Tuesday, October 08, 2013

ඉංග්‍රීසි බැරිවීමේ සාපය හෙවත් උසස් පෙල වීර ක්‍රියා ...

දැන් මේ x-ban  ප්‍රදර්ශනේට හෝ ගාල ලෑස්තිවෙන (පටන් අරන් ද මන්දා ) ගම්පහ  බණ්ඩාරනායකේ මල්ලි කෙනෙක් මට ඊ මේල් එකක් එවල අර අපි හදපු කාල යානේ විස්තර අහල තිබ්බා .. එයාල මේ සැරේ එකට එහෙම එකක් හදනවලු.. මම ඉතින් මතක විදියට ටිකක් කියල දුන්න .. මම හිතන්නේ මම ඉස්කෝලේ ගිහින් කරපු වැඩකින් මනුස්සයෙක් පරෝජනයක් ගන්නවමද කොහෙද ඔය .. :) කොහොම උනත් ඒ මල්ලිලා කරන ඒ වැඩේ නිසා මට ඇත්තටම  හරි සතුටක් ආව .. මේ දේවල් ලියල තියෙන එක කොච්චර වටිනවද කියල... 

ඉතින් ඔය ඉස්කෝලේ කාලේ කරපු ඒ වගේ වැඩ කිහිපයක් ලියන්න ඕනේ කියල මම හිතුවා .. මොකද ජිවිතේ කවද හරි මතක තියෙන්නේ ඉස්කෝලේදී කරපු ඔය වගේ වැඩ විතරයි .. ඉගෙන ගන්න මෙලෝ දෙයක් ඔලුවේ හිටින්නේ නෑ .. (එහෙම හිටින උන් ඉන්නවා' .. මම කිව්වේ අපි වගේ හුදී ජනයා ගැන ). 

මම උපතින්ම ටිකක් මන්ද බුද්ධික නිසා අණ්ඩපාල වැඩ එච්චරම කලේ නෑ .. කරන උන්ට හින් සීරුවෙ සපෝර්ට් එක දුන්න විතරයි ... 6-11 වෙනකම් බොහොම හැදිච්ච ගුණයහපත් දරුවා .. 12 දී ටිකාක් විතර හොඳයි .. 13 දී  "අයිසේ හේරත් තමුසෙට මම හැමදාම  කියල තියෙනවා නේද කෙමිස්ට්‍රි වෙලාවේදී ඉස්සරහ පේලියට එන්න කියල .. . කනෙන් ඇදල ගන්න කලින් එනවා මෙහාට ... තමුසෙලා ඔය පිටිපස්සේ ඉඳන් කරන මගුලක් නෑ .."

ඇත්තටම කරපු මගුලක් නම් නෑ තමා .. ලේනා සර් හරි .. 

අපිට ෆිසික්ස් සර් කෙනෙක් හිටියට කවදාවත් හරියට ෆිසික්ස් නම් ඉගෙන ගත්තද කියල මතක නෑ .. ගණන් උගන්නන්න හිටපු රන්ජන් සර් සිරා උනාට සර් ටික කාලෙකින් ගිය නිසා ගණන් හරියට කෙරුනේ නෑ  .. එහා පන්තියේ දසනායක සර් ඇවිත් බැලුවට ඉතින් අපිටම කියල සර් කෙනෙක් හිටියේ නෑ .. ඔය කෙමිස්ට්‍රි කරපු හේමචන්ද්‍ර සර් විතරයි පිළිවෙලකට පන්තියට ආවේ ..  ඒක ඔය ඒ ලෙවල් කාලේ පන්තිවල කොහොමත් හැටි කොල්ලෝ එකෙක්වත් ඉස්කෝලෙන් ඉගෙන ගන්නේ නෑනේ (එහෙම ඉගෙන ගන්න උන් ඉන්නවා .. හුදී ජනයා.. හුදී ජනයා ) සර්ල මිස්ලගේ වැරැද්දක් නෙවෙයි ..  වයසේ වැරැද්ද ..

හරි දැන් ඒ ලෙවල් පන්තිවල කරන ප්‍රධාන විෂයන් 3-4ට සැලකිල්ල ඔහොම නම් ඉංග්‍රීසි වලට කොහොම සැලකිල්ලක් තියෙන්න ඇති ද ? (මම හිතන්නේ අවුරුදු 13-14කට පස්සෙත් ඕව වෙනස් වෙන්න විදියක් නෑ )

අපේ පන්තියට ඉංග්‍රීසි ඉගැන්නුවේ කුමාරි මිස් .. දැන් නම් ඉන්නවද දන්නේ නෑ ... කොහොම හරි ඉතින් කුමාරි මිසුත් පන්තියට හැමදාම වගේ ආවා .. (අපෝ කුමාරි අක්කා ... කට්ටියගේ මුණ දෙල් ).. මිස් ඉංග්‍රීසි ඉගැන්නුවා ... කොල්ලෝ ඉගෙන ගන්නවා .. කෑ ගහනවා .. හිනා වෙනවා .. අල්ලපු එකාට ගහනවා.. පෑන් ගහනවා .. අන්තිම පීරියඩ් එක නම්  ඉතින් කොන්ඩෙ හදනවා .. කලිසම යට කරනවා ...මේකප් දානවා ඕව තමා ...   

කුමාරි මිස්ට ඉතින් ටිකක් අමාරුයි අපේ පන්තියේ හිටපු 30-35 ක් විතර කොල්ලෝ ටික බැලන්ස් කරන්න .. මොකද මිස්ටත් ඒ දවස් වල එච්චර වයස නෑ .. වැඩිම උනොත් 28-30ක් ඇති ..  මිස් ඉතින් දන්නා සෙල්ලන් දාල බනිනවා බනිනවා .. අපි ඉතින් හරි හරි මිස් කියල ඉන්නවා ..  ඕක තමා ඉතින් හැමදාම ... අපේ පන්තියේ හිටියා නම ගිය පොරවල් සෙට් එකක් ඒ කියන්නේ 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ චන්ඩි ලෙවල් එකේ හිටපු සහ ඒ ආසන්නයේ හිටපු උන් .. එකෙක් වැද්දා .. ඌට අපිට වැඩිය ඉංග්‍රීසි පුළුවන් .. ඒ කියන්නේ අපි නොදන්නා වචන ඌ දන්නවා .. හැමදාම උගේ වැඩේ මිස්ව බයිට් කරන එක ඔය මොකක් හරි වචනයක් හොයාගෙන ... නැත්නම් ඉතින් ඔය මොකක් හරි එකක් අල්ලගන්නවා .. මිස් සමහර වෙලාවට හොඳයි හැබැයි ඉතින් යකා නගිනවා හිටපු ගමන් ..

ඔන්න ඔහොම එක දවසක් ඉංග්‍රීසි මිස් පන්තියට ආවා .. සුපුරුදු සින්දුව තමා  ඉතින් .. කරුමේ කියන්නේ ඔය මොකක් හරි ගෙදර වැඩක් දීල  මිස් දැන් සිරාවට මේක බලනවා .. අම්මට හුඩු එකෙක්වත් කරලා නෑ ..(කරපු උන් හිටියා  හුදී ජනයා කරලා නෑ ..).. එල කිරි  වගේ මිස් එක එකාගේ පොත් බලන්න ගත්තා ...  මම කෙමිස්ට්‍රි වෙලාවට ඉස්සරම පේලියේ හිටියට නෝමල් ලැන්ඩ් කරන්නේ පිටිපස්සෙම පේලියේ බිත්තිය මුල්ල නෙවෙයි අනිත් මුල්ලේ ..  (අනේ ඉතින් මොනවා උනත්  ඉංග්‍රීසි මිස් ඉස්සර ඉඳන් ම මාත් එක්ක හොඳයි .. ඒ කියන්නේ මම එයාගේ හොඳ ළමයෙක් ) අනිත් සර්ලා මිස්ල තාත්තගේ නමින් මට කතා කලාට කුමාරි මිස් පැතුම් කියල කතා කරන්නේ .. හත්හිලව්වට ගහපු කලාබරේ කිව්වා වගේ මමත් ඉතින් ඔය වැඩේ කරලා නෑ..

දැන් ඉතින් මිස් ඉස්සරහ ඉඳන් එක එකාගේ පොත් බල බල එනවා .. (කස්ටිය ලොකු ටෝක්ස් දීගෙන හිටියට මේ වගේ වෙලාවල් වල ටිකක් බයයි .. පිටි පස්සේ උන් හෝ ගාල අල්ලපු එකෙක්ගෙන් කොපි කරලා මොකක් හරි කුරුටු ගානවා .. නැත්නම් මොකක් හරි බොරුවක් ප්ලැන් කරනවා )  .. මිස්ට දැන් උපරිම තදවෙලා  කරපු වැඩේ බලනවට අමතරව මිස් නොකරපු උන්ගේ මුළු පොතම පෙරලා පෙරලා බලන්න ගත්තා .අපරාදේ කියන්න බෑ පන්තියෙන් 2/3කම වගේ ඉංග්‍රීසි පොත බාගෙට හිස් .. ඒ කියන්නේ එකෙක්වත් කවදාවත් මොකුත් ලියල නෑ .. ඔය බලි ඇඳ ඇඳ ඉඳල .. 

එදා නම් කුමාරි මිස්ට 84000හස් 3ට විතර කේන්ති ගියා .. එනවා යන්න ඔක්කොමල ප්‍රින්සිපල්ගේ  ඔෆිස් එකට .. දෙන්නම් මම තමුසෙලට අද .. කොච්චර කෑ ගහ ගහ අපි උගන්නනවද .. (දන්නවනේ ඉතින්  බැනිල්ල )..

අද හරි තමා  කිය කිය කට්ටිය ඉතින් පෝලිමේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකට ගියා.. ඒ දවස් වල හිටියේ අබේරත්න සර් (මතක අය ඉන්නවනම් දන්නවා ඇති කොල්ලෝ පට්ට බයයි ...) 

සර් ඔෆිස් එකෙන් එලියට ඇවිල්ල කොරිඩෝ එකේ ඉඳන් දැන් නඩුව අහනවා .. 

මොකෝ කුමාරි මිස් .. නෑ සර් මේ ළමයි කවදාවත් මම කියන දේවල් කරන්නේ නැ .. පුදුම වදයක් දෙන්නේ .. ඉවසල ඉවසල බැරිම තැන තමා මම මේ ආවේ .. මට දැන් ඇති වෙලා  (ඔන්න ඔය වගේ ).. 

අපි ඉතින් වට වෙලා ඉන්නවා ... සමහරු උඩ බලනවා .. සමහරු වට පිට බලනවා .. 

මොනවද මේ ටීචර් කියන්නේ .. තමුසෙලා මොකද වැඩ කරන්නේ නැත්තේ ? 13ට ගියාම තමුසෙලා හිතන්නේ ඉන්නේ මහා ලොකු මිනිස්සු කියලද ..? කෝ කෝ ගන්නවා බලන්න පොත් .. 

"නෑ සර් මෙයා හරියට උගන්නන්නේ නෑ ..  කිසි දෙයක් තේරෙන්නේ නෑ .. බොරුනම් බලන්න සර් මේ අපි කවුරුත් මොකුත් ලියල නෑ  හෙන කාලෙකින් .. "

හෙන ගැහුවා වගේ වැද්ද පටන් ගත්තේ නැතැ ..එතකොටම සංජිවයද කොහෙදත් "එක තමයි සර් මේ බලන්න පොත් වල හැටි .. අපි ඉතින් මොනවා ලියන්නද මෙයා උගන්නන්නේ නැතුව .. "

කට්ටියම කොර...  අම්මට හුඩු  කියන්නේ වැඩ නොකරපු සෙට් එකම හෙන පොරවල් වගේ ඉතින් මෙන්න වෙලාව කියල සර්ට පොත් ටික පෙන්නන්න ගත්තා ... සරුත් එහෙන් මෙහෙන් බලල "හරි හරි තමුසෙලා දැන් යනවා පන්තියට  මිට පස්සේ හරියට වැඩ කරනවල  .. තමුසෙලට තව මාස කීයද විභාගෙට තියෙන්නේ .." ඔන්න ඔය වගේ පොඩි සරල ටෝක්ස් ටිකක් දාල අපිව එව්වා .. 

හැක් හැක් හැක් .. අපිට පට්ට ආතල් ..  වීරයෝ වගේ කට්ටියක් පන්තියට ගියා .. කට්ටියක් එහෙමම කැන්ටිමට ගියා .. කොහොම හරි ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල කුමාරි මිස් ආයෙත් පන්තියට ආවා ..

මිස් ගේ ඇස් වල කඳුළු පිරිලා ... ගියා මෙසේ ලඟට ගත්ත පොත් ටික.. එතකොට නම් මිස්ට හොඳටම  ඇඩුණා.. අපිත් කොර .. මම හිතුවේ නෑ කවදාවත් තමුසෙලා මට මෙහෙම කරයි කියල .. එකෙක් හරි හොඳ ළමයි ඉන්න නිසයි මම ආවේ .. මිට පස්සේ කවදාවත් මම මේ පන්තියට එන්නේ නෑ .. 

අනේ සොරි මිස් .. මිස්ට මොකද උනේ .. ප්‍රින්සිපල් බැන්නද ? කවුද එකෙක් ඇහුව .. අනේ යනවා යන්න.. තමුසෙලා ඔක්කොම එකයි .. මම ආයේ එන්නේ නෑ ...එහෙම කියල මිස් යන්න ගියා ..

ඊට පස්සේ මට මතක විදියට නම් කුමාරි මිස් අපේ පන්තියට ආවේ නෑ .. ඇත්තටම මිස්ට ප්‍රින්සිපල් බැනල හරියට උගන්නල නෑ කියල ... පස්සේ අපිට මාර අවුල් .. පස්සේ අපි ගිහින් ආයෙත් සමාව ගත්තා .. හැබැයි මිස් ආවේ නෑ .. ඊට පස්සේ එහා පන්තියට ඉංග්‍රීසි උගන්නපු ඩ්‍රකියුලා  මිස් එක පාරක් ද දෙපාරක් ද ආවා .. එච්චර තමා ...

මේවා මේ ලිව්වේ දැන් ඉන්න මල්ලිලට උනත් කියවල ආදර්ශෙට ගන්න .. ඒ කියන්නේ කොහොමද කට්ටියම සෙට් වෙලා ගේමක් දෙන්නේ වගේ .. තව පැහැදිලි කලොත් පොදු සතුරාට එරෙහිව බය නැතිව හඬ නගන්නේ කොහොමද වගේ .. තවත් පැහැදිලි කලොත් ටීම් වර්ක් කියන්නේ ඕකට .. 

හැබැයි කොල්ලනේ ඕව සහගහන වැඩ .. (ඒ ගහපු  "සහ" නිසා තාම හරියකට ඉංග්‍රීසි බෑ ..) ගුරුවරුන්ට ගෞරව කරලා හොඳට ඉගෙන ගන්න ඕනේ ...  තේරුනා ද?

ගුරු ගෞරවේ ඇඟට දැනෙන්න ඉස්කෝලෙන් අස් වෙලා කාලයක් යන්න ඕනේ ... ගුරුවරු කියන්නේ දෙවිවරු.. එකේ දෙකක් නෑ (ටියුෂන් අයත් එක්කම ). අපි හැමෝම අද මේ ඉන්න තැන වල ඉන්නේ ඒ මිනිස්සු උගුර ලේ රහ වෙනකම් කෑ ගහල උගන්නපු දේවල් වලින් 10% ක් හරි ඔළුවට ගත්ත නිසා .. ඉඳල හිටලා ඕවගේ නොසන්ඩාල වැඩ කලාට මම හිතන්නේ පහු පහු වෙනකොට ඒ අයටත්  ඕව සොඳුරු මතක වෙනවා .. අපිට වගේම ..  

ඔය වගේම ටීම් වර්ක්  නොසන්ඩාල කමකින් පස්සේ දවසක හමුවෙමු ..