Friday, January 31, 2014

නිර්මාණාත්මක චින්තනයක් උදෙසා (විද්‍යා) ප්‍රබන්ධ...

විද්‍යා ප්‍රබන්ධ කියවන්න , බලන්න , හීන දකින්න ආස නිසා ලියන සටහනකි. 

එක එක අය රසවිඳින දේ වෙනස්.. ඒ රස විඳින දේ නිසා ලබන තෘප්තියත් වෙනස්... ඒ දේවල් අනිත් අය සමග බෙදා හදාගන්න නිසා අපි අතර හුවමාරු වන දැනුමත් වෙනස්..  සමහර දේවල් ප්‍රයෝජනවත් සමහර දේවල් නිකන් හුදු ආශ්වාදයක් විතරයි.. 

විද්‍යා ප්‍රබන්ධ වල තියෙන්නේ මොනවාද? තනිකර බොරු... මනස්ගාත... විකාර... ඔය එක නිර්වචනයක්.
වර්තමාන සමාජයේ සිදුවන තාක්ෂණික හෝ සමාජීය ක්‍රියාකාරකම් නිසා  අනාගතයේ සිදුවිය හැකි දේ පිළිබඳව සිදුකරන සුභවාදී හරි අසුභවාදී හරි පරිකල්පනයක්.. ඒ තව නිර්වචනයක්..
එහෙම නැත්නම් යම් දෙයක් මෙසේ සිදු නොවී වෙනස් විදියකට සිදු වුවා නම් කුමක් වේද යන්න පරිකල්පනය කර ලියන යම්කිසි ප්‍රබන්දයක් විදියටත් නිර්වචනයක් දෙන්න පුළුවන්... 

සරල උදාහරණයක් විදියට මම මිට අවුරදු 10කට විතර කලින් පරිගණක සඟරාවට එකක් ලිව්වා  සත්තු වෙනුවට ගස් මාරු උනොත් කොහොමට තියෙයි ද කියල.. 

(පොර ටෝක් එකක් : ඒ කතාව පරිගණක සඟරාවේ තිබ්බ විද්‍යා ප්‍රබන්ධ තරගෙකින් දිනලා මට පරිගණක සඟරාවට ලියන්න එන්න කියල ආරාධනාවක් ලැබුණ.. මම ඉතින් කෘතීම බුද්ධිය ගැන පොඩි ලිපයක් ලියාගෙන කර්තෘ තුමා හම්බවෙන්න ගියා. මට ඔය දවස් වල ඔය සබ්ජෙක්ට් එක ගැන හෙන උණ.  කොටින්ම ඕක මම ඉගෙන ගත්ත මගේ ඩිගිරි කටුවට .. හැබැයි ලකුණු අහන්න එපා.. :D

කර්තෘ තුමා ඒක බලල කිව්වා මේ වගේ දේවල් ලියල වැඩක් නෑ.. ඔයා කෘතීම බුද්ධිය ගැන ඒවා පිළිබඳ විසේසන්නයෝ ලියපු ලිපි වාර්තා විදියට ලියන්න කියල...  මට ඒ වැඩේ හිතට හරි  ගියේ නෑ.. මම පරිගණක සඟරාවට ලියන වැඩේ එතැනින්ම අල්ලලා දැම්ම.. )


ගොඩක් වෙලාවට අපිට කියවන්න ලැබෙන්නේ තාක්ෂණික කරුණු මත පදනම් වෙච්ච විද්‍යා ප්‍රබන්ධ නමුත් මට හිතෙන විදියට විද්‍යාව කියන්නේ තාක්ෂනයම නොවන නිසා හැම විද්‍යා ප්‍රබන්දයක් ම ඒ විදියට ලඝු කොට සළකන එක සුදුසු නෑ. උදාහරණයක් විදියට අනාගත ලෝකයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොනවිදියට තියෙයි ද කියන දේ කවුරු හරි පරිකල්පනය කරලා ලියන ප්‍රබන්දයක් ඇතුලේ කිසිම තාක්ෂණික දෙයක් අඩංගු නොවිය හැකියි... 

මම පහුගිය මාසයක් විතර තිස්සේ කරපු දෙයක් තමයි ලෝකයේ මහත් ජනාදරය පත්වෙච්ච ලෝකප්‍රකට Star Wars සහ Star Trek සම්පුර්ණ චිත්‍රපටි ටික බලපු එක.. ඒ කියන්නේ Star Wars එකේ ෆිල්ම්ස් 6යි Star Trek  එකේ ෆිල්ම්ස් 12යි. ඔක්කොම ෆිල්ම් 18යි... (සිං සිං ගාල ඕනේ ෆිල්ම් එකක් බාන්න පුළුවන් කනෙක්ෂන් එකක් තිබීමේ වාසි තමයි ඉතින්)

සැරෙන් සැරේ එහෙන් මෙහෙන් මේවා සමහරක් කලින් බලල තිබ්බට ඔක්කොම පිළිවෙලකට බැලුවට පස්සේ තමයි ඒ කතා නියම විදියට තේරුම් යන්නේ.. 

මේ ෆිල්ම්ස් සීරිස් හදන්න පටන් අරන් තියෙන්නේ 1960-1970 දශක වල.. ඒ කියන්නේ මේ අපි අද දකින තාක්ෂණයේ ළදරු අවදියේදී ..  ඔය ෆිල්ම්ස් ඒ කාලේ කොහොමද හැදුවේ කියල මම වෙනම පෝස්ට් එකක් දාන්නම්.. 

ඔය ෆිල්ම් සීරිස් නිර්මාණය කරපු මිනිසුන්ගේ පරිකල්පන ශක්තිය නිසා අද අපිට ලැබිල තියෙන දේ ගැන හිතා ගන්න හොඳම උදාහරණයක් තමයි මේ තියෙන්නේ

මේ තියෙන්නේ කතාවේ තිබ්බ ගැජට් එක.. ඒ කාලේ මේක තනි බොරුවක් ...

Father of the handheld
The first handheld mobile phone was demonstrated by Dr. Martin Cooper (Born 1928) of Motorola in 1973, using a handset weighing 4.4 lbs. Cooper, then general manager of Motorola’s Communications Systems Division carried the hefty cell phone through New York City and placed a call to his rival, Joel Engels at Bell Labs via a connection to Engels’ land line. Dr. Cooper later revealed that watching Captain Kirk talking into his communicator on the tv show Star Trek inspired him to research the mobile phone.


මේ ඉන්නේ අපි අද ලෝකෙම හොල්ලන්න පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ නිර්මාතෘ 
Dr. Martin Cooper.  මෙතුමා පසුකලෙක සඳහන් කරලා තියෙනව ඔය ස්ටාර් ට්‍රෙක් කතා මාලාවේ බාවිතා කරපු පොඩි තාක්ෂණික ගැජට් එකක සංකල්පයක් එයාව මොබයිල් ෆෝන් එකක් කියන දේ ගැන පරීක්ෂණ කරන්න යොමු කළා කියල.... කොහොමද ඒ පුංචි සිතිවිල්ල අද මුළු ලෝකයක්ම වෙනස් කරගෙන යන හැටි... 

මේ එක එහෙම පිස්සු විකාර සංකල්පයක් යතාර්ථයක් වෙලා ලෝකය වෙනස් කරපු එක උදාහරණයක් විතරයි. තව සංකල්ප දහස් ගානක් තියෙනවා අපිට තාම හිතාගන්නවත් බැරි උදාහරණ විදියට ට්‍රාන්ස්පොටර් කියන සංකල්පය  ඒ කියන්නේ යම් කිසි වස්තුවක් හෝ මිනිසෙක් (සතෙක් හෝ ඕනෙම දෙයක්)  එක තැනක ඉඳන් තව තැනකට ක්ෂණිකව ගෙන යන්න පුළුවන් විදියක්.

මේක කරන විදිය වෙන්නේ අපි තවම නොදත් තාක්ෂණයක් භාවිතා කරලා අවශ්‍ය වස්තුව හෝ ජීවියා සම්පුර්ණයෙන්ම de-materialize කරලා  (ඒ කියන්නේ ඩිමැටීරියලයිස් කරලා ... පැහැදිලියි නේ.. තව පැහැදිලි කලොත් ඒ කියන්නේ  මැටීරියලයිස් කියන වැඩේ අනිත් පැත්තට කරලා... තවත් සරල කලොත් මැටීරියලයිස් කියන වචනේ ඉස්සරහට ඩි අකුරක් දාල  )අවශ්‍ය තැන නැවත ප්‍රතිනිර්මාණය කිරීම වගේ දෙයක්...

ඊළඟට ඔය විද්‍යාව යන්තම් හරි උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත අය දන්න ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ කියන සංකල්පය. මේ විද්‍යා ප්‍රබන්ධ රචකයෝ ඔය සීමාවල් කඩාගෙන ගිහින් අපුරු දේවල් විශ්වයේ කරන්න පුළුවන් කියන හැඟීම අපිට දීල තියෙනවා. ස්ටාර් ට්‍රෙක් එක ෆිල්ම් එකක තියෙනව අනාගතයේ දවසක අපි මුලින්ම ආලෝකයේ වේගය ඉක්මවා ගිය මොහොතේ තමයි අපි කියල සත්තු ජාතියක් මේ විශ්වයේ ඉන්නවා කියල අනිත් බුද්ධිමත් ජීවින් දැන ගන්නේ කියල.. රේඩියෝ සිග්නලුත් සිග්නල් ද අනේ...

(ආලෝකයේ වේගය ඉක්මවන්න බෑ. නිකන් බොරු ටෝක්ස් දෙන්න එපා E=mc2 සමීකරණය අනුව ඕව වෙන්න බෑ.  මල විකාර... කියල හතර වරිගෙටම පලුයන්න බැනපු මිනිස්සුත් ඒකාලේ ඉන්න ඇති.. මේ කාලේ වගේම  )

අපි ඔක්කොමල දන්නවා පුංචි සිතිවිලි වලින් තමයි මුළු ලෝකයම වෙනස් වෙන්නේ කියන දේ. හැබැයි එවැනි නිර්මාණාත්මක සිතුවිලි කෙනෙකුට ඇති වෙන්නේ අපි අපේ අවදානය මොන මොන දේවල් වලට යෙදෙව්වමද? 

නිර්මාණාත්මක සිතුවිලි එන්න විද්‍යා ප්‍රබන්ධම බලන්න ඕනේ නෑ... මම කියන්නේ අද අපි මේ දකින ලෝකේ ගොඩ නගන්න මේ විද්‍යා ප්‍රබන්ධ කරුවන් දක්වපු  මෙහෙය අතිවිශාලයි කියන එක..

සාහිත්‍යය,කලාව,දර්ශණය  ආදී හැම විෂයක්  තුලම මේ නිර්මාණාත්මක චින්තනය තියෙනවා හැබයි ගොඩක් වෙලාවට සමස්ත මිනිසාගේ දියුණුව වෙනුවෙන් කරපු බොහෝ දේවල් වලට මුලික වෙලා තියෙන්නේ මේ විද්‍යාත්මක පරිකල්පනය කියලයි මට හිතෙන්නේ...

අපි ලොකුවට කතා කරන අපේ රටට, අපේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර දක්ෂ අය හිටියත් ඒ මිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නෑ.. කැපිලිමයි තියෙන්නේ... දේශපාලනේට ඔක්කොම යටයි වගේ දේවල්... මේ බ්ලොග් අවකාශේ ඕනේ තරම් ඕව කතා වෙලා තියෙනවා..  හැබැයි මම හිතන්නේ නෑ මේ ලෝකේ අලුත් සංකල්ප නිර්මාණය කරපු හැමෝටම අත දෙන්න කවුරු හරි හිටිය කියන එක. ඔය හැමෝම ඒවා කරන්නේ දහසක් බාධක මැද්දේ තමයි... හැබැයි  කවුරු හරි එහෙම  දෙයක් කළාම ඒ මනුස්සයට කෙළවන ගතිය නම් සමහරවිට අපිට විතරක් තියෙන උසස් ගතියක් වෙන්න පුළුවන් ... හැබැයි එහෙව් රටෙත් මේ වගේ දේවල් කරලා ඉහලට ගිය අය ඕනේ තරම් ඉන්නවා බහුතරයක් නෑ බෑ කිය කිය හතර වටේට බැන බැන හිටියට..

මේ පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ නැගල ගිය වලි දෙකක් (සයිලන්ට් සහන්ගේ කේස් එක සහ න්‍යෂ්ටික ඉංජිනේරු රස්තියාදුකාරයාගේ එක ) කියවද්දී මට හිතුනේ කවදාහරි පොඩි එකෙකුට  කියවල  ටිකක් අමුතු විදියට හිතන්න ඉඩ ලබා දුන්න නිර්මාණශීලි දේවල් තිබ්බ (ඒවායේ  යම් යම් අඩුපාඩු සාධාරණිකරණය කරනවා නෙවෙයි ) බ්ලොග් අඩවි දෙකකට අපේ සම්ප්‍රදායික හුදී ජනතාව විසින් හරි වැරදි කියල දෙනවා නේද කියල... අන්තිමට ඉතින්  හරි දේ විතරක් කරන සර්ව සම්පුර්ණ බ්ලොග් කලාවක් උදෙසා බැති සිතින් කරපු පින්කමක් කියල කට්ටිය සැනසිල්ලේ හිත හදාගමු.. හෙහ් හෙහ් හෙහ් ..

මේ විද්‍යා ප්‍රබන්ධ අස්සට මම ඕක ඇදල ගන්න එක හේතුවක් තමයි අපි පිළිගන්න  අධ්‍යාපනික සුදුසුකම් තියෙන ඒ ඒ අදාළ  අංශවල රැකියාවල් කරන,  උගත් වැදගත් මහත්තුරු නෙවෙයි ගොඩක් වෙලාවට මේ නව සංකල්ප ලෝකෙට දෙන්නේ.. එහෙම මිනිස්සු කරන්නේ තමන්ගේ වැඩේ කරලා කියක් හරි හොයාගෙන සැපට කාල බීල ඉන්න එක..

ඉහත බ්ලොග් දෙකම ලිව්වේ කව්ද කින්ද මන්ද මම කිසි දෙයක් දන්නේ නෑ.. මේක ලියන්නේ ඒ සම්බන්දව මගේ අදහස් කියන්න නෙවෙයි.. රස්තියාදුකාර න්‍යෂ්ටික ඉන්ජිනේරුවාගේ කොලිෆිකේෂන් අහල ඕනනම් දැනුම චෙක් කරලා බලන්නත් ලැස්ති වෙලා හිටපු අය හිටිය කියල මම සමහර කොමෙන්ට් වල දැක්ක.. හැබැයි ඉතින් ඌ මවපු හයිටෙක් රස්තියාදුකාර ප්‍රබන්ධය එතැනින්ම ඉවර වුණා... අනාගතේ ඕක කියවන අපේ පොඩි එකෙක් (විදුර ඒක මකල නොදැම්මොත් ) සමහරවිට කවදාහරි  අම්මටහුඩු මමත්  මේ වගේ වෙලා රස්තියාදු ගගහ  ලැප්ටොප් එකෙන් න්‍යෂ්ටික බලාගාර කොන්ට්‍රෝල් කරන ජාතියේ  පොරක් වෙනවා කියල හීනයක් දකින්න ඉඩ තියෙනවා.. ඒ හීනෙ හැබෑ කරගන්නත් ඉඩ තියෙනවා..

සහන් කියන්නේ කවුද කියන එක මම අදටත් දන්නේ නෑ.. මට එක කවදාවත් වැදගත් වෙන්නෙත් නෑ... නමුත් සහන් ලියපු දේවල් වල ලොකු දැනුමක් තිබ්බා. ඒ දැනුම 100% නිවැරදි නොවෙන්න පුළුවන් හැබැයි දැනුම හොයන කෙනෙකුට හොඳ ආරම්භයක් විදියට ගන්න බොහෝ දේ එකේ තිබ්බා.. සහන් ඒවා ලිව්වේ මෙහෙමයි.. මේකයි මෙයා මෙච්චර කල් කලේ වගේ ජාතක කතා හොයන්නේ නැතුව කෙනෙක් ඒවායින් යමක් අරගෙන මොනවහරි අලුතින් හිතන්න ඉඩ තිබුන කියල මම නම් හැමදාම විශ්වාස කරනවා..

මට හිතෙන්නේ අපි තාම දේවල් තේරුම් ගන්නේ දත්ත ලෙවල් එකෙන්  ඒ කියන්නේ 2+2=4 යි කියන මට්ටමේ ඉඳන්. කවුරුහරි එකෙක් දෙකයි දෙකයි එකට එකතු කළාම පහයි කියල කිව්ව ගමන් ඌට කෙලවන්න බලාගෙන ඉන්න මට්ටම. යම් දෙයක තියෙන සංකල්පය තේරුම් අරන් එකෙන් තව දෙයක් අලුත් විදියට හිතන්න අපි තාම පුරුදු වෙලා නෑ....සහන් සහ විදුර ලියපු දේවල් වල සංකල්ප විදියට ගන්න බොහෝ දේ තිබුනා කියල මම හිතනවා...  අර හරි වැරැද්ද පෙන්නපු ගොඩක් අය ලියන කුණුහරුප ආතල් වලට වඩා..

උඹල දෙන්නම ආයේ ලියනවට මම නම් බොහොම කැමතියි...

අපි වගේ අයට තියෙන ලොකුම සහ එකම හීනෙ තමයි සල්ලි ටිකක් හොයාගෙන ,ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඔහේ ඉන්නවා කියන එක..  ( මමත් ඇතුළුව ) ඔය හීනෙ අපිට ඉෂ්ට කරගන්න පුළුවන් විදී ගොඩක් තියෙනවා.. එකක් කොහෙන් හරි ඉගෙන ගත්ත දෙයක් රස්සාවක් විදියට ඔහේ කර කර ඉඳල මැරිලා යන එක.. අනිත් එක තමන් විසිනුත් අලුතින් මොකක් හරි කරලා එකෙන් තමනුත් හැදිලා තව මිනිස්සුන්ට හැදෙන්න මාර්ගයක් සලස්සල දීල මැරිලා යන එක...

හරි ඉතින් ඕව කරන්න විද්‍යා ප්‍රබන්ධම බලන්නම ඕනේ නෑ තමයි. හැබැයි පොඩ්ඩක් ඔය ඔළුවල පුස්කකා තියෙන යල්පැනගිය අදහස් ටිකට පොඩි ඔයිල්පාරක් දාගන්න පුළුවන් මේ වගේ කතාවක් දෙකක් බැලුවම... මොකද යටගිය දවස හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ සිද්ද වෙච්ච දේවල් වලට වඩා වෙනස් දේවල් දැන් දැන් ලෝකේ සිද්ද වෙන නිසා.. 





Saturday, January 04, 2014

වීදී චිත්‍ර - Street Arts

වීදී චිත්‍ර කියන්නේ හරි අපුරු කලාවක් ... ලෝකේ පුරා අතිශය ජනප්‍රිය මේ කලාව විවිද රටවල විවිද විදියට නිර්මාණය කරලා තියෙනවා ... බොහෝවිට පාරවල් වල ඇඳපු ත්‍රිමාණ චිත්‍ර අපි හැමෝම වගේ දැකල ඇති ඔය එක එක වෙබ් සයිට් වලින් එහෙම ... ලංකාවේ දියවන්නා උද්‍යානයේ ඒ වගේ ත්‍රිමාණ දිය ඇල්ලක් ඇඳලා තියෙනවා..  ගොඩක් අය දැකල ඇති ඒක නම්...  මේ විදී වල එක එක නිර්මාණ කරන එක මම හිතන්නේ ටිකක් පරණ  කලාවක්...විකිපීඩියා එකේ තියෙන්නේ මෙහෙම   .  මග තොටේ යන එන මිනිස්සුගේ හිතට අපුරු හැගීම් එකතු කරන්න මේ විදී නිර්මාණ උදව් වෙනවා කියල මට හිතෙනවා... 

ලංකාවේදී අපි මේ විදී කලාව බොහෝ විට දකින්නේ චන්දෙ කාලෙට තාප්ප වල තමා.. හෙහ් හෙහ් ... පහුගිය සතියේ අපි පොඩි ට්‍රිප් එකක් ගියා ... මැලේසියාවට අයිති එක දුපතක් වෙන Penang වලට... ... විදේශ ආක්‍රමණ වල ප්‍රතිඵල විදියට ලැබුණු පෞරාණික බවක් තියෙන කුඩා දුපතක්... අපේ ගාල්ල නගරය වගේ පෞරාණික අතින් ..  ඒ වගේම නුවරයි ත්‍රිකුණාමලේයි එක ළඟ තිබුනානම් තියෙන කඳුකර මුහුදුබඩ ස්වභාවයකුත් තියෙනවා 

මේ දුපතේ එක නගරයක් තියෙනවා George Town කියල..  මේ නගරය මුහුදුබඩ තියෙන මේ දුපතේ ප්‍රධානම ස්ථානයක්..  මෙහි තියෙන විශේෂත්වය තමයි තනිකරම ගාල්ල වගේ ගෘහනිර්මාණ ලක්ෂණ තියෙන.. (චයිනිස් පන්සල් අරුණු විට) පෞරාණික බව සහ නගරය පුරා තියෙන කුඩා විදී වල ඇඳලා සහ නිර්මාණය කරලා තියෙන අපුරු විදී චිත්‍ර... මේ චිත්‍රවලට ගොඩක් වෙලාවට තේමාව වෙලා තියෙන්නේ කුඩා ළමයින් සහ විනෝදකාමී ස්වරූපයකින් තියෙන කාටුන් වගේ නිර්මාන..  හැම නිර්මාණයක් වගේම කරලා තියෙන්නේ පාර අයිනේ තියෙන ගොඩනැගිලි වල බිත්ති වල.. බොහෝ විට බිත්තියේ තියෙන යම් සිදුරක්, ජනේලයක්  අදාළ කරගෙන යම්කිසි තේරුමක් එන විදියට තමයි ගොඩක් ඒවා කරලා තියෙන්නේ..

මේ තියෙන්නේ මම එහෙ මෙහෙ ඇවිදිනකොට ගත්ත පින්තුර ටිකක්.. 


 මෙම නිර්මාණ කම්බි යොදා නිර්මාණය කර ඇත..

 මේ ඔන්චිල්ලාව පදින ළමයින්ගේ ඔන්චිල්ලාව යකඩින් හදල ළමයි දෙන්නව බිත්තියේ ඇඳලා තියෙන්නේ..


 බාස්කට් එකයි කණුවයි යකඩ
ජනේලෙ ඇත්ත එකක් ෆයර් ෆයර් කියල හදල තියෙන්නේ යකඩ වලින්.... (යකඩ කිව්වට යකඩම නෙවෙයි.. කලුපාට ලෝහයක්.. :D)
 යකඩින් කරපු තවත් අපුරු කාටුන් එකක්..
 මැකී ගිය චිත්‍රයක්...
වහපු ගේට්ටුවක ඇඳලා තියෙන චිත්‍ර ටිකක්...
 පිටිපස්සේ තියෙන අමුතු පුසා තමයි චිත්‍රෙ

 තවත් යකඩ නිර්මාණයක්...

 වහලෙන් බහින මීයෙක්..


 ටකරමක ඇඳපු පුසෝ ටිකක් කුඩේ ඇත්ත එකක්

 මේක තනිකරම යකඩ වලින් හදපු කණුවක්
 ඇත්තම බයිසිකලයක්  බිත්තියට හයිකරලා ළමයි දෙන්න බිත්තියේ ඇඳලා...

 බයික් එක බිත්තියට හයිකරලා.. පොඩි එකා බයික් එක පදිනවා.. ගෑනු ළමයා එතන ඉඳන් ෆොටෝ එකක් ගන්නවා :D


 ජනේලෙන් පහලට බැහැපු කඹයක්... කඹේ කම්බි වලින් හදල තියෙන්නේ ජනේලේ ඇත්ත එකක්
 මේකත් යකඩ වලින්  කරපු මුර්තියක්
 මේකෙත් පුටුව බිත්තියට හයි කරලා බිත්තියේ තියෙන කවුළුවක් අල්ලන්න ට්‍රයි කරන විදියට තමයි ඇඳලා තියෙන්නේ
මැකීගිය චිත්‍රයක්...


මේ චිත්‍ර ගොඩක් ඒවා ඇඳලා තියෙන්නේ Ernest Zacharevic කියන ලිතුවේනියානු ජාතික චිත්‍ර ශිල්පියා... ඔහු ගැන විස්තර මෙතන තියෙනවා.  බුකියේත් ඔහු ඉන්නවා

මෙහි තියෙන තවත් අපුරූ දෙයක් තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන ගෙවල් වල හිමිකරුවන් මේවා නරඹන්න එන සංචාරකයින්ට බයිසිකල් කුලියට දෙන වැඩේ... රිංගිට් 10ක් දීල ඕනේ කෙනෙකුට බයිසිකලයක් අරන් ටවුම පුරා ඇවිදින්න පුළුවන්... 

මේ තියෙන්නේ එහෙම බයිසිකල් පදින ලස්සන සුදු නංගිලා සෙට් එකක් මගේ කැමරාවට හසු වූ හැටි...


ඕක දැකපු අපි තුන්දෙනා බයිසිකල් පැද්දේ මෙන්න මෙහෙම


අපි බයිසිකල් පැද්දේ ටිකක් රෑ වෙලා... වහල තියෙන අර ජාතියේ එකක් හොයා ගන්න බැරි වුණා...

මම කලින් කිව්වා වගේ ජෝර්ජ් ටවුම හරියටම ගාල්ල වගේ තමයි... අපේ ගාලු කොටුව ඇතුලේ තියෙන විදියේ ගෙවල් වල බිත්ති වල තමයි මේ නිර්මාණ ඔක්කොම කරලා තියෙන්නේ...  මට හිතුනා බැරි වෙලා හරි මම ගාල්ලේ කොල්ලෙක් වුණා නම් මම ගිහින් අපේ බිත්තියේ මේ වගේ එකක් අඳිනවා කියල.. මොකද මම බියගම තියෙන අපේ ගෙදරයි අපේ අක්කලාගේ ගෙදරයි බිත්තිවල ඕවගේ කුරුටු චිත්‍ර නිතර අඳිනවා.. (අක්කගේ පොඩි උන් දෙන්න දැන් ලොකු නිසා එහෙ බිත්ති කුරුටු ගෑම දැන් තහනම්.. හෙහ් හෙහ්)

ඔන්න ඉතින් ගාල්ල පැත්තේ ඉන්න චිත්‍ර කාරයින්ට කරනවා නම් වැඩක්....