Tuesday, November 26, 2013

13බී බා උන හැටි හෙවත් තවත් උසස් පෙළ විර ක්‍රියාවක්

උසස් පෙළ කරන අවසාන අවුරුද්දේ ට්‍රිප් එකක් යන එක සාමාන්‍ය සිරිතනේ... මම හිතන්නේ කුමාරි මිස් ගේ සීන් එකෙන් පස්සේ ද කොහෙද මේ ට්‍රිප් එක ගියේ..  මේ ට්‍රිප් එක ඉතින් ඔය සාමාන්‍යය විදියට කට්ටිය සාකච්චා වට හැටක් විතර දාල තීරණේ කර ගත්තා හන්තාන කන්ද නගින්න ... පන්තිබාර සරුත් යන බොහොම ඔෆිසියල් ට්‍රිප් එකනේ.. කොල්ලෝ වෙන වෙනම යන ඒවා ඇරුනම මම හිතන්නේ ඒ අවුරුද්දේ උසස් පෙළ පන්ති හැම එකම තම තමන්ගේ පන්ති බාර ගුරුවරයාත් එක්ක මේ ට්‍රිප් එක ගියා ද කොහෙද.. හන්තානේ ගියේ අපේ පන්තිය විතරයි... අනිත් උන් කොහේ ගියා ද කියල දැන් මතක නෑ...

කොහොම හරි ඔය ඔර්ගනයිසින් වැඩ එහෙම කරලා බස් එකක් කතා කරන් කට්ටිය ට්‍රිප් එක යන්න පටන් ගත්තා.. ඊට කලින් කන්න දේවල්, බොන්න දේවල්, ක්‍රීඩා බාන්ඩ, සංගීත බාන්ඩ එහෙම ඔක්කොම ලැස්ති කර ගත්තා...  පන්තියේ සිරාම පොරවල් ටික පස්සේ සීට් එකේ... මුට්ටි පොරවල් ටික සර් ට කිට්ටුවෙන් ඉස්සරහ සීට් වල..  මම වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් ටික පස්සට බර මැද සීට් වල...  අපි ගියේ තනි දොර පොඩි ටාටා බස් එකක... 

දැන් ඉතින් කස්ටිය සිංදු කිය කිය නට නට බොහොම සතුටින් සමාදානෙන් ගමන යනවා... අපිත් ඉතින් එහෙන් මෙහෙන් අප්පුඩියක් ගහල , බස් එකට තට්ටුවක් දාල ඔහේ යනවා... සමහරු මනෝ ලෝක වල යනවා... සමහරු විභාගේ ගැන වැදගත් දේවල් කතා කරමින් වැදගත් විදියට යනවා.. තවත් සමහරු ඔහේ යනවා.. ඔය විදියට කොහොම හරි බස් එකේ කට්ටිය දැන් යනවා.. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ... ඔය වරකාපොල හරියේ තියෙන කඩයක් ගාව උදේට කන්න නතර කළා...

දයිවයේ හැටි කියන්නේ ...ඒ දවසේ, ඒ වෙලාවෙම,ඒ පැත්තටම යන,ඒ කඩෙන්ම උදේට කන්න තව බස් එකකුත් ඇවිල්ල නතර කරලා තිබ්බ... මහා බ්‍රහ්මයත් කරන වැඩ කියන්නේ ඒ බස් එකේ හිටියේ කොහෙද මන්ද ඉස්කෝලෙක කෙල්ලෝ ටිකක්... කරුමෙක මහත කියන්නේ ඒ කෙල්ලොත් අපි වගේම උසස් පෙළ කරන වයසෙමයි...  මම කියන්නේ එහෙම දේවල් සිද්ද වෙනකොට ගම්පහ තිබිච්ච එකම සිරා කොල්ලන්ගේ  ඉස්කෝලේ වෙච්ච (අනිත් ගෑනු ඉස්කෝල අපි ඒ දවස් වල තඹේකට ගණන් ගත්තේ නෑ.. ඒවායේ හිටපු කෙල්ලන්ව තනි තනි වශයෙන් ඔලුව උඩ තියන් ගණන් ගත්තට ) අපේ ඉස්කෝලේ උසස් පෙළ කොල්ලෝ වශයෙන් අපිට ඇහැ කන පියාගෙන ඉන්න බැහැනේ ... 

මොනවා උනත් අපි එතන  චාටර් කර ගන්නේ නැතුව ඒ නංගිලා එක්ක ජනෙල් වලින් කතා බහ කරගෙන නම ගම ඇඩ්රස්, ටෙලිෆෝන් නම්බර් එහෙම තිබුන නම් ඒවා හුවමාරු කරගෙන බොහොම වැදගත් විදියට හැසිරුණා...  බස් එකෙන් බැහැල ගිහින් ඒ බස් එකට නගින්න හදපු අවස්ථා එහමත් එකක් දෙකක් තිබ්බ මම හිතන්නේ.. කොහොම වුනත් පොලිසි නොයන මට්ටමින් උදේට කාල අපි එතනින් ආව..  

මේ කතාවට අදාළ නැති අතුරු කතාවක් වශයෙන් එදවස මා විසින් ටෙලිපොන් නම්බරය බස් එකේ ජනෙලෙකින් එම බස් එක තුලට විසි කිරීමේ අතුරු ඵලයක් වශයෙන් හඳුනා ගත් එක්තරා ගැහැණු ළමයෙක් ගැන කතා හැටහුටහමාරක් මේ අවස්ථාවේදී මතක් උනත් ඒවා එසේ තිබෙන්නට හැර නැවත ප්‍රධාන ගමනට හැරෙමු... 

ඔය ආකාරයේ සුන්දර සිද්දිත් එක්ක බස් එක ටිකෙන් ටිකේ නුවරට කිට්ටු උනා..  

මට මතක විදියට ඔය පේරාදෙණිය හරියේ එක තැනක බස් එක ටිකක් නතර කළා ... මම එච්චර ඔර්ගනයිසින් අන්සේට සම්බන්ද උනේ නැති නිසා වැඩිය ඒවා ගණන් ගත්තේ නෑ.. පිටි පස්සේ බජාර් එක ඒවා හැන්ඩ්ල් කළා..  කොහොම හරි ඉතින් පොඩි ළමයි බලන නිසා නොකිව්වට මොකද අපේ උන් සැර බීම ජාති (පොඩි ළමයි ජින්ජර් බියර් කියල හිතා ගන්නකො) එහෙම අරන් ඇවිත් තිබුනා.. මග දිගට හීනියට වගේ ටික ටික බිව්වත් එක්ක...  එහෙන් මෙහෙන් මදි මදි තව ගමු වගේ කතාත් ඇහුනා ඔය අතර මගදී...    

දැන් කොහොම හරි සර්ටත් කියල කොල්ලෝ දෙතුන් දෙනෙක් බස් එකෙන් බැස්සා.. අපිට ඉතින් එච්චර ගානක් නෑ..  අවංකවම මම දැනගෙන හිටියේ නෑ සීන්  එක.. ටික වෙලාවකින්  මෙන්න අවුරුදු 30-40-50ක් වගේ මනුස්සයෙක් මොකක්දෝ පාර්සලයක් අරන් බස් එකේ දොර ලඟට ආව..  බස් එකේ දොර ළඟ සිට් එකේ හිට්යේ සර්... "ආ මහත්තය මෙන්න මේක දෙන්න කිව්වා" කියල අර මනුස්සය අපේ සර්ට අර පාර්සලේ දුන්න...  

නයි කයි ද රෝස් පාන් ද කිරි අප්පට බල්ලෝ  පැනපි ද හත්හිලව්ව්ට ගහපු කලාබරේද හෙන ගහපිය ගණන් බලාපිය ද නැත්නම් කිරි ගහට ඇන්න වගේ ද එහෙමත් නැත්නම් ඔය ගැලපෙන ඕනේ රුපකයක් දාල හිතා ගත්තට කමක් නෑ... වනේ වන සතුරෙක් ට්‍රිප් එකක් යනකොට වත් මින් ඉදිරියට මේ වගේ දේවල් නම් වෙන්න එපා ... 

සංසාරේ බළල් මයිල් කිව්වා වගේ පිටි පස්සේ බජාර් එකේ අයියල සෙට් එකක් බැහැල ගිහින් ළඟ තිබ්බ බාර් එකකින් ගත්ත ගල් ද පොල් ද බියර් ද මොනවාද මන්ද බෝතල් ටික අර ගොන් වහන්සේ ඇවිල්ල දුන්නේ අපේ සර් ගේ අතටම .. කොහොමද ආතල් එක...  රෙදි නෑ හසන්ත..!!

පසුව දැන ගත් පරිදි මෙහෙමයි වෙලා තියෙන්නේ.. අපේ උන් දෙතුන් දෙනෙක් බස් එකෙන් බැහැල ගිහින් ඉස්කුල් යුනිෆෝර්ම් එකෙන් බාර් එකට යන්න බැරි නිසා ඒ ළඟ හිටපු ඩයල් එකකට සල්ලි දීල බඩු ටික අරන් බස් එකට දෙන්න කියල..   ඒ ගොන් වහන්සේ එක්කෝ අපිට කෙලවන්න හිතාගෙන හරි නැත්නම් මොලේ අර කුම්බියගේ පස්තාච් බාගේ තරම් වත් නැති කම නිසා හරි බබා වගේ ඇවිල්ල අපේ සර්ට දුන්න.. 

දැන් ඉතින් ඊට පස්සේ වෙච්ච දේවල් මම විස්තර කරන්න ඕනේ නෑනේ... මොකක් ද ඕයි තමුසෙලා මේ කලේ.. මම කවුරු කියල හිතාගෙන ද තමුසෙලා මට බෝතල් ගෙනත් දෙන්නේ.. යකෝ මුන් ළමයි නෙවෙයිනේ.. හරවනවා බස් එක මොන ට්‍රිප් ද මුන් එක්ක යානාදී වශයෙන් සර් අපේ ගුණ ගායනා කළා..

කට්ටිය අනාතයි ඉතින්... කොහොම හරි ඉතින් නොවඳිනා වැදුම් සර් ට වැඳලා වැඳලා බස් එක හරවන්නේ නැතුව කොහොම හරි හන්තානෙට ආව.. තිබිච්ච ආතල් ඔක්කොම ඉවරයි.. එක එකා බැන ගන්නවා තනිකරම කොමියුනිකේෂන් අවුලක්.. අන්තිමට ඉතින් කට්ටියම චාටර්..  

හන්තාන කන්ද පාමුලදිත් සර්ගෙන් හොඳ දේශනාවක්.. ඊට පස්සේ දැන් කොහොම හරි අපිට බයයි මේ යකා මේක ඉස්කෝලෙට ගිහින් කියයි කියල..  කොහොම හරි ඉතින් සර්ව අපි දන්නා විදියට බැලන්ස් කරලා අපි කට්ටිය හන්තානේ නැග්ග...  වැඩ සටහන අතේ මාට්ටු උනාට බෝතල් ටික නම් නාස්ති උනේ නෑ.. කන බොන වයස නේ ඉතින් ..

සර් ගේ මුණ චකබ්ලාස් උනාට කොහොම හරි සුන්දර හන්තාන චාරිකාවකින් පස්සේ අපි සුපුරුදු පරිදි ගෙවල් වලට ගියා...

මට මතක විදියට ට්‍රිප් එක සිකුරාදා ගිහින් අපි ආයේ ඉස්කෝලේ ගියේ සදුදද කොහෙද..  ඔන්න ඉතින් කට්ටිය බිත්තර තම්බ තම්බ සඳුදා උදේ ඉස්කෝලෙට එනවා.. අඩෝ වැඩේ චාටර් ලු නේද? මොනවාද යකෝ ඔච්චර දෙයක්වත් කරගන්න බැරිද..? කවුද $##$$% සර් ගේ අතට බෝතල් දීපු %%#@%#යා  වගේ කතා වටේ පිටේ පන්තිවල උන්ගෙන් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා..  හරි ඒ කියන්නේ කිරි බර්ටි යා (සර්ගේ නම බර්ටි) ගම කාල ...

දැන් ඉතින් කට්ටිය බලන් ඉන්නවා ඊලග කෝල් එක පිනා ගෙන් එනකම්... ඔය අතරේ මට මතක විදියට සරුත් පන්තියට ආවා ... මිනිහා මහ නෝන්ඩියට අපි දිහා හිනාවක් දාල රෙජිස්ටරේ මාක් කරලා ගියා ද කොහෙද..? කොහොම හරි ඉන්ටර්වල් එක වෙනකොට උසස් පෙළ අංශ ටික ඔක්කොම දන්නවා සීන් එක.. 

උගන්නන එන ගුරුවරුත් නිකන් කින්ඩියට වගේ කතා කරලා යනවා යන්න...  ලොකුම චාටර් එක දුන්නේ කෙමිස්ට්‍රි කරපු හේමචන්ද්‍ර සර්.. පන්තිය දොර ගාවට ඇවිත් දොරේ උඩ ගහල තියෙන 13-B කියන එක දිහා බලල කියනවා මේක දැන් 13-B නෙවෙයි 13 බා(ර්) කියල..   අනිත් පන්ති වල උන්ට මල් මල් ඉතින්..

කොහොම හරි හවස් වෙනකොට ඉහලින් අණක් ආවා  ට්‍රිප් එක ගිය හැමෝම ගෙදරින් කාව හරි එක්කන් එන්න ඕනේ.. එහෙම නැත්නම් පන්ති තහනම් කරනව කියල..  ඔය වෙනකොට විභාගෙට මාස 3-4ක් ඇති..

මොනවා කරන්නද ඉතින්.. මම ගිහින් ගෙදෙට්ට සීන් කෝන් එක කිව්වා.. අපේ අම්මයි තාත්තයි දන්නවා මොනව කලත් මම බොන සබ්ජෙක්ට් එකේ නෑ කියල.. අපේ තාත්ත කොහොමත් කන බොන මනුස්සය. අනිත් එක අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකටම දවසක් උයල කන්න දුන්න අපේ තාත්ත.. ඉතින් තාත්ත දන්නවා  කොල්ලන්ගේ තරම.

කොහොම හරි ඉතින් පහුවදා අම්මල තාත්තල ටික ඉස්කෝලේ මේන් හෝල් එකට ගෙන්නලා දැන් ගුරුවරුයි ප්‍රින්සිපලුයි හෙන ටෝක්ස්..  බනිනවා පලු යන්න... කතා දෙකක් නෑ සම්පුර්ණ වරද අපේ .. කිසිම සමාවක් දෙන්න චෑන්ස් එකක් තිබ්බේ නෑ...  අම්මල තාත්තලටත් ඉතින් කට උත්තර නෑ... 

අපේ තාත්තට සිරා කටක් තිබ්බා.. අවුරදු ගානක් දේශපාලනය කරලා .. රැස්වීම වල කතා කරලා ඕනේ තැනක බය නැතුව කතා කරන්න නියම හැකියාවක් තිබ්බා.. දැන් කට්ටියගේ දෝෂාරෝපණ ඔක්කොම අහගෙන ඉඳල අපේ තාත්ත අන්තිමට නැගිටලා කියල තියෙනවා "සර් මම මේ කොල්ලෝ ටිකට මගේ අතින් උයල කන්න දීල තියෙනවා.. මම දන්නවා මේ ළමයි ගැන.. කොල්ලෝ මේ කාලේ ඕව කරනවා .. අපිත් ඉස්කෝලේ කාලේ මිට වඩා දේවල් කරලා තියෙනවා.. මේවා දුර දිග ගෙනියන්නේ නැතුව විභාගේ ගැන හිතල සමාව දෙන්න බලන්න කියල" ඊට පස්සේ සභාවේ තත්වය පොඩ්ඩක් හොඳ අතට හැරිලා... දැඩි අවවාද රැසකින් පස්සේ අපේ පන්ති තහනම නතර වුණා...

හැබැයි ඊට පස්සේ කෙමිස්ට්‍රි සර් අපිට උගන්නන ආවේ නෑ... මිනිහා පන්තියේ දොර ගාවට ඇවිත්.. "මේක ඉතින් පන්තියක් නෙවෙයි නේ.. ඉගෙන ගන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් මම අනිත් පන්තියට උගන්නන වෙලාවට ඇවිල්ල ඉගෙන ගන්න එකයි ඇත්තේ... හික් " ඔන්න ඔහොම රටේ නැති චාටර් දාල යනවා.. පංති බාර සරුත් ඊට ටික කාලෙකින් අස් වෙලා ගියා... ඒ කියන්නේ අවසන් කාලේ අපිට කෙමිස්ට්‍රි,ෆිසික්ස් , මැත්ස් කරන්න නිල වශයෙන් ගුරුවරු හිටියේ නෑ.. 

ඔන්න ඕකයි කොල්ලනේ වීරක්‍රියාව... ඔන්න ඔහොමයි 13 බී බා උනේ... දැන් අපි බලමු මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවාද කියල..

1. ට්‍රිප් යනකොට බොන්න ඕනේ දේවල් කලින්ම ප්ලෑන් කරලා බස් එකට දාගන්න ඕනේ..
2. මගදී බයිට්වත් ගන්න තියා ගන්න හොඳ නෑ.. සර්ලට ඉව තියෙනවා
3. කරුමෙට හරි මගින් ගන්න සෙට් උනොත් හරියට සාකච්චා කරලා වැඩේ කරන්න ඕනේ.. හිතා මතා කරන කඩාකප්පල කාරී වැඩ වලටත් මුණ දෙන්න සුදානමින්..
4. සර්ලව විස්වාස කරන්න ඕනේ උගන්න දේ සම්බන්දව විතරයි.. ඒ කියන්නේ ඔය වගේ නොසන්ඩාල වැඩ වලට දඩුවමක් නොදී අරින්නේ නෑ සාමාන්‍යයෙන් හොඳ ගුරුවරයෙක්..
5. චාටර් උනාම අනිත් පන්තිවල උන්ගේ මඩ වලට මුණ දෙන්න පුරුෂ දයිරිය තියෙන්න ඕනේ..
6.ඔය වගේ සීන් ගෙදරට උනත් කියන්න තරම් අවුලක් නැති තත්වෙන් ගෙදර ශේප් එකේ තියා ගන්නත් ඕනේ.. නැත්නම් සල්ලි දීල තමා කාව හරි එක්කන් යන්න වෙන්නේ..
7. පන්තියම තහනම් උනත් ටිම් වර්ක් තියෙන්න ඕනේ...
8. උසස් පෙළ කරන කාලේ ඕව නොකරොත් ආයේ කරන්න වෙන්නේ නෑ.. කැම්පස් යන උන් කරත් අනිත් උන්ට ඔහොම ආතල් සෙට් වෙන්නේ අඩුවෙන්....
9.ට්‍රිප් යනකොට ටෙලිපොන් නම්බර්/ඇඩ්රස් කොළ අරන් යන එක පාඩු නෑ.. ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්.. දැන් මොබයිල් ෆෝන් එක්ක වැඩේ ලේසියි... 
10. දුම් බීම පිළිකා ඇති කරයි.. වැඩිපුර අරක්කු බීම සිරෝසිස් ඇති කරයි...

තව කණ්ඩායම් හැඟීමෙන් කරපු ඇඩ්වෙන්චර් මතක් උනොත් ලියන්නම්... 

Thursday, November 07, 2013

ජීවිතය ඇති තැන...

ජීවිතය තියෙන්නේ කොහෙද...?  අපි ට ජිවත් වෙනව කියල දැනෙන්නේ මොනවා කරන කොටද?  මම කියන්නේ හොඳට ජිවිතේ දැනෙන විදියට ජිවත් වෙන්න අපි මොනවා කරන්න ඕනේ ද?

එක එක්කෙනාට ජීවිතය දැනෙන විදිය වෙනස් ඇති.. සමහරු වැඩ කරන එක ජිවත් වෙනවා කියල හිතනවා.. තව කෙනෙක් මොකක් හරි නිර්මාණයක් කරන එක තුල ජිවත් වෙනවා කියන එක දකිනවා ඇති.. අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් එක්ක ඉන්න එකෙන් ජීවිතය දකිනවා ඇති..  සමහරවිට මොකුත් නොකර ඔහේ ඉන්න එක තුලත් ජීවිතය දකින අය ඇති.. 

මට හිතෙනවා අපි හැමෝම තමන් ජිවත් වෙනවා කියල දැනෙන දේ කරන්න බොහොම කැමතියි ... ඒක අපේ ඇතුලෙන් එන දෙයක් මිසක්  බාහිර සමාජයෙන් අපිට කාවද්දන දේවල් කිරීම තුලින් ඒ හැගීම ගන්න බෑ කියලයි මට හිතෙන්නේ..  බොහෝ වෙලාවට අපි හැමෝම කරන්නේ කවුරු හරි අපිට කරන්න හොඳයි කියල ඔළුවට දාපු රස්සාවක්, වැඩක්, සේවාවක්  වගේ දෙයක් මුළු ජිවිත කාලෙම කර කර ඉඳල ඔහේ මැරිලා යන එක.. ඒ අතරේ මොකක් හරි ආගමක් තුලින් තමන්ට අහිමි වෙච්ච සැබෑ ජීවිතය හොයන්න දඟලන එක.. 

ගොඩක් වෙලාවට මේ වගේ සියුම් දේ ගැන අපි හිතන්නේ නෑ... ඒ කියන්නේ මම මේ කරන්නේ මට ජිවිතේ ජිවත් වෙනවා කියල දැනෙන රස්සාවද? නැත්නම් මේක මේ සල්ලි ටිකක් හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ නිසා සමාජ සම්මත වලින් එකක් තෝරාගෙන  ඔහේ කරගෙන යන තව එක වැඩක් විතරද කියන එක හිතල බලල තියෙනවද? 

මට හිතෙනවා අපි කරන බොහෝ දේවල් අපි කරන්නේ යාන්ත්‍රිකව කියල.. ඒ කියන්නේ සිස්ටම් එක හැදිලා තියෙන විදියට අපි ඒක ඔහේ කරනවා.. එතනින් එහාට අපි ගැන (මම ගැන) සියුම් ව හිතල බලන්න අපි දන්නේ නෑ වගේ.. (මම අතාරින්න කලින් මම කියන්නේ මොකාද කියල හරියටම  දැන ගෙන ඉන්න ඕනේ නේද)... 

 ඔහොම හිතල බලනකොට තේරුම් යනවා අපි ඇතුලේ සියුම් ව තියෙන සැබෑ චරිතය කවුද කියන එක ගැන.. මම කියන්නේ අහවල් රස්සාව කරන, අහවල් සුදුසුකම්  තියෙන,  අහවල් පවුල් පසුබිමේ හැදුන.. මෙන්න මේ වගේ දුක සැප වලට මුහුණ දුන්න,   සමාජයේ මෙන්න මේ තැන ඉන්න/ බොහොම හොඳ /වැදගත් /පාඩුවේ ඉන්න/ අහිංසක චරිතයක් කියල මතුපිටින් ඉන්න මම ගැන අපිට ඉතින් සරලව හිතා ගන්න පුළුවන්..

ඔය හිතුවිල්ලෙන් හිතන දේට වඩා සියුම් විදියට අපි අපිව ඇනලයිස් කරලා බැලුවොත් අපිට ඔය මතුපිටින් ඉන්න එකාට යටින් ඉන්න සියුම් එකාව හොයා ගන්න පුළුවන් ..  ඌ ඔය කියන තරම් වැදගත් , අහිංසක ,උගත් පොරක් ද යන එක ගැන අපිම හිතල බලන්න ඕනේ.. 

සමහර විට ඇතුලේ ඉන්න මම බොහොම දක්ෂ සංගීත කාරයෙක් / චිත්‍ර ශිල්පියෙක්/ ගොවියෙක් /ලේඛකයෙක්/කම්කරුවෙක් වෙන්න පුළුවන්..  අපි ඒ අපේ ඔරිජිනල් චරිතෙට සාධාරණයක් වෙන විදියට දැන් ජිවත් වෙන්නේ කියල හිතල බලන්න..  සමහර විට අහසට පොලොව වගේ වෙනස් චරිත දෙකක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා ඇති.. සමාජ සම්මත වලට බයේ..

ඔය වෙනස අඳුන ගත්තත් අපිට ඒක අපිට ඕනේ විදියට ආපහු  වෙනස් කරන එක පහසු නෑ.. මොකද ඒ තරමට අපි මේ සමාජ සම්මත වලට බැඳිලා ඉන්න නිසා.. සම්මත බිඳින්න අපිට බෑ අපි මත යැපෙන අය තව ඉන්න නිසා.. (මේ ගැලවීම ගැන තමයි අපේ ආගමේ කියන්නේ කියල එකට වන්දනා කරන එක නැතුව අපිට බැරිද මේකෙන්  මේ ඉන්න ගමන්ම  ගැලවිලා අපේ ඇත්ත ජීවිතය ඇතුලේ ජිවත් වෙන්න...)

මට ඔය හැඟීම බොහොම තදට දැනෙන්න ගත්තේ මෙහට ආවට පස්සේ... මම ඉස්සර ඉඳන් ලංකාවේ ඉන්න, ලංකාවට වැඩ කරන්න කැමතියි.. අලි දෙන්නම් කොටි දෙන්නම් කියල එන්න කිව්ව නිසා ඇවිල්ල බැලුව මිසක් අවංකවම ආවේ හෙන උනන්දුවකින් නෙවෙයි.. (බැංකු ණය නිසා ) ටික කාලයක් යනකොට මට මොකක්දෝ දෙයක් මිසින් කියන හැඟීම එන්න ගත්තා... ඒක පාළුව වත් තනිකම වත් නෙවෙයි.. (ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්.. හෙහ් හෙහ්)

ගිය සුමානේ හදිසියේම ලංකාවට ගියා මේ බස්ටි නංගිගේ පොඩි ඩෙන්ටල් කේස් එකක් වෙලා (මෙහෙ පට්ට ගණන් ) .. ඔය ගිය වෙලාවේ අර මිසින් වෙලා තිබ්බ දේ ආයෙත් දැනුන කියල මට හිතුන.. ඒ කියන්නේ ලංකාවේ තියෙන පිළිවෙලක් නැති, කුණු පිරිච්ච ,ඔහේ දුවන, ප්‍රශ්න වලින් හෙම්බත් වුණ.. එහෙත් ගැඹුරු හදවත් තියෙන මිනිස්සු එක්ක මට ජීවිතය පෙනුනා කියල හිතුනා... ලංකාවයි මෙහෙයි භෞතික විදියට සංසන්දනයෙන් ඔය දේ විඳින්න බෑ.. ඉන්දියාවට ගියත් සමහර විට මට ඔය ගතිය දැනෙයි.. 

මෙහෙ ජීවිතය සැපයි.. පහසුයි..  හැබැයි මම මෙහෙ ඉන්නවා මිසක් ජිවත් වෙන්නේ නෑ... පිළිවෙලට රොබෝලා වගේ කන්ඩිෂන් වෙච්ච .. හරි විදියට ජිවත් වෙන්න ට්‍රයි කරන (සුද්දෝ හරි කියල හිතාගෙන ඉන්න )  මිනිස්සුන්ට වඩා.. හිත් වලට  එන නැචුරල් තරහට/ආදරයට/කම්මැලි කමට / මුස්පේන්තු කමට පොඩ්ඩක් ඉඩ දීලා .. එක එකාට බැන බැන ... දුෂ්ට කම් කර කර .. හිතට එන දේ කරන   ඔහේ ගෙවන ජිවිත තියෙන අපේ මිනිස්සු අතර ජීවිතය තියෙනවා කියල මට හිතුනා... 

(ඕක හරියටම  දැනෙන්න මම ඒ.සී කාර් එකේ සහ අනිත් උන් දුක් විඳගෙන පයින්/බස් වල  යන්න ඕනේ.. පැත්ත මාරු වෙච්ච ගමන් ..අනේ අම්මපා මෙහෙමත් කාලකන්නි රටක් ..  )