Monday, October 26, 2015

මාරුව...!


             සුබ සැන්දෑවක් මිස්ටර් බෝ, කොහොමද පයිනස් ... අප්පා මේ සුළඟ හරි සැරයි නෙ අද.. රෑ වෙනකොට කුණාටුවක් එයි ද මන් ද..  මේ කාලෙට කොහොමත් හුලං ටිකක් සැරයි මිස්ටර් බෝ.. සමහරවිට රෑ වෙද්දී වහියි.. අන්න මිස්ටර් ජැක් දැනටමත් ඇවිල්ල ඉන්නේ.. මිස්ටර් බෝ ගිහින් වාඩි වෙන්න මම කෝපි අරගෙන එන්නම්.. ආ පයිනස් මට ටිකක් සැර කෝපි එකක් ගේන්න... සීනි චුට්ටක් වැඩියෙන් දාලා.. හොඳයි මිස්ටර් බෝ..

තානායමේ කෙළවර පිහිටි මේසය කොනේ සුරුට්ටුවක් උරමින් හවස පත්තරය බලමින් සිටි ජැක් සිය මිතුරා දෙස ඇස් කොනින් බලා නැවත කියවමින් සිටි ලිපිය දෙස අවදානය යෙදෙව්වේ එහි ඇති රසවත් බව නිසාමය.. 

සිය උඩු කබාය කබා රාක්කයේ එල්ලූ බෝ අවට සිටි සුපුරුදු මුහුණු දෙස අලස බැල්මක් හෙලුවේය. කඳුකර කුඩා නගරයේ මේ තානායමට අමුත්තන් පැමිණියේ නම් ඒ කලාතුරකිනි. හැමදාම හමුවන සුපුරුදු කිහිප දෙනා හැර වෙන කිසිවෙක් නොවුයෙන්  ජැක් උවමනාවෙන් බලමින් සිටි ලිපිය දෙස එබී බලමින් ගොස් සිය සුපුරුදු අසුනට බර දුන්නේය. තානායමේ කෙළවර මේසයේ වාඩිවී සිටි අඳුරු පැහැති රුව දෙස බෝ ගේ නෙත යොමු වුයේ පුරුද්දට මෙනි.. ගලා හැලෙන සැන්දෑ අඳුර නිසා හරියටම හඳුනා ගත නොහැකි වුවද මිට පෙර දැක නොමැති නුපුරුදු බවක් ඒ කෙරෙන් දිස් විය...


කෝ තාම නා ආවේ නැද්ද? පුවත්පත දෙස බලමින් සිටි මිතුරාගේ අවදානය ගැනීම පිණිස ඔහු හඬ අවදි කළේය...නෑ තාම නෑ..... බැම්බු එක්කම එනවා කිව්වා.. මම හිතන්නේ දැන් මග එනවා ඇති.. පත්තරයෙන් අවදානය නොබිඳ ගත් ජැක් හඬ අවදි කළේය. කෝ මටත් දෙනවකො ඔය සුරුට්ටුවක්..  මම තමුසෙගෙන් මේ සුරුට්ටු පෙට්ටියක් ගෙන්න ගන්න කී දවසක් කිව්වද...අදත් ගෙනාවේ නෑ නේද? ඕවා කාටද අයිසේ මතක් වෙන්නේ මේ රටේ ලෝකේ සිද්ද වෙන දේවල් දැක්කම .. ඇයි දැන් මොකක් ද වෙලා තියෙන්නේ.. මොකක් ද ඔය උනන්දුවෙන් කියවන ආටිකල් එක. .. පොඩ්ඩක් ඉන්නවා මේ අන්තිම ටික... ඒ ටික ඉවර වෙලාම මම සිද්දිය කියන්නම්.. ඔහු අනිත් අතින් සිය කබායේ තිබුණු සුරුට්ටුවක් ගෙන සිය මිතුරා දෙසට තල්ලු කළේය.

ඕ..පයිනස්... අනේ මට ගින්දර ටිකක් දෙන්න... අද මගේ ලයිටරේ අමතක වෙලා ද කොහෙද.. හරි පොඩ්ඩක් ඉන්න මිස්ටර් බෝ.. අසල මේසයට රැගෙන ආ බීර බෝතල් කීපය මේසය මතින් තැබූ පයිනස් ආචාරශීලි ලෙස පවසා කවුන්ටරය වෙත ගියේය.

හාත්පස ගලා එන සැන්දෑ අඳුර දෙස බලා සිටි බෝ සුරුට්ටුව මේසයට තට්ටු කරමින් දොර දෙස බැලුවේ නා සහ බැම්බු ගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.. 

අයිසේ බෝ ... තමුසේ හිතන්නේ මේ යක්කු මේ කරන්න හදන වැඩේ හරි කියල ද.. මම කිව්වේ මේ න්‍යෂ්ටික ආයුද සෙල්ලම.. දැන් බලනවා දෙගොල්ලෝ ගාවම ආයුද තියෙනවා. දෙගොල්ලොම කාටවත් පරදින්න කැමතිත් නෑ.. අන්තිමට මොකක් ද වෙන්නේ...?  කව්රු හරි ගැහුවොත් දෙගොල්ලොම ඉවරයි.. ඇයි දැන් කවුරු හරි ගහනවා කියල ද? බෝ ඇසුවේය.. නෑ නෑ එහෙම එකක් කියල නෑ.. හැබැයි වමේ ලොක්කා පොඩි සද්දයක් දාල තියෙනවා..  මේ බලනවා මේ කතාව... මම නම් හිතන්නේ නෑ තව වැඩි කාලයක් මේක බැලන්ස් වෙලා තියෙයි කියල.. කෝ දෙනවා බලන්න පත්තරේ.. ජැක් පත්තරය බෝ දෙසට තල්ලු කළේය.

ඒ පයිනස් කන්න මොකුත් නැද්ද... ඔය තියෙන දෙයක් අරන් එනවකෝ... කෝ මේ නා  තාම නෑ නේ.. 

හරි මිස්ටර් ජැක්  මස් ස්ටු එකක් ගේන්න ද? නැත්නම් ෆ්‍රයිස් මොනවා හරි ගේන්න ද?
ඒයි බෝ තමුසේ මොනවට ද කැමති..  ?

අනේ මට ඕවා කන්න බෑ ජැක්.... මම ඔය මොනවා හරි පැණි රහක් කාලා කෝපි බොනවා.. තමුසේ කැමති එකක් ගන්නවා.. 

හරි පයිනස් එහෙනම්  ස්ටු එක ගේනවා තව බිර එකකුත් එක්කම.

හලෝ බිරියෝසා .. කොහොමද ඉතින් ..තමුසේ මහත් වෙලා නේ.. අපරාදේ කියන්න බෑ තමුසෙලා නම් හරහට උස යනවා හිටු කියල.. එකට අපි...  හෙහ් හෙහ්.. මම දැක්ක ඊයේ හවස පාර දිගේ නොන්ඩි ගගහ යනවා.  මොකෝ වුනේ.. ? අල්ලපු මේසය දෙස හැරුණු ජැක් බිරියෝසා ට තට්ටුවක් දමමින් ඇසුවේය..

අනේ මන්ද ජැක් මේ මුලක් පොඩ්ඩක් අවුල් ගිහින් .. හරියට ඇවිදින්න අමාරුයි...  එකක් අනිකේ පැටලෙනවා...

ආ ඕක ද .. ඕක මහ දෙයක් ද... මම හිතුවා බරපතල කේස් එකක් කියල... හෙහ් හෙහ්.. ඒ එක නෙවෙයි... මම මේ අහන්නමයි හිටියේ අර අල්ලපු ඉඩමේ ඉන්න රෝස මෙනවිය තමුසේ හොඳට දන්නවා නේද... හෙහ් හෙහ් ජැක් ඇස් පුංචි කරමින් ඇසුවේය...  ඔව් ඔව් පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක හැදිච්ච රෝසව මම නොදනන්නවයි...  ඇයි තමුසෙට හදිස්සියේම රෝසව මතක් වුනේ.. ජැක් ගේ අවඥා සහගත කතා විලාසයට නොරිස්සුමෙන් බිරියෝසා ඇසුවේය...

ආ බැම්බු... දැන්ද එන්නේ...කෝ... නා.. අනේ මන්ද වෙලාවක් කිව්වා නම් වෙලාවට එනවා අයියේ... තමුසෙලා හැමදාම ඔහොම නේ..ඒ වෙලෙහිම තානායම ට ඇතුළු වුනු මිතුරන් දෙදෙනා ජැක් පිළිගත්තේය..

අනේ ජැක් මේ නා ගේ පොඩි වැඩක් තිබ්බා.. එකයි පොඩ්ඩක් පරක්කු වුනේ..

හලෝ පයිනස්.. හලෝ ටර්ප්.. සුබ සැන්දෑවක් මිස්ටර් ටූනා.... හප්පා මේ හුළඟ .... තද සුළඟින් ගැලවීමට පොරවා ගත් කබාය ගලවමින් ඇතුලට පැමිණි නා සිනා මුසු මුහුණින් තානායමේ රැඳී සිටියවුන් ට ආචාරශීලි වෙමින් ඇතුලට ආවේය..

නෑ නෑ අයිසේ මම රෝස ගැන හොයල බැලුවේ ඉතින් යුතු කමට... මම දන්නවා රෝස ගැන. අනිත් එක රෝසල අපේ පවුල් වල දුර නෑයොත් වෙනවා...  අනේ බොරු නොකියා යනවා ජැක්...තමුසෙලා කොහොමද රෝසලගේ නෑයෝ වෙන්නේ.. රෝස ල අයිති වෙන්නේ Rosaceae ලට නේ තමුසෙලා
Artocarpus පවුලේ නේද... .  නිකන් අහසයි පොළොවයි වගේ.. හැබැයි නෑයෝ ලු.. මන් නොදන්නවයි තමුසේ ගැන...නිකන් වැඩක් බලාගෙන ඉන්නවා ජැක්..

ඔව් ඔව් අපි  Artocarpus Heterophyllus තමයි ඉතින් ... Artocarpus මොකද Rosaceae මොකද... 

ඕ  ජැක් ඔය බිරියෝසට පාඩුවේ ඉන්න ඇරලා මට ඔය ටිෂු එකක් අරන් දෙනවා.. මේ හුළඟ හින්ද හරි අමාරුයි.. සිය අතුපතර සෙමින් ගසා දැමු නා පැවසීය...

බැම්බු සිය උස්වූ සිරුර හරි බරි ගස්සමින් පයිනස් විසින් රැගෙන එන ලද කෝපි කෝප්පය තොල ගාන්නට ගත්තේය..

මුන්ට පිස්සු මේ ලෝකේ මෙච්චර විසදන්න ප්‍රශ්න තියෙද්දී නිකන් බොරුවට කා කොටා ගන්නවා.. දැන් බලන්න මේ සත්තු, පරිසරය, වතුර දිහා කාටවත් කරදරයක් නෑ නේ.. ගල් කාරයෝ එහෙන් මෙහන් ටිකක් කචල් දැම්මත් පාඩුවේ ඉන්නවනේ... අනිත් ඒක මේ ශිෂ්ටාචාරය දියුණු වෙන්න පටන් අරන් ගෙවුණු පරිබ්‍රමණ 20000-30000ක කාලේ ඇතුලත අපි කොච්චර ආත්මාර්ථකාමී වෙලා ද කියල... දැන් මේ එකේ හිනි පෙත්තටම ඇවිල්ල තියෙන්නේ... බැරිවෙලා හරි න්‍යෂ්ටික යුද්ධයක් ආවොත් ආයේ මේක සුන්නද්දුලි වෙලා යනවා .. දෙකක් නෑ.. කියවමින් සිටි පුවත් පත ඉවත දමමින් බෝ පැවසුවේය... 

අයිසේ බෝ... තමුසේ හිතන විදියට මේ ලෝකේ වැඩ වෙන්නේ නෑ...ඒවා සිද්ද වෙන්නේ ඒවාට ඕනේ විදියට. නිකන් කෑ නොගහ මේ මස් කෑල්ලක් කාල බීර ටිකක් බොනවා.

සිය දෛනික කටයුතු වලින් අනතුරුව සවස් කාලය තානායමේ ගෙවා දැමීම ටවුමේ බොහෝ දෙනාගේ සිරිත විය. සති අන්තයේ ආරම්භයත් සමග ඔවුන් එහි ගෙවන කාලය වැඩි වීම සාමාන්‍ය දසුනක් විය.

බෝ, නා, බැම්බු සහ ජැක් එකම විශ්වවිද්‍යාලයේ සේවය කල පර්යේෂකයින් වූ අතර ඔවුන් ගේ විශ්ව විද්‍යාලය පිහිටියේ කඳුකර ටවුමට පහලින් වූ නිම්න නගරයේය. කුඩා කල පටන් එකට හැදුනු වැඩුණු නා සහ බෝ,  ජැක්  සහ බැම්බු සමග මිතුරු වුයේ සිය පර්යේෂණ කටයුතු වලදිය. එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇතත් ඔවුන් සිවු දෙනා තමන්ට පොදු වූ සමහර කරුණු හේතුවෙන් මිතුරන් බවට පත්විය. 

එක නෙවෙයි බෝ ඊයේ කතාවේ ඉතිරි ටික කියන්න මේක හොඳ වෙලාව නේද..? උණුසුම් කෝපි කෝප්පයෙන් මදක් තොල ගාමින් නා ඇසුවේය..

මොකක් ද ඊයේ කතාව ..මස් කෑල්ලක් සමග ඔට්ටු වෙමින් සිටි ජැක් වෙර දරමින් මස් කටුව වෙන් කරන අතරතුර ඇසීය...

මම දන්නෙත් නෑ මොකක් ද ඒ... සාමාන්යෙන් කතා අඩු බැම්බු ද හවුල් විය..

හ්ම්... සුරුට්ටුවෙන් උගුරක් ඇද දුම් වළල්ලක් පිට කල බෝ මදක් වට පිට බැලුවේ පුරුද්දට මෙනි... එහි කිසිම රහසක් නොවුවද ඔහුට යම් සැකයක් අවට පරිසරය පිළිබඳව ඇතිවී තිබිණි...

ඒක එච්චර දෙයක් නෙවෙයි මම පොඩි ටෙස්ට් වගයක් කරනවා. මේ සත්තු එක්ක. 

මිස්ට බෝ කොහොමත් සත්තු එක්ක නේ වැඩ කරන්නේ .. 

ඔව් බැම්බු... හැබැයි මේ සැරේ මේ වැඩේ මම කරන්නේ පොඩ්ඩක් යටින්.. ඒ කිව්වේ මගේ නෝමල් වැඩ වලට අමතරව.. මොකද මේක කෙලින් ම මිනිස්සුන්ට සම්බන්ධ දෙයක්...

මම ඊයේ නා හම්බ වෙච්ච වෙලාවේ පොඩ්ඩක් කතාව කිව්වා හැබැයි හදිසියේම ප්‍රොෆෙසර් බැන්යන් ආපු නිසා අපේ කතාව නතර වුණා. 

කියන දෙයක් දැන් මුල ඉඳන්  ම කිව්වොත් හොඳයි බෝ මහත්මයා... කටකාර ජැක් මස් කැබැල්ල ලිස්සා යාමට පහසු වෙන පරිදි බීර උගුරක් බී කට පිසදා ගත්තේය... ඔහුගේ අත්තක් අසල සිටි බිරියෝසා ගේ කඳේ වැදී ගිය ද ඔහු ඒ ගැන මායිම් නොකළේය... නොරිස්සුමෙන් හැරුණු බිරියෝසා වෙත සමාව ඉල්ලන බැල්ම ක්  හෙළුවේ අනෙක් පස සිටි නා විසිනි.

වැඩි දෙයක් නෙමේ ජැක් මේකයි... මතකද අපි දවසක් කතා වුණා මේ 3න් වෙනි ග්‍රහයා විතරක් මේ විදියට ජිවය සහිත වෙන්න පුළුවන් හේතු ගැන..

ඔව් ඉතින් පිහිටීම නිසා ඇති වෙච්ච දේශගුණික වාසි නිසා තමයි ඕක වෙන්න පුළුවන්..මම එදත් කිව්වේ .. ජැක් පැවසුවේය...අනිත් එක වායු ගෝලයේ සංයුතිය.. අපි වගේ කාබනික ජිවය පවතින්න අයිඩියල් ම විදියට ඒක හැදිලා තියෙනවා. පරිසරය සහ දේශගුණය පිළිබඳව ප්‍රධාන වශයෙන් සිය පර්යේෂණ මෙහෙය වූ ජැක්  සිය ජීවිතය සැහැල්ලුවෙන් ගෙවු විනොදබර චරිතයකි.

ජීවයේ උපත ගැන ඔය එක එක මත තියෙනවනේ. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ... හැමදාම තර්ක විතරයි..

මම කියන්නේ ඒ තර්ක ගැන නෙවෙයි.. දැන් මේ ලෝකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ වර්ග 3යි. අපි වතුර අතාරිමුකෝ.. එක ශාඛ, දෙක සතුන්, තුන පාෂාණ.

හෙහ් හෙහ් ගල් ද? ගල් කාරයෝ ගැන මතක් කරන්න එපා.. අන්න ඊයෙත් පල්ලෙහා වලියක් දාගෙන තිබුනා..

දැන් බලන්න මේ ලෝකේ තියෙන සම්පත් නාස්ති වෙලා තියෙන තරම..  අපේ බෝවීම පාලනය කරන්න අපිට හැකියාවක් නෑනේ.. අනිත් එක මම හිතන්නේ නෑ පොලවේ තියෙන සාරය තව වැඩි කාලයක් මේ විදියට තියෙයි කියල...

නමුත් බෝ පොලවේ සාරය කියන එක චක්‍රීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නේ.. ඒක නැති වෙන්න විදියක් නෑ නේද.. කවදත් සාවධානව අසා සිටින නා ඇසුවේය...

ඒක හරි නමුත් දැන් දැන් ඒ චක්‍රය බිඳවැටෙමින් නේ යන්නේ... අපේම වැඩ වලින්..

හරි බෝ ... දැන් තමුසෙගෙ කතාව කියනවකො.. මේ සිස්ටම් එකේ අවුල් විසදන්න පුළුවන් විදියක් තමුසේ හොයා ගත්තද..

පොඩ්ඩක් ඉන්න ජැක් මම මේ ඒක තමයි පැහැදිලි කරගෙන එන්නේ... මම කියන්නේ මේ ග්‍රහයා තුල ජිවය පරිනාමය වීම සිද්ද වෙලා තියෙන්නේ වැරදි විදියට කියල .හේතුව මේකයි අපි මුළු ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරිලා ගිය ජිව කොට්ටාශයක්.. කිසිම පාලනයක් නැතුව ඔහේ ව්‍යාප්ත වෙනවා.. ගණන් කරන්න බැරි තරමක් විවිධ ප්‍රබේධ ... අනිත් එක බහුතරයක් කිසිම ඵල දායි දෙයක් කරන්නේ නෑ.. කිසිම නිෂ්පාදනයක් නෑ.. ඔහේ පොලවේ සාරය උරාගෙන ජිවත් වෙලා මැරිලා යනවා..දැන් ඔය ජැක් කියපු ගල් කාරයෝ.. මෙලෝ වැඩක් තියෙන ජාතියක් ද... ඔහේ එහාට මෙහාට කැරකි කැරකි දකින දකින දේ විනාශ කරලා දාන එක නේ කරන්නේ.. බුද්ධියක් කියල කිසිම දෙයක් උපතින්ම නෑනේ.. ඉතින් මොකක් ද ප්‍රයෝජනේ .. මගේ තර්කය මේකයි අපි වෙනුවට සත්තු පරිණාමය වුණා නම් මේ ලෝකේ මීට වැඩිය සාර්ථක වෙන්න තිබුනා...

ඒකට මට එකඟ වෙන්න බෑ මිස්ටර් බෝ...

මමත් බැම්බුගේ පැත්තේ.. මොකක් ද ඔහේ ගේ පදනම...

මගේ පදනම කියන්න කලින් අපි සාර්ථකයි, අපි යන්නේ විනාශය දෙසට නෙවෙයි කියන්න ඔයාලට තියෙන විශ්වාසය මොකක් ද?

ඒයි පයිනස් තව මොනවා හරි ගේනවා.. අද නම් සෑහෙන්න බොන්න ඕනේ දවසක් වගේ... ජැක් වේටර් වරයාට කෑගැසුවේය....

අපේ පදනම අපි පොළෙවෙන් ම හට ගෙන පොළොවටම පස් වෙලා යන ජීවයක් වීම...ඒ කියන්නේ අපි මේ විශ්වයේ නීතියට අනුව ඉන්න ජාතියක් වීම...  නා කල්පනා කාරී ලෙස පැවසුවේය.. ආ අන්න ඔන්න ඕකයි මමත් කියන්න ගියේ... මේ ටික බීලා ඉවර වෙලා ඕකමයි මමත් කියන්න හැදුවේ...ජැක් සිය අවසන් බීර උගුර හලා ගනිමින් පැවසුවේය...

අනිත් එක බෝ සත්තු කියන්නේ නිෂ්ක්‍රිය ජාතියක් නේ... සත්තු ඔහේ තියෙන ඔක්සිජන් ටික උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කර කර ඉන්නවා... අනිත් එක සත්තුන්ගේ බුද්ධිය අපිට වඩා උසස් කියල කියන්නේ කොහොමද.. ? ආ ආ ඒකනේ...ඔය තියෙන්නේ තර්ක.. ජැක් ඔහු අසල සිටි බැම්බු ට තට්ටුවක් දමමින් පැවසිය..

සත්තු ගැන මම දැන් කාලයක් තිස්සේ පර්යේෂණ කරනවා. සමහර සතුන් ගැන ඔය කියන තර්ක හරි... හැබැයි එකෙන් කියන්නේ නෑ අපි ඒ සත්තුන්ට වඩා දියුණුයි කියන එක.. මම සරල උදාහරණයක් ගන්නම් දැන් බලන්න මේ තානායම කොච්චර ලොකු ද කියන එක.. මේකේ වහලේ අපිට වඩා කොච්චර උසද? අපේ ශරීර ප්‍රමාණ හැටියට අපිට ඕනේ කරන සම්පත් ප්‍රමාණය හරි වැඩියි.. අපි වගේ 10 ගුණයක් නැත්නම් 20 ගුණයක් කුඩා ප්‍රමානෙට හැදිච්ච සතුන්ට අවශ්‍ය වන සම්පත් ප්‍රමාණය මිට වැඩිය කොච්චර අඩු වෙන්න ඕනේ ද? මම හිතන්නේ සත්තුන්ගේ මුලික අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න ඕනේ වෙන්නේ සොබා දහමෙන් ඉතාමත් කුඩා සම්පත් ප්‍රමාණයක් විතරයි..

අනිත් කාරණේ අපි මේ පහුගිය පරිභ්‍රමණ 20000-30000 ඇතුලත ලබාගෙන තියෙන දියුණුව මහ ලොකු එකක් නෙවෙයි.. අපි ප්‍රවාහනයට යොදා ගන්න යන්ත්‍ර කොතරම් විශාල ද? ඒ වෙනුවෙන් වැය වෙන ශක්තිය කොතරම් ද..? හරි විද්‍යාත්මක පැත්තෙන් අපි දියුණුයි.. නමුත් ඒක අපි මේ ලෝකයේ ජිවත් වෙච්ච කාලයට සාපේක්ෂව හරිම අඩු දියුණුවක්.. අපි හරිම ඒකාකාරී රාමුවක් ඇතුලේ ජිවත් වෙන ජිව කොට්ටාශයක් කියල හිතෙන්නේ නැද්ද.. ? එහෙම වෙන්න හේතුව අපේ පද්ධතිය හැදිලා තියෙන්නේ සරල සිද්ධාන්ත වලින් වීම නිසා... නමුත් සත්තුන්ගේ ශරීරය ඊට වඩා සෑහෙන්න සංකීර්ණයි.. විශේෂයෙන් ම මිනිස්සුන් ගේ ශරීරයේ ඉහලින් ම පිහිටලා තියෙන කොටස... මම ඒ ගැන තමයි පරීක්ෂණ කරන්නේ මේ දවස් වල...

මේ වන විට වැස්සක් සහිත තද සුළං හමමින් මද කුනාටු තත්වයක් ඇති වෙමින් තිබිණි. ගෙරවිලි සහිත අකුණු ගැසීම් බොහෝ වුවත් තානායමේ රැඳී සිටියවුන් අතර අවට පරිසරය පිළිබඳව එතරම් අවධානයක් දැක්වූ කිසිවෙක් නොවිය... එබැවින් තානායම ඉහල අහසේ පාවී ගිය ඩ්රෝන යානය ගැන කිසිවෙකුගේ අවධානය යොමු නොවිය..

පයිනස් විසින් මිතුරන් සිව් දෙනාට අවශ්‍ය කෑම බිම ආදිය මේසය මතින් තබා පිටව ගියේය..

ඔහේලා දන්නවනේ අපිට සත්තු ගැන පරීක්ෂණ කරන්න දාල තියෙන බාධක ගැන...  ඇයි අපිට මිනිස්සු ගැන පරීක්ෂණ කරන්න එපා කියල තියෙන්නේ... ? දුම් දමමින් තිබුණු කෝපි උගුරක් බිව් බෝ ඇසුවේය...

වෙන මොකක් ද ඉතින් සතුන් සුරැකීම ට නේ... මොකද සතුන් කියන්නේ මේ පරිසරය අලංකාර කරන සීමිත ජීවී විශේෂයක් නිසා ආරක්ශාවටනේ ඔය එපා කියන්නේ.. එසේ පැවසුවේ බැම්බු ය..

හෙහ් හෙහ් අනේ බැම්බු තමුසේ දන්නේ පොතේ තියෙන දේ විතරනේ... අයිසේ ඕකට කියන්නේ ගස් පාලනේ.. ගස් පාලනේ.. පේනවනේ ඉතින් අර වමෙයි දකුනෙයි දෙන්න න්‍යෂ්ටික යුද්ධයක් ඇදගෙන අපිට තියෙන සැබෑ ප්‍රශ්න අමතක කරවන්න හදන අපූරුව... හෙහ් හෙහ් ජැක් පැවසුවේය..

විශේෂයෙන් මිනිසුන් ව පරික්ෂා කිරීම තහනම් කරලා තියෙන්නේ නම් බෝ ඔය කියපු සංකීර්ණ පද්ධතිය නිසා.. මොකද ඒක තේරුම් ගන්න මිනිසුන් විනාශ කරන එක අපරාදයක් විදියට නේ සලකන්නේ.. නා පැහැදිලි කළේය..

හ්ම්.. ඔය සංකීර්ණ පද්ධතිය ඇතුලේ හරිම පුදුමාකාර දේවල් තියෙනවා ..

මම මේ නිකමට අහන්නේ බෝ, දැන් ඔය පරිණාමය මාරු වුණා කියමුකෝ ඒ කියන්නේ අපි වෙනුවට සත්තු පරිණාමය වුණා කියල.. එහෙම උනා නම් අපි කොහොම හිටියි ද? ජැක් උනන්දුවෙන් ඇසුවේය..

මට ඒක හරියටම කියන්න බෑ.. සමහර විට අපි එක තැනක ඉඳන් උසට උසේ හැදිලා.. ඔහේ මැරිලා යයි.. සත්තු සමහර විට අපේ ශරීර වලින් ප්‍රයෝජන ගනියි.. සමහරවිට ඔය තමුසෙගෙ ඇඟ පුරා හැදෙන ගෙඩි එහෙම කයි ද දන්නෙත් නෑ.. හෙහ් හෙහ්...

හ්ම්... ඔව් ඉතින් අපි මේ ඔය ඔහේ හැදෙන සත්තුන් ව කන්නේ.. මස් විදියට... සමහරවිට ඒක අනිත් පැත්තටත් වෙන්න තිබ්බා තමයි..  ජැක් කල්පනාකාරී ලෙස පැවසුවේය..

මිස්ට බෝ , අපිට වැඩිය සත්තුන්ගේ බුද්ධිය වැඩි වුණා නම් මොන මොන පැති වලින් කියල ද හිතන්නේ..  නා ඇසුවේය..

මම දැනට තේරුම් අරන් තියෙන විදියට සතුන් අතරින් මිනිසා තමයි පරිනාමයේ ඉහලටම එන්න ඉඩ තියෙන්නේ.. අනිත් සතුන් සමහරවිට විවිධ පැති වලින් දක්ෂ වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට දිවීම, පැනීම වගේ දේවල් වලින් නමුත් මිනිස්සු සමස්තයක් විදියට හැම පැත්තෙන් ම දියුණු වෙන්න ඉඩ තියෙනවා..

අනිත් එක ආදරය, සෙනෙහස, කරුණාව වගේ දේවල් මිනිස්සු තුල ඉතාමත් ගැඹුරු විදියට පිහිටන්න ඉඩ තියෙනවා... ඒවගේම තරහව වෛරය වගේ දේවලුත් ඒවගේම ගැඹුරු විදියටම තියෙන්න ඉඩ තියෙනවා.. අනිත් එක ඔය උඩින් ම තියෙන කොටසේ සංකීර්ණත්වය නිසා මම හිතන්නේ අපිට වැඩිය බොහොම කලින් ඒ කියන්නේ සත්ව ශිෂ්ටාචාරය දියුණු වෙන්න පටන් අරන් පරිබ්‍රමණ 2000-3000ක් වගේ කාලයකදී අපි දැන් මේ ඉන්න මට්ටමේ ඉඳියි.. මොකද මම දැනට හොයා ගත්ත විදියට ඒකට බොහොම අපුරු විදියට යමක් මතක තියා ගැනීම සහ නැවත ඒ මතකය ලබා ගැනීමේ හැකියාව පිහිටලා තියෙනවා. සමහරවිට නිර්මාණශීලි විදියට හිතන්න පුළුවන් හැකියාව අපිට හිතා ගන්නත් බැරි තරම් වෙන්න පුළුවන්...අනිත් එක මට තාම නොතේරෙන විදියේ පිරිසිදු සිහියක් පවත්වා ගන්න මිනිසුන්ට පුළුවන්.. හැබැයි මම දන්නේ නෑ ඒක කොහොම ද සිද්ද වෙන්නේ කියල..

දැන් බෝ හිතන්නේ මේක මේ විදියට වෙන්න ඇත්තේ මොකක් නිසා කියල ද? බැම්බු ඇසුවේය..

මොකක් මොන විදියට ද? ජැක් මැද්දට පැන්නේය..


ඇයි මේ ලෝකේ පරිණාමය වෙනස් වෙලා තියෙන්නේ.. සත්තු වෙනුවට ශාඛ, ගල් වගේ දේවල් බුද්ධිමත් ව, චලනය වෙන්න පුළුවන් වෙලා තියෙද්දී සත්තු විතරක් ඇයි ඒක තැන පැලවෙන නිෂ්ක්‍රිය ජාතියක් වෙලා තියෙන්නේ..

අවංකවම බැම්බු මට ඒක හිතාගන්න බෑ...  සමහරවිට අපිට නොතේරෙන දේවල් නිසා ඒක එහෙම වෙන්න ඇති..

හැබැයි මම එක දෙයක් හොයා ගත්ත කියල මට හිතෙනවා...

අපි මේ ඔහේ වර්ගයා බෝ කර කර ඉන්න එක කවදාවත් ඉවරයක් වෙන දෙයක් නෙවෙයි.. ඒ කියන්නේ අපිට අවශ්‍යය කරන මුලික අමුද්‍රව්‍ය ටික ලබා ගන්න පුළුවන් තාක්කල් අපි ඔහේ ඇති වෙයි, කාලයක් ඉඳල පුළුවන් තරම් අපේ වර්ගේ අය බෝ කරලා මැරිලා යයි.. ආයෙත් අපි හැදෙයි.. මේක හැමදාම චක්‍රා කාරව සිද්ධ වෙයි කියල හිතිලා නැද්ද..?

හ්ම්... ඕක ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ බෝ... අපි මේ ඔහේ දුවන්නම් වාලේ දුවනවා.. එක්කෝ අපිට හැකියාවක් නෑ ඕක නවත්තන්න.. නැත්නම් අපි ඒක කරන විදිය දන්නේ නෑ... මම ගොඩක් වෙලාවට ඔය ගැන කල්පනා කරනවා.. හැබැයි උත්තරයක් හොයා ගන්න හරි අමාරුයි... නා පැවසුවේය..

තානායමේ එළියෙන් දඩ බඩ හඬින්  නැගෙන ශබ්දය ඔවුනට ඇසුනද ඔවුහු නෑසුකන්ව සිටියෝය..

අවංකවම මට නම් ඔය ගැන ඒ හැටි ප්‍රශ්නයක් නෑ.. මම මේ තියෙන දෙයක් කාල බීලා කාටවත් කරදරයක් නැතිව ඉන්න කොස් ගහනේ... පුළුවන් තරම් කොස් පැල ටිකක් බෝ කරලා ඔහේ මැරිලා යන්නයි මට ඕනේ.. ආයේ හැදෙනවා ද නැද්ද.. ඔව්ව කවුද අයිසේ දන්නේ.. ජැක් සිනාසෙමින් පැවසුවේය..
 
හ්ම්ම්ම් මමත් එච්චරම ඕක ගැන හිතල තිබුනේ නෑ.. අපි ඉතින් කොහොමත් එක පඳුරට හැදිලා ඔහේ හුළඟට වැනි වැනි ඉන්න කැමති ජාතියනේ.. නමුත් මේ කතාව නිසා මට අවංකවම ඒ ගැන හිතල බලන්න හිතෙනවා ඉතින් මිස්ට බෝ මොකක් ද දැන් හොයා ගත්තේ.. බැම්බු ඇසුවේය..
 
ඔය මිනිස්සුන්ගේ  ඉහළ කොටසේ තියෙන සිහියක් ගැන මම කිව්වා නේද.. මට හිතෙනවා අන්න ඒ සිහියේ උපරිම මට්ටමට ළඟා වෙන්න පුළුවන් උනොත් .............................

මිස්ට බෝ..... තානායම කෙළවරින් නැගුනු ගැඹුරු කටහඩ නිසා සියල්ලෝම ඒ දෙස බැලීය..
 
දැවැන්ත දේවදාර නිලධාරියෙක් බෝ දෙසට එමින් සිටියේය.. මිස්ට බෝ... කරුණාකර කට වහන්න.. මම සම්පුර්ණ කතාව අහගෙන හිටියේ.. අර උඩ තියෙන ඩ්රෝන යානයේ සියලුම දේ පටිගත වෙලා තියෙන්නේ.. නීතිවිරෝධී මිනිස් පරීක්ෂණ ගැන ප්‍රචාරය කිරීමේ වරදට අපි ඔබව ගස්තඩන්ගුවට ගන්නවා.. ඔබට පුළුවන් නිස්ශබ්ධව සිටින්න.. ඔබ කියන ඕනෙම දෙයක් ඔබට විරුද්ධව අධිකරණයේ දී යොදා ගන්න ඉඩ තියෙනවා..   
 
ඒ සමගම තානායමට ඇතුළු වුනු කබොක් සහ කළු ගල් පොලිස් නිලධාරින් විසින් ඔවුන් සිටි මේසය වට කර ගත්තෝය...



ප.ලි

විකාරයි වගේ නම් සමාවෙන්න.. ඔළුව කචල් ගියාම ඔහොම තමයි ඉතින්.. හෙහ් හෙහ්

මේ කතාවෙ තියෙන සංකල්පය තියෙන කතාවක් මම 2004- 2005 කාලේදී පරිගණක සඟරාවට ලිව්වා.. ඒක ඒ දවස් වල එකේ පලවෙච්ච කතා අතරින් හොඳ කතාවක් විදියට තේරුනා..නමුත් ඒක මේකට හාත්පසින් ම වෙනස් බොහොම සරල කතාවක්..මේ සත්තු ගස් මාරු වීමේ අදහස විතරයි එකේ තිබුනේ කතාව මේක නෙවෙයි..

ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු 10කට විතර පස්සේ මම ලියපු පළවෙනි කතාව මේ.. දෙතුන් පාරක් කියවද්දී මටම නිකන් චාටර් වගේ..

හැමදාම අනිත් අයගේ කතා කියවල රසවිඳින එකේ පුළුවන් විදියට මොකක් හරි ලියන්න ඕනේ කියල හිතල ඔන්න ඔහේ ලියල දැම්මේ .. :)

31 comments:

  1. ඔහොම ගොඩක් බොන්න හොඳ නැහැ මචං. නිර්මානශීලීත්වය ඉතා ඉහලයි.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් බොන්නේ වතුර තමයි.. හැබැයි ඔළුව වැඩ කරන්නේ වෙරි වෙලා වගේ.. හෙහ් හෙහ්... බොහොම ස්තුතියි ඉයන්..

      Delete
  2. අන්න නියමයි.
    හැබෑවටම පැතුම් මම මේ ළඟදිත් මතක් කළා පැතුම් ඇයි පොතක් ලියපු කෙනෙක් විදියට තවදුරටත් විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ නැත්තේ කියලා. අපේ ඉස්කෝලේ පන්තිවල හිටපු ළමයෙක් හිටියා මාර ලස්සන විද්‍යා ප්‍රබන්ධ ලිව්වා. මාරම ලස්සනයි. ඒවාට මම ආසයි. මට ලියන් බැහැ , ඒ නිසා ඒ ටැලන්ට් එකට වල්වදින්න දෙන්න එපා.

    මේක නියමයි. පස්සේ පේලියෙන් පේලිය අදහස් කියන්නම්

    ReplyDelete
    Replies
    1. ඔය පොත් ලියනවා වගේ දේවල් හැමදාම කරන්න බෑනේ.. තදින් ම උණ හැදෙන්න ඕනේ... හෙහ් හෙහ් මට මේ කතා ලියන උණ හොඳ වෙලා තිබුනේ පහුගිය කාලේ... වෙන ලියන්නම දෙයක් හිතා ගන්න බැරි නිසා ඔන්න ඔහේ ලියල දැම්ම...

      මේ අදහස අලුත් එකක් නෙවෙයි ... අවුරුදු 10කට කලින් ලියපු අදහසක්.. ඒ කියන්නේ තාම මට අලුත් අදහස් එන්න තරම් උණ හැදිලා නෑ.. බලමු ඉතින් ටිකක් වල් පල් ගසල දාල..

      ඔය පේලියෙන් පේලිය දෙන අදහස් ඉතා වටිනවා.. මොකද අවුල් තැන් මොනවාද කියල හරියට තේරුම් යන්නේ එතකොට...

      Delete
    2. කතාව ආරම්භ වෙලා තියෙන්නේ දෙබසකින්. ඒක මමත් කැමති විදියක්. එය කියවන්නා කත්හව ඇතුලට ඇදල ගන්න ලණුවක් වගේ. ලනුව දිගේ කතාවට ඕනේ පරිසරය හදන්න පුළුවන්. නමුත් මට 'සීනි වැඩියෙන් දාන්න' කියන එක ගැලපෙන්නේ නැහැ කියල හිතෙන්නේ මේ කතා කරන්නේ ගස් නිසා. මීපැණි වගේ දෙයක් යෙදුවා නම් ගැලපෙයි කියල හිතෙනවා. තවත් දෙයක්, කතා බහේ ලොකු ආකර්ෂණයක් මතුවෙලා ඇවිල්ලා නැහැ. මෙතන තියෙන ආගන්තුක බව යවාගන්න මුල් කොටසේදී අසමත් කියලයි මට හිතුනේ.

      මට හිතෙන්නේ අර 'අයිසේ බෝ' කියන කොටසට එනකොට තමයි කියවන්නා යම් තරමකට කළුවරට ඇහැ හුරු වේගන යන්නේ. නමුත් හදිසියේ කඩාපාත්වෙන ගස් ලිස්ට් එක නිකම්ම හලෝ කියල පිළිගන්නේ නැතුව, එකිනෙකාට වඩා හොඳ විස්තරයක් දුන්න නම් හොඳයි කියල හිතුව. එතැනදී දෙබස් අජීවී බවක් පෙනෙන්නේ. පැතුමා කම්මැලියා කියල මම දන්නවා. මේ ඒ කම්මැලි කමේ රෝග ලක්ෂණ හොඳටම පේන තැනක්.

      [තද සුළඟින් ගැලවීමට පොරවා ගත් කබාය ගලවමින් ඇතුලට පැමිණි නා සිනා මුසු මුහුණින් තානායමේ රැඳී සිටියවුන් ට ආචාරශීලි වෙමින් ඇතුලට ආවේය..] මේ වගේ කොටසක් ලියනෙක සීතල 'හලෝ' එකකට වඩා ගැලපෙනවා නේද? විශේෂයෙන් මෙහෙම කොපි බොන 'ගස් කොල්ලෝ සෙට් එකකට'

      [මුන්ට පිස්සු මේ ලෝකේ මෙච්චර විසදන්න ප්‍රශ්න තියෙද්දී නිකන් බොරුවට කා කොටා ගන්නවා.. දැන් බලන්න මේ සත්තු, පරිසරය, වතුර දිහා කාටවත් කරදරයක් නෑ නේ.. ගල් කාරයෝ එහෙන් මෙහන් ටිකක් කචල් දැම්මත් පාඩුවේ ඉන්නවනේ... අනිත් ඒක මේ ශිෂ්ටාචාරය දියුණු වෙන්න පටන් අරන් ගෙවුණු පරිබ්‍රමණ 20000-30000ක කාලේ ඇතුලත අපි කොච්චර ආත්මාර්ථකාමී වෙලා ද කියල... දැන් මේ එකේ හිනි පෙත්තටම ඇවිල්ල තියෙන්නේ... බැරිවෙලා හරි න්‍යෂ්ටික යුද්ධයක් ආවොත් ආයේ මේක සුන්නද්දුලි වෙලා යනවා .. දෙකක් නෑ.. කියවමින් සිටි පුවත් පත ඉවත දමමින් බෝ පැවසුවේය... ] වාගේ කොටසක ඔබේ දක්ෂතාවය පේනවා. හැබැයි රැඳෙන්නේ නැහැ. ඒකයි ඊට පස්සේ ආයෙමත් මෙහෙම කොටසක් ලියන්නේ

      [කියන දෙයක් දැන් මුල ඉඳන් ම කිව්වොත් හොඳයි බෝ මහත්මයා... කටකාර ජැක් මස් කැබැල්ල ලිස්සා යාමට පහසු වෙන පරිදි බීර උගුරක් බී කට පිසදා ගත්තේය... ඔහුගේ අත්තක් අසල සිටි බිරියෝසා ගේ කඳේ වැදී ගිය ද ඔහු ඒ ගැන මායිම් නොකළේය... නොරිස්සුමෙන් හැරුණු බිරියෝසා වෙත සමාව ඉල්ලන බැල්ම ක් හෙළුවේ අනෙක් පස සිටි නා විසිනි.]

      එතැන හොඳ පරිකල්පනයක් මැවෙනවා, විශේෂයෙන් මේ වගේ කතාවකදී.

      එතනින් එහාට අපිව වගේම පැතුමුත් ට්‍රැක් එකේ දුවන්න ගන්නවා. ගොඩක් වෙලාවට බල්බ් එක පත්තු වෙන්නේ මෙතැනදී. මේකට අමුද්‍රව්‍ය මුල කොටසේ මේ ආකාරයටම තිබ්බ නම් කියල මට හිතුන. ඒ ගතිය එහෙම්මම ගිහින් අපිවත් 'ගස්තඩන්ගුවට' පත් වෙනවා.

      අවසානය ආරම්භයට වඩා ලස්සනට ලියල තියෙන නිසා ගොඩ.


      කෑෂ් ප්ලීස් ( හික් හික්)

      Delete
    3. රොම්බ තැන්ක්ස් ...!! කෑෂ් ටිකක් තැපැල් කරලා එවන්න ගෙදර ඇඩ්රස් එක දාන්න.. සිරාවට! නැත්නම් කෙරෙන විදියක් විදියට ඔයාගේ බ්ලොග් එකට ගුග්ල් ඇඩ්ස් ටිකක් දාන්න මම මැලේසියාවෙන් ක්ලික්ස් ටිකක් දාන්න.. හෙහ් හෙහ්...

      මෙන්න මෙහෙමයි උපදෙස් දෙන්න ඕනේ..

      මගේ උපන්ගෙයි කම්මැලි කම බොහොම අමාරුවෙන් කඩාගෙන තමයි මේක ලියා ගත්තේ.. උපේක්ෂට නියම තැන් වලදී ඒක අහු වෙලා තියෙනවා.. මොනවා හරි ලියන්න ඕනේ කියන එක නිසා ලිවීම නිසා සෑහෙන්න අඩු පාඩු තියෙනවා.. අනිත් එක හොඳට කියව කියව ෆයින් ටියුන් කරන්න මම වෙලාව ගත්තේ නෑ.. සමහර තැන් ඔෆිස් එකේ ෆ්‍රී වෙච්ච ගමන් ලියපු ඒවා.. හෙහ් හෙහ් ඒවගේ තැන් ගානට හයිලයිට් වෙලා තියෙනවා..

      මට මේ චරිත ටික ගස් විදියට නැතුව මිනිස් කතාවක චරිත විදියට මුල ටික ලියල අන්තිම හරියේදී නිකන් අමුතු විදියකට ඒක එලි කරන්න ඕනේ වුනේ.. හැබැයි ලියාගෙන යද්දී නිකන් ගස් කියල හැඟෙන දේවලුත් ලිව්වා.. ඒ කියන්නේ අර මුලින් ම ඕනේ වෙච්ච දේ මම ම වෙනස් කළා..

      අනිත් එක මගේ සිංහල උපහැරණ, ඔය විශේෂණ ,තව ඔය තියෙන ලස්සන වාක්‍ය ගැන තියෙන දැනුම මදි කම මටම දැනුනා සමහර දේවල් ඔළුවට එන්නේ නැති වුනාම..

      කියවීම මදි වීමේ අතුරු ඵල තමයයි ඉතින් ඒවා..

      මොකක් හරි එකක් ලියල මකුළු දැල් කැඩුණු එක ගැන පොඩි මෙව්වා එකක් තියෙනවා

      විසේසඥ උපදෙස් ලැබීම නිසා යන්තම් දෙවෙනි වටයට යන්න තව එකක් ලියන්න හිතෙනවා... බලමු ඉතින් තව අවුරුදු 2-3ක් වත් ඇතුලත මොකක් හරි එකක් ලියල දාන්න..

      නැවත වරක් රොම්බ තැන්ක්ස් උපේක්ෂා ඇන්ටි... :D

      Delete
    4. කම්මැලිකමට ලියපු කොටස් අහු වෙනවා පැතුමෝ. මම මරු කිව්වේ හේතු දෙකක් නිසා. එකක් තමයි මේ ජාතියෙන් එකක් ලියපු එක. අනිත් එක මුලික සංකල්පය හොඳයි. කාලයක් ලියන්නේ නැතුව හිටියම ඔහොම ආබාධිත තත්වයට පත්වෙනවා. මම තමයි මට දෙන්න පුළුවන් හොඳම උදාහරනේ. මම තාමත් රිකවර් වෙලා නැහැ. ඒක මම දන්නා නිසා තමයි ඔහොම හරි ලියපු එක ගැන සතුටක් හිතෙන්නේ.

      අවුරුදු දෙක තුනක් කිව්වා? අම්මප ප්‍රොජෙක්ට් එකක් කරගෙන වවාගෙන කන්න දන්නෙම නැහැ නේද? දැන්ම ලියන්න ගන්නවා හොඳයි! ආයේ මම නරක 'ඇන්ටි' කියන්නේ නැතුව!!

      Delete
  3. Excellent... මම හුඟක් ආස කරන භාෂා ගැලපුමක්... අන්තර්ගතය ගැන කමෙන්ට් එකක් දෙන්න තරම් මම ලොක්කෙක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කතා, බොහොම ස්තුතියි... මට හිතෙන්නේ ලියල තියෙන භාෂාව ටිකක් සිම්පල් වැඩි ද කියල... නිකන් ඔහේ ගලාගෙන යන ගතියක් මට දැනෙනවා...

      අන්තර්ගතය එච්චර සංකීර්ණ නෑනේ.. ඔන්න ඔහේ හිතෙන දෙයක් ලියන්න...

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි බණ්ඩා මහතා,
      ඔය බණ්ඩා කියන නම අපේ පවුලේ හරිම ප්‍රසිද්ධයි.. කොටින් ම අපේ අක්ක මට කතා කරන්නේ එයි බන්ඩෝ කියල.. එතකොට අපේ ලොකු අම්මගේ පුතාට අපි හැමෝම කියන්නෙත් බණ්ඩා කියල... ඕක බිඳිලා ඇවිල්ල තියෙන්නේ බණ්ඩාර කියන කෑල්ලෙන් හෙහ් හෙහ්

      Delete
  5. චාටර් නම් නෑ, පරිකල්පනය ඉතාම ඉහලයි , මීට අවුරුදු දහයකට කලින් ලියපු එකක් මේ තරම් උසස් මට්ටමක නියමයි පැතුම්. මට පුදුම අයි උඹ මේවා දැන් ලියනෙ නැත්තේ කියලා .

    ""අපි වෙනුවට සත්තු පරිණාමය වුණා නම් මේ ලෝකේ මීට වැඩිය සාර්ථක වෙන්න තිබුනා..."" මේකනම් මටත් නිතර හිතෙන දෙයක්

    නියමයි පැතුමෝ

    ReplyDelete
    Replies
    1. ඉවාන්, මේ අදහස තියෙන වෙන කතාවක් තමයි මම කලින් ලිව්වේ.. ඒ කියන්නේ ඔය ගස් ඇවිදින සීන් එක... මේ කතාව නෙවෙයි..

      අවංකවම මටත් හිතෙනවා ඇයි මම මොකුත් නොලියන්නේ කියල.. මොකුත් ම නොකරන නිකන් මාඥ්ඥමික ගතියකින් තමයි වැඩි හරියක් ඉන්නේ.. ඒ ගතිය ඇරෙන්නත් එක්ක තමයි මේක ලියල දැම්මේ..

      උඹේ අගය කිරීම මට සතුටක්.. අඩු පාඩු තියෙනවනම් කියපන් ..

      Delete
  6. ගසුත් හරියට පිරිමි වගේමයි. දේශපාලනේ ගැන, ගෑනු ලමයි ගැන, මිනිස්සු ගැන බිබී කතා කරනවා...:P

    මිනිස්සු ගිනි තියලා එයාලව විනාශ කරන හැටි ගැන මතකවත් නෑ.

    ලස්සන අදහසක් පැතුම්...

    ReplyDelete
    Replies
    1. හැබෑට ගෑනු ගස් කොහොම වෙයි ද කියල හිතල බලන්න අමතක වුණා නේ.. හෙහ් හෙහ් ඔය රුපලාවන්‍ය වැඩ එහෙම කොහොම කරයි ද දන්නෑ.. අනිත් එක ගෑනු ගස් වලට දාන්න ඕනේ කොහොම නම් ද? දැන් මේකේ බෝ කියන්නේ බෝ ගහට, එතකොට බෝ ගස් වල ගෑනු ගහට මොකක් ද කියන්නේ.. මගේ වෙලාවට මට ඔය අයිඩියා එක ආවේ නෑ... ඕක හිතන්න ගියා නම් මට පිස්සු හැදිලා නතර වෙන්නේ.. හෙහ්

      මෙතන කතාවේ හැටියට මිනිස්සු කියල ජාතියක් පරිණාමය වෙලා නෑනේ.. මේක තනිකරම ගස් විතරක් ඉන්න ලෝකයක්.. ඉතින් මිනිස්සු විනාශ කරන ඒවා ගැන එයාල දන්නේ නෑ.. හෙහ් හෙහ්

      අදහස් වලට ස්තුතියි පොඩි කුමාරිහාමි මිසී... :)




      Delete
    2. ගස්ඔලට ගෑණු නං.. හැබෑටම පිස්සු හැදිල ආයෙ හැදෙනව..
      සමහරවිට මේක කියන්න තිබ්බ.
      ජැක්- ජැකී..
      නා- නානී..
      බැම්බූ - බම්බුවී..
      හැක හැක

      Delete
  7. මුලින් කියෝගෙන එනකොට මේ නම් මොන මඤ්ඤං ද කියල හිතුන. අර සයන්ටිෆික් නේම් දැක්කට පස්සෙ තමයි වැඩේ තේරුනේ.

    //ගස්තඩන්ගුවට// හැක්.. ඒක නියම වචනයක්.

    නියමයි පැතුම්. සාර්ථක නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. //මේ මුලක් පොඩ්ඩක් අවුල් ගිහින් .. හරියට ඇවිදින්න අමාරුයි... එකක් අනිකේ පැටලෙනවා...//
      මුලින් කියෝනකොට මට මේක ගැන ආවෙ වෙනත් අදහසක්. :D

      Delete
    2. මම ඒ සයන්ටිෆික් නේම් දැම්මේ නිකන් අදහසක් දෙන්න තමයි... හැබැයි මට හිතුනා කියවන්න පටන් ගද්දිම තේරෙයි කියල හෙහ් හෙහ්

      [මුලින් කියෝනකොට මට මේක ගැන ආවෙ වෙනත් අදහසක්. :D]

      වෙන මොනවගේ අදහසක් ද එන්නේ... මට හිතා ගන්න බෑනේ..

      Delete
    3. නිකං ඔය එක ජාතියක අවයවයකට අදාල එකක්.

      Delete
    4. මටත් හිතුනේ එහෙම්මමයි....... හෙහ්

      Delete
  8. මේක පට්ටයිනේ........... හෙක් හෙක් ගස්තඩංගුව.......... ඒක නියම වචනේ.............

    ReplyDelete
    Replies
    1. අවංක ආර්යන්, ඒක මේ ලියද්දී එක පාරට ඔළුවට ආපු වචනයක් .. ඔන්න ඔහේ ලියල දැම්ම.. ගස් කොහොම කතා කරයි ද කියල කවුද දන්නේ...හෙහ් හෙහ්

      Delete
  9. 2004 දී නෙවෙයි අද උනත් මේක හොඳ කතාවක් . මේ සංකල්පය ඉදිරිපත් කරපු හැටිත් අගෙයි. (හැබැයි මටනම් චුට්ටක් දිග වැඩියි). තව ලියන්න පැතුම්. අද වෙනකොට මේ වගේ කතාවල හිඟයක් තියෙනවා මුද්‍රිත මාධ්‍යයෙත් බ්ලොග්වලත්

    ReplyDelete
    Replies
    1. මේ අදහස තියෙන කතාව මම විජය පරිගණක මැගසින් එකට ලියල දැම්මේ පොඩි තරඟයක් වගේ එකකට.. එකේ විද්‍යා ප්‍රබන්ධ තේරීමට දායක වුණා ප්‍රවීණ ලේඛක එස්.එම් බන්දුසිල මහත්මය.. එතනින් එක හොඳ එකක් (හොඳම එක නෙවෙයි ද කොහෙද ) විදියට තේරුනාට පස්සේ මට විජය පරිගණක එකේ කර්තෘ තුමා හම්බ වෙන්න අවස්තාවක් ආවා.. ඒ වෙලාවේදී මට එතුමා ආරාධනා කළා ඒ මැගසින් එකට ලියන්න කියල...

      පස්සේ මම මගේ ඔරිජිනල් අදහස් තියෙන ලිපයක් ලියල දුන්නා. හැබැයි ඒ ලිපියට එයාල කැමති වුනේ නෑ.. මැගසින් එකට ඕනේ උනේ ඔය එක එක තාක්ෂණික ලිපි වගේ ඒවා එක්කෝ පරිවර්තනය කරන්න, නැත්නම් වෙන වෙන ප්‍රසිද්ධ අයගේ ලිපි ආදිය හොයල නිකන් වාර්තාවක් විදියට දෙන්න.. මට ඒ වැඩේ එපා වුණා.. මම මග ඇරලා නිකන් හිටිය හෙහ් හෙහ්...

      කතාව ගැන අදහස් වලට ගොඩක් ස්තුතියි අයියේ..

      Delete
  10. මේක නිකං සාමාන්‍ය කෙටි කතාවක නොවුණත් පිස්සු කොර වුණා ඈ.. සිරාවටම සුපිරි.. ඇත්තටම මිනිස්සු තාම අපරිනාමීය ලෝකයක් මොන වගේ වෙන්න පුලුවනද නෙහ...
    ඩ්‍රෝන් කතාව නිකං අවුල්වගේ දැනුන.. ඒත් පස්සෙ හිතුණ මේක මිනිස්සුන්ට ආදේශ කලත් උත්තරේ සමානයි නේද කියල

    පස්ටයෝ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රෝන් කතාව දැම්මේ පොඩි හයි ටෙක් ගතියක් ගන්න.. හෙහ් හෙහ් එක එච්චර සාර්ථක නෑ.. හැබැයි ඉතින් මේ වගේ වෙනස් ලෝකයක් ගැන ලියද්දි ඕනේ එකක් ලියන්න පුළුවන් නේ.. මම ඔන්න ඔහේ ලියල දැම්ම..

      ගොඩක් ස්තුතියි මහේෂ්.. :)

      Delete
  11. අමුතුම විදිහේ අපූරු නිර්මානයක්.. ටිකක් වෙලා යනකම් වැඩේ මීටර් උනේ නෑ.බිරියෝසා ආවමයි ඔලුවට ආවෙ... අපූරුයි...

    ReplyDelete
  12. මට පහලට කියවගෙන එද්දි නම් පැටලේනවා..ඒ වුනාට
    එල ද බ්‍රා

    ReplyDelete
  13. මුලදී ටිකක මට අයිසේ පැතුමට ප්ස්සුද කියල හිතුන. පස්සෙනේ මේ "චරිත" මාරු කරපු කටහ්වක් කියල ඔළුවට ආවේ. විකාරයි - නියමයි. දිග කොමෙන්ටුවක් පස්සේ දාන්නම්.

    ReplyDelete