ තියෙනවා වාහනේ නිෂ්පාදිත වර්ෂය සහ මාසය, දුවපු කිලෝමීටර් ගාන, චැසි නම්බරය සහ වාහනයට සිදුවී ඇති සියලු අලාබහානි ඒ කියන්නේ කුඩා සීරුම් පවා ලකුණු කරලා තියෙනවා. සමහර සීරුම් අපි නම් ගණන් ගන්නේ වත් නැති තරම්. නමුත් ඒ හැමදේම ලකුණු කරලා තියෙනවා. මේ සියලු කරනු වලට අනුව වාහනේ වර්ගීකරණය කරලා තියෙනවා

මෙන්න මේ සයිට් එකෙන් කැමති කෙනෙකුට ඔය වර්ගීකරණය සහ Auction Sheet  ගැන වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.

මෙන්න මේ එළකිරි අඩවියේ තියෙන විස්තරෙන් සිංහලෙන් ම ඔය ගැන ඉගෙන ගන්න පුළුවන්. ලින්ක් එක දුන්න හසිතට බොහොම ස්තුතියි.

සාමන්යෙන් S  කියන්නේ අලුත්ම කාර්, 5 කියන්නෙත් නිකන් අලුත් කාර් එක  Auction එකට එන්න ගෙනාපු කිලෝමීටර් ගාන විතරක් දුවල අන්න ඒවගේ.

මේ වර්ගීකරණ වල අන්තිම ගොඩේ තියෙනවා A,R,RA වගේ වර්ගීකරණය වෙච්ච. ඒ කියන්නේ අනතුරක් නිසා වෙච්ච අලුත් වැඩියා හෝ වෙනත් මොනයම් වර්ගයක හෝ අලුත් වැඩියාවක් කරපු වාහන. ගොඩක් වෙලාවට R කාණ්ඩයේ ඒවා හරි අඩු මිලට මේ වෙන්දේසි වලදී අලෙවි වෙනවා.

ඉතින් ජපානයෙන් අලුත්ම තත්වයේ හොඳ වාහනයක් ගන්න නම් අපි අඩුම තරමේ කාණ්ඩ අංක 4න් උඩවත් එකක් ගන්න ඕනේ.

හරි ඔය විස්තර ඔක්කොම මගේ යාලුවගෙන් ඉගෙන ගෙන මම පොර වගේ උපදෙස් දුන්නා වාහනේ Auction එකෙන් ගන්න කලින් අපිට Auction Sheet එක බලන්න ඕනේ ඊට කලින් වාහනේට Bid කරන්න එපා කියල.



දවසකින් දෙකකින් මෙන්න ඒ මනුස්සය අපිට කියනවා හරි මට හොඳ වාහනයක් හම්බ වුණා. කාලාතුරකින් හම්බ වෙන හොඳ  එකක් අරකයි මේකයි කියල. ඊට පස්සේ අපි ඉල්ල ගත්තා Auction Sheet එක. අඩුපාඩුවක් නෑ තඩි R අකුරක් ගහපු හතර වටේ හැප්පිච්ච සලකුණු මාක් කරලා තියෙන එකක් හෙහ් හෙහ්.. මිනිහ නම් කියන්නේ ඒ මාක් කරලා තියෙන ඔක්කොම පොඩි පොඩි දේවල් R ගහල තියෙන්නේ මේ පොඩි රෙපෙයාර් එකක් කරපු නිසා කියල. ජපන් වලින් තියෙන්නේ එහෙම ලු. මිනිහා එහෙම කියල දැන් මේ වාහනේට මම bid කරලා තියෙන්නේ දැන් ආයේ කැන්සල් කරන්න බෑ වගේ කතා ටිකක් කියල තිබුනා. අපි කිව්වා ඉතින් අපි පැහැදිලිව කිව්වනේ bid කරන්න කලින් අපිට බලන්න ඕනේ කියල. ඒ නිසා අපි මේක ගන්නේ නෑ කියල. කොහොම හරි ඒක ෂේප්.

ලක්ෂ 40ක් 50ක් දීලා ගන්න වාහනේ මොකට හැප්පිච්ච එකක් ගන්නවද කියල අපි ඒ වැඩේ අතෑරලා දැම්මා. මොකද R වාහනයක් පස්සේ කාලෙක විකුනන්න ගියාමත් මේ  Auction Sheet  ගැන දන්න අය ගන්නේ නෑ. අපි හරියටම දන්නේ නෑනේ වෙලා තියෙන දේ.

ලංකාවේ තියෙන සේල් වලින් වාහනයක් ගන්න අදහස ගැන ආයේ සලකල බලද්දී හැමෝගෙම අදහස වුනේ ලංකාවේ සේල් වල 99%ක් තියෙන්නේ ඔය වගේ R වර්ගයේ වාහන හොඳ එකක් නම් හොයා ගන්න හරි අමාරුයි ගාන ටිකක් වැඩි පුර ගෙවල හරි අලුත් එකක් ජපානෙන් ගෙන්න ගන්න බලන්න කියල.

ඊට පස්සේ අයවැය ආයේ සලකල බලල අපි ආයෙත් අර RamaDBK එකට කතා කරලා බැලුව එකක් ගේන්න ගන්න. මේ සැරේ අපි Auction Grade 4න් උඩ වගේ කිලෝමීටර් 10,000-20,000ක් වගේ දුවපු එකක් තමයි හොයන්න බැලුවේ. හැබැයි අපිට පොඩි බයක් තිබුනා හදිස්සියෙවත් අපි වාහනේ එහෙන් ගත්තට පස්සේ නොවැම්බර් වල ජාතික අයවැයෙන් වාහන බදු ආයේ වැඩි කරයි ද කියල. RamaDBK කතා කරපු කෙනත් මට කිව්වේ එයාලගේ ඊළඟ ෂිප්මන්ට් එක බජට් එකෙන් පස්සේ එන නිසා ටැක්ස් ගැන නම් ෂුවර් නෑ කියල.

සෑහෙන දියුණු ආර්ථික තත්වයක් තියෙන රටක් නිසා  එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව අඩු උනත්, හදිසියෙවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැත්නම් හිටපු රජ පවුලේ කවුරු හරි කරපු හොරකමක් හින්ද හරි රට ගොඩ ගන්න බැරි තරමට ආර්ථිකේ බංකොලොත් වෙලා හදිසියෙවත් ආයේ වාහන බදු වැඩි කලොත් කියල අපි ඒ අදහසත් අතෑරලා දැම්ම.

ඊට පස්සේ ඉතිරි වුනේ අර ලංකාවේ තියෙන හැප්පිච්ච කාර් 99%ට අහු නොවී කොහොම හරි අපේ බජට් එකට වාහනයක් හොයා ගන්න එක.

ඉතින් හැමෝම වගේ ලංකාවේ වාහන හොයන්න පාවිච්චි කරන්නේ ලංකාවේ ජනප්‍රියම වෙබ් සයිට් දෙකක් වෙච්ච autolanka එකයි ikman.lk එකයිනේ. ඊට අමතරව ඉතින් ඉරිදා පත්තරේ තමයි. අපි මෙහෙ ඉඳන් ඔන්ලයින් වාහන හෙව්වා. එහෙම හොයද්දි තමයි මෙන්න මේ ආතල් ජනක වැඩේ වුනේ.

ඔහොම හොයද්දි අපිට මෙන්න මේ වාහනේ හම්බ වුණා

ඕකේ තියෙන විස්තරේ හැටියට අපේ බජට් එකට වඩා පොඩ්ඩක් වැඩි වුනත් කතා බහ කරලා අඩු කර ගන්න බලාපොරොත්තුවෙන් මම කතා කළා මෙහෙ ඉඳන්.

"ඔව් ඔව්  මේ ලඟදි තමයි වරායෙන් නිදහස් කර ගත්තේ. අලුත්ම වාහනේ. Unregistered, ෆුල් ඔප්ෂන් ඔක්කොම තියෙනවා. හරි හරි කෑෂ් දෙනවනම් ඉතින් බලමුකෝ අඩු කරන්න. මම විස්තර එවන්නම්" ආදී වශයෙන් කතා බහ කරලා මම එයාලගෙන් ඔය වාහනේ Auction Sheet එක ඉල්ල ගත්තා. මේ තියෙන්නේ.




විස්තර ටික ඔක්කොම WhatsApp එකේ දාල මිනිහ මට කියනවා ඔයාට ඕනේ නම් Toyota Lanka එකට දාල ටෙස්ට් කරලා බලන්න කිසි අවුලක් නෑ කියල. 

දැන්වීම දාල තියෙන විදියට මේක ජපානේ දුවල තියෙන්නේ  20,000km. හැබැයි මේ ෂිට් එකේ හැටියට 45,662Km දුවල තියෙනවා. පොඩ්ඩක් බැලුවොත් තේරෙයි. ඔය උඩම දකුණු කොනේ තියෙන්නේ සමස්ත වර්ගීකරණය ඒ කියන්නේ මේකේ හැටියට 4. අවුලක් ම නෑ. අපි හොයපු මට්ටමේ එකක්.

දුවපු කිලෝමීටර් ගාන බොරුවක් වෙච්ච එක කමක් නෑ කියමු. මොකද ඉතින් ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි. එකේ දාල තියෙන ෆුල් ඔප්ෂන් ඔක්කොමත් එක්ක බැලුවම ඉතින් ඒ හැටි අවුලක් නෑ වගේ.

මම ඉතින් මේක ලැබුණු සැනින් අර යටකී යාළුවාට මේක දැම්ම skype එකේ. විස්තර හොයල දියන් කියල. විනාඩි 10ක් ගියේ නෑ මෙන්න skype එකේ හිනා මුණු ගොඩාක් එක්ක එනවා "මෙන්න මල්ලි ඔයාගේ වාහනේ කියල" හෙහ් හෙහ්

මේ තියෙන්නේ ඔරිජිනල් Auction Sheet එක



හෙහ් හෙහ් පොඩ්ඩක් උඩ එකත් එක්ක බලන්න. පේනවා නේද දකුණු පැත්තේ උඩ කොනේ තියෙන R අකුර. ඊටපස්සේ වම් පැත්තේ කොනේ තියෙන 1534 කියන අංක 4න් මුල දෙක හැලිලා ගිහින් 34 විතරක් ඉතිරි වෙලා. මොනවා උනත් km ගාන වෙනස් කරලා නෑ. මට හිතෙන්නේ පොරට ෆොටෝෂොප් එඩිටින් ඒ හැටි බැරුව ඇති. හෙහ් හෙහ්.  මේ Auction Sheet එකයි උඩින් තියෙන Auction Sheet  එකයි එකම කාර් එකේද කියල දැන ගත්තේ වාහනේ චැසි නම්බර් එකෙන් . චැසි අංකෙ තමයි ඔය කාර් එකේ දළ සටහනක් ඇඳපු රූපේ ට උඩින් තියෙන ඉලක්කන් 7තේ නම්බර් එක. හෙහ් හෙහ් කොහොමද ඔරිජිනල් එකේ තියෙන රෙපෙයාර් මාක් ටික. මිනිහ මට එවපු එකේ තියෙන්නේ යාන්තම් එකයි වම්පැත්තේ කොනට වෙන්න.

අපි දෙන්නට හරි ජොලි මේ වැඩේ නිසා.

ඕක මට එවල ටික වෙලාවකින් වාහනේ අයිති කෙනා මගෙන් ඇහුවා විස්තර ටික හම්බ වුණා නේද  මොකද කියන්නේ කියල. මම ඉතින් හැරෙන තැපෑලෙන්  පණිවිඩයක් දැම්ම මේ කාර් එක මට එපා. ඔයාට ඕන නම් මම ඔය කාර් එකේ ඔරිජිනල් Auction Sheet එක එවන්නම් කියල..

"ආ එවන්න බලන්න .." , "අනේ ඔව්මයි.... මේක එඩිට් කරපු එකක් නේ..... අනේ මම දන්නේ නෑ. ඕක තමයි මට හම්බ වුනේ. මම නෙවෙයි මේක ගෙන්නුවේ... මම ඩිලර් කෙනෙක් ගෙන් ගත්තේ. මට කිසිම අවුලක් මේ වාහනේ පෙන්නේ නෑ. එකයි මම ටොයෝටා ලංකා දාල බලන්න කිව්වේ"

 ආදී වශයෙන් මට පිළිතුරු රාශියක් ලැබුනා. මම ඉතින් බොහොම ස්තුතියි කියල නිකන් හිටිය. හෙහ් හෙහ්

මම මේ දැන්වීමේ ලින්ක් එක මෙතන දැම්මේ කිසිම තරහකින් හෝ ඒ තැනැත්තාගේ වෙළඳාමට බාධාවක් කරන අරමුණින් නෙවෙයි. මේ වාහනේ නරක එකක් කියල මම කියන්නේ නෑ. ගන්න කෙනෙකුට ගත්තට කිසිම පාඩුවක් වෙන එකකුත් නෑ. හැබැයි අපි වියදම් කරන මුදලට උසස්ම තත්වයේ වාහනයක් ගන්න හොයන කෙනෙකුට මේ වගේ දැන්වීම් නිසා වෙන්නේ පාඩුවක්. මේ දාපු කෙනා මේක නොදැනුවත්ව කරා වෙන්න පුළුවන් හැබැයි ඉතින් ලංකාවේ වාහන සේල් වල සැබෑ තත්වය හොඳටම පැහැදිලි වුණා අපිට නම්.

අපිට මේ වැඩේ හොයා ගන්න ගියේ විනාඩි 10යි. අද අන්තර්ජාලයේ ඕනෙම බඩුවක් ගැන විස්තර , පාවිච්චි කරපු අයගේ අදහස (User Reviews), තරඟ කාරී මිල ගණන් යටතේ ලාබෙට ගන්න පුළුවන් තැන් ඕනේ තරම් තියෙනවා. ඕනෙම බඩුවක් ගන්න කලින් විනාඩි 10ක්-15ක් වැය කරලා හොයල බැලුවට පාඩු නෑ.

ඕකෙන් පාඩමක් ඉගෙන ගත්ත අපි වාහන සේල් වල සහ පෞද්ගලිකව විකුනන්න තියෙන වාහන බලන්න ගිහින් එකක් හොයන්න තීරණේ කළා. මගේ යාලුවා ඉතින් මම කවද හරි ලංකාවට එන දවසක ගේන්නම් කියපු Kandos චොකලට් එකකට පොරොන්දු වෙලා අපේ කට්ටියත් එක්ක ලංකාවේ ඇවිදල වාහන හොයන්න එකඟ වුණා.  මොනවා උනත් හරි හොඳ එකා.

එහෙම ඇවිදපු පහුගිය දවසක ඌ මට කෝල් එකක් දීලා කිව්වේ මෙහෙම

"යකෝ මුන් ඔක්කොම අලි හොරු. එකෙක් මට කියනවා අපි ගාව  Auction Sheet නම් නෑ. ඔයාලට ඕනේ නම් අපි එකක් හදල දෙන්නම් අවුලක් නෑ ලු.  මොනවා උනත් ඌ නම් අවංක හොරෙක් හෙහ් හෙහ් හෙහ්".

ආයේ කියනවා "මචං වාහනේ ටයර් 4 නම් හොඳටම ගෙවිලා හැබැයි මීටරේ දුවල තියෙන්නේ නම් කිලෝමීටර් 3000යි. හෙහ් හෙහ් "

ඔය විදියට වාහන සේල් වල ඇවිදපු උගේ අන්තිම අදහස වුනේ සේල් වලින් නම් වාහන ගන්න එපා. ඔක්කොම අලි බොරු. මීටර් කරකවපු R කාර් කියල.

මගෙයි උගෙයි අවසන් අවවාදය වුනේ බජට් එකෙන් ඔය කියන තරම් ගාන වැඩි වෙන එකක් නෑ.. දැනටම ලක්ෂ 30ක් බදු ගහන එකේ තව මොනවා ගහන්නද පොඩ්ඩක් බලල හොඳ එකක් ගෙන්න ගන්න කියන එක. හැබැයි ඉතින් එයාලගේ කැමැත්ත සේල් වලින් නැතිව ගෙදරක පාවිච්චි කරපු එකක් ගන්න. මේ වෙද්දී නම් විශ්වාසවන්ත එකක් හම්බ වෙලා තියෙන්නේ ගෙදරක තියෙන එකක්. ලඟදි ගනියි.

ඉතින් ඔන්න ඔහොමයි ලංකාවෙන් කාර් ගන්න ගියාම වෙන්නේ. එහෙම ගන්න අදහසක් තියෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න. ෆේස් බුක් එකෙත් තියෙනවා ඔය හයිබ්‍රිඩ් කාර් වලටම වෙන් වෙච්ච ගෘප් එකක්. ඒවාට සම්බන්ද වෙලා හොඳට දැනුවත් වෙලා වාහනයක් ගන්න.

Monday, October 03, 2016

අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...!


දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපිට නිදහසේ හිතන්න නෑ
හිතන එකත් කෘතීම  වෙලා
අපි නොසැලකිල්ලෙන් හිතුවොත්
බොහෝ වැරදි වැටහීම් වෙන්න පුළුවන්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපේ ඔළුව ඉලෙක්ට්‍රොනික වෙලා
මේ හිස් වැසුමට අපි ඇබ්බැහි වෙලා
මේක නැතිව දැන් කිසි දෙයක් කරගන්න බෑ
මිනිස්සු අතර දැන් තියෙන්නේ  ඉලෙක්ට්‍රොනික බැඳීමක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපේ ඇඟ ඇතුලේ චිප් හයි කරලා
අපි දැනටම අර්ධ ඉලෙක්ට්‍රොනික වෙලා
මිනිස්සු මහන්සි වෙලා වැඩක් කරන්නේ නැති තරම්
ඔක්කොම තොරතුරු අදහස් හුවමාරුව චිප් වලින්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ පටිය අතේ බැඳ ගත්තේ නැත්නම්
අපි නිකන් කොන් වෙලා යනවා
අර පෙන්නේ නැද්ද අර හොලොග්‍රෑම් එකේ හැටි
ප්‍රසිද්ධ තැන් වල පෙන්නන්න හොඳ දේවල් ද හැබෑට
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ලෙන්ස් එකක් ඇහැට දාගෙන
කන් දෙකේ තව කෑලි දෙකක් ගහගෙන
අනිත් එක තව කැල්ලක් සාක්කුවේ දාගන්නත් වෙලා නේ
ඔය කිව්වට මේවා මේ ඇස් කන් වල දාගෙන ඉන්න හොඳද මන්ද
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ෆෝන් එක විනිවිද පේනවා
ඊයේ මගේ අතින් නැමුනත් එක්ක
කොච්චර දේවල් කරන්න පුළුවන් වුනත් වැඩක් නෑනේ
පොඩි පෙනුමක් එක්ක අතට අහුවෙන්න හරියට නැති වුනාම
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම කෙනා ළඟම ෆෝන් එකක්
මනුස්සයෙක් එක්ක හරියට කතා බහක් නෑනේ
කොයි වෙලාවෙත් බෙල්ල කඩාගෙන එක දිහා බලාගෙන
පොඩි ළමයි පවා ඇබ්බැහි වෙලා නේ
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම ගෙදරම ටෙලිවිෂන් ටෙලිෆෝන්
මිනිස්සුන්ගේ ඔළුව නරක් වෙන දේවල් ම නේ තියෙන්නේ
ඒ කාලේ  නම් පණිවිඩයක් කිව්වම මිනිස්සු එකට සලකනවා
එකට දැන් එක සැරයක් කතා කරලා එකක් කියනවා පස්සේ තව එකක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම දේම මේ පත්තර වල දානවනේ
ඕනේ දේවලුයි එපා දේවලුයි
ඒ මදිවට ඕවා කියවන්න පුළුවන් කාටද ඔය හැටි
වැදගත් දෙයක් තියෙනවනම් අණ බේර කාරයෙක් එවන ඒකනේ 
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
පොඩි දෙයක්  කියන්නත් අණ බේර ගගහ යන්න ඕනේ
අනිත් එක දවස පුරා උගුර ලේ රහ වෙනකම් කෑ ගහන එක සෙල්ලමක් ද
රජ තුමාට නම් ඉතින් මොකද එයා කියයි
අපි එපැයි රට පුරා යන්න
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ගිනි මැලේ පත්තු කරගන්න මම විඳපු දුකක්
හොඳට ඇවිලුනේ නැත්නම් එහා කන්දට පෙන්නේ නෑ
අරූ හූ කිව්වට පස්සේ නේ මට මේක පත්තු කරන්න වෙන්නේ
මොන හදිස්සියක් ද හැබෑට හෙමිහිට ගිහින් කියන්න තිබුනනේ ඕනේ පණිවිඩයක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...


දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපි දෙයක් හොයා ගත්තම අපි කනවා
ඕනනම් ළඟ ඉන්න එකෙකුට පොඩ්ඩක් දෙනවා
මේ හතර වටේ ඉන්න හැම එකාටම මේවා බෙදන්න යන්න පුළුවන් ද
උන්ට ඕනේ නම් උන් හොයාගෙන කයිනේ
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...!