Wednesday, September 16, 2015

සිඳුලෝලී සේලරුවා හෙවත් මොන මගුලේ කතාවක් ද

සාහිත්‍ය මාසේ ඇවිල්ල පොත් ප්‍රදර්ශනෙත් එන හින්ද පොතක් ගැන මොකක් හරි ලියන්න හිතුවා.මේ සැරෙත් ප්‍රදර්ශනේ මිස් වෙනවා හැබැයි හිතට දුක නෑ මොකද අපිව බලා ගන්න වෘක රාළහාමි ඉන්නවනේ. වෘක රාළහාමි මේ අවුරුද්දෙත් එක පාරක් ආවා. මම හිතන්නේ ආයේ එයි. හිතේ දුක යන්නත් එක්ක මැලේසියාවට ඇවිල්ල ගෙවුණු අවුරුදු 2ක ඇතුලත ගත්ත පොත් ටිකේ ෆොටෝ එකක් දාන්නම්කෝ. 





හෙහ් හෙහ් අම්ම ගහයි බැට් එකෙන් නේද? 

ඔය උස ගොඩේ තියෙන ඔක්කොම පොත් මේ පහුගිය අවුරුදු 2කෙ ගත්තුව. මිටි ගොඩේ තියෙන්නේ ලංකාවෙන් ගෙනාපු සිංහල පොත්. තව සිංහල පොත් ටිකක් තිබුනා ඒ ටික අදින්න කම්මැලි නිසා පොටෝ ගත්තේ නෑ.  සිංහල පොත් වලින් නම් එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම ටික කියෙව්වා. දෙවෙනි වර හෝ ඊට වැඩි වාරයක් ආතල් ඒක පිණිස කියවන්න තමයි ගොඩක් ඒවා ලංකාවෙන් අරන් ආවේ. 

උඹ දැන් මේකෙන් කීයක් කියෙව්වද වගේ නොහොබිනා ප්‍රශ්න අහන්න එපා. මේවා මේ අනාගත ඉන්වෙස්ට්මන්ට් විදියට එකතු කරන්නේ. අනාගත ඉන්වෙස්ට්මන්ට් කියන්නේ හදිසියේ කරන්න මෙලෝ වැඩක් නැති වුනොත් කියවන්න තියෙන වත්කම් කියල හිතාගෙන. ඒ කියන්නේ දැන් ඔන්න එකපාරටම කරන්ට් එක නැති වෙලා, ඉනටර්නෙට් නැති වෙලා,  ඔෆිස් නිවාඩු දීලා, එලියට බහින්න බෑ වැස්ස/ ගංවතුර වගේ සිද්දි ගොඩක් වෙලා ගෙදර නන්නත්තාර වෙන්න සිද්ද වුනොත් ඔන්න මේ පොත් ගොඩේ වටිනාකම තේරෙන්න ගන්නවා. 

මම මේ ඊයේ පෙරේදා දවසක් ඔය ගැන කල්පනා කළා. ඒ කියන්නේ ඔය විදියට ගේ ඇතුලට වෙලා ඔහේ කරන්න මෙලෝ වැඩක් නැතුව ඉන්න එක ගැන. මිට අවුරුදු 15-20කට විතර කලින් නම් මගේ දවස් ගොඩක් ගෙවුනේ ඔන්න ඔහොම.  වැස්ස ගංවතුර නැති වුනත් ගෙදර කරන්ට් එක තිබුනත් කරන්න මෙලෝ වැඩක් නැති ළමා කාලයක් තිබුනනේ. ඒ දවස් වල අම්මයි තාත්තයි වැඩට ගිහින් අක්කත් ඔය පන්ති හරි කොහේ හරි ගියාම මට කරන්න මෙලෝ වැඩක් නැති වෙනවා. යාලුවෝ හිටියොත් හරි සමහර වෙලාවට උනුත් ඔය එහාට මෙහාට වෙලා මොකෙක්වත් නැති දවස්. ගොඩක් වෙලාවට ඕක වෙන්නේ ඉස්කෝලේ නොගිහින් ඉන්න දවස් වලට. ටීවී එකෙත් බලන්න කියල ඒ හැටි දෙයක් නෑ. ඉන්ටර්නෙට් හෝ කොම්පියුටර් කියන්නේ තනිකරම අදාල නැති දන්නෙවත් නැති දේවල්. එතකොට ගෙදර ඉතිරි වෙන්නේ ඔය ගෙනාපු පොත් පත්තර තමයි. ඒ දවස් වල එක්කෝ පොතක් කියවනවා. නැත්නම් චිත්‍රයක් අඳිනවා. එහෙමත් නැත්නම් ඔය සර්කිට් කෑල්ලක් අටවනවා. ඔය ටික තමයි දවස ගෙවා ගන්න උපකාරී වුනේ. හොඳ පොතක් අතට අහු වුනාම කන්න බොන්න ඕනෙත් නැතුව නිකන් ම දවස ගෙවිලා යනවා. අන්න එහෙම කාලයක් බැරිවෙලාවත් ආයේ ආවොත් කියවන්න තමයි මම ඔය පොත් එකතු කරන්නේ.. හෙහ් හෙහ් 

හරි දැන් ඔහොම කියපු පොත් හැට හුටහමාරක් අතරෙන් මෙච්චර කාලෙකට කියවපු මෙලෝ රහක් නැති පොත ගැන මොකක් හරි කොටන්න හිතුනා. මොකද ඉතින් නොකා නොබී කියවන පොත් වගේම මොන මගුලට කියෙව්වද කියල හිතෙන පොතුත් තියෙනවනේ.

වැඩි විස්තර ඕනේ නෑ. මිට අවුරුදු 3,4,5,6 කට කලින් ඔය පොත් ප්‍රදර්ශනෙන් ම අරගෙන මෙච්චර කාලයක් තිස්සේ පොත් ගොඩේ එහෙ මෙහෙ වේවි, අන්තිමට මැලේසියාවටත් ආපු මෙන්න මේ පොත දැන් සති 2-3කට කලින් මම කියවල ඉවර කළා. ඉවර වෙච්ච ගමන් මට හිතුනේ මොකක් ද දන්නවා ද  

"මොන මගුලේ කතාවක් ද මේ.. "

හරි මේ තියෙන්නේ පින්තුරේ. 


පින්තුරේ දැක්කම හිතෙන්නේ පොඩි 18+ හැඟීමක් නේද

ඔබ හරි.  මේ කවරයේ කතාව කියෙව්වම ඒක මහ අප්සට් 18+ කතාවක් ද කියල හැදිච්ච වැදගත් අයට හිතෙයි. 

මේ තියෙන්නේ කතාව කෙටියෙන්.

හරි දැන් මේක මුල් පිටු ටික කියවද්දී පොඩි මෙව්වා එකක් තියෙනවා. පොඩි අප්සට් ගතියක් දැනෙනවා. මොනවා උනත් අපි හැදිච්ච ළමයි නිසා. 

ටික වෙලාවක් යද්දී ඉතින් තව පොඩි විකාර කැල්ලක් තියෙනවා ඊට පස්සේ ඉතින් ඔය සාමාන්‍ය කතාවක් බවට පත්වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් නැති නිකන්ම නිකන් කතාවක් නිසා. කොහොම හරි අන්තිම පිටු ටික කියවල අවසාන පිටුවේ අන්තිම ටික කියවල ඉවර වෙද්දීම හිතෙනවා

"මොන මගුලේ කතාවක් ද මේ.. " කියල

මේ පොත කියවල තියෙන මිට වඩා වෙනස් හැඟීමක් දැනිච්ච අය ඉන්නවා ඇති. මේක සැහෙන්න හොඳ පොතක් විදියට තමයි කර්තෘ සටහන එහෙම තියෙන්නේ. එක්කෝ මගේ රස නහර මේ මැලේ කෑම වල තියෙන මෙලෝ රහක් නැති ගතියට හුරු වෙලා මට මේ පොතේ තියෙන නියම අදහස තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් අනේ මන්ද කොහොම හිතුවත් මට හිතෙන්නේ "මොන මගුලේ කතාවක් ද " කියල 



35 comments:

  1. මටත් පොතක් අහුඋනොත් රෑ දවල් නෑ කියෝලා ඉවර කරලම තමයි නවතින්නේ.. දැන් ගොඩාක් කාලෙකින් පොතක් අහු උනේ නෑ අහුඋනත් කියවන්න තරම් කාලයක් ලැබෙයි කියලා හිතන්නත් බෑ..

    මට හිතෙන්නේ ඔය පොත ගැන ලියවෙච්ච හොදම විචාරය මේක වෙන්න ඕන

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. විදානේ , අපිට වෙලාව ලැබෙන්න නම් අර මම කියපු විදියේ සිද්දි ගොඩක් එකට සිද්ද වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් අපි ඉතිරි වෙලා ලෝක විනාශේ වගේ හෙහ් හෙහ්..

      හැබැයි සිරා පොතක් සෙට් වුනොත් නම් මම නිවාඩු දාල හරි කියවනවා. මම එහෙම කියෙව්වා අර මහල්ලා සහ මහමුහුද පොත. ඕක කියවන්න ගත්තට පස්සේ මට ඔෆිස් ගිහින් වැඩක් කරන්න හිතුනෙම නෑ. ඉතින් මම 1/2 ඩේ එකක් දාල ඇවිල්ල පොත කියෙව්වා.. හෙහ් හෙහ්

      මේ පොත කියවපු තව එකෙක් හරි හොයා ගන්න හිතාගෙන තමයි මම මේක ලිව්වේ..

      Delete
  2. //ටික වෙලාවක් යද්දී ඉතින් තව පොඩි විකාර කැල්ලක් තියෙනවා ඊට පස්සේ ඉතින් ඔය සාමාන්ය කතාවක් බවට පත්වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් නැති නිකන්ම නිකන් කතාවක් නිසා. කොහොම හරි අන්තිම පිටු ටික කියවල අවසාන පිටුවේ අන්තිම ටික කියවල ඉවර වෙද්දීම හිතෙනවා

    "මොන මගුලේ කතාවක් ද මේ.. " කියල//

    දැකපු හොඳම ' book review ' එක... :P
    based on content, style, and merit :D

    ReplyDelete
    Replies
    1. මට අවංකවම හිතිච්ච එක ලිව්වේ.. මිට වැඩිය වෙනස් දෙයක් හිතුනු කවුරු හරි හම්බවෙයි කියල හිතා ගෙන.. අගය කිරීමට ස්තුතියි..

      Delete
  3. ..කීයක් කියෙව්වද අර ලිස්ට් එකෙන් ??? :::)))

    ReplyDelete
    Replies
    1. [නොහොබිනා ප්‍රශ්න අහන්න එපා]

      පොත් නම් මම හිතන්නේ 5ක් විතර කියෙව්වේ. හැබැයි ළමා කතා සුරංගනා කතා, කොමික්, මැගසින් වගේ ඒවා ඔක්කොම ගත්තම 20ක් විතර බැලුව. මැගසින් තියෙන්නේ පෙරලලා බලන්න නේ .. චිත්‍ර / ෆොටෝ විතරක් බලපු ඒවත් එකතු කලොත් ඔය ටිකෙන් බාගයක් විතර කිව්වහැකි.

      Delete
  4. //"කරන්ට් එක නැති වෙලා, ඉනටර්නෙට් නැති වෙලා, ඔෆිස් නිවාඩු දීලා, එලියට බහින්න බෑ වැස්ස/ ගංවතුර වගේ සිද්දි ගොඩක් වෙලා ගෙදර නන්නත්තාර වෙන්න සිද්ද වුනොත්"// පොත් ටික නොකියවන්න් ඕන කන්ඩිෂන් එක උඹ හොඳට හදාගෙන තියෙනවා .. හැක හැක
    හැබැයි පොත ගැන උඹ දීපු විචාරය නිසා පොත කියවන්න හිතුනා

    ReplyDelete
    Replies
    1. ඔය කන්ඩිෂන් ටික වුණේ නැත්නම් එක හිතකින් පොත් කියවන්න අමාරුයි බන්. දැන් ඔෆිස් නිවාඩු වෙලා, හයියෙන් වැස්සත් පොතක් කියවන්න හිතෙන්නේ නෑ. බුකිය බලයි, බ්ලොග් බලයි ෆිල්ම් බලයි. හෙනම කලාතුරකින් තමයි ඔය එකක් වත් නැතුව පොතක් අතට ගන්නේ..

      ඉන්ටර්නෙට් නැතිවෙලා කරන්ට් ගියොත් (ලැපේ බැට්‍රිත් බහින්න ඕනේ හැබැයි) අන්න පොඩි විකල්පයක් විදියට පොත මතක් වෙනවා. නැද්ද උඹ කියන්නේ?

      Delete
  5. මේක කියෙව්වා මාත්. ‍ඇග හිරිවැටුණා අන්තිමට. අම්මෝ බං අරුං අර නැවියව මරනව නේද අන්තිමට...
    හැබැයි ඇත්තටම මෙලෝ රහක් නැති කතාවක්...

    ReplyDelete
    Replies
    1. එල මේ ඉන්නේ කියවපු තව එකෙක්. මොකක් ද අන්තිමට ඒ කලේ කියන එකයි, ඇයි එහෙම කලේ කියන එකයි හිතුවම නිකන් විකාරයි වගේ නේද . මට හිතුනා ඒ පොත කියවීම නිසා ඉගෙන ගත යුතු පාඩමක් විදියට ගන්න කිසිම දෙයක් නෑ කියල.. හෙහ් හෙහ් අර පුස් පැටියව මරණ සීන් එකත් ඒ වගේම විකාරයි නේද. දෘඩ ප්‍රචණ්ඩත්වය කියන්නේ මං හිතන්නේ ඒකට..

      Delete
  6. කියවලා නැ ඒ නිසා අදහසක් දාන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. කියවල බලන්න. ටිකක් විතර විකාරයි හැබැයි හෙහ් හෙහ්

      Delete
  7. නොකා නොබී කියවනව වගේම කියෙවුවට පස්සෙ කාල දාන්න හිතෙන පොතුත් තියෙනව එහෙනං.

    මාත් දැං කාලෙකින් පොතක් කියෙවුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා මලාට කියවන්න හිතෙන්නේ නැති පොත් එහෙමත්. එහෙම එකකුත් මගේ ළඟ තියෙනවා.

      අද නිවාඩුවක් දාල ගිහින් එකක් කියවන්න. ලොක්ක ඇහුවොත් කියන්න මේ පොතක් කියවන්න ඕනේ එකයි නිවාඩු ගන්නේ කියල. :D

      Delete
    2. ප්‍රසාට මොන ලොක්කොද? මෙය තමා ලොක්කා. එත් අල්ලපු කවුන්ටරේ ඉන්න ලොක්කිට නං මෙයා බයයි.

      Delete
    3. ඔය කිවුවෙ.
      මෙතන බොස් මම තමයි.

      Delete
    4. හෙට නිවාඩුවක් දාපන් Praසන්ன අයියේ. වෙන මොකටවත් නෙවෙයි හෙට සිකුරාදා වීම සමරන්න. ඊට පස්සේ ඕනනම් පොතක් බලන්නත් බැරිය.. :)

      Delete
  8. මට අනුව නම් මෙහෙම පොත් ගොඩක් එක්ක පින්තුරයක් දානවා කියන්නේ පතරංග නයෙක් අරිනවා වගේ. දැන් ඉතින් පෙනේ දැක්කනේ..

    ඔහොම පොත් කිහිපයක් මමත් කියන්නම්. ඊට කලින් මගේ උපකල්පනය කියන්නද, පැතුමා පැනපු ගමන් ඔය කියන පොත අරගන්න ඇත්තේ පිටකවරේ බලල සහ කවරේ විචාරේ බලල වෙන්න ඕනේ. හෙක්... අන්න නියම ඇම ! ලිව්ව එකා ( පරිවර්තනේ කරපු) ඒක තේරුම් අරගෙන වගෙයි.

    ගාමිණි වියන්ගොඩගේ පොත් මම හොය හොයා කියෙව්වා කාලයක්. ඒ අනුව තමයි 'අනුන්ගේ ලේ' කියවන්න කියලා සරසවි එක පෙරලලා හොයාගෙන ආවේ. පිටු පනහක් වත් කියෙව්වේ නැහැ. කියවන්නම හිතෙන්නේ නැහැ. කුතුහලයක් හෝ රසයක් දැනුනේම නැහැනේ. මගෙත් පොඩි අවුලක් ඇති, නැහැ කියන්නේ කොහොමද ඉතින්.

    අර කියාපු ගං වතුර, පාළුව ආදිය ගැන කියනකොට මට හිතුනේ, හතිලව්වේ මෙතන මේ ගෙට වතුර දාල, බිල ගෙවන්නේ නැතුව ලයිට්, ඉන්ටනෙට් කපල, රස්සාවටත් කෙල වෙලා ඉන්න වෙලාවේ මෙන්න මේ මිනිහා හොඳට සොෆාවේ දපල මෙතැන හිකි හිකි ගගා පොතක් කියෝනව??? උහුලන්න පුලුවන්ද හැබෑට!!

    එහෙම කිව්වට මට ඔහොම හුදකලා මොහොතවල් කියන්නේ අනර්ඝ වෙලාවල්. ඒවගේ වෙලාවල් වල පොතක් කියෝනවට වඩා 'හොර' වැඩක් කරනෙක තමයි මගේ තියරිය.ඒ කියන්නේ කන පැලෙන්න මියුසික් දාගෙන නටන එක, සින්දු කියන එක ( ඒක භයානක කාරනාවක් වෙන්න පුළුවන් අසල්වාසීන්ට), ආසම පිට්සා එකක් ගෙන්නාගෙන කන එක... අන්න වැඩ! පොතක් කියවන්නේ කවුරුත් ඉන්න වෙලාවක ගෙදර කාමරේ දොර වහගෙන.. හි හි..

    ReplyDelete
    Replies
    1. නයෙක් තමයි ඉතින්, නැත්නම් ඉතින් මට සරලව මේ පොත ගැන විතරක් කියන්න තිබුනනේ. එහෙම කිව්වා නම් මේ පෝස්ට් එකේ ලියන්න වෙන්නේ අර පින්තුර 2 ට පහලින් තියෙන කොටස විතරයි. නයා නිසා ටිකක් දිගට ලියා ගත්තා.

      ඔව් එහෙම තමයි ගත්තේ මොකද ඉතින් විවිධ රසයෙන් යුතු ඒවා කියවන්න එපැයි. කවරෙන් සහ කතා සාරාංශෙන් නිකන් අමුතු කතාවක් කියල හිතුනා අරන් දැම්ම. අරගෙන අවුරුදු 3,4,5 කට විතර පස්සේ තමයි හැබැයි කියෙව්වේ. පිට කවරේ තියෙන නාරි දේහේ හින්ද ගෙනාපු ගමන් කියෙව්වා නම් මේක මම ලියන්නේ මිට අවුරුදු 3,4,5 කට විතර කලින් හෙහ් හෙහ්

      හෙහ් හෙහ් අනුන්ගේ ලේ කියන්නේ මම පෙරලලා බලල ගන්නේ නැතිව එන පොතක්. වෙලාවට එහෙනම් ගත්තේ නැත්තේ.. ඔය ලොලීටා, තව ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත ද මොකක් ද කියල පොතකුත් තියෙනවා. කවදාවත් ගන්නේ නෑ. හැබැයි දැක්කොත් පොඩ්ඩක් පෙරලලා බලනවා

      අනේ මන් ද සරත් ඔයා නම්, ඕක තේරෙන්නේ නැද්ද ලයිට් නැත්තේ බිල් ගෙවල නැති හින්ද නෙවෙයි ගංවතුර හින්ද වයර් කැඩිලා. ගංවතුර හින්ද පාරවල් යටවෙලා වැඩට යන්න බෑ ඔෆිස් නිවාඩු. වෙලාවට කන්න බොන්න ටික, ඔය බිස්කට් චොකලට් ආදී දේවල් එහෙම ගංවතුරට කලින් ගෙදර ගෙනල්ල තියෙන්නේ. ෆෝන් එකෙත් සිග්නල් නෑ ළඟම තියෙන ටවර් එකට අකුණක් ගහල. ඔන්න ඔය වගේ අවස්තාවක් තමයි මම කියන්නේ. හෙහ් හෙහ්

      Delete
    2. හේතුව මෙච්චරයි
      වියන්ගොඩ කියන්නෙ පොත එහෙම්ම කොපි පේස්ට් කරන මනුස්සයෙක්...
      ඇත්තටම හොද රසවත්ව බෝරිං නොවී පරිවර්තනය කරන්න පුලුවං පොත් විනාස කරල.. ඉංගිරිසිය දැනගත්තට මදි නිර්මාණශීලීත්වය තියෙන්න ඕන..
      මාර්කේස්ව බාගෙට මැරුවෙ වියන්ගොඩ තමා

      Delete
    3. පරිවර්තන නම් බලන්නකෝ ඩුඩ් , බස්සි, රවී එහෙම ලියන ලස්සන නේද? වියන්ගොඩ ලා දනගානවා වගේ හෙහ්

      Delete
  9. මටනං මහ වහු කුණක් කියල හිතුණ පොතක්..
    එච්චරයි ඊට වඩා දෙයක් නැ

    ReplyDelete
    Replies
    1. මහේෂ් , ඔය තියෙන්නේ නියම වචනේ වහු කුණක් තමයි. දෘඩ ප්‍රචණ්ඩත්වය පිළිබඳව හෙන කෘතියක් කියල හැබැයි පිටි පස්සේ ලියල තියෙන්නේ..

      Delete
  10. every sailor has a wife in each port කියල ඉස්සරට විතරක් වලංගු කතාවක් තියෙනවා.. දැන්නම් එහෙම නෑ.. සිඳු ලෝලී නොවුනත් නාවිකයෙක් වෙච්චි මට මේ කතාව කියෙව්වනම් වෙනස් අදහසක් ඉදිරිපත් කරන්න තිබ්බා කියල 'පොඩි ගට් ෆීලින්' එකක් ආවා.. :)
    පහුගිය අවුරුදු දෙක ඇතුලේ වගේ මාත් සෑහෙන්න පොත් ගත්තා.. ගොඩක්ම ඒවා සිංහල කවි කතා විචාර ආදිය.. මගේ පුරුද්දක් තමයි ගත්ත ගමන් කියවල ඉවර කරන එක.. හිතට දැනුනොත් ඇඳට ළඟ තැනක තියනවා.. ඔය කියුව වගේ ඒ හැටි ගතියක් නැත්නම් පොත් රක්කෙට දානවා.. ඇඳ ළඟ තියෙන පොත් හැකි හම වෙලාවකම නැවත නැවත කියවනවා.. නිදා ගන්න කලින් පොඩ්ඩක් බලන්න කියල අතට අරං එලිවෙනකම්ම කියවපු අවස්ථාත් එමටයි.. :)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර , මේකේ කතාව නාවිකයාගේ සිඳු ලෝලී කම නෙවෙයි. කතාවේ හැටියට ඔහු හොඳ නාවිකයෙක්. ඔහුගේ වෙන කිසිම සම්බන්ධයක් ගැන කියවෙන්නේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ගැහැනියගේ කලින් සැමියාගේ පුතා ඔහුගේ යහළුවන් සමග එකතු වෙලා ඒ මනුස්සයව මරන්න ප්ලෑන් කරන එක. ඒක කරන්න හදන විදිය හෙන දරුණුයි. අවුරුදු 13ක ළමයි නොකරන විදියේ දෙයක්. ඒ නාවිකය මේ ළමයට අවංකවම කැමතියි සහ ඒ කැමැත්ත ආදරය පෙන්නනවා එහෙම තියෙද්දී අර වගේ සීන් එකක් වීම තමයි මේ කතාවේ අවුල.

      සෙලරුවාගේ සිඳුලෝලී කම නෙවෙයි කතාවේ තියෙන්නේ වෙන මගුලක් හෙහ් හෙහ්...

      Delete
    2. මට මේ වගේ සිංහල ටෙලියක් බලපු මතකයක් තියෙනවා. නැවියට ඉන්නෙම් බිමල් ජයකොඩි. තව කවුරු හරි ඉන්නවද ඒක බලපු ?

      Delete
    3. මම නම් බලල නෑ සුදික අයියා

      Delete
  11. විදර්ශන එකේම මුද්‍රණය කරපු පවුලෝ කොයියෝගේ "යක්ෂය හා ප්‍රයිම් යුවතිය" කියන පොතත් ඔය වගේ කියවලා ඉවර උනාට පස්සේ මොන මගුලක්ද කියලා මට හිතුන පොතක් තමයි.හැබැයි එක මට අවුල් උනත් ගොඩක් අය ඒ පොත ගැන සැහීමකට පත්ව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මට යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය පොත ගැන නම් තියෙන්නේ හොඳ හැඟීමක්. එකේ තියෙනවා සෑහෙන්න හිතන්න සහ ඉගෙන ගත යුතු දේවල්.

      මට මේ පොතේ එහෙම කිසිම දෙයක් හිතා ගන්න බෑ.. සමහරවිට ඒක වෙන්න ඇති මේ පොතේ තියෙන විශිෂ්ට කම. හැබැයි මට නම් දිරවන්නේ නෑ හෙහ් හෙහ්..

      Delete
  12. මේ පොත නම් කියවලා නෑ.. හැබැයි මට නම් පොතක් ගත්තම අනික් දේවල් කෝම උනත් කියවනකන් ඉවසුමක් නෑ.. හැමදාම රෑ අන්තිම පැය, දෙක වෙන් වෙන්නේ පොතකට තමයි..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම කියවන්න ආසයි. හැබැයි දැන් එකදිගට එහෙම කියවන්න වෙලාවක් නෑ. ඇත්තටම රෑට පොත් කියවන්න පුරුදු වෙන එක හොඳයි. හැබැයි මම එහෙම පුරුද්දක් විදියට කරන්නේ නෑ..

      Delete
  13. මම බස් එකේ වැඩට යන කාලේ නයාට වගේ පොතක් බලන්න පුරුදු වෙලා හිටියා. දැන් ඒක කෙරෙන්නෙත් නෑ. අන්තිමට බල-බලා හිටිය පොත කොතැනද කියලා හොයා ගන්න බැරිව ඉන්නේ. ඒක චේතාන් භාගත්ගේ ෆයිව් පොයින්ට් සම්තින් කියලා එකක්. ඒක පදනම් කරගෙන තමයි 3Idiots හදලා තියෙන්නේ. මෙහෙම පොතක් බලලා අන්තිම සතුටින් මොන මගුලක්ද කියලා හිතෙන පොතක් තියෙනවා. ඒ Two States කියන චේතන් භාගත්ගේම පොතක්. මේ දවස් වල රවී එකෙන් කොටසක් පරිවර්තනය කරලා. ඒකෙ සිංහල පරිවර්තනය තමයි මොන මගුලක්ද

    ReplyDelete
    Replies
    1. රවී ගේ පරිවර්තනෙන් තමයි මම ඒ පොත ගැන දැන ගත්තේ. එකේ කතාවට ගැලපෙන්න නම තිබුනට මේ පොතේ කතාව එකක් පොතේ නම තව එකක් හෙහ් හෙහ්..මාකටින් ගැටයක් ද කොහෙද...

      Delete