Monday, December 02, 2013

වික්‍රම අයියා

මේ දවස් ටිකේ කියවපු මේ පොස්ට් නිසා මේක ලියන්න හිතුනේ..  



අපේ තාත්තගේ අක්කගේ එක පුතෙක් තමයි වික්‍රම අයියා...  වික්‍රම අයියාගේ වයස මම හරියටම දන්නේ නෑ.. දැන් අවුරුදු 60ක් විතර ඇති.. එච්චර වයස අයියල මට ඉන්න හේතුව අපේ තාත්ත තාත්තගේ පවුලේ බාලයා වීමත් මම තාත්තලාගේ පැත්තෙන් බැලුවොත් ඒ පරම් පරාවේ ඉන්න බාලම කොලුවා නිසාත්... කොහොම හරි අපේ අම්මට වඩා වයස අයියල අක්කලා මට හෙනට ඉන්නවා...

වික්‍රම අයියා කියන්නේ උපතින්ම නොවුනත් පස්සේ කාලෙක හැදිච්ච මොකක් හරි ලෙඩක් නිසා ටිකක් විශේෂ විදියට හැදිච්ච කෙනෙක්... පොඩි කාලේ හොඳට හිටපු කෙනෙක් කියල අපේ අම්ම කිව්වා මට හැබැයි දැන් කතාව එච්චර මතක නෑ... 

ඉස්සර අපි පොඩි කාලේ හපුතලේ ගියාම ඉන්නේ තාත්තගේ අක්කගේ ගෙදර තමයි.. හපුතලේ ගෙදර ගැන මම වෙනම පොස්ට් එකක් ලියන්නම්... මේක වික්‍රම අයියා ගැන ලියල... හපුතලේ යන එක තරම් ජීවතේ ආස ගමනක් මට ඉස්සර තිබුනෙත් නෑ.. දැනුත් නෑ...ඉස්සරහටත් නැති වෙයි ...ඒ තරම් මම ඒ ගමට ආසයි... මග දිගට වමනේ දදා ලංගම බස් වල පැය 5-6ක් ඉස්සර කට්ට කාගෙන යන්න වුනත් ඕනේ වෙලාවක මම රෙඩ්..

පොඩි කාලේ මම එහෙ ගියාම මට බය හිතුන එකම කෙනා තමයි වික්‍රම අයියා.. ඒ එයාගේ තිබිච්ච ඒ ගතිය නිසා.. ඒක ඔය අපි මේ කතාවට පසුබිම් වෙච්ච විදියේ දරුවන්ගේ ස්භාවය නෙවෙයි හැබැයි. එයා එහෙ හිටපු අනිත් අයියලා 3න් දෙනාට වඩා වෙනස් නිසා.. ඒ කියන්නේ මානසික වර්ධනය සහ ශාරීරික වර්ධනයේත් පොඩි අසාමාන්‍ය ලක්ෂණ තිබ්බ නිසා... හොඳට ඇවිදලා, කතා බහ කරලා, වැඩ කරලා ඉන්න පුළුවන් හැබැයි ටිකක් වෙනස්.. ඒ කියන්නේ කට හඬ ටිකක් බරයි..සමහර වෙලාවට හරියට කතා කරන්න බෑ..  ඇවිදින්නේ අමුතු විදියට... වැඩිය අපිත් එක්ක කතාවට එන්නේ නෑ.. අමුතු විදියට බලනවා... ඔන්න ඔය වගේ දේවල් නිසා මම වික්‍රම අයියට ඒ දවස් වල බයයි...

හැබැයි අපේ අම්ම තාත්තා වික්‍රම අයියට හෙන ආදරෙයි.. පවුලේ හැමෝමත් එහෙමයි... ඉස්සර අපි ගියාම සමහර වෙලාවට මල්ලී කියල ළඟට ඇවිත් මාත් එක්ක කතා කරනවා... සමහර වෙලාවට අඳුරන්නේ නෑ වගේ ඉන්නවා... පොඩි පොඩි නාරං, නෙල්ලි, අඹ, පේර වගේ දේවල් වත්තෙන් කඩල අපට දීල සමහර ඔහේ බලාගෙන ඉන්නවා... හිටපු ගමන් කොහේ හරි දුවනවා.. ඔන්න ඔය වගේ..

ටික කාලයක් ගියාම මට ඒ තිබ්බ බය ගතිය නැති වෙලා වික්‍රම අයියා පවු කියන දේ තේරෙන්න ගත්තා.. ඒ කියන්නේ අවුරුදු 10-12 වගේ කාලේදී...  පස්සේ පස්සේ එහෙ යනකොට වික්‍රම අයියා කියන්නෙත් අනිත් අයියල 3න් දෙනාම වගේ කියන දේ මට දැනෙන්න ගත්තා...  අපි ලොකු වෙලා එහෙ ගියත් වික්‍රම අයියා ඉස්සර හිටපු විදියම තමා...  එයාගේ ජිවිතේ තිබුනේ පොඩි දේවල් ටිකක් විතරයි... එදිනෙදා කාල බීල ගෙදර කවුරු හරි කියන වැඩක් පලක් කරලා දීල ඔහේ ඉන්න එක තමයි එයාගේ ජිවිතේ උනේ... ඒක තාමත් එහෙම තමා.. වැඩට කම්මැලි නෑ..   කාටවත් කරදරේකුත් නෑ... 

අපේ තාත්තලාගේ පවුල කියන්නේ හරිම දුප්පත් පවුලක් (අම්මලාගේ පවුලත් එහෙම තමා )... කොහොමත් ඒ කාලේ ඒවගේ ගම් වල හිටපු හැම පවුලම වගේ එහෙම තමා... සාපේක්ෂව යමක් කමක් තිබ්බට .. සමාජයේ දුප්පත් පවුලක්... ඉතින් වික්‍රම අයියා ගැන ආදරෙන් කන්න බොන්න ටික දීල ඔහේ ඉන්නවා ඇර වෙන එයාව මොන අංශෙන් වත් දියුණු කරන්න හැකියාවක් වත් අවශ්‍යය දැනුමක් වත් ඒ පවුලේ අයට තිබුනේ නෑ... ඉතින් මේ වෙනකොටත් වික්‍රම අයියා ඒ වගේම තමා....

මම  ලොකු වෙලා  වික්‍රම අයියා ගැන දැන ගන්න , එයාව තේරුම් ගන්න,  එයත් එක්ක එකතු වෙලා කතා කරන්න හැදුවට ඒවා හරි ගියේ නෑ.. එයා එහෙම සෙට් වෙන්නේ නෑ... හොඳ සිහි කල්පනාවක් තිබුනට මතකය සමහර වෙලාවට රැඳිලා තියෙන්නේ අතීතේ... අපේ තාත්තා නැති වෙච්ච කතාව එයාට කිව්වට එයාට ඒක තේරුම් ගියේ නෑ... මට මතකයි තාත්ත නැති වුනාට පස්සේ අපි එහෙ ගිය දවසක නැන්දේ පොඩි මාමා කෝ කියල ඇහුවා... තාත්තත් එක්ක ඉස්සර කරපු දේවල් සැරෙන් සැරේ මතක් කරනවා...   සමහර වෙලාවට එයාට මාව මතක තියෙන්නේ පොඩි කාලේ දැක්ක විදියට...

දැන් හපුතලේ ඒ ගෙවල් ඔක්කොම විනාශ වෙලා ගිහින්... දැන් වික්‍රම අයියා ඉන්නේ සොරගුණේ පොඩි අක්කලාගේ ගෙදර...  දැන් අපි එහෙ ගියාම ලඟට ඇවිල්ල ඉන්නවා.. මල්ලී කියල කතා කරනවා.  මොනවා හරි ඇහුවොත් මතක තියෙන විදියට කියනවා... අපි ඉතින් යනකොට අරන් යන සරමක්, කමිසයක්  හරි කෑමක් හරි ගිහින් දෙනවා.. සමහර වෙලාවට සල්ලි කියක් හරි අතට දීල එනවා ... දුන්නේ සල්ලි ද සරමද කියන එක එයාට  වැදගත් නෑ.. මොනවා හරි දුන්න කියන එක හැමදාම මතක තියෙනවා...

අද වික්‍රමට වාසියි නේද කියල ලොකු අය්යා හරි කවුරු හරි ඇහුවහම ඔහේ හිනාවක් දාල ඉන්නවා .. 

මම පස්සේ පස්සේ වික්‍රම අයියගේ ඒ ජිවිතේ පුදුම සුන්දර විදියට දකින්න ගත්තා...  හරි  සරල ජිවිතයක්... මම දන්නේ නෑ එයාට එයාගේ ජිවිතේ කොහොම දැනෙනවද කියල.. නමුත් ලෝකේ තියෙන හැම කුණු ගොඩම ඔලුවේ තියාගෙන සරල වෙන්න දඟලන අපිට සාපේක්ෂව සැහෙන්න නිර්ව්‍යාජ , පිරිසිදු ජිවිතයක්..

කවදාවත් අපේ අම්ම තාත්ත අපිව ඒ වගේ අයගෙන් ඈත් කරන්න හැදුවේ නෑ.. ඔහේ එයාලත් එක්ක ඉන්න ඇරියා... මට මග තොටේදී එහෙම මනුස්සයෙක් ළමයෙක් දැක්කට පවු කියල හිතෙන්නේ නෑ... අවංකවම මට කිසි දෙයක් දැනෙන්නේ නෑ... තව එක මනුස්සයෙක් එච්චරයි...

ඊට පස්සේ මට ටිකක් හරි ඒ වගේ කෙනෙක් ව ළඟින් ආශ්‍රය කරන්න ලැබුනේ මෙහෙ ආවට පස්සේ  පැතුම් මල්ලිව තමා...  සරත් අයියගේ පුතා පැතුම් මට මල්ලි වෙච්ච විදිය අහන්න එපා... ඒවා එහෙම තමා... මොකද මට වැඩිපුරම ඉන්නේ සරත් අයියගේ වයසේ අයියලයි ... එයාගේ පුතාගේ වයසේ මල්ලිලයි... හෙහ් හෙහ් .. 

අපි හම්බ වෙච්ච හැම සැරේම අර වික්‍රම අයියගේ තිබිච්ච නිර්ව්‍යාජ පිරිසුදු කම මම පැතුම් ගෙත් දැක්ක..  මට එක දැනෙන්නේ  සමාජය කියන බොරුව නිසා ස්පොයිල් නොවිච්ච    ජිවිත  විදියට...  ඒ කියන්නේ ජිවය කියන දේ තවම නැවුම් ව මේ අය ඇතුලේ ඇති කියල මට හිතෙනවා...

අපි දවසක් ෂොපින් මෝල් එකක සෙට් වෙලා කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච වෙලාවක පැතුම් මට කියනවා  "Everything is useless" . කට්ටිය එයාව දාල ෂොපින් යන එකට පොඩ්ඩක් අප්සට් වෙලා වගේ ..  මම හිනාවෙලා  පොඩි තට්ටුවක් දාල  කිව්වා "Yes. everything is useless but we should enjoy everything and every moment. Then we can be happy everyday " කියල... මිනිහා හිනාවක් දාල ඔහේ හිටියා ඉතින් ..ඊට පස්සේ මට හිතුනේ "Everything is useless" කියන පරම සත්‍යය පැතුම් සමහර විට ප්‍රත්‍යක්ෂව අත්දකිනවා ඇති අපි මැරීගෙන  පොත් කියවල තේරුම් ගන්න ට්‍රයි කරනකොට කියල...