Thursday, January 17, 2013

බල්ලෙකුගේ හදවත කියැවීමි....

බල්ලෝ සමාජ වාදී ද? ධනවාදී ද? බල්ලෝ වැඩියෙන් කැමති නිර්ධන පන්තියට ද ධනපති පන්තියට ද? නිකමටවත් බල්ලො මේ දේශපාලනය ගැන කොහොම දකිනව ඇත්ද කියල හිතල නැද්ද? ලංකාවේ නම් බල්ලෝ මහින්දටද රනිල්ටද නැත්නම් ෆොන්සේකට ද නැත්නම් ජෙප්පන්ට ද පක්ෂ ඇත්තේ..?නැත්නම් වික්‍රම කරන බාහූ ලට ද? 

ලංකාව තනි සිංහල බෞද්ධ රටක් කරන්න මහා වෙර වීරියක් දරණ මේ කාලෙදි අපිට බල්ලන් ව අමතක කරන්න බෑ. මොකද ලංකාවේ මිනිස්සු එක්ක නිතර දෙවේලේ රැඳිල ඉන්න, ඕනැම පාර තොටකදි හමුවන බොහෝම හිත මිත්‍ර වැදගත් සත්තු ජාතියක්.. මට හිතෙන්නේ කවද හරි මේක තනි සිංහල බෞද්ධ රටක් වෙච්ච කාලේක අපි බල්ලන්ට (පූසන්ටත්) සර්වබලු සහ සර්වපූස් ඡන්ද බලේ දෙන්න ඕනේ. මොකද සත්තව කරුණාව සිංහල බෞද්ධ රටක මූලික දේ වෙන්න ඕනේ. (හරක් මීහරක් නම් ඉතින් කොහොමත් හරක් ම නේ..)

ඔය කිව්වට මෙහෙ වගේ නෙවෙ රුසියාවේ. රුසියාවෙත් බල්ලෝ ඉන්නවා. ඒ බල්ලෝ වැඩියෙන් ම කැමති සමාජවාදෙට ධනවාදෙට ?

"අර ජරා තොප්පියක් දාගෙන ඉන්න වලත්තයා. ඒ කියන්නේ ජනතා ආර්ථික කටයුතු පිළිබඳ මධ්‍යම සෝවියට් සභාවේ කම්කරුවන්ට තියෙන අර සාමාන්‍ය බෝජන ශාලාවෙ කෝකියා, මගේ ඇඟට උතුරන වතුර වීසි කරල මගේ ඇඟේ වම් පැත්තම පුච්චල දැම්මා. අධමයා, ඒ මදිවාට ඌ කියාගන්නවා ඌ නිර්ධන පන්තිකයෙක්ලු.."

"නිර්ධන පන්තියේ එවුන්ගෙන් එපාම කරපු මදාවියෝ තමයි ඔය මුරකාරයෝ. එතකොට අරක්කැමියෝ? උන් නම් ඔය ඕනෙම ජාතියක වෙන්න පුළුවන්"

එම බල්ලාම ධනවාදී ලෙස

"ප්‍රභූ මහත්මයෙක්; මා එසේ තීරණය කරන්නේ හැඳ සිටින කබායෙන් යැයි ඔබ සිතනවාද? විකාර"

"මොන නමකින් කතා කළත් කමක් නෑ. මේ වගේ අසාමාන්‍ය දානයක් වෙනුවෙන් මොන නමකින් කතා කළහම මට මොකෝ? මං දැන් ඔබේ අත ලෙව කන්නම්. නැවත නැවතත් ලෙවකන්නම්. මං ඔබේ කලිසමත් ඉඹ්න්නම්. ඔව් පරිත්‍යාගශීලී හිතවත, මං ඔබේ කලිසමත් ඉඹින්නම්."

ෂාරික් අපූරූ වල් බල්ලෙක්! මට හිතෙන්නේ පීඩිත පන්තියේ බල්ලෝ නිර්ධන පන්තියට කැමති නෑ.. උන් කැමති ධනපති පන්තියට. ධනපති ගෙවල් වල හැදෙන බල්ලෝ හින්දි ෆිල්ම් වල වගෙ පීඩිත පන්තියේ බැල්ලියොත් එක්ක ප්‍රේම කරන්න හීන දකිනවද මම දන්නෑ.. නමුත් මම හදවත කියවපු ෂාරික් අපූරු බල්ලෙක්. 

ඒ වගේ බල්ලෙක් ධනවාදී ලෙස හිතන, බුද්ධිමත්,දක්ෂ,කාර්‍යයශූර මහාචාර්‍යය වරයෙකුට හම්බ වුනොත් මොනව වෙයි ද? මිනිස් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකුට... 

පිටියුටරි ග්‍රන්ථියෙන් මොනවද වෙන්නේ? සමාජවාදේ ධනවාදේ තීරණය වෙනවද? හික්.. 

පොලිග්‍රාෆ් පොලිග්‍රෆොවිච් ෂාරිකෝව්ට ඇයි පූසෝ දැක්කම ඉන්න බැරි.. හිකිස්.. මිනිහට කරන්න හරි හමන් රස්සාවක් නෑ. ඉන්නේ අනුන්ගේ තැනක. හැබැයි විප්ලවවාදීයි, සමාජවාදියි ධනපති පන්තියට වෛර කරනවා.

ඔන්න ඔහොමලු රුසියාවෙ බල්ලෝ.

1925දී සෝවියට් රුසියානූ ලේඛක මිකායෙල් බුල්ගාකොව් විසින් ලියන ලද බල්ලෙකුගේ හදවත කියවා නැති කෙනෙකුට මේ දේවල් විකාර වගේ දැනෙයි. නිර්මාණශීලීත්වය උපරිමයි. දේශපාලනය,විද්‍යාව,හාස්‍යය නියමෙට ගැලපෙච්ච පොතක්.  ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනෙන් අරන් දෙසැම්බර් මාසේ අන්තිම කියවන්න පටන් අරන් අද කියවල ඉවර කරපු, කාලෙකින් කියවපු සිරාම පොතක්. 

අන්තිමටත් කියන්න ඕනේ අපි මේ තනිකර සිංහල බෞද්ධ රටක් හදන්න යන මේ අතිශය තීරණාත්මක ගමනෙදි අපිට බල්ලන්ව අමතක කරන්න බෑ. අපි බල්ලන්ගේ හදවත කියවන්න ඉගෙන ගන්න ඕනේ. උන්ටත් තනිකර සිංහල බෞද්ධ රටක ජීවත් වෙන හැටි උගන්නන්න අපි උන්ගේ හදවත කියවන්නම ඕනේ.

10 comments:

  1. මේක සෑහෙන්න ඉස්සර පරිවර්තනය වුණ එකක් නේද? මොකද මට පොත ගැන කිසිම අදහසක් නැතත් සෑහෙන්න කාලෙක ඉඳන් ප්‍රදර්ශනවලදි දැකලම පොතයි කතෘවයි මතකයි.

    මොනව වුණත් මිනිස්සුන්ට පස්සෙ සෑහෙන්න ජීවන වරප්‍රසාද තියෙන සත්ත්ව කොට්ඨාශයක් වෙන බල්ලන්ව අමතක කරන්න බෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ගොඩක් කල් ඉඳල ඔය පොත පොත් ප්‍රදර්ශන වල දැකල තියෙනවා. ගොඩක් දවස් වල අතට අරන් ආයෙත් වැඩක් නෑ වගේ කියල දාල ඇවිත් තියෙනවා. මේ සැරේ තමා ඕනෙ එකක් වෙන්න කියල ගත්තේ.. බලපුවහම නියම පොතක් නේ..

      Delete
  2. සමාජවාදය සියුම් ලෙස උපහාසයට ලක් කරන පොතක්... පරිවර්තනය කලේ ගාමිණී වියන්ගොඩ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.. දේශපාලනය,විද්‍යාව, උපහාසය නියමෙට ගලපල ලියල තියෙනවා.

      Delete
  3. කියවන්න වටිනා පොතක්.. සමාජවාදේ නියම හරය නම් බල්ලන්ගෙන් මිනිස්සුන්ට ඉගෙනගන්න පුලුවන් තමයි..

    ReplyDelete
    Replies
    1. බල්ලෝ කැමති ධනපති පන්තියට අයියේ. ඔය පොත කියවල මම ඉගෙන ගත්ත දේ ඒක.

      Delete
  4. කියවල නෑ. හොයාගෙන කියවන්න වටින පොතක් වගේ.

    ReplyDelete
  5. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  6. වියන්ගොඩ මහත්තයගේ පරිවර්ථන ගොඩක් ඉතින් බලු කථා එක්ක සම්බන්ධයි...
    'I am hungry like a dog..' කියන වැකිය සිංහලට හරවනකොට අමතක කරනව මෙහෙට ගැලපෙන ' මට යකෙක් කන්න බඩගිනියි..' කියන වහර. ඒකරල කියනව 'මට බල්ලෙක් වගේ බඩගිනියි..' කියල
    හැබෑ කථාවේ සංකීර්ණභාවයට ඒ වාගේ යෙදුම් තවත් සංකීර්ණ බවක් එක්කහු කරනවනේද?

    ReplyDelete
  7. මමත් ඉතාමත් ආසාවෙන් කියවපු පොතක්. ජොර්ජ් ඔවෙල්ගෙ 1984ත් කියවල බලන්න. බය හිතෙනව අපේ රට යන පැත්තත් එක්ක හිතල බැලුවම....

    ReplyDelete