Sunday, August 03, 2014

බ්ලොග් එක CV එකට දැමීම. ඉනටර්විව් පොර ටෝක් සමග කරපු චාටර් වැඩක්...!!!

මම මගේ CV එකේ මේ බ්ලොග් එක ගැන සඳහනක් දාල තියෙන්නේ. ඔය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන අන්සෙට අදාලව. මගේ CV එකේ ඒ අන්සේ නම  දාල තියෙන්නේ Skills and Competencies කියල. ඒ කියන්නේ මට සිංහල සහ ඉංග්‍රීසි වලින්  යමක් ලිවීමේ හැකියාව තියෙනවා කියන එක ඔප්පු කරන්න තමයි ඕක දාල තියෙන්නේ..

බ්ලොග් එකක් CV එකට දාන එක ගැන අපි එච්චර නොහිතුවට එකෙන් සැහෙන ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම ඔය යම් කිසි විෂය කරුණු ගැන ලියන අයට, එහෙම නැත්නම් තාක්ෂණික දේ වල් ලියන අයට. තමන් කරන රැකියාවට කෙලින් ම අදාළ ව හෝ අදාළ නොවුනත් තමන්ගේ යම් හැකියාවක් පෙන්නුම් කරන්න CV එකේ තමුන්ගේ බ්ලොග් අඩවිය සඳහන් කිරීම වරදක් නෙවෙයි කියල මම හිතන්නේ.. ලියන දේවල් වල ස්භාවය අනුව පොඩි පොඩි අවුල් තිබුනට ලංකාවේ ජොබ් එකකදී නම් ඉතින් බ්ලොග් එක ගැන CV එකේ දාන එකෙන් හොඳක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ගොඩක් වෙලාවට අපි නොදන්නවා උනාට අපිව ඉන්ටර්විව් කරන කෙනා අපේ බ්ලොග් එක කියවන්නෙක් වෙන්න පුළුවන්..  ඉතින් පොඩි සපෝර්ට් එකක් ඉබේම ලැබෙන්නත් ඉඩ තියෙනවා ඒ වගේම ජොබ් එකට කෙල වෙලා යන්නත් පොඩි චාන්ස් එකක් තියෙනවා... හෙහ් හෙහ් මම නම් CV එකට බ්ලොග් එකේ ලින්ක් එක නම් දැම්මේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වලමයි. 

 කාලයක් එකම කොම්පැනියේ වැඩ කරනකොට මේ අපි වගේ සොෆ්ට්වෙයාර් ජොබ් කරන අයට නිකන් මාරු වෙන්න ඕනේ කියන හැඟීම එනවා. ඒ කියන්නේ අපි කරන දේවල් නිතර වෙනස් වෙන නිසා පොඩ්ඩක් අප්ඩේට් වෙන්නයි පඩිය පොඩ්ඩක් වැඩි කර ගන්නයි ඉතින් ඒක හොඳ වැඩක්.  කොහොමත් ඉස්සර වගේ දැන් දැන් අවුරදු 15-20 එකම තැන වැඩ කරනවා අඩුයි නේ පුද්ගලික අංශ වල රැකියා කරන අය.

ඉතින් මිට අවුරුදු එකහමාරකට  විතර කලින් මමත් ඔහොම CV එක දැම්ම. ඔය ඇබෑර්තු තියෙන තැන් වලට. මුලින්ම සෙට් වෙච්ච තැන ඉන්ටර්විව් එක පොඩ්ඩක් අවුල් ගියා මොකද අවුරුදු 3කට විතර පස්සේ මුලින් ම ගියාම අහන ප්‍රශ්න ගැන හරි අයිඩියා එකක් නැති නිසා. එතන පට්ට ටෙක්නිකල් සහ අනිත් එක මම කරපු දේවල් වලට අදාළව නෙවෙයි එයාලගේ අවශ්‍යතාවය තිබුනේ.  මගේ නම් අදහස සොෆ්ට්වෙයාර් ජොබ් කරන අය අවුරුද්දකට 2කට විතර සැරයක් නිකමට වගේ CV එක දාල ඉන්ටර්විව් ගිහින් බැලුවට කමක් නෑ. එතකොට තමන්ගේ දැනුම ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

ඊට පස්සේ තමයි මේ මැලේ රටේ එකේ ඉන්ටර්විව් එකට ගියේ. එතනත් ඉතින් 3 දෙනෙක් විතර ඇවිත් පැයක් විතර එක එක දේවල් ඇහුව. හෙනම ටෙක්නිකල් නෙවෙයි හැබැයි කරපු ප්‍රොජෙක්ට්ස් ගැනයි, සමහර ටෙක්නිකල් දේවල් ගැනයි ඇහුව. වැඩිපුරම ඔය කොම්පැනි ගැනයි, ලංකාව ගැනයි, ආගිය කතායි ඒව මේවා තමයි. පස්සේ පොඩි ටෙස්ට් එකක් කරන්නත් වුණා. 

ටික දවසක් යනකොට මෙන්න ආයේ තව කොම්පැනි එකකින් කෝල් එකක් ආවා. මැලේ රටේ එක ගොඩ යයි කියල පොඩි ෂුවර් එකක් තිබුනට ඔන්න ඔහේ කියල මේකටත් ගියා. මොකද ඒ කොම්පැනි එකට පොඩ්ඩක් හදිසි වෙලා තමයි මේ ගන්න හදන්නේ. මට පුළුවන් තරම් ඉක්මනට ඉනටර්විව් එකට එන්න කියල තමයි එයාල කෝල් කලේ. ඔතන අර මගේ අතීසාර මිත්‍රයින්ගෙන් එකෙකුත් වැඩ කළා. ඌට අනුව නිකන් ඉල්ලන ගානක් දීල ගන්න තරම් හදිසි තත්වයක් ලු තිබුනේ. 

එතන ඉන්ටර්විව් 3කට යන්න වුණා. පළවෙනි එක ටෙක්නිකල් එකක්. එයාලගේ අවශ්‍යතාවය වුනේ Android වලට කෙනෙක් ව ගන්න. මම ඒ දවස් වල Android කරපු නිසා ඒ ටෙක්නිකල් ඒවා ගේමක් නැතුව ගොඩ දැම්ම. පස්සේ අහපු සමහර දේවල් එහෙන් මෙහෙන් අවුල් ගියත් ඔන්න දැන් පලවෙනි එක ගොඩ. දැන් ඉතින් පඩි නඩි කොච්චර ඕනෙද එහෙම ඇහුවා. මට ඉතින් මෙතන සෙට් වුනත් එකයි නැතත් එකයි වගේ නිසා මම ටිකක් වැඩි පුර ඉල්ලුවා. ඉන්ටර්විව් එකේ හිටපු CTO බුවා හිනා වෙලා කිව්වා එච්චර නම් දෙන්න අමාරුයි ඕනනම් මෙච්චරක් දෙන්නම් කියල. මම කිව්වා එහෙනම් තේරුමක් නෑ. ඔය ගානට එන එක පාඩුයි කියල. 

කොහොමත් ජොබ් එකකට යනකොට මුලින් ම අපි කතා කරලා ගන්න ගානක් තමයි. ඊට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට කැරට් කකා තමයි ඉන්න වෙන්නේ. 

කොහොම හරි ඉතින් දවස් 2ක් විතර යනකොට මෙන්න මුන් මට ආයේ කෝල් කරනවා තව ඉන්ටර්විව් එකක් තියෙනවා පොඩ්ඩක් එන්න පුළුවන් ද කියල.. 

මට ඇති මහා වැඩක් නොතිබුනත් මම කිව්වා අද නම් හෙන බිසී අද එන්න බෑ ඕනනම් හවස 5න් පස්සේ එන්නම් කියල. එහෙම කියල 6ට විතර වෙලාව සෙට් කරන් ගියා. 

ගිහින් දැන් අර එදා හිටපු CTO බුවා එහෙම හම්බ වෙලා තව කෙනෙක් එක්ක පොඩි සාකච්චාවක් දැම්ම. ඔය පොඩි පොඩි  ප්‍රශ්න ටිකක් අහල දැන් මම ඉල්ලපු ගාන පොඩ්ඩක් අඩු කරගන්න හෙන ට්‍රයි එකක් දෙනවා. මම ඉතින් කිව්වා මට දැන් ඉන්න තැන කිසි අවුලක් නෑ ඉතින් ඒ ගානට වඩා අඩුවෙන් නම් එන එක තේරුමක් නෑ. අරකයි මේකයි කියල. මොකද මම දන්නවා දැන් මෙයාලට මාව ගන්න ෆුල් උවමනාවක් තියෙනවා කියල. අනිත් එක ඔය දවස් වෙනකොට මැලේ රටේ එක හරි ගිහින් තිබුනේ. ඒ කියන්නේ මාව සිලෙක්ට් කියල ඔෆීසියලි දන්නල තිබුනේ.  හැබැයි මම ඒ වෙනකොට ස්ථිරව තීරණේ කරලා තිබුනේ නෑ මැලේසියාවට එනවද කියල. මොකද මට රට යෑම ගැන එච්චර උනන්දුවක් කොහොමත් තිබුනේ නැති නිසා.

හැබැයි ඉතින් එදා ඉන්ටර්විව් එකෙන් පස්සේ මට තීරණයක් ගන්න වුණා. ඒ කියන්නේ එක්කෝ මැලේසියා යනවා නැත්නම් මේ කොම්පැනි එකට සෙට් වෙනවා. මෙතනට සෙට් වෙන්න මට පොඩි කැමැත්තකුත් තිබුන. මොකද එතන මට Android තමයි කරන්න තිබුනේ. මම ඒ වෙනකොට තීරණේ කරලා තිබුනේ දිගටම Mobile පැත්තෙන්ම කරනවා කියල මොකද මට එක එක තාක්ෂණික පැති වල වැඩ කරල ටිකක් ඇති වෙලා තිබුනේ.. ඔන්න ඔහේ  Android App එකක් හදාගෙන ඉන්න පුළුවන්නෙ කියල හිතාගෙන හිටියේ...

හැබැයි ඉතින් අනිත් අතට මැලේසියාවෙ අත්දැකීමත් වැදගත් කියල හිතුනා. ඔය අතරේ දැන් මම මැලේසියා ගියාම බට්ටි නගා ට ජොබ් එකෙන් අස් වෙලා එන්න වෙන ප්‍රශ්නෙත් තිබුනා. අපි දෙන්න නිකන් ගහයි පොත්තයි වගේ 24x7 එකටම හිටපු නිසා යනවනම් දෙන්නම යනවා කියල තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම ඕනේ එකක් වෙන්න කියල මැලේසියාවට දැන්නුව මම එන්නේ බට්ටි නගාටත් ජොබ් එකක් දෙනවනම් විතරයි කියල. එහෙනුත් කිව්වා හරි CV එක එවන්න එකක් සෙට් කරන්නම් කියල..

දැන් ඔහොම දවසක් දෙකක් ගියා.

මෙන්න අර කොම්පැනියෙන් මට ආයේ කෝල් එකක් එනවා. හරි අපි ඔයාව තොර ගත්ත තව ඉන්ටර්විව් එකක් තියෙනවා අපේ CEO ද කවුද එක්ක. වහාම එන්න කියල. දැන් ඉතින් මොකද කරන්නේ. ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල එකටත් ගියා.

දැන් තමා මාතෘකාවට අදාලව සිද්දිය  හෙහ් හෙහ්

වෙලාව රෑ 7ට විතර ඇති. මම ඉතින් පිළිවෙලකට ඇඳලා දැන් අර ඉන්ටර්විව් එකට සෙට් වෙලා ඉන්නවා. එතන ලොක්කා ගෑනු කෙනෙක්. අවුරුදු 40-45ක් වගේ ඇති.

සාමාන්‍ය විදියට දැන් කතාව පටන් අරන් යනවා.  මම ඉතින් පාඩුවේ අහන දෙකට උත්තරයක් දීගෙන ඉන්නවා.

මෙයා මගේ CV එක බලන ගමන් තමයි කතාව. 

ඉංග්‍රීසියෙන් ගිය කතාව සිංහලෙන් මෙහෙමයි

ලො :ඔයා බ්ලොග් එකක් ලියනව නේද?
මම : ඔව් ලියනවා. මම ලින්ක් එක දාල තියෙනවා
ලො: පොඩ්ඩක් ඉන්න මම බලන්නම්
(ලැප්ටොප් එකෙන් මගේ මේ බ්ලොග් එක බලන ගමන්)
ලො : සිංහලෙන් නේද ලියන්නේ ඇයි ඉංග්‍රීසියෙන් තාක්ෂණික දේවල් තියෙන බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ?
මම : දවසම ටෙක්නිකල් වැඩ කරන නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම ඕක ලියන්නේ. ටෙක්නිකල් ඒවා ලියන්න මට කම්මැලියි.
ලො: ඒක හොඳයි හැබැයි ඔයා වගේ සීනියර් අය ටෙක්නිකල් එකක් ලියන්න ඕනේ නේ. ගොඩක් වටිනවා එහෙම එකක් ලියන එක.
මම : ඔව් මම දන්නවා. ඒ වුණාට මට කම්මැලියි. තව ගොඩක් ටෙක්නිකල් බ්ලොග්ස් තියෙනවනේ. සිංහල බ්ලොග්ස් අඩුයි නේ.
ලො: මොනවාද ඔයා නිතර බලන ටෙක්නිකල් බ්ලොග්ස්
මම : http://javarevisited.blogspot.com/,http://stackoverflow.com/
ලො: ඔයා පොත් කියවනවද?
මම : ඔව්
ලො :මොකක් ද අන්තිමට කියවපු පොත
මම : පාවුලෝ කොයියෝ ගේ විනාඩි 11 කියෙව්වා. තව එකක් කියවන්න ගත්තා මට නම මතක නෑ.
ලො: නෑ නෑ මම ඇහුවේ ටෙක්නිකල් පොත් කියවනවද කියල?
මම: නෑ. ගොඩක් ටෙක්නිකල් දේවල් ගුග්ල් එකෙන් හොයා ගන්න පුළුවන් නේ.
ලො: ඒ වුනාට පොත් වල ගොඩක් දේවල් තියෙනවා. වෙබ් එකේ තියෙන දේවල් විතරක් මදි හොඳ අවබෝධයක් ගන්න.
මම : ඔව් ඒක ඇත්ත. මම මොනවා හරි දෙයක් දැන ගන්න ඕනේ වෙලා ඒක වෙබ් එකේ නැත්නම් පොත් බලනවා. එහෙම නැතුව කියවන්නේ නෑ.
ලො: Effective Java කියවල තියෙනවද?
මම: ආ එකේ චැප්ටර්ස් 2-3ක් කියවල තියෙනවා. ඔක්කොම කියවල නෑ
ලො: වෙන මොන පොත් ද බලන්නේ?
මම: මම ගොඩක් වෙලාවට ඔය ස්පිරිචුවල් පොත් බලනවා. තව එතකොට ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් මහත්මයාගේ පොත් එහෙම බලනවා.
ලො: සිනාසෙමින්, මගේ තාත්ත ඩොක්ටර් අදිකාරම් ගේ හොඳ ෆෑන් කෙනෙක්. අපේ ගෙදර ඩොක්ටර් අධිකාරම් ගේ පොත් ගොඩක් තියෙනවා.
මම : ගොඩක් වටින දේවල් තියෙනවා ඒ පොත් වල
ලො: ඔව්. මමත් බලනවා
ලො: ඔයා මොකක් ද පාවිච්චි කරන ෆෝන් එක. මට බලන්න පුළුවන් ද?
මම : සිනාසෙමින්, ඔව් පොඩ්ඩක් ඉන්න
මම මගේ පතුරු ගිය nokia 1110i ෆෝන් එක සාක්කුවෙන් අරන් මේසේ උඩින් තිබ්බා
ලො: මොකක්, ඔයා කොහොමද මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කර කර Android Development කරන්නේ? ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?
මම: මම Android Development කරන්න ඕනේ වෙලාවට ඔෆිස් එකෙන් දීල තියෙන ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මේක මගේ පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නේ.
ලො: ඔව් මම දන්නවා ඔෆිස් වල Development කරන්න වෙනම ෆෝන් තියෙනවා තමයි. හැබැයි ඔයාල වගේ තරුණ අය අලුත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා ඒ වයේ තියෙන අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ නේ. නැත්නම් කොහොමද හොඳ Apps හදන්නේ?
මම: ආ එකට මගේ ළඟ තියෙනවා Galaxy Tab එකක්. මම ඒක පාවිච්චි කරන්නේ ඒ වගේ වැඩවලට. නමුත් දැන් මගේ ළඟ ඒක නෑ. ඔබට අවශ්‍ය නම් මම කාර් එකට ගිහින් ඒක අරන් ඇවිත් පෙන්නනම්
ලො: සිනාසෙමින් නෑ නෑ ඕනේ නෑ.. ඔයා හරි ඉන්ටරෙස්ටින් චරිතයක් වගේ..
මම: පොඩි හිනාවක්
ලො: ඔයා බැඳලා නේද? වයිෆ් මොනවාද කරන්නේ?
මම: එයත් Java කරන්නේ?
ලො: අ හොඳයි දෙන්නම ටෙක්නිකල් කරන නිසා මිට වැඩිය ටිකක් ටෙක්නිකල් පැති ගැන උනන්දු වුණා නම් නේද හොඳ?
මම: ඔව් ඒක ඇත්ත. මම වැඩ කරන පැය 8 වැඩ කරනවා ඊට පස්සේ නෑ.. ජිවිතේ තව ගොඩක් ඉන්ටරෙස්ටින් දේවල් තියෙනවා ටෙක්නිකල් දේවල් වලට වැඩිය.
ලො: සිනාසෙමින්, ඔව් ඒක හරි හැබැයි රස්සාව හරියට කරන්න තව අමතර දේවල් ඉගෙන ගන්න ඕනේ. අනිත් එක ඔයා සීනියර් කෙනෙක් විදියට ටීම් එකේ ඉන්න අනිත් අයට ඒවා කරන්න ආදර්ශයක් විදියට ඉන්න ඕනේ නේ. ඔයාගේ වයිෆ් ට වුනත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ.
මම : සිනාසෙමින්. කරුණාකරලා මාව වැරදියට තේරුම් ගන්න එපා. මේ ජොබ් එක මට හම්බ වුනත් නැතත් මම අවංකවම දෙයක් කියන්නම්. 
ලො: සිනාසෙමින්, ඔව් කියන්න ඇය බොහෝ උනන්දුවෙන් බලා සිටියි.
මම:මම දැන් කාලයක් තිස්සේ වැඩ කරලා තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ගොඩක් ඉෆෙක්ටිව් විදියට වැඩ කරන්න නම් අපි රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ෆුල් ම ටෙක්නිකල් චරිතයක් කියන්නේ සාර්ථක මනුස්සයෙක් නෙවෙයි. ජිවිතේ තව ගොඩක් සුන්දර දේවල් තියෙනවා. අපි ටෙක්නිකල් රස්සාවල් කරනකොට අපිට ඒ වගේ දේවල් මිස් වෙනවා වැඩියි. ඉතින් මම හිතන්නේ වැඩ කරන පැය 8 හරියට වැඩ කරනවා ඊට පස්සේ මම කැමති විදියට ජිවත් වෙනවා. හැබැයි හදිසි වේලාවකදී මම රෑ එලි වෙනකම් වුනත් වැඩ කරන්න ලෑස්තියි නමුත් අනිත් වෙලාවට නම් එහෙම කරන්නේ නෑ. මගේ ටීම් එකේ අයටත් ඉතින් මම ඔය විදියටම කියයි. මම මගේ වයිෆ් ටත් ඕකම තමයි කියන්නේ. මේ අවංකවම මගේ හැටි. මට මේ රස්සාව ගන්න බොරු කියන්න ඕනේ නෑ..
ලො: සිනාසෙමින්, ඔයත් එක්ක කතා කරන එක හරිම ඉන්ටරෙස්ටින්, මම හිතන්නේ ඔයාට අපිත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් වෙයි. දැන් ගොඩක් වෙලා ගිය නිසා අපි පස්සේ වෙලාවක ආයේ කතා කරමු. 
මම: හරි බොහොම ස්තුතියි.

ලො: නමුත් මට ඔයා ඉල්ලපු පඩිය නම් දෙන්න අමාරුයි. මට තව මෙච්චරක් වැඩි කරන්න පුළුවන්.ඒක තමයි මට ඔයාගේ පොසිෂන් එකට දෙන්න පුළුවන් උපරිම ගාන.
මම: හරි කමක් නෑ. මම කැමතියි. 
ලො: හරි එහෙනම් අපි ඔයාට ඔෆර් ලෙටර් එක රෙඩි කරලා කෝල් එකක් දෙන්නම්
මම: හරි බොහොම ස්තුතියි.
------------------------------------------------------------------------------------------------------------
මේ දෙබස මේ විදියටම සිද්ද වුණා. අතින් දාපු කිසි දෙයක් නෑ. 

මම මේ විදියට මේ ඉන්ටර්විවී එකේ කතා කලේ මට මැලේසියාවේ ජොබ් එක හරි ගිය නිසා ඕනේ එකක් වෙන්න කියලම නෙවෙයි. ඒක තිබුන නිසා පොඩි කික් එකක් තිබුන එක ඇත්ත. හැබැයි මම දැන් යන ඕනෙම ඉන්ටර්විව් එකකදී මගේ ඇත්ත විදිය කෙලින් කියනව. ඒ කියන්නේ බැරි නම් බෑ. මතක නැත්නම් මතක නෑ. ඒ කියන්නේ ගහගන්න වගේ නෙවෙයි. උඹල ගන්න හදන්නේ මෙන්න මේ වගේ එකෙක් කියන එක කලින් ම කියනවා. හෙහ් හෙහ්. එහෙම කරන එකේ  පොඩි රිස්ක් එකක් තිබුනට මම හිතන්නේ අපි එහෙම කියන කොට අනිත් කෙනාට අපි ගැන ඇතිවෙන ඉම්ප්‍රෂන් එක හොඳයි. මවා පෑමක් කලොත් ගොඩක් වෙලාවට අනිත් කෙනාට ඒක දැනෙනවා. එකෙන් අපිට හොඳක් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම අපිත් කරන්නේ ඒ ආයතනයට හොඳක්. මොකද බොරු කියල ජොබ් එක අරන් පස්සේ චාටර් වෙන එක කාටත් වැඩක් නෑනේ.

හරි ඉතින් 

පහුවදාම මෙයාල මට ඔෆර් ලෙටර් එක ගන්න කතා කළා. හැබැයි මම ගියේ නෑ. මොකද මට හරි තීරණයක් ගන්න විදියක් නැතුව ඒ වෙනකොට හිටියේ.

මම දවසක් දෙකක් ලියුම ගන්න යන්නේ නැතුව ඇද ඇද හිටිය. ඒ අතරේ අපි දෙන්න තීරණේ කළා දෙන්නටම යන්න සෙට් වුනේ නැත්නම් මැලේසියා යන්නේ නෑ. ඒ නිසා ඕනේ එකක් කියල ගිහින් මේ ඔෆර් ලෙටර් එක ගන්නවා කියල. ඉතින් මම ගිහින් ලෙටර් එක අරගෙන ආවා. අවංකවම නම් මම ලියුම අරන් එන අතරේ තීරණේ කලේ මැලේසියා යන්නේ නෑ. මම මේ ජොබ් එකට යනවා කියන එක. මොකද මේ කොම්පැනිය සැහෙන ස්ථාවර තත්වෙක තිබුන තැනක්. මගේ සැලසුම් කල කැරියර් පාත් එකට හරියට සෙට් වෙන තැනකුත් නිසයි මම එහෙම හිතුවේ.

මට ලියුමේ හැටියට රස්සාව බාර ගන්න තිබුනේ 2013 ජුනි මාසේ පළවෙනිදා ඉඳල. මේ වෙනකොට අප්‍රේල් අන්තිම කාලේ හෝ මැයි මුල.

කොහොම හරි ඉතින් මම ඉන්න තැනට අස්වීමේ ලිපිය දීල එතන වැඩ ටික සෙට්ල් කරලා හිටියේ.

ඔය අතරේ මැලේසියාවෙන් බට්ටි නගාට ඔන්ලයින් ඉන්ටර්විව් එකක් සෙට් කළා. බස්ටි නගා ගානට ඒක ගොඩ දැම්ම. දවසක් 2ක් යනකොට එකත් ගොඩ ගියා කියල දැන ගත්ත. 

හුටා දැන් මොකද කරන්නේ. එක පැත්තකින්  අපි දෙන්නට මැලේසියාවේ එකම තැන වැඩ කරන්න ජොබ්ස් දෙකක් තියෙනවා. අනිත් පැත්තෙන් මම වැඩ කරන්න ආස විදියේ ජොබ් එකක් බලෙන්ම වගේ දෙන්න හදනවා.

පස්සේ ඉතින් මම දන්නා දන්නා අයගේ උපදෙස් ටිකක් ගත්ත මේ සම්බන්ධයෙන්. හැමෝගෙම අදහස වුනේ මැලේසියා යන එක හොඳයි කියන එක.

ෆුල් ම අප්සෙට් වැඩේ උනේ අපි විසා එහෙම හම්බවෙනකල් ෂුවර් නැති නිසා අර කොම්පැණියට මම එන්නේ නෑ කියල කියන්න දවසක් දෙකක් පරක්කු කරපු එක. ඔය අතරේ ඒ කොම්පැනියෙන් වෙල්කම් ඊමේල් එකක් යවල මුළු කොම්පැනියටම අහවල් දවසේ ඉඳන් මෙන්න මෙයා කොම්පැනියට ජොයින් වෙනවා. තව බ්ලා බ්ලා බ්ලා එක්ක...සාමාන්යෙන් නම් එහෙම ඊමේල් එකක් යවන්නේ අලුතින් කෙනෙක් ආවට පස්සේ නේ.. මේක ඊට සති 2කට විතර කලින් මෙයාල යැව්වා. මටත් සී.සී කරලා.. ඉතින් දෙයියනේ මම කියල මොනවා කරන්නද.. 

ආයේ ඉතින් මණ්ඩලේ රැස් කරලා උපදෙස් අරන් මම පහුවදා හරි ඊට පහුවදා හරි ඒ කොම්පැනියේ එච්.ආර් මැනේජර් ට ඊමේල් එකක් යැව්වා. මෙන්න මේ වගේ සිද්දියක් නිසා මට එන්න වෙන්නේ නෑ බොහොම කනගාටුයි කියල. අවංකවම කිව්වොත් මට කෝල් එකක් දීල ඒක කියන්න හිත හදා ගන්න බැරි වුණා. මොකද හෙන වරදකාරී හැඟීමක් තිබුන නිසා. 

ඊමේල් එක දාල මම අර අතීසාර මිත්‍රයට චැට් එකක් දාල බැලුව කොම්පැනියේ තත්වේ ගැන..

"අන්න අර ගෑනි උඹට අමු කුණු හරුපෙන් බනිනවා. තොට ඉතින් ආයේ මේ කොම්පැනියේ ජොබ් එකකට එන්න වෙන්නේ නෑ කවදාවත් කියල..." !!!!!!!!!!

ඒ වැඩේ තමයි මම මෙච්චර කාලෙකට රස්සාවක් වෙනුවෙන් කරපු චාටර්ම වැඩේ..!! හැබැයි ඉතින් ඒ වැඩේ කරන්න වෙන හොඳ විදියක් හිතා ගන්න මට අදටත් බෑ...

ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඕනේ එකක් වෙන්න කියල මැලේ රටට ආවා. දැන් ඇවිල්ල මෙතන චින්නුන්ගේ ආතල් බල බල මේසයක් වටේට වෙලා ඉන්නවා.

67 comments:

  1. හරිම ඉන්ට්‍රස්ටින් අද ලිපියත්, අපරාදේ ඔයාට මේක පෙරේදා ලියන්න තිබ්බේ නැද්ද අනේ, මන් අන්තිම cv එක එක්ක ඔක්කොම ඩොකියුමන්ට් ටික දැම්මා අයියෝ,.. මගේ බ්ලොග් ඒකත් දාන්න තිබ්බා.. ඔයා ඉන්ටවිව් එකට මුණ දීපු විදිය නියමයි, ඒ වගේම ඒ ගැන බ්ලොග් එකේ ලීවට ස්තුති කාටත් ප්‍රයෝජනවත් වේවි

    ReplyDelete
    Replies
    1. නොදාපු එක හොඳයි, නැත්නං කෝ මේකේ හැම කථාවකම බාගයයිනේ දාල තියෙන්නේ කියලා ජොබ් එක නොදී ඉදියි.. ඉඳගෙන

      Delete
    2. අපෝ බන් කට කට

      Delete
    3. ඕමා, මේක ලියල දවස් ගානක් වුණා. ඊයේ රෑ තමයි අවසාන කටයුතු ටික කරලා පිළිවෙලකට ඉවර කලේ.. හෙහ් හෙහ්..

      සිංහල බ්ලොග් එක නම් ඉතින් ලංකාවේ ජොබ්ස් වලදී වැදගත් වෙයි. ඉන්ටර්විව් වලදී ඔහොම කතා කළාම ජොබ් එක හම්බ වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. හැබැයි ඉතින් හැමතැනදිම හරි යනවා කියන්නත් බෑ.. තියෙන තත්වේ අනුව බලල කෙලින් කතා කරන්න ඕනේ.. නැත්නම් ඉතින් අමාරුවෙන් ගොඩ දාල අන්තිම එකේදී කෙල වෙන්නත් ඉඩ තියෙනවා..

      Delete
    4. සී.ජේ. විදානේ, කතාව ඇත්ත... පාටකයෝ මෙහෙම අනාත කරනවා කියන්නේ කිසිම විස්වාසයක් තියන්න බෑ... :D

      Delete
  2. මොනව උනත් අපි ගැන හිතනකොට ඔය වගේ දේවල් කරන්න වෙනවා.. අපි ජීවත් වන්න ඕනේ කම්පැනි නිසා නොවන නිසා..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, අන්තිමට හැම තැනම තියෙන්නේ බිස්නස් එකක් තමයි. අපි ඒක දැනගෙන වැඩ කරන්න ඕනේ..

      Delete
  3. මම ගිය ඉන්ටවිව් වලදි ටෙක්නිකල් හරියටම හරි..ඔය එච් ආර් ඉන්ටව් එක තමයි මට අල්ලන්නෙම නැත්තෙ...
    එක පස්නයක් අහනවා ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා.. මම කියනවා ඉතිං මේ ජොබ් එක ලැබුනොත් ඒක කරගෙන අවුලක් නැතුව ඉන්නවා කියලා..
    ඒක එයාලට මදි.. එයාලට අනුව මම කවදාවත් ඇචීව් කරගන්න බැරි ලොකු ලොකු සයිස් දෙයක් කියන්න ඕනි.. මේ වැඩේ පිට පිට තුන්පාරක් මට ඉන්ටවිව් වලදි වුනා..
    යාලුවො කියන විදියට අර පස්නෙට දෙන්න කොමන් උත්තරයක් තියෙනවා..නමුත් මට හෙම තව අවුරුදු ගානකින් මොනවා කරන්න ඕනිද කොතන ඉන්න ඕනිද කියලා ඇත්තම අයිඩියාර් එක්ක නැතුව බොරු කියන්නෙ මොකටද? තේරුමක් නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම ඕකට කියන්නේ මෙන්න මෙහෙම එකක්..
      මට කවද හරි හඳට යන්න හරි අභ්‍යාවකාශේට යන්න ලොකු ආසාවක් තියෙනව. එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව. ඒක වෙනකම් ඉතින් මම තියෙන ජොබ් එක කරගෙන ඉන්නවා.

      ඔහොම කිව්වවම ඔය ගොඩක් ඩයල් වලට හිතා ගන්න බෑ.. ඊළඟට මුගෙන් මොකක් ද අහන්න ඕනේ කියල...මොකද උන් බලාපොරොත්තු වෙන්නේ.. කොම්පැනියෙ ඉහළ තනතුරකට යන්න ඕනේ. නැත්නම් තව විභාග පාස් කරලා සුදුසු කම් හදා ගන්න ඕනේ වගේ උත්තර ටිකක් නේ.. අපි එහෙම කිව්වම අහන්න ඕනේ ප්‍රශ්නත් එයාල දන්නවා.

      මම ඔහොම කිව්වම ගොඩක් උන්ට හිනා. මේ ඉන්ටර්විව් එකේදී එක මගෙන් ඇහුවේ නෑ...

      Delete
    2. අමිල,
      උඹ වගේ ආතල් බුවෙක් මම ජීවිත ක‍ාලෙම දැකල නෑ.

      Delete
    3. මමත් ටැක්නිකල් ගොඩගිය එව්වා කීපයක්ම බකල් උනා ඔය ප්‍රශ්නෙන්. උන් බලාපොරොත්තු වෙන්නෙ කම්පැනියක් දානවා වගේ ලොකු අයිඩියා එකක්..

      Delete
  4. ෂහ්!! මේ අඩවියෙන් කියවපු ලිපි වලින් ඉතාම ආසාවෙන් කියවපු "පට්ටම" ලිපිය. නියමයි.

    මාත් මේ දවස් වල ඔන්න ඔයවගේ දෝලනයක ඉන්නෙ. ඒ නිසා ඔලුව තවත් අවුල් වගේ දැන්. අනේ මංද මට තේරෙන්නෑ. ඒත් රස්සාව කියන්නෙ ජීවිතේ නෙවෙයි. පැය අටේ කතන්දරේට මාත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. පැය අට ඇතුලේ හැබැයි ඉතින් අපි හරියට වැඩ කරන්න ඕනේ. නැත්නම් රස්සාව හරියට කරගෙන යන්න අමාරුයි. ඒ කිව්වේ මේ බ්ලොග් ලියන, කොමෙන්ට් කරන ඒවත් කරන ගමන් වැඩ කරන එක.. :D

      ඔහොම මන්දබුද්දික කාල එනවා බන් මොනවා කරන්නද කියල හිතා ගන්න බැරි.. ගණන් ගන්න එපා. ටික කාලෙකින් හරි යනව..

      Delete
  5. ෂාහ් කාලෙකට පස්සෙ හරිම ඉන්ටරස්ටිං ලිපියක් කියෙව්වා බං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ, මිට වඩා ඉන්ටරෙස්ටින් කතා හැලප ලියන්නේ.. හෙහ් හෙහ්

      Delete
  6. මේක මරු ලිපියක් නෙ..ජොබ් ගැනනං අත්දැකීමක් නෑ මොකද තාම ඉක්කෝලෙ යන පොඩි එකා.. :D ඒ වුනාට මේ කරුණූ ටික දැනගත්ත එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙදි උනත් ඇත්ත තත්වේ කෙලින් කිව්වම සර්ලා ටීචර් ල තේරුම් ගන්නවා.. ගොඩක් අවුල් ගොඩින් බෙර ගන්න පුළුවන්

      Delete
  7. මේක කියෙව්වහම තමයි හිතුනේ බ්ලොග් එක CV කට්ටට දාල දැම්මනම් හොඳයි කියලා

    ReplyDelete
    Replies
    1. නාඩියා, දැන් CV එක අප්ඩේට් කරලා දාන්න. ඊළඟට යන ජොබ් එකදි එතකොට අවුලක් වෙන්නේ නෑ

      Delete
  8. "ඒ වැඩේ තමයි මම මෙච්චර කාලෙකට රස්සාවක් වෙනුවෙන් කරපු චාටර්ම වැඩේ"
    මොකක්ද බං චාටර් වැඩේ. උන්ට මිනිහත් ඕනේ, වැඩේ උන්න්ට ඕන විදිහට කරගන්නත් ඕනේ. ඉන්ටවීව් එකේදිම උඹට උගන්නන්නත් ඕනේ උඹේ ජීවිතේ ගතකරන විදිහ. උඹට ඕන ගාන දෙන්නත් බෑ. උන්ට බැකප් ප්ලෑන් නැති හින්ද කේන්තිත් යනව. යකෝ හරි කෙලියක්නෙ ඒක? කිව්වට මචං ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එක තනිකරම වහල් සේවයක්! අයිසිං ගොඩකිං වැහිල තිබ්බට ලොක්කගෙ ඉඳන් සොක්කා දක්වාම කම්පැනි ප්‍රොෆයිල් එකට අනුගත වෙන්න ඕන! නැත්නම් මල! ඉන්ටවීව් ගිහිල්ලම දැනුන දෙයක්! ඒත් ලංකාවේ රාජ්‍ය ආයතන වල ඉන්ටවීව් මට දැනිච්ච විදිහ හරිම වෙනස්. ඒ උදවියට අපට උගන්නන්න, කිච කරන්න උවමනාවක් තිබ්බේ නෑ. පැයක ඉන්ටවීව් එකකට මූණ දුන්න 1995 දී පොල් පර්යේෂණ එකේ - බෝඩ් එකේ අටදෙනයි! හරිම අපූරු අත්දැකීමක් වුණා ඒක!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත තිස්ස අයියා.. අපිට තාම ඉන්ටර්විව් වලදී අපි මේ විකිනෙන්න හදන්නේ කියන එක තේරුම් යන්නේ නෑ... ඉහළ ඉඳන් පහලටම කරන්නේ එකිනෙකාව විකුණා ගන්න එකනේ.. ඉතින් අපි අපේ වටිනා කම හරියට කිව්වේ නැත්නම් පාඩුව අපිටමයි..

      මට අප්සෙට් ගියේ එනවා කියල පොරොන්දු වෙලා එක කඩ කරන්න සිද්ද වෙච්ච එක... හැබැයි ඉතින් ඒක පොඩි ගනුදෙනුවක් විතරයි කියල මම හිත හදා ගත්තා. පස්සේ හොයල බලද්දී ටක් ගාල වෙන කෙනෙක් ව අරන් තිබුනා.

      රාජ්‍ය අංශෙ නම් මම කවදාවත් වැඩ කරලා නෑ.. තිස්ස අයියා ලියන්නකෝ ඒ අත්දැකීමත්

      Delete
  9. හෙහ්, මගේ බ්ලොග් එක ගැන ලොක්කට කිවුවොත් ඌ මාව පන්නනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් එහෙම හිතුවට ලොක්කා ෆුල් ඉන්ටරෙස්ට් වෙන්නත් ඉඩ තියෙනවා... අපි හිතන දේ නෙවෙයි වෙන්නේ .. ඔයා යටතේ වැඩ කරන එකෙක් බ්ලොග් එකක් ලියනවා කිව්වම පොඩි ආතල් එකක් එනවා නේද? ලොක්කටත් එහෙම වෙයි.. කියල බලන්න

      Delete
    2. දිනේෂ් උඹ කියහං. මොකද ඌට සිංහල පුළුවන් එකක්යැ.. හැක්..

      Delete
    3. මම උගේ කෙල්ලො ගැනයි හැම දේම ලියලා කියලා දැන ගත්තම තමයි මට වැඩේ සෙට් වෙන්නේ.. ;-)

      Delete
  10. හැබැයි මම දැන් යන ඕනෙම ඉන්ටර්විව් එකකදී මගේ ඇත්ත විදිය කෙලින් කියනව. ඒ කියන්නේ බැරි නම් බෑ. මතක නැත්නම් මතක නෑ. ඒ කියන්නේ ගහගන්න වගේ නෙවෙයි. උඹල ගන්න හදන්නේ මෙන්න මේ වගේ එකෙක් කියන එක කලින් ම කියනවා.
    නියමයි මමත් අත්හදා බලන්න ඕනි .

    ReplyDelete
    Replies
    1. මෙහෙම එකක් තියෙනවා. සමහර වෙලාවලදී අපි 100% ඇත්ත කියන්න ගියාම කොම්පැනිය අපෙන් වාසි ගන්නවා.

      උදාහරනෙකට අපි දැන් වැඩ කරන තැන පට්ට චාටර් වෙලා අපිට රස්සාව කෙල වෙලා වගේ ඉන්න වෙලාවක අපි ගිහින් කිව්වොත් මේකයි මට දැන් ජොබ් එක නැති වෙන්න යන්නේ මට මේ ජොබ් එක කොහොම හරි ඕනේ කියල.. ඉනටර්විව් කරන ගොඩක් ය බලන්නේ ඔයාව අඩු ගානකට ගන්න . ඔයාට අනුකම්පා කරලා වැඩි පඩියක් දෙන්නේ නෑ එහෙම වෙලාවට. මොකද ඔයා කියන ගානට එනවා කියල එයාල දන්නවා.

      ඉතින් ඒ වගේ වෙලාවට ඔයා දැනට වැඩ කරන ස්ථානය සැහෙන්න හොඳයි කියන දේ කිව්වට වරදක් නෑ. මොකද මොන මොන අවුල් තිබුනත් එතන හොඳ තැනක් නිසා නේ ඔයා මෙච්චර කල් වැඩ කලේ..


      Delete
  11. මාත් හිතන දෙයක් තමයි ඉන්ටවීව් එකකදි ඇත්ත කියන්න ඕන කියන එක. හැබැයි අර අනාගතේ මොකද්ද කරන්නෙ වගේ ගොං ප්‍රශ්න ඇහිල්ල අපේකෂකයන් බොරු කාරයන් කරනව. මම අහල තියන විදිට ලංකාවෙ තියන (ප්‍රයිවට් සෙක්ටර් එකේ) බොහොමයක් ඉන්ටර්වීව් විකෘතීන්.

    ඔය මැලේ කතාව ගැනත් උඹ ඇත්ත කිව්ව නං හොඳයි කියල හිතෙන්නෙ නැද්ද? මට හිතෙනව අර නෝනට ඒ ගැන කිව්ව නං එයා ඒක තේරුම්ගන්න ඉඩ තිබුන කියල.

    ReplyDelete
    Replies
    1. මාත් දානව මගේ බ්ලොග සීවී එකක!

      Delete
    2. ප්‍රයිවට් සෙක්ටර් ඉන්ටර්විව් හැදිලා තියෙන්නේ බන් බිස්නස් එකේ වුවමනාවට. සේවයක් විදියට නෙවෙයි. එකේදී ඉතින් විවධ ඇජෙන්ඩාස් වලට අනුව තමයි වැඩ කෙරෙන්නේ. ඉන්ටර්විව් කරන්න ඉන්න පුද්ගලයා කොච්චර යහපත් උනත් සමහර විට හොඳ කෙනෙක් ව අගන්න බෑ රික්වයර්මන්ට් එක නිසා.

      මැලේ කතාව මට කියන්න හිතුනා. හැබැයි මම ඒ වෙලාවේ කිව්වේ නැත්තේ මම හරි තීරණයක් අරන් තිබුනේ නැති නිසා. ඒ කියන්නේ මැලේසියාව සෙට් උනත් යනවද කියන තීරණේ වත් අරන් තිබුනේ නෑ.. වයිෆ්ටත් ඔක්කොම හරි ගියොත් එන්න හිටපු නිසා ඒක කෙල වීමේ චාන්ස් එකක් ඒ වෙනකොට තිබුනා. ඉතින් මොකට අහක යන රිස්ක් එකක් ගන්නවද කියල මම කිව්වේ නෑ..

      කිව්වනම් තේරුම් ගන්න ඉඩ තියෙනවා කියල මටත් හිතෙනවා. මම ආයේ ලංකාවට ගිහින් cv එක දාපු දාක සමහරවිට තේරුම් අරන් සමාවක් දෙයි.. හෙහ් හෙහ්

      Delete
  12. මරු නේ.. හැබැයි මම නං කෝටියක් දෙනවා කිව්වත් පොරොන්දුවක් කඩන්නෑ..

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය පොඩි පොඩි ඒවා කඩල දානවා බන්.. හෙහ් හෙහ්.. ඒ කියන්නේ උදේ 9ට වැඩට එන්න පොරොන්දු වෙලා ජොබ් එක අරන් 10ට විතර එන ඒවා එහෙම.. හෙහ් හෙහ්

      අපි දෙන ඔක්කොම පොරොන්දු රකින්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ...

      වයිෆ්ට දෙන පොරොන්දු නම් කඩන්නේ ටිකක් පරිස්සමින්... මොකද ප්‍රතිඵල එවෙලේම ලැබෙනවා නේ.. :D

      Delete
  13. සමහර ඉන්ටිවිව් වලදි අහනනේ
    ඔයාට රොකට් හදන්න පුලුවන්ද?
    හදෙන් පස් ගෙන්න පුුවන්ද?
    ඉරේ උෂ්නත්වයන් ඉටිපන්දමක් පත්තු කරගෙන එන්න පුලුවන්ද?
    නාසා ආයතනයටවත් ඒච්චර ප්‍රශ්න අහන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටොම ඔව් කියන්නයි තියෙන්නේ.. අර අන්දරේ කළා වගේ ගල උස්සල කරෙන් තියෙන්න මම ගෙනිහින් දෙන්නම් වගේ උත්තර තමයි ඉතින් ඒ වගේ වෙලාවට දෙන්න වෙන්නේ.. හෙහ් හෙහ්

      Delete
  14. බ්ලොග් එකේ ලින්ක් එකක් CV එකේ දාන්න... යකෝ CV කිව්වම මං මේ කල්පනා කලේ... ඉස්සර ඉතිං අපි ඔය මොනවට හරි පොඩි පොඩි ඇප්ලිකේෂන් පිරෙව්වට මොකද මං ජොබ් ඇප්ලිකේෂන් එකක්වත් දාලා නැහැ අවුරුදු පහළවකින් මෙහා... ඔය දැන් තියෙන CV මොඩ්ල් එකේ පට්ටන්දරයක් මං මගේ ජිවිතේටම හදලා නැහැ කියහංකෝ... ඉතිං මොකේද බ්ලොග් එකේ ලින්ක් එකක් දාන්නේ..? :D

    (මගේ එකනං දානවට වඩා හොදා නොදානවා.. නැත්තං ඉතිං කොහේ හරි ඉන්න හූඇන්පී කාරයෙක් ගාවට ඉන්ටවීව් එකකට ගිහින් ඉන්න වෙලාවක ඕක ඇදුනොත් මං හැරෙන තැපෑලෙන් ගෙදර.. :D :D :D )

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් උඹට නම් ඉන්ටර්විව් එක රස්සාවට අදාලව තියෙන එකක් නෑ... නිකමට වගේ ඔය cv එකක් හදල දාල බලපන්. හොඳ ආතල් එකක් තියෙයි බ්ලොග් එක බලන එකෙක් සෙට් වුනොත්..

      ඔය CV මොඩ්ල් එකේ ඇති දෙයක් නෑ බන්. අර අපි කලින් අපි හදපු බයෝ ඩේටා එකම උඩයට මාරු කරලා වචන ටික පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ.

      මමත් ඔය ඉස්කෝලේ කාලේදී වැස්සකට වත් පිට්ටනියකට බැහැපු නැති එකෙක් නිසා අමතර සුදුසුකම් කියල දාන්න එකක් නැතුව ඔය බ්ලොග් එක දාල තියෙන්නේ.. හෙහ් හෙහ්

      Delete
  15. මේකනම් පට්ට ඉන්ටෙරෙස්ටින් කතාවක්. ස්තුතියි බෙදාගත්තට.

    ReplyDelete
  16. කාලෙකින් මේම අත්දැකීමක් කියෙව්වේ. මාත් ඔය වගේ රිලැක්ස් එකේ ෆේස් කලා හම්බන්තොට තිබිච්ච ඉන්ටවිව් එකකට. අන්තිමට සිලෙක්ට් වෙලා ගියේ නෑ ස්ටඩීස් කෙලවගන්න ඕන්නැති නිසා. අනික හම්බන්තොට යනව එනව කියන එකත් සෙල්ලංයැ බෝඩ් උනත් වතුර ප්‍රශ්න ඒකාලේ

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් අපි ඔක්කොටම හම්බන්තොට යන්න වෙයි ද දන්නේ නෑ වැඩ කරන්න.. හෙහ් හෙහ් ඉන්ටර්විව් නම් රිලැක්ස් එකේ කරන තරමට ගොඩ දන්නා ලේසියි.

      Delete
  17. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
    Replies
    1. හරි දැන්වීමට බොහොම ස්තුතියි.

      Delete
  18. නියම වැඩේ සහෝ... කොහොම උනත් සිරා තත්ත්වේ කෙලින්ම කියන එක හොදයි කියලා මටත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්විව් විතරක් නෙවෙයි මචං ජිවිතේ ඕනෙම දෙකදී අපේ ඇත්ත ස්භාවය කිව්වම නැත්නම් ඇත්ත ස්භාවයෙන් ජිවත් වුනාම අපිට හොඳම දේ සිද්ද වෙනවා. :)

      Delete
  19. වටිනා අත්දැකීම් ගොනුවක් බෙදා හැරෙන වටිනා වැඩක්

    ReplyDelete
  20. මම හිතන්නේ මේ CEO එක්ක තියෙන ඉන්ටවීව් සාමාන්‍යෙන් ගොඩක් කම්පැණි වල කැන්ඩිඩේට්ව හයර් කරනවා කියලා උන් තීරණය කලාට පස්සේ ෆෝමැලටීස් වලට තියෙන ඉන්ටවීව් එකක් නේද...?

    එතනදී CEO උබේ පැකේජ් එක අඩුකල නිසා අවශ්‍යනම් උඹට මැලේෂියන් එක ෆයිනලයිස් වෙනකල් බෝලේ උබේ පැත්තේ තියාගෙන කල් ගන්නත් තිබුනා නේද...? මට හිතෙන හැටියට උඹ පස්සේ ඔෆර් එක රිජෙක්ට් කලාට වැඩිය අවුල උඹ එතනදී CEO පැකේජ් එක අඩුකලාමත් ඒක ඇක්සෙප්ට් කරපු එක...

    අර ඉන්ටවීව් එකේදී ඇත්ත බොරු කියන සීන් එක ගැන කතාකලොත්...දැන් ගොඩක් ආයතන සාම්ප්‍රදායික ඉන්ටවිව් වලින් වෙනස් දේ කරනවා නේද..? ඒ නිසා කොහොමත් කලින් ලෑස්තිවෙලා ආපු බොරු කියන්න අමාරුයි නේද..?මේ වීඩියෝව ගොඩක් අය දැකලාත් ඇති... :)

    ReplyDelete
    Replies
    1. ඔව් බිට්ල් මේ ඉන්ටර්විව් එක ඒ වගේ එකක් තමයි. ඉන්ටර්විව් එකක් කිව්වට ඒක පොඩි කතා බහක් . ඒ කියන්නේ එයාලට ඕනේ කරන ඔක්කොම ටික හරි ගියාට පස්සේ පොඩ්ඩක් තව ආකල්ප නැත්නම් මොනවගේ පොරක් ද කියන එක දැනගෙන ෆයිනල් අපෘවල් එක දෙන්න තමයි ඒ වගේ කතා බහකට එන්න කියන්නේ..

      පැකේජ් එක ගැන කියනවනම් එක මගේ ඒ වෙනකොට තිබුන සැලරි එකට වැඩිය 75% වැඩි වීමක්. සාමාන්යෙන් ජොබ් එකක් මාරු කරනකොට අපිට ලැබෙන්නේ 15% - 25% ක වැඩිවීමක්. ඉතින් එහෙම බැලුවම මට ඒ දුන්න ගැන කිසිම අවුලක් නෑ.. මොකද මම ඉල්ලුවේ මගේ පඩියට වගේ දෙගුණයකට ටිකක් වැඩියෙන්.. කවදාවත් නොලැබෙන ගානක් ඉල්ලලා අර වගේ වැඩිවීමක් එක්ක ඔෆර් එක දුන්නම මට පාඩුයි කියල හිතුනේ නෑ.. හෙහ් හෙහ්

      මේ වීඩියෝ එක මම කලින් දැකල නෑ.. හෙහ් හෙහ් ලංකාවේ නම් තාම මේ ලෙවල් එකට ටෙස්ට් කරන්නේ නෑ වගේ නේද..

      හැබැයි ඔය මම ගිය මැලේසියන් ඉන්ටර්විව් එකේදී ඒ ආපු කෙනෙක් ෆුල් නෝමල් විදියට කතා කරන අතරේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ප්‍රශ්න ඇහුවා. මමත් යකා වගේ කෙලින් බලාගෙනම උත්තර දුන්න. හෙහ් හෙහ් බොරු කියනවද කියන එක සරලව ටෙස්ට් කළා

      Delete
  21. මගේ සිරිතක් තියනවා CV එකේ හැම රෙද්දක්ම වැදගත් වෙයි කියලා හිතෙන විදියට දාන එක. ඒකත් ඔයා කිව්වා වගේම වාසි වගේම අවාසි සහගත දේවල් සිද්ධ වෙන වැඩක්..ඒත් බ්ලොග් කියන එක දැන් බොහොම ප්‍රචලිත නිසා වටිනවා එහෙම දාන එක

    ReplyDelete
    Replies
    1. මමත් කරල තියෙන පොඩි පොඩි දේවල් cv එකට දානවා. මොකද පොඩි කාලේ ඉඳන් ඔය එක එක දේවල් කරන්නේ කවද හරි ඕනේ වෙයි කියලනේ.. හෙහ් හෙහ්.. ඉතින් ඕනේ වෙන්නේ cv එක හදන්න තමයි.

      බ්ලොග් එකක් කියන්නේ ඉතින් සැහෙන වැදගත් දෙයක් එක අතකින් බැලුවම.

      Delete
  22. මම මේ කල්පනා කොලේ කොහොමට හිටීවිද කියලා මගේ බ්ලොගේ ලින්ක් එක දන්මොත් මගේ CV එකට කියලා.....

    ඉන්ටෙර්විව් යන එකත් හරිම ආතල් වැඩක් එක පැත්තකින් බලන කොට..... මැලේසියාවේ ස්ටයිල් එක දන ගත්තට පස්සේ නිතර නිතර CV එකක් කාටහරි දාලා (ගොඩක් වෙලාවට online) පොඩි ඉන්ටව් එකකට සෙට්වෙන එක මගෙත් කාලයක් විනෝදාංශයක් වෙලා තිබ්බේ ...
    එකදවසක් එකෙක් මගෙන් අහපි මාසයක් විතර අරන් කරන්න ඕනා Project එකක් ඒගොල්ලන්ගේ ලොකුම හදිසි අවශ්‍යතාවයක් නිසා මට දුන්නොත් සති දෙකෙන් ඉවර කරන විදියක් ගැන ප්රෝපොසල් එකක් දෙන්න කියලා ....
    මම ටිකක් වෙලා සද්ද නැතුව හිටියා.......
    අයි මොකද කතා නැත්තේ ...
    මම කිව්වා මට හිතා ගන්න බෑ ඔය වගේ ගොන් ප්‍රශ්නයක් ඔයා වගේ කෙනෙක් අහයි කියලා වගේ උත්තරයක් දුන්න
    ඊට පස්සේ එයා කියපු දේවල් අහලා මම මගේ විනොදාන්ශේ අතාරියා

    ReplyDelete
    Replies
    1. දාපන් දාපන්.. වැඩිම උනොත් උඹව රහස් පොලිසියෙන් අල්ලන් යයි.. ඔය ලියල තියෙන උන් ගැන වැඩි විස්තර දැන ගන්න.. හෙහ් හෙහ්

      අපිත් දැන් එහෙම පොඩි පොඩි ඉන්ටර්විව් වලට යන්න හිතන්න ඕනේ. මැලේසියාවේ චීන්නු මොන මොනවා අහයි ද දන්නේ නෑනේ..

      ලංකාවේ නම් අනේ ඒක දන්නේ නෑ බන් කියන්න හරි පුළුවන් සිංහලෙන් බැරිම උනොත්..

      Delete
  23. දෙපාරක් බැලුව මේ පෝස්ට් එක පරණ හ්න්දි පිචැර් එකක් වගේ රසවත් නිසා!

    පැතුම, පරණම සිංහල බ්ලොග් ලියන්නෙක් වෙච්චි උඹෙ හිට්ස් ගාන කීයද බං ( මොකද ඕක ගැන මේ දවස්වල හුඟක් අය ඇඩ් දාලනෙ )

    ReplyDelete
    Replies
    1. all time history එකටම 76,886 යි ඉන්දික අයියා... අපි බොහොම අසරණ දුප්පත් බ්ලොග් ලියන්නෝ. මේ රාජපක්ෂ රෙජීමය තියෙන කම් මේ ආර්තිකෙත් එක්ක අපිට ඔලුව උස්සන්න හම්බවෙන්නේ නෑ... අම්මට සිරි ලංකාවේ ඉන්න අසරණ බ්ලොග් කරුවන්ගේ ජාතික සංවිධානය කියල එකක් වත් හදාගෙන බලන්න ඕනේ...යමක් කරන්න

      Delete
    2. අසරණ "කම්මැලි" ....... කියලා කෑල්ලකුත් එන්න ඕනා.. වැඩේ පටන් ගත්තොත් මටත් කියහන්.. මාත් ඉන්නෙ ඔය සංගමේ සාමාජිකත්වය ලබන්න අවැසි සියලු සුදුසුකම් සපුරලා.. හොඳේ .

      Delete
  24. මේකට ඊයේ දාපු කමෙන්ට් එකට යකා ගැහුවා. ඊයේ දැම්මේ මොනවද කියලාවත් මට මතක නෑ. පැතුම් ලොකු කන්ෆිඩන්ස් එකකින් මුහුණ දීපු බව පේනවා. එහෙම නැති වුණා නම් එයාල එක්ක ඒ ගානට කථා කරන්න බෑ. දැන් නම් බොහෝ දෙනෙකුගේ සී.වී. එක තියෙන්නේ ලින්ක්ඩ් ඉන් වලනේ. එතකොට ලේසියි. ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්. හැබැයි අවාසිත් තියෙනවා. මම නම් ගොඩක් විස්තර එතන දාලා නෑ.

    ReplyDelete
    Replies
    1. සුදික අයියගෙන් වෙන කොමෙන්ට් එකක් ඇවිල්ල තිබුනේ නෑ..

      මුල්ම කාලේ ඕනේ දෙකට හා කියල ජොබ් එක ගත්තට පස්සේ එහෙම කරන එකෙන් අපිට පාඩුයි. හෙහ් හෙහ්

      ලින්ක්ඩ් ඉන් එකේ දාල තියෙනවා ටිකක්. ඒක අප්ඩේට් කරන්න කම්මැලියි. කොහොමත් හැමදේම ඔන්ලයින් තියෙන එක එච්චර හොඳ නෑ..

      කවුරු බලනවද කියල දන්නේ නෑනේ..

      Delete
  25. අපූරුයි පැතුම්! හැකියාවක් තියේ නම් මේ කතාව LinkedIn එකෙත් ලියන්න. ගත හැකි ආදර්ශ බොහෝමයි (එකක් හැර).

    ReplyDelete
    Replies
    1. වැරදි ආදර්ශේ කොම්පැනි වලට පොලු තියෙන ඒකද? හෙහ් හෙහ්..

      Delete
  26. මම ජීවිත කාලෙටම කියවපු හොඳම ලිපි වලින් එකක්......... (y)

    ReplyDelete
  27. ඔන්න එහෙනම් මාත් ලින්ක් එක cv එකට දැන්මා...එකකට ට්‍රය් එකක් දල බලනවා ගුටි කන්න හරි..මගේ එකේ තියෙන්නේ කුපාඩි වැඩ විතරම නෙහ්..

    ලිවිල්ල නම් පට්ට රසයි සහෝ

    ReplyDelete
    Replies
    1. සමහර විට කුපාඩි රසයට කැමති කෙනෙක් ඉන්ටර්විව් එකේ හිටියොත් ගොඩ යන්නත් ඉඩ තියෙනවා නැද්ද?
      :D

      Delete
  28. උඹ විශ්වාස කරපං පැතුම් මගේ ජොබ් ඉන්ටර්විව් එකේදිත් බ්ලොග් කියන දේ මට සෑහෙන්න වැදගත් උනා....මගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව මනින්න මට කැමති මාතෘකාවක් යටතේ විනාඩි 10 ක් ලියන්න කියලා කොලයක් දුන්නා....පාසල් ගිය කාලෙ රචනාවක් ලියනවා වගේ වැඩක්...මම බ්ලොග් වල උපත,විකාශනය ආදිය ඇතුලත් කරලා බ්ලොග් ගැන තමයි ඒ ලියවිල්ල ලිව්වෙ. මට ඒ අතීතය මතක් උනා උඹේ මේ ලිපියෙන්...

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ජීවමාන උදාහරණ.. ඒ අතින් බැලුවහම අපි බ්ලොග් වලට සලකනවා මදි නේද..

      Delete
  29. ෂහ් හරි අපූරූ ලිපියක්.....

    මටත් දවසක් ඔය අදහස ආවා... ඒත් වැඩේ කෙරුන්නෑ... ඊළඟ පාර ජොබ් හන්ටින් යද්දි දාන්න ඕනා... ඒත් ... ?

    ඕක මිනිහෙකුට මුහුණ දෙන්න වෙන්න හරිම අමාරු අවස්තාවක් බන්.. අවධානමක් ගන්නම වෙනවා ඔය තීරණේදි... ලොක්කිට මළ පැනපු එකටනම් කරන්න දෙයක් නෑ.. මොන මගුලටද එයා කලින්ම ඇඩ් දාන්න ගියේ.. ජොබ් එකට එන්නත් කලින්... අනිත් එක ඔෆර් ලෙටර් එක ගත්තු පලියට රස්සාවට යනවමයි කියලා නියමයක් නෑනෙ...

    ReplyDelete
  30. බ්ලොග් වල පරනම කෙනා ඔයාද මන්දා ?මං දැකලා තියන අයගෙන් නම් එහෙමයි. ඒක දැකලා මට හෙන සතුටු හිතුනා ...තව දිගු කාලයක් බ්ලොග් ලියන්න ලැබේවා !

    ඔයා ගොඩක් සහැල්ලුවෙන් ඉන්ටර්වීව් එකට මුණ දීලා ...මරු .මට නම් ඉතිං මේකේ චාටර් සීන් එකක් පේන්නේ නෑ .මට හිතෙන්නේ කල යුතු දේ තමයි කරලා තියෙන්නේ කියලා ...ලිපිය හරිම රසවත්...

    ReplyDelete