Monday, December 02, 2013

වික්‍රම අයියා

මේ දවස් ටිකේ කියවපු මේ පොස්ට් නිසා මේක ලියන්න හිතුනේ..  



අපේ තාත්තගේ අක්කගේ එක පුතෙක් තමයි වික්‍රම අයියා...  වික්‍රම අයියාගේ වයස මම හරියටම දන්නේ නෑ.. දැන් අවුරුදු 60ක් විතර ඇති.. එච්චර වයස අයියල මට ඉන්න හේතුව අපේ තාත්ත තාත්තගේ පවුලේ බාලයා වීමත් මම තාත්තලාගේ පැත්තෙන් බැලුවොත් ඒ පරම් පරාවේ ඉන්න බාලම කොලුවා නිසාත්... කොහොම හරි අපේ අම්මට වඩා වයස අයියල අක්කලා මට හෙනට ඉන්නවා...

වික්‍රම අයියා කියන්නේ උපතින්ම නොවුනත් පස්සේ කාලෙක හැදිච්ච මොකක් හරි ලෙඩක් නිසා ටිකක් විශේෂ විදියට හැදිච්ච කෙනෙක්... පොඩි කාලේ හොඳට හිටපු කෙනෙක් කියල අපේ අම්ම කිව්වා මට හැබැයි දැන් කතාව එච්චර මතක නෑ... 

ඉස්සර අපි පොඩි කාලේ හපුතලේ ගියාම ඉන්නේ තාත්තගේ අක්කගේ ගෙදර තමයි.. හපුතලේ ගෙදර ගැන මම වෙනම පොස්ට් එකක් ලියන්නම්... මේක වික්‍රම අයියා ගැන ලියල... හපුතලේ යන එක තරම් ජීවතේ ආස ගමනක් මට ඉස්සර තිබුනෙත් නෑ.. දැනුත් නෑ...ඉස්සරහටත් නැති වෙයි ...ඒ තරම් මම ඒ ගමට ආසයි... මග දිගට වමනේ දදා ලංගම බස් වල පැය 5-6ක් ඉස්සර කට්ට කාගෙන යන්න වුනත් ඕනේ වෙලාවක මම රෙඩ්..

පොඩි කාලේ මම එහෙ ගියාම මට බය හිතුන එකම කෙනා තමයි වික්‍රම අයියා.. ඒ එයාගේ තිබිච්ච ඒ ගතිය නිසා.. ඒක ඔය අපි මේ කතාවට පසුබිම් වෙච්ච විදියේ දරුවන්ගේ ස්භාවය නෙවෙයි හැබැයි. එයා එහෙ හිටපු අනිත් අයියලා 3න් දෙනාට වඩා වෙනස් නිසා.. ඒ කියන්නේ මානසික වර්ධනය සහ ශාරීරික වර්ධනයේත් පොඩි අසාමාන්‍ය ලක්ෂණ තිබ්බ නිසා... හොඳට ඇවිදලා, කතා බහ කරලා, වැඩ කරලා ඉන්න පුළුවන් හැබැයි ටිකක් වෙනස්.. ඒ කියන්නේ කට හඬ ටිකක් බරයි..සමහර වෙලාවට හරියට කතා කරන්න බෑ..  ඇවිදින්නේ අමුතු විදියට... වැඩිය අපිත් එක්ක කතාවට එන්නේ නෑ.. අමුතු විදියට බලනවා... ඔන්න ඔය වගේ දේවල් නිසා මම වික්‍රම අයියට ඒ දවස් වල බයයි...

හැබැයි අපේ අම්ම තාත්තා වික්‍රම අයියට හෙන ආදරෙයි.. පවුලේ හැමෝමත් එහෙමයි... ඉස්සර අපි ගියාම සමහර වෙලාවට මල්ලී කියල ළඟට ඇවිත් මාත් එක්ක කතා කරනවා... සමහර වෙලාවට අඳුරන්නේ නෑ වගේ ඉන්නවා... පොඩි පොඩි නාරං, නෙල්ලි, අඹ, පේර වගේ දේවල් වත්තෙන් කඩල අපට දීල සමහර ඔහේ බලාගෙන ඉන්නවා... හිටපු ගමන් කොහේ හරි දුවනවා.. ඔන්න ඔය වගේ..

ටික කාලයක් ගියාම මට ඒ තිබ්බ බය ගතිය නැති වෙලා වික්‍රම අයියා පවු කියන දේ තේරෙන්න ගත්තා.. ඒ කියන්නේ අවුරුදු 10-12 වගේ කාලේදී...  පස්සේ පස්සේ එහෙ යනකොට වික්‍රම අයියා කියන්නෙත් අනිත් අයියල 3න් දෙනාම වගේ කියන දේ මට දැනෙන්න ගත්තා...  අපි ලොකු වෙලා එහෙ ගියත් වික්‍රම අයියා ඉස්සර හිටපු විදියම තමා...  එයාගේ ජිවිතේ තිබුනේ පොඩි දේවල් ටිකක් විතරයි... එදිනෙදා කාල බීල ගෙදර කවුරු හරි කියන වැඩක් පලක් කරලා දීල ඔහේ ඉන්න එක තමයි එයාගේ ජිවිතේ උනේ... ඒක තාමත් එහෙම තමා.. වැඩට කම්මැලි නෑ..   කාටවත් කරදරේකුත් නෑ... 

අපේ තාත්තලාගේ පවුල කියන්නේ හරිම දුප්පත් පවුලක් (අම්මලාගේ පවුලත් එහෙම තමා )... කොහොමත් ඒ කාලේ ඒවගේ ගම් වල හිටපු හැම පවුලම වගේ එහෙම තමා... සාපේක්ෂව යමක් කමක් තිබ්බට .. සමාජයේ දුප්පත් පවුලක්... ඉතින් වික්‍රම අයියා ගැන ආදරෙන් කන්න බොන්න ටික දීල ඔහේ ඉන්නවා ඇර වෙන එයාව මොන අංශෙන් වත් දියුණු කරන්න හැකියාවක් වත් අවශ්‍යය දැනුමක් වත් ඒ පවුලේ අයට තිබුනේ නෑ... ඉතින් මේ වෙනකොටත් වික්‍රම අයියා ඒ වගේම තමා....

මම  ලොකු වෙලා  වික්‍රම අයියා ගැන දැන ගන්න , එයාව තේරුම් ගන්න,  එයත් එක්ක එකතු වෙලා කතා කරන්න හැදුවට ඒවා හරි ගියේ නෑ.. එයා එහෙම සෙට් වෙන්නේ නෑ... හොඳ සිහි කල්පනාවක් තිබුනට මතකය සමහර වෙලාවට රැඳිලා තියෙන්නේ අතීතේ... අපේ තාත්තා නැති වෙච්ච කතාව එයාට කිව්වට එයාට ඒක තේරුම් ගියේ නෑ... මට මතකයි තාත්ත නැති වුනාට පස්සේ අපි එහෙ ගිය දවසක නැන්දේ පොඩි මාමා කෝ කියල ඇහුවා... තාත්තත් එක්ක ඉස්සර කරපු දේවල් සැරෙන් සැරේ මතක් කරනවා...   සමහර වෙලාවට එයාට මාව මතක තියෙන්නේ පොඩි කාලේ දැක්ක විදියට...

දැන් හපුතලේ ඒ ගෙවල් ඔක්කොම විනාශ වෙලා ගිහින්... දැන් වික්‍රම අයියා ඉන්නේ සොරගුණේ පොඩි අක්කලාගේ ගෙදර...  දැන් අපි එහෙ ගියාම ලඟට ඇවිල්ල ඉන්නවා.. මල්ලී කියල කතා කරනවා.  මොනවා හරි ඇහුවොත් මතක තියෙන විදියට කියනවා... අපි ඉතින් යනකොට අරන් යන සරමක්, කමිසයක්  හරි කෑමක් හරි ගිහින් දෙනවා.. සමහර වෙලාවට සල්ලි කියක් හරි අතට දීල එනවා ... දුන්නේ සල්ලි ද සරමද කියන එක එයාට  වැදගත් නෑ.. මොනවා හරි දුන්න කියන එක හැමදාම මතක තියෙනවා...

අද වික්‍රමට වාසියි නේද කියල ලොකු අය්යා හරි කවුරු හරි ඇහුවහම ඔහේ හිනාවක් දාල ඉන්නවා .. 

මම පස්සේ පස්සේ වික්‍රම අයියගේ ඒ ජිවිතේ පුදුම සුන්දර විදියට දකින්න ගත්තා...  හරි  සරල ජිවිතයක්... මම දන්නේ නෑ එයාට එයාගේ ජිවිතේ කොහොම දැනෙනවද කියල.. නමුත් ලෝකේ තියෙන හැම කුණු ගොඩම ඔලුවේ තියාගෙන සරල වෙන්න දඟලන අපිට සාපේක්ෂව සැහෙන්න නිර්ව්‍යාජ , පිරිසිදු ජිවිතයක්..

කවදාවත් අපේ අම්ම තාත්ත අපිව ඒ වගේ අයගෙන් ඈත් කරන්න හැදුවේ නෑ.. ඔහේ එයාලත් එක්ක ඉන්න ඇරියා... මට මග තොටේදී එහෙම මනුස්සයෙක් ළමයෙක් දැක්කට පවු කියල හිතෙන්නේ නෑ... අවංකවම මට කිසි දෙයක් දැනෙන්නේ නෑ... තව එක මනුස්සයෙක් එච්චරයි...

ඊට පස්සේ මට ටිකක් හරි ඒ වගේ කෙනෙක් ව ළඟින් ආශ්‍රය කරන්න ලැබුනේ මෙහෙ ආවට පස්සේ  පැතුම් මල්ලිව තමා...  සරත් අයියගේ පුතා පැතුම් මට මල්ලි වෙච්ච විදිය අහන්න එපා... ඒවා එහෙම තමා... මොකද මට වැඩිපුරම ඉන්නේ සරත් අයියගේ වයසේ අයියලයි ... එයාගේ පුතාගේ වයසේ මල්ලිලයි... හෙහ් හෙහ් .. 

අපි හම්බ වෙච්ච හැම සැරේම අර වික්‍රම අයියගේ තිබිච්ච නිර්ව්‍යාජ පිරිසුදු කම මම පැතුම් ගෙත් දැක්ක..  මට එක දැනෙන්නේ  සමාජය කියන බොරුව නිසා ස්පොයිල් නොවිච්ච    ජිවිත  විදියට...  ඒ කියන්නේ ජිවය කියන දේ තවම නැවුම් ව මේ අය ඇතුලේ ඇති කියල මට හිතෙනවා...

අපි දවසක් ෂොපින් මෝල් එකක සෙට් වෙලා කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච වෙලාවක පැතුම් මට කියනවා  "Everything is useless" . කට්ටිය එයාව දාල ෂොපින් යන එකට පොඩ්ඩක් අප්සට් වෙලා වගේ ..  මම හිනාවෙලා  පොඩි තට්ටුවක් දාල  කිව්වා "Yes. everything is useless but we should enjoy everything and every moment. Then we can be happy everyday " කියල... මිනිහා හිනාවක් දාල ඔහේ හිටියා ඉතින් ..ඊට පස්සේ මට හිතුනේ "Everything is useless" කියන පරම සත්‍යය පැතුම් සමහර විට ප්‍රත්‍යක්ෂව අත්දකිනවා ඇති අපි මැරීගෙන  පොත් කියවල තේරුම් ගන්න ට්‍රයි කරනකොට කියල...

21 comments:

  1. වික්‍රම අයියා වගේ කීදෙනෙක් ඇතිද හරිහමන් ආදරයක් ,සැලකිල්ලක් ලැබෙන්නේ නැතුව ...අනේ ශෝක් පැතුම් එක්ක ඔයා කතා කරලත් තියෙනවා නේ .

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත.. නිසි ආදරයයි කරුණාවයි දෙන්න පුළුවන් නම් ඒ වගේ අය ගේ ජිවිත සෑහෙන්න ලස්සන වෙනවා.. පැතුම් ව මට කීප සැරයක් හම්බවෙලා තියෙනවා... ඉස්සරහට හම්බ උනාම ඔයා ගැනත් කියන්නම් කෝ..

      Delete
  2. මේ වගේ අය සාමාන්‍ය අයට වඩා හිත හොඳ මිනිස්සු. කරුණාවන්ත යි. ආදරණීය යි. ඒක මම අත් දැකලා තියෙන කාරණාවක්. පෙනුමට ටිකක් අපි බය වුණත් ඒ අය සරල ව හිතන, හිත හොඳ යාළුවෝ :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපිත් ඒ විදියට හැසිරෙනවනම් හැමදාම අපිත් එක්ක ඉඳියි..

      Delete
  3. හැබයි මේ දරුවෝ ගැන ඉස්සෙල්ලම ළිපිය ලිව්වේ සඳරු.. ඒක කාගෙත් ඇස නොගැටුනාද මන්දා..

    http://hisahasa.blogspot.com/2013/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. මේක දාන කම් මම නම් දැක්කේ නෑ... මම වැඩිය බ්ලොග් බලන්නේ නැති නිසා මග අරුනා වෙන්න පුළුවන්... සඳරු ලියල තියෙන්න සමාජයේ අපිට බොහෝ වෙලාවට දකින්න තියෙන පැත්ත තමයි..

      Delete
  4. ඔය වගේ අය නපුරු වෙන්නෙ සමාජය ඒ අයට සලකන හැටියෙන්. සාමාන්‍ය විදියට ආදරය කරුණාව දක්වනවනං ඔය වගේ අය සාමාන්‍ය පුද්ගලයින් වගේ හැසිරෙන්න පුරුදුවෙනව.

    ReplyDelete
    Replies
    1. අහිංසක අංගුලිමාල කළෙත් සමාජය නේ.

      Delete
    2. පැහැදිලිවම අපි තාම බේසික් දේවල් වත් දන්නේ නෑ.. රෙදි කරට අරන් මනුස්ස කම් ගැන කතා කළාට..

      Delete
  5. පෝස්ට් එකට ආවට පස්සේ කියවම්දෝ නොකියවම්දෝ කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඔහේ කියවනවා කියලා කියවන්න ගත්තා. මේ පෝස්ට් එක කියවගෙන යනකොට වික්‍රම අයියා ගැන දුකකුත් හිතෙනවා.. ඒ උනාට අපි එහෙම හිතන්න නරකයි. වික්‍රම කියන්නෙත් මේ මනුස්ස සමාජයේ ඉන්න තවත් එක මනුස්සයෙක්.. වෙනස් කරලා සලකන්න නරකයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි වගේම තමා... එකම දේ අපි කරන මේ උසස් යැයි සම්මත ජිවිතේ සමහර දේවල් එයාලට කරගන්න ටිකක් අමාරුයි... ඒක නිකන් හරියට හැමෝටම දොස්තරලා වෙන්න බෑ වගේ සීන් එකක්... සමහර දේ පුළුවන් බැරි මිනිස්සු ඉන්නවනේ.. මේ වගේ අයත් ඒ වගේ තව එක කට්ටියක් විතරයි..

      Delete
  6. පැතුම් අය්යියි පැතුම් මල්ලියි.. මට ඕනෙ නම් මාම කිව්වට කමක් නෑ අපේ හාමිනේට ආන්ටි නොකියා. දීල තියෙන ලකුණු සීයෙන් අනූවක් කැපෙයි..හික් හික්.. පැතුම් ඔය Everything is useless.... කියල කියන්නෙ මේකයි..ඔන්න අපි කට්ටිය ඔය ශොපිං මෝල් වලට ගියාම හාමිනේ අතුරුදහන් වෙනවා සෑහෙන වෙලාවකට රෙදි ගොඩවල් සපත්තු අස්සෙ. එතකොට අපි දෙන්න පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඒක සැපයි අරවා අස්සෙ රිංගනවට වඩා. මට ඔය වැඩේ එච්චර අල්ලන්නෙ නෑ. පැතුම් කැමතිත් නෑ ඔය වැඩේට..ඉතින් මිනිහා මාව සතු‍ටු කරන්නයි ඔය කතාව කියන්නෙ. ඔහොම කිව්ව්වම ඔයා සතු‍ටුවෙයි කියල හිතන්න ඇති.. අනුන් සතු‍ටු කරන්න හරිම කපටියා. ඔන්න මා එක්ක තනියම කාර් එකෙ යනවා නම් අහන්න කැමති තාත්තිගෙ සිංදු ..ඒ කියන්නෙ ඉතින් සිංහල සිංදු හින්දි සින්දු සහ පරණ තාලෙ ඉංග්‍රීසි සිංදු.. මෙන්න බොලේ අක්කිත් එක්ක ඉඳං අර ෆාස්ට් ඇන්ඩ් ෆ්යුරියස් සින්දු අහනවා නට නටා.
    කපටියා කියන්නෙ කාගෙන්වත් ලකුණු කපාගන්න කැමති නෑ. අක්කි අහනවා ඔයා කාටද වැඩිය ආදරේ මට නේද කියල.. එතකොට මිනිහ කියන්නෙ තුන්දෙනාටම කියල ..මොන ජාති දැම්මත් ඉන් එහාට දෙයක් කියන්නෙ නෑ. හැබැයි වැඩියම ආදරෙ අක්කිට ..අක්කි ඉතින් දකින්න ලැබෙන්නෙ අවුරුද්දටම දෙවතාවයිනෙ නිවාඩුවට ආවම.. ඔන්න දැන් අක්කි.. හයවෙනිදා එනවා මල්ලිගෙ කොන්සට් එක බලන්නත් එක්ක. මුළු ඉස්කෝලෙ ඔක්කොම දන්නවා අක්කි එන එක ගැන..

    ReplyDelete
    Replies
    1. අපට චාන්ස් නැද්ද පැතුම් මලයත් එක්ක කතා කරන්න ?

      Delete
    2. හෙහ් හෙහ් මම එදා ඇත්තටම හිතුවා මේ වගේ පැතුම් වගේ අයට අපි හෙන ගැඹුරුයි කියල හිතන දේවල් සමහර විට හෙන සරලව තේරුම් ගන්න පුළුවන් ඇති කියල...එයාලගේ හිත් වල මහා ලොකු සංකීර්ණ දේවල් නැති නිසා එහෙම වෙන්න පුළුවන් කියල මම ඇත්තටම හිතුවා...

      නිවාඩුවට ගිහිල්ල ආවම ආයේ සෙට් වෙමු..

      Delete
  7. පැතුම් මේ අයගෙ හිත් දූෂිත වෙලා නෑ අපේ වගේ. සාමාන්‍ය විදියට ළමයෙක් වර්ධනය වෙද්දි හොඳ නරක දෙකම ඇතුළු වෙනව.(නරක වැඩියි මං හිතන්නෙ). මේ අයගෙ තියන හොඳ ඒකයි. නොකිළිටි මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඒ අතින් බැලුවම එයාලා වසනාවන්තයි අපිට වඩා

      Delete
    2. ඒක තමයි මමත් හිතන්නේ අපි විහින් කුණු පුරෝගෙන ඒවා සුද්ද කරගන්න බැරුව එක එක ආගම් වල පිහිට හොයනකොට මේ වගේ අය නිකන්ම නොකිලිටිව ජිවත් වෙනවා ඇති කියල මටත් හිතෙනවා... ඒ මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ටික හරියට ඉටු කරලා දෙන්න පුළුවන් නම් ඒ අය හරි වාසනාවන්තයි තමයි..

      Delete
  8. ඇත්ත පැතුම් අපි ජීවිත කාලෙම හොයන දේ ඒ අය තේරුම් ගෙන තියනවා තමා...

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ රටට බණ කියන්න විතරනේ නලින් අයියේ...

      Delete
  9. මේවට කියන්න දේවල් එන්නේ නැහැ පැතුම්...තමන්ටම වෙලා බලන්න ඕනේ ........

    ReplyDelete
  10. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete