Monday, December 02, 2013

වික්‍රම අයියා

මේ දවස් ටිකේ කියවපු මේ පොස්ට් නිසා මේක ලියන්න හිතුනේ..  



අපේ තාත්තගේ අක්කගේ එක පුතෙක් තමයි වික්‍රම අයියා...  වික්‍රම අයියාගේ වයස මම හරියටම දන්නේ නෑ.. දැන් අවුරුදු 60ක් විතර ඇති.. එච්චර වයස අයියල මට ඉන්න හේතුව අපේ තාත්ත තාත්තගේ පවුලේ බාලයා වීමත් මම තාත්තලාගේ පැත්තෙන් බැලුවොත් ඒ පරම් පරාවේ ඉන්න බාලම කොලුවා නිසාත්... කොහොම හරි අපේ අම්මට වඩා වයස අයියල අක්කලා මට හෙනට ඉන්නවා...

වික්‍රම අයියා කියන්නේ උපතින්ම නොවුනත් පස්සේ කාලෙක හැදිච්ච මොකක් හරි ලෙඩක් නිසා ටිකක් විශේෂ විදියට හැදිච්ච කෙනෙක්... පොඩි කාලේ හොඳට හිටපු කෙනෙක් කියල අපේ අම්ම කිව්වා මට හැබැයි දැන් කතාව එච්චර මතක නෑ... 

ඉස්සර අපි පොඩි කාලේ හපුතලේ ගියාම ඉන්නේ තාත්තගේ අක්කගේ ගෙදර තමයි.. හපුතලේ ගෙදර ගැන මම වෙනම පොස්ට් එකක් ලියන්නම්... මේක වික්‍රම අයියා ගැන ලියල... හපුතලේ යන එක තරම් ජීවතේ ආස ගමනක් මට ඉස්සර තිබුනෙත් නෑ.. දැනුත් නෑ...ඉස්සරහටත් නැති වෙයි ...ඒ තරම් මම ඒ ගමට ආසයි... මග දිගට වමනේ දදා ලංගම බස් වල පැය 5-6ක් ඉස්සර කට්ට කාගෙන යන්න වුනත් ඕනේ වෙලාවක මම රෙඩ්..

පොඩි කාලේ මම එහෙ ගියාම මට බය හිතුන එකම කෙනා තමයි වික්‍රම අයියා.. ඒ එයාගේ තිබිච්ච ඒ ගතිය නිසා.. ඒක ඔය අපි මේ කතාවට පසුබිම් වෙච්ච විදියේ දරුවන්ගේ ස්භාවය නෙවෙයි හැබැයි. එයා එහෙ හිටපු අනිත් අයියලා 3න් දෙනාට වඩා වෙනස් නිසා.. ඒ කියන්නේ මානසික වර්ධනය සහ ශාරීරික වර්ධනයේත් පොඩි අසාමාන්‍ය ලක්ෂණ තිබ්බ නිසා... හොඳට ඇවිදලා, කතා බහ කරලා, වැඩ කරලා ඉන්න පුළුවන් හැබැයි ටිකක් වෙනස්.. ඒ කියන්නේ කට හඬ ටිකක් බරයි..සමහර වෙලාවට හරියට කතා කරන්න බෑ..  ඇවිදින්නේ අමුතු විදියට... වැඩිය අපිත් එක්ක කතාවට එන්නේ නෑ.. අමුතු විදියට බලනවා... ඔන්න ඔය වගේ දේවල් නිසා මම වික්‍රම අයියට ඒ දවස් වල බයයි...

හැබැයි අපේ අම්ම තාත්තා වික්‍රම අයියට හෙන ආදරෙයි.. පවුලේ හැමෝමත් එහෙමයි... ඉස්සර අපි ගියාම සමහර වෙලාවට මල්ලී කියල ළඟට ඇවිත් මාත් එක්ක කතා කරනවා... සමහර වෙලාවට අඳුරන්නේ නෑ වගේ ඉන්නවා... පොඩි පොඩි නාරං, නෙල්ලි, අඹ, පේර වගේ දේවල් වත්තෙන් කඩල අපට දීල සමහර ඔහේ බලාගෙන ඉන්නවා... හිටපු ගමන් කොහේ හරි දුවනවා.. ඔන්න ඔය වගේ..

ටික කාලයක් ගියාම මට ඒ තිබ්බ බය ගතිය නැති වෙලා වික්‍රම අයියා පවු කියන දේ තේරෙන්න ගත්තා.. ඒ කියන්නේ අවුරුදු 10-12 වගේ කාලේදී...  පස්සේ පස්සේ එහෙ යනකොට වික්‍රම අයියා කියන්නෙත් අනිත් අයියල 3න් දෙනාම වගේ කියන දේ මට දැනෙන්න ගත්තා...  අපි ලොකු වෙලා එහෙ ගියත් වික්‍රම අයියා ඉස්සර හිටපු විදියම තමා...  එයාගේ ජිවිතේ තිබුනේ පොඩි දේවල් ටිකක් විතරයි... එදිනෙදා කාල බීල ගෙදර කවුරු හරි කියන වැඩක් පලක් කරලා දීල ඔහේ ඉන්න එක තමයි එයාගේ ජිවිතේ උනේ... ඒක තාමත් එහෙම තමා.. වැඩට කම්මැලි නෑ..   කාටවත් කරදරේකුත් නෑ... 

අපේ තාත්තලාගේ පවුල කියන්නේ හරිම දුප්පත් පවුලක් (අම්මලාගේ පවුලත් එහෙම තමා )... කොහොමත් ඒ කාලේ ඒවගේ ගම් වල හිටපු හැම පවුලම වගේ එහෙම තමා... සාපේක්ෂව යමක් කමක් තිබ්බට .. සමාජයේ දුප්පත් පවුලක්... ඉතින් වික්‍රම අයියා ගැන ආදරෙන් කන්න බොන්න ටික දීල ඔහේ ඉන්නවා ඇර වෙන එයාව මොන අංශෙන් වත් දියුණු කරන්න හැකියාවක් වත් අවශ්‍යය දැනුමක් වත් ඒ පවුලේ අයට තිබුනේ නෑ... ඉතින් මේ වෙනකොටත් වික්‍රම අයියා ඒ වගේම තමා....

මම  ලොකු වෙලා  වික්‍රම අයියා ගැන දැන ගන්න , එයාව තේරුම් ගන්න,  එයත් එක්ක එකතු වෙලා කතා කරන්න හැදුවට ඒවා හරි ගියේ නෑ.. එයා එහෙම සෙට් වෙන්නේ නෑ... හොඳ සිහි කල්පනාවක් තිබුනට මතකය සමහර වෙලාවට රැඳිලා තියෙන්නේ අතීතේ... අපේ තාත්තා නැති වෙච්ච කතාව එයාට කිව්වට එයාට ඒක තේරුම් ගියේ නෑ... මට මතකයි තාත්ත නැති වුනාට පස්සේ අපි එහෙ ගිය දවසක නැන්දේ පොඩි මාමා කෝ කියල ඇහුවා... තාත්තත් එක්ක ඉස්සර කරපු දේවල් සැරෙන් සැරේ මතක් කරනවා...   සමහර වෙලාවට එයාට මාව මතක තියෙන්නේ පොඩි කාලේ දැක්ක විදියට...

දැන් හපුතලේ ඒ ගෙවල් ඔක්කොම විනාශ වෙලා ගිහින්... දැන් වික්‍රම අයියා ඉන්නේ සොරගුණේ පොඩි අක්කලාගේ ගෙදර...  දැන් අපි එහෙ ගියාම ලඟට ඇවිල්ල ඉන්නවා.. මල්ලී කියල කතා කරනවා.  මොනවා හරි ඇහුවොත් මතක තියෙන විදියට කියනවා... අපි ඉතින් යනකොට අරන් යන සරමක්, කමිසයක්  හරි කෑමක් හරි ගිහින් දෙනවා.. සමහර වෙලාවට සල්ලි කියක් හරි අතට දීල එනවා ... දුන්නේ සල්ලි ද සරමද කියන එක එයාට  වැදගත් නෑ.. මොනවා හරි දුන්න කියන එක හැමදාම මතක තියෙනවා...

අද වික්‍රමට වාසියි නේද කියල ලොකු අය්යා හරි කවුරු හරි ඇහුවහම ඔහේ හිනාවක් දාල ඉන්නවා .. 

මම පස්සේ පස්සේ වික්‍රම අයියගේ ඒ ජිවිතේ පුදුම සුන්දර විදියට දකින්න ගත්තා...  හරි  සරල ජිවිතයක්... මම දන්නේ නෑ එයාට එයාගේ ජිවිතේ කොහොම දැනෙනවද කියල.. නමුත් ලෝකේ තියෙන හැම කුණු ගොඩම ඔලුවේ තියාගෙන සරල වෙන්න දඟලන අපිට සාපේක්ෂව සැහෙන්න නිර්ව්‍යාජ , පිරිසිදු ජිවිතයක්..

කවදාවත් අපේ අම්ම තාත්ත අපිව ඒ වගේ අයගෙන් ඈත් කරන්න හැදුවේ නෑ.. ඔහේ එයාලත් එක්ක ඉන්න ඇරියා... මට මග තොටේදී එහෙම මනුස්සයෙක් ළමයෙක් දැක්කට පවු කියල හිතෙන්නේ නෑ... අවංකවම මට කිසි දෙයක් දැනෙන්නේ නෑ... තව එක මනුස්සයෙක් එච්චරයි...

ඊට පස්සේ මට ටිකක් හරි ඒ වගේ කෙනෙක් ව ළඟින් ආශ්‍රය කරන්න ලැබුනේ මෙහෙ ආවට පස්සේ  පැතුම් මල්ලිව තමා...  සරත් අයියගේ පුතා පැතුම් මට මල්ලි වෙච්ච විදිය අහන්න එපා... ඒවා එහෙම තමා... මොකද මට වැඩිපුරම ඉන්නේ සරත් අයියගේ වයසේ අයියලයි ... එයාගේ පුතාගේ වයසේ මල්ලිලයි... හෙහ් හෙහ් .. 

අපි හම්බ වෙච්ච හැම සැරේම අර වික්‍රම අයියගේ තිබිච්ච නිර්ව්‍යාජ පිරිසුදු කම මම පැතුම් ගෙත් දැක්ක..  මට එක දැනෙන්නේ  සමාජය කියන බොරුව නිසා ස්පොයිල් නොවිච්ච    ජිවිත  විදියට...  ඒ කියන්නේ ජිවය කියන දේ තවම නැවුම් ව මේ අය ඇතුලේ ඇති කියල මට හිතෙනවා...

අපි දවසක් ෂොපින් මෝල් එකක සෙට් වෙලා කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච වෙලාවක පැතුම් මට කියනවා  "Everything is useless" . කට්ටිය එයාව දාල ෂොපින් යන එකට පොඩ්ඩක් අප්සට් වෙලා වගේ ..  මම හිනාවෙලා  පොඩි තට්ටුවක් දාල  කිව්වා "Yes. everything is useless but we should enjoy everything and every moment. Then we can be happy everyday " කියල... මිනිහා හිනාවක් දාල ඔහේ හිටියා ඉතින් ..ඊට පස්සේ මට හිතුනේ "Everything is useless" කියන පරම සත්‍යය පැතුම් සමහර විට ප්‍රත්‍යක්ෂව අත්දකිනවා ඇති අපි මැරීගෙන  පොත් කියවල තේරුම් ගන්න ට්‍රයි කරනකොට කියල...

Tuesday, November 26, 2013

13බී බා උන හැටි හෙවත් තවත් උසස් පෙළ විර ක්‍රියාවක්

උසස් පෙළ කරන අවසාන අවුරුද්දේ ට්‍රිප් එකක් යන එක සාමාන්‍ය සිරිතනේ... මම හිතන්නේ කුමාරි මිස් ගේ සීන් එකෙන් පස්සේ ද කොහෙද මේ ට්‍රිප් එක ගියේ..  මේ ට්‍රිප් එක ඉතින් ඔය සාමාන්‍යය විදියට කට්ටිය සාකච්චා වට හැටක් විතර දාල තීරණේ කර ගත්තා හන්තාන කන්ද නගින්න ... පන්තිබාර සරුත් යන බොහොම ඔෆිසියල් ට්‍රිප් එකනේ.. කොල්ලෝ වෙන වෙනම යන ඒවා ඇරුනම මම හිතන්නේ ඒ අවුරුද්දේ උසස් පෙළ පන්ති හැම එකම තම තමන්ගේ පන්ති බාර ගුරුවරයාත් එක්ක මේ ට්‍රිප් එක ගියා ද කොහෙද.. හන්තානේ ගියේ අපේ පන්තිය විතරයි... අනිත් උන් කොහේ ගියා ද කියල දැන් මතක නෑ...

කොහොම හරි ඔය ඔර්ගනයිසින් වැඩ එහෙම කරලා බස් එකක් කතා කරන් කට්ටිය ට්‍රිප් එක යන්න පටන් ගත්තා.. ඊට කලින් කන්න දේවල්, බොන්න දේවල්, ක්‍රීඩා බාන්ඩ, සංගීත බාන්ඩ එහෙම ඔක්කොම ලැස්ති කර ගත්තා...  පන්තියේ සිරාම පොරවල් ටික පස්සේ සීට් එකේ... මුට්ටි පොරවල් ටික සර් ට කිට්ටුවෙන් ඉස්සරහ සීට් වල..  මම වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් ටික පස්සට බර මැද සීට් වල...  අපි ගියේ තනි දොර පොඩි ටාටා බස් එකක... 

දැන් ඉතින් කස්ටිය සිංදු කිය කිය නට නට බොහොම සතුටින් සමාදානෙන් ගමන යනවා... අපිත් ඉතින් එහෙන් මෙහෙන් අප්පුඩියක් ගහල , බස් එකට තට්ටුවක් දාල ඔහේ යනවා... සමහරු මනෝ ලෝක වල යනවා... සමහරු විභාගේ ගැන වැදගත් දේවල් කතා කරමින් වැදගත් විදියට යනවා.. තවත් සමහරු ඔහේ යනවා.. ඔය විදියට කොහොම හරි බස් එකේ කට්ටිය දැන් යනවා.. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ... ඔය වරකාපොල හරියේ තියෙන කඩයක් ගාව උදේට කන්න නතර කළා...

දයිවයේ හැටි කියන්නේ ...ඒ දවසේ, ඒ වෙලාවෙම,ඒ පැත්තටම යන,ඒ කඩෙන්ම උදේට කන්න තව බස් එකකුත් ඇවිල්ල නතර කරලා තිබ්බ... මහා බ්‍රහ්මයත් කරන වැඩ කියන්නේ ඒ බස් එකේ හිටියේ කොහෙද මන්ද ඉස්කෝලෙක කෙල්ලෝ ටිකක්... කරුමෙක මහත කියන්නේ ඒ කෙල්ලොත් අපි වගේම උසස් පෙළ කරන වයසෙමයි...  මම කියන්නේ එහෙම දේවල් සිද්ද වෙනකොට ගම්පහ තිබිච්ච එකම සිරා කොල්ලන්ගේ  ඉස්කෝලේ වෙච්ච (අනිත් ගෑනු ඉස්කෝල අපි ඒ දවස් වල තඹේකට ගණන් ගත්තේ නෑ.. ඒවායේ හිටපු කෙල්ලන්ව තනි තනි වශයෙන් ඔලුව උඩ තියන් ගණන් ගත්තට ) අපේ ඉස්කෝලේ උසස් පෙළ කොල්ලෝ වශයෙන් අපිට ඇහැ කන පියාගෙන ඉන්න බැහැනේ ... 

මොනවා උනත් අපි එතන  චාටර් කර ගන්නේ නැතුව ඒ නංගිලා එක්ක ජනෙල් වලින් කතා බහ කරගෙන නම ගම ඇඩ්රස්, ටෙලිෆෝන් නම්බර් එහෙම තිබුන නම් ඒවා හුවමාරු කරගෙන බොහොම වැදගත් විදියට හැසිරුණා...  බස් එකෙන් බැහැල ගිහින් ඒ බස් එකට නගින්න හදපු අවස්ථා එහමත් එකක් දෙකක් තිබ්බ මම හිතන්නේ.. කොහොම වුනත් පොලිසි නොයන මට්ටමින් උදේට කාල අපි එතනින් ආව..  

මේ කතාවට අදාළ නැති අතුරු කතාවක් වශයෙන් එදවස මා විසින් ටෙලිපොන් නම්බරය බස් එකේ ජනෙලෙකින් එම බස් එක තුලට විසි කිරීමේ අතුරු ඵලයක් වශයෙන් හඳුනා ගත් එක්තරා ගැහැණු ළමයෙක් ගැන කතා හැටහුටහමාරක් මේ අවස්ථාවේදී මතක් උනත් ඒවා එසේ තිබෙන්නට හැර නැවත ප්‍රධාන ගමනට හැරෙමු... 

ඔය ආකාරයේ සුන්දර සිද්දිත් එක්ක බස් එක ටිකෙන් ටිකේ නුවරට කිට්ටු උනා..  

මට මතක විදියට ඔය පේරාදෙණිය හරියේ එක තැනක බස් එක ටිකක් නතර කළා ... මම එච්චර ඔර්ගනයිසින් අන්සේට සම්බන්ද උනේ නැති නිසා වැඩිය ඒවා ගණන් ගත්තේ නෑ.. පිටි පස්සේ බජාර් එක ඒවා හැන්ඩ්ල් කළා..  කොහොම හරි ඉතින් පොඩි ළමයි බලන නිසා නොකිව්වට මොකද අපේ උන් සැර බීම ජාති (පොඩි ළමයි ජින්ජර් බියර් කියල හිතා ගන්නකො) එහෙම අරන් ඇවිත් තිබුනා.. මග දිගට හීනියට වගේ ටික ටික බිව්වත් එක්ක...  එහෙන් මෙහෙන් මදි මදි තව ගමු වගේ කතාත් ඇහුනා ඔය අතර මගදී...    

දැන් කොහොම හරි සර්ටත් කියල කොල්ලෝ දෙතුන් දෙනෙක් බස් එකෙන් බැස්සා.. අපිට ඉතින් එච්චර ගානක් නෑ..  අවංකවම මම දැනගෙන හිටියේ නෑ සීන්  එක.. ටික වෙලාවකින්  මෙන්න අවුරුදු 30-40-50ක් වගේ මනුස්සයෙක් මොකක්දෝ පාර්සලයක් අරන් බස් එකේ දොර ලඟට ආව..  බස් එකේ දොර ළඟ සිට් එකේ හිට්යේ සර්... "ආ මහත්තය මෙන්න මේක දෙන්න කිව්වා" කියල අර මනුස්සය අපේ සර්ට අර පාර්සලේ දුන්න...  

නයි කයි ද රෝස් පාන් ද කිරි අප්පට බල්ලෝ  පැනපි ද හත්හිලව්ව්ට ගහපු කලාබරේද හෙන ගහපිය ගණන් බලාපිය ද නැත්නම් කිරි ගහට ඇන්න වගේ ද එහෙමත් නැත්නම් ඔය ගැලපෙන ඕනේ රුපකයක් දාල හිතා ගත්තට කමක් නෑ... වනේ වන සතුරෙක් ට්‍රිප් එකක් යනකොට වත් මින් ඉදිරියට මේ වගේ දේවල් නම් වෙන්න එපා ... 

සංසාරේ බළල් මයිල් කිව්වා වගේ පිටි පස්සේ බජාර් එකේ අයියල සෙට් එකක් බැහැල ගිහින් ළඟ තිබ්බ බාර් එකකින් ගත්ත ගල් ද පොල් ද බියර් ද මොනවාද මන්ද බෝතල් ටික අර ගොන් වහන්සේ ඇවිල්ල දුන්නේ අපේ සර් ගේ අතටම .. කොහොමද ආතල් එක...  රෙදි නෑ හසන්ත..!!

පසුව දැන ගත් පරිදි මෙහෙමයි වෙලා තියෙන්නේ.. අපේ උන් දෙතුන් දෙනෙක් බස් එකෙන් බැහැල ගිහින් ඉස්කුල් යුනිෆෝර්ම් එකෙන් බාර් එකට යන්න බැරි නිසා ඒ ළඟ හිටපු ඩයල් එකකට සල්ලි දීල බඩු ටික අරන් බස් එකට දෙන්න කියල..   ඒ ගොන් වහන්සේ එක්කෝ අපිට කෙලවන්න හිතාගෙන හරි නැත්නම් මොලේ අර කුම්බියගේ පස්තාච් බාගේ තරම් වත් නැති කම නිසා හරි බබා වගේ ඇවිල්ල අපේ සර්ට දුන්න.. 

දැන් ඉතින් ඊට පස්සේ වෙච්ච දේවල් මම විස්තර කරන්න ඕනේ නෑනේ... මොකක් ද ඕයි තමුසෙලා මේ කලේ.. මම කවුරු කියල හිතාගෙන ද තමුසෙලා මට බෝතල් ගෙනත් දෙන්නේ.. යකෝ මුන් ළමයි නෙවෙයිනේ.. හරවනවා බස් එක මොන ට්‍රිප් ද මුන් එක්ක යානාදී වශයෙන් සර් අපේ ගුණ ගායනා කළා..

කට්ටිය අනාතයි ඉතින්... කොහොම හරි ඉතින් නොවඳිනා වැදුම් සර් ට වැඳලා වැඳලා බස් එක හරවන්නේ නැතුව කොහොම හරි හන්තානෙට ආව.. තිබිච්ච ආතල් ඔක්කොම ඉවරයි.. එක එකා බැන ගන්නවා තනිකරම කොමියුනිකේෂන් අවුලක්.. අන්තිමට ඉතින් කට්ටියම චාටර්..  

හන්තාන කන්ද පාමුලදිත් සර්ගෙන් හොඳ දේශනාවක්.. ඊට පස්සේ දැන් කොහොම හරි අපිට බයයි මේ යකා මේක ඉස්කෝලෙට ගිහින් කියයි කියල..  කොහොම හරි ඉතින් සර්ව අපි දන්නා විදියට බැලන්ස් කරලා අපි කට්ටිය හන්තානේ නැග්ග...  වැඩ සටහන අතේ මාට්ටු උනාට බෝතල් ටික නම් නාස්ති උනේ නෑ.. කන බොන වයස නේ ඉතින් ..

සර් ගේ මුණ චකබ්ලාස් උනාට කොහොම හරි සුන්දර හන්තාන චාරිකාවකින් පස්සේ අපි සුපුරුදු පරිදි ගෙවල් වලට ගියා...

මට මතක විදියට ට්‍රිප් එක සිකුරාදා ගිහින් අපි ආයේ ඉස්කෝලේ ගියේ සදුදද කොහෙද..  ඔන්න ඉතින් කට්ටිය බිත්තර තම්බ තම්බ සඳුදා උදේ ඉස්කෝලෙට එනවා.. අඩෝ වැඩේ චාටර් ලු නේද? මොනවාද යකෝ ඔච්චර දෙයක්වත් කරගන්න බැරිද..? කවුද $##$$% සර් ගේ අතට බෝතල් දීපු %%#@%#යා  වගේ කතා වටේ පිටේ පන්තිවල උන්ගෙන් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා..  හරි ඒ කියන්නේ කිරි බර්ටි යා (සර්ගේ නම බර්ටි) ගම කාල ...

දැන් ඉතින් කට්ටිය බලන් ඉන්නවා ඊලග කෝල් එක පිනා ගෙන් එනකම්... ඔය අතරේ මට මතක විදියට සරුත් පන්තියට ආවා ... මිනිහා මහ නෝන්ඩියට අපි දිහා හිනාවක් දාල රෙජිස්ටරේ මාක් කරලා ගියා ද කොහෙද..? කොහොම හරි ඉන්ටර්වල් එක වෙනකොට උසස් පෙළ අංශ ටික ඔක්කොම දන්නවා සීන් එක.. 

උගන්නන එන ගුරුවරුත් නිකන් කින්ඩියට වගේ කතා කරලා යනවා යන්න...  ලොකුම චාටර් එක දුන්නේ කෙමිස්ට්‍රි කරපු හේමචන්ද්‍ර සර්.. පන්තිය දොර ගාවට ඇවිත් දොරේ උඩ ගහල තියෙන 13-B කියන එක දිහා බලල කියනවා මේක දැන් 13-B නෙවෙයි 13 බා(ර්) කියල..   අනිත් පන්ති වල උන්ට මල් මල් ඉතින්..

කොහොම හරි හවස් වෙනකොට ඉහලින් අණක් ආවා  ට්‍රිප් එක ගිය හැමෝම ගෙදරින් කාව හරි එක්කන් එන්න ඕනේ.. එහෙම නැත්නම් පන්ති තහනම් කරනව කියල..  ඔය වෙනකොට විභාගෙට මාස 3-4ක් ඇති..

මොනවා කරන්නද ඉතින්.. මම ගිහින් ගෙදෙට්ට සීන් කෝන් එක කිව්වා.. අපේ අම්මයි තාත්තයි දන්නවා මොනව කලත් මම බොන සබ්ජෙක්ට් එකේ නෑ කියල.. අපේ තාත්ත කොහොමත් කන බොන මනුස්සය. අනිත් එක අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකටම දවසක් උයල කන්න දුන්න අපේ තාත්ත.. ඉතින් තාත්ත දන්නවා  කොල්ලන්ගේ තරම.

කොහොම හරි ඉතින් පහුවදා අම්මල තාත්තල ටික ඉස්කෝලේ මේන් හෝල් එකට ගෙන්නලා දැන් ගුරුවරුයි ප්‍රින්සිපලුයි හෙන ටෝක්ස්..  බනිනවා පලු යන්න... කතා දෙකක් නෑ සම්පුර්ණ වරද අපේ .. කිසිම සමාවක් දෙන්න චෑන්ස් එකක් තිබ්බේ නෑ...  අම්මල තාත්තලටත් ඉතින් කට උත්තර නෑ... 

අපේ තාත්තට සිරා කටක් තිබ්බා.. අවුරදු ගානක් දේශපාලනය කරලා .. රැස්වීම වල කතා කරලා ඕනේ තැනක බය නැතුව කතා කරන්න නියම හැකියාවක් තිබ්බා.. දැන් කට්ටියගේ දෝෂාරෝපණ ඔක්කොම අහගෙන ඉඳල අපේ තාත්ත අන්තිමට නැගිටලා කියල තියෙනවා "සර් මම මේ කොල්ලෝ ටිකට මගේ අතින් උයල කන්න දීල තියෙනවා.. මම දන්නවා මේ ළමයි ගැන.. කොල්ලෝ මේ කාලේ ඕව කරනවා .. අපිත් ඉස්කෝලේ කාලේ මිට වඩා දේවල් කරලා තියෙනවා.. මේවා දුර දිග ගෙනියන්නේ නැතුව විභාගේ ගැන හිතල සමාව දෙන්න බලන්න කියල" ඊට පස්සේ සභාවේ තත්වය පොඩ්ඩක් හොඳ අතට හැරිලා... දැඩි අවවාද රැසකින් පස්සේ අපේ පන්ති තහනම නතර වුණා...

හැබැයි ඊට පස්සේ කෙමිස්ට්‍රි සර් අපිට උගන්නන ආවේ නෑ... මිනිහා පන්තියේ දොර ගාවට ඇවිත්.. "මේක ඉතින් පන්තියක් නෙවෙයි නේ.. ඉගෙන ගන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් මම අනිත් පන්තියට උගන්නන වෙලාවට ඇවිල්ල ඉගෙන ගන්න එකයි ඇත්තේ... හික් " ඔන්න ඔහොම රටේ නැති චාටර් දාල යනවා.. පංති බාර සරුත් ඊට ටික කාලෙකින් අස් වෙලා ගියා... ඒ කියන්නේ අවසන් කාලේ අපිට කෙමිස්ට්‍රි,ෆිසික්ස් , මැත්ස් කරන්න නිල වශයෙන් ගුරුවරු හිටියේ නෑ.. 

ඔන්න ඕකයි කොල්ලනේ වීරක්‍රියාව... ඔන්න ඔහොමයි 13 බී බා උනේ... දැන් අපි බලමු මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවාද කියල..

1. ට්‍රිප් යනකොට බොන්න ඕනේ දේවල් කලින්ම ප්ලෑන් කරලා බස් එකට දාගන්න ඕනේ..
2. මගදී බයිට්වත් ගන්න තියා ගන්න හොඳ නෑ.. සර්ලට ඉව තියෙනවා
3. කරුමෙට හරි මගින් ගන්න සෙට් උනොත් හරියට සාකච්චා කරලා වැඩේ කරන්න ඕනේ.. හිතා මතා කරන කඩාකප්පල කාරී වැඩ වලටත් මුණ දෙන්න සුදානමින්..
4. සර්ලව විස්වාස කරන්න ඕනේ උගන්න දේ සම්බන්දව විතරයි.. ඒ කියන්නේ ඔය වගේ නොසන්ඩාල වැඩ වලට දඩුවමක් නොදී අරින්නේ නෑ සාමාන්‍යයෙන් හොඳ ගුරුවරයෙක්..
5. චාටර් උනාම අනිත් පන්තිවල උන්ගේ මඩ වලට මුණ දෙන්න පුරුෂ දයිරිය තියෙන්න ඕනේ..
6.ඔය වගේ සීන් ගෙදරට උනත් කියන්න තරම් අවුලක් නැති තත්වෙන් ගෙදර ශේප් එකේ තියා ගන්නත් ඕනේ.. නැත්නම් සල්ලි දීල තමා කාව හරි එක්කන් යන්න වෙන්නේ..
7. පන්තියම තහනම් උනත් ටිම් වර්ක් තියෙන්න ඕනේ...
8. උසස් පෙළ කරන කාලේ ඕව නොකරොත් ආයේ කරන්න වෙන්නේ නෑ.. කැම්පස් යන උන් කරත් අනිත් උන්ට ඔහොම ආතල් සෙට් වෙන්නේ අඩුවෙන්....
9.ට්‍රිප් යනකොට ටෙලිපොන් නම්බර්/ඇඩ්රස් කොළ අරන් යන එක පාඩු නෑ.. ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්.. දැන් මොබයිල් ෆෝන් එක්ක වැඩේ ලේසියි... 
10. දුම් බීම පිළිකා ඇති කරයි.. වැඩිපුර අරක්කු බීම සිරෝසිස් ඇති කරයි...

තව කණ්ඩායම් හැඟීමෙන් කරපු ඇඩ්වෙන්චර් මතක් උනොත් ලියන්නම්... 

Thursday, November 07, 2013

ජීවිතය ඇති තැන...

ජීවිතය තියෙන්නේ කොහෙද...?  අපි ට ජිවත් වෙනව කියල දැනෙන්නේ මොනවා කරන කොටද?  මම කියන්නේ හොඳට ජිවිතේ දැනෙන විදියට ජිවත් වෙන්න අපි මොනවා කරන්න ඕනේ ද?

එක එක්කෙනාට ජීවිතය දැනෙන විදිය වෙනස් ඇති.. සමහරු වැඩ කරන එක ජිවත් වෙනවා කියල හිතනවා.. තව කෙනෙක් මොකක් හරි නිර්මාණයක් කරන එක තුල ජිවත් වෙනවා කියන එක දකිනවා ඇති.. අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් එක්ක ඉන්න එකෙන් ජීවිතය දකිනවා ඇති..  සමහරවිට මොකුත් නොකර ඔහේ ඉන්න එක තුලත් ජීවිතය දකින අය ඇති.. 

මට හිතෙනවා අපි හැමෝම තමන් ජිවත් වෙනවා කියල දැනෙන දේ කරන්න බොහොම කැමතියි ... ඒක අපේ ඇතුලෙන් එන දෙයක් මිසක්  බාහිර සමාජයෙන් අපිට කාවද්දන දේවල් කිරීම තුලින් ඒ හැගීම ගන්න බෑ කියලයි මට හිතෙන්නේ..  බොහෝ වෙලාවට අපි හැමෝම කරන්නේ කවුරු හරි අපිට කරන්න හොඳයි කියල ඔළුවට දාපු රස්සාවක්, වැඩක්, සේවාවක්  වගේ දෙයක් මුළු ජිවිත කාලෙම කර කර ඉඳල ඔහේ මැරිලා යන එක.. ඒ අතරේ මොකක් හරි ආගමක් තුලින් තමන්ට අහිමි වෙච්ච සැබෑ ජීවිතය හොයන්න දඟලන එක.. 

ගොඩක් වෙලාවට මේ වගේ සියුම් දේ ගැන අපි හිතන්නේ නෑ... ඒ කියන්නේ මම මේ කරන්නේ මට ජිවිතේ ජිවත් වෙනවා කියල දැනෙන රස්සාවද? නැත්නම් මේක මේ සල්ලි ටිකක් හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ නිසා සමාජ සම්මත වලින් එකක් තෝරාගෙන  ඔහේ කරගෙන යන තව එක වැඩක් විතරද කියන එක හිතල බලල තියෙනවද? 

මට හිතෙනවා අපි කරන බොහෝ දේවල් අපි කරන්නේ යාන්ත්‍රිකව කියල.. ඒ කියන්නේ සිස්ටම් එක හැදිලා තියෙන විදියට අපි ඒක ඔහේ කරනවා.. එතනින් එහාට අපි ගැන (මම ගැන) සියුම් ව හිතල බලන්න අපි දන්නේ නෑ වගේ.. (මම අතාරින්න කලින් මම කියන්නේ මොකාද කියල හරියටම  දැන ගෙන ඉන්න ඕනේ නේද)... 

 ඔහොම හිතල බලනකොට තේරුම් යනවා අපි ඇතුලේ සියුම් ව තියෙන සැබෑ චරිතය කවුද කියන එක ගැන.. මම කියන්නේ අහවල් රස්සාව කරන, අහවල් සුදුසුකම්  තියෙන,  අහවල් පවුල් පසුබිමේ හැදුන.. මෙන්න මේ වගේ දුක සැප වලට මුහුණ දුන්න,   සමාජයේ මෙන්න මේ තැන ඉන්න/ බොහොම හොඳ /වැදගත් /පාඩුවේ ඉන්න/ අහිංසක චරිතයක් කියල මතුපිටින් ඉන්න මම ගැන අපිට ඉතින් සරලව හිතා ගන්න පුළුවන්..

ඔය හිතුවිල්ලෙන් හිතන දේට වඩා සියුම් විදියට අපි අපිව ඇනලයිස් කරලා බැලුවොත් අපිට ඔය මතුපිටින් ඉන්න එකාට යටින් ඉන්න සියුම් එකාව හොයා ගන්න පුළුවන් ..  ඌ ඔය කියන තරම් වැදගත් , අහිංසක ,උගත් පොරක් ද යන එක ගැන අපිම හිතල බලන්න ඕනේ.. 

සමහර විට ඇතුලේ ඉන්න මම බොහොම දක්ෂ සංගීත කාරයෙක් / චිත්‍ර ශිල්පියෙක්/ ගොවියෙක් /ලේඛකයෙක්/කම්කරුවෙක් වෙන්න පුළුවන්..  අපි ඒ අපේ ඔරිජිනල් චරිතෙට සාධාරණයක් වෙන විදියට දැන් ජිවත් වෙන්නේ කියල හිතල බලන්න..  සමහර විට අහසට පොලොව වගේ වෙනස් චරිත දෙකක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා ඇති.. සමාජ සම්මත වලට බයේ..

ඔය වෙනස අඳුන ගත්තත් අපිට ඒක අපිට ඕනේ විදියට ආපහු  වෙනස් කරන එක පහසු නෑ.. මොකද ඒ තරමට අපි මේ සමාජ සම්මත වලට බැඳිලා ඉන්න නිසා.. සම්මත බිඳින්න අපිට බෑ අපි මත යැපෙන අය තව ඉන්න නිසා.. (මේ ගැලවීම ගැන තමයි අපේ ආගමේ කියන්නේ කියල එකට වන්දනා කරන එක නැතුව අපිට බැරිද මේකෙන්  මේ ඉන්න ගමන්ම  ගැලවිලා අපේ ඇත්ත ජීවිතය ඇතුලේ ජිවත් වෙන්න...)

මට ඔය හැඟීම බොහොම තදට දැනෙන්න ගත්තේ මෙහට ආවට පස්සේ... මම ඉස්සර ඉඳන් ලංකාවේ ඉන්න, ලංකාවට වැඩ කරන්න කැමතියි.. අලි දෙන්නම් කොටි දෙන්නම් කියල එන්න කිව්ව නිසා ඇවිල්ල බැලුව මිසක් අවංකවම ආවේ හෙන උනන්දුවකින් නෙවෙයි.. (බැංකු ණය නිසා ) ටික කාලයක් යනකොට මට මොකක්දෝ දෙයක් මිසින් කියන හැඟීම එන්න ගත්තා... ඒක පාළුව වත් තනිකම වත් නෙවෙයි.. (ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්.. හෙහ් හෙහ්)

ගිය සුමානේ හදිසියේම ලංකාවට ගියා මේ බස්ටි නංගිගේ පොඩි ඩෙන්ටල් කේස් එකක් වෙලා (මෙහෙ පට්ට ගණන් ) .. ඔය ගිය වෙලාවේ අර මිසින් වෙලා තිබ්බ දේ ආයෙත් දැනුන කියල මට හිතුන.. ඒ කියන්නේ ලංකාවේ තියෙන පිළිවෙලක් නැති, කුණු පිරිච්ච ,ඔහේ දුවන, ප්‍රශ්න වලින් හෙම්බත් වුණ.. එහෙත් ගැඹුරු හදවත් තියෙන මිනිස්සු එක්ක මට ජීවිතය පෙනුනා කියල හිතුනා... ලංකාවයි මෙහෙයි භෞතික විදියට සංසන්දනයෙන් ඔය දේ විඳින්න බෑ.. ඉන්දියාවට ගියත් සමහර විට මට ඔය ගතිය දැනෙයි.. 

මෙහෙ ජීවිතය සැපයි.. පහසුයි..  හැබැයි මම මෙහෙ ඉන්නවා මිසක් ජිවත් වෙන්නේ නෑ... පිළිවෙලට රොබෝලා වගේ කන්ඩිෂන් වෙච්ච .. හරි විදියට ජිවත් වෙන්න ට්‍රයි කරන (සුද්දෝ හරි කියල හිතාගෙන ඉන්න )  මිනිස්සුන්ට වඩා.. හිත් වලට  එන නැචුරල් තරහට/ආදරයට/කම්මැලි කමට / මුස්පේන්තු කමට පොඩ්ඩක් ඉඩ දීලා .. එක එකාට බැන බැන ... දුෂ්ට කම් කර කර .. හිතට එන දේ කරන   ඔහේ ගෙවන ජිවිත තියෙන අපේ මිනිස්සු අතර ජීවිතය තියෙනවා කියල මට හිතුනා... 

(ඕක හරියටම  දැනෙන්න මම ඒ.සී කාර් එකේ සහ අනිත් උන් දුක් විඳගෙන පයින්/බස් වල  යන්න ඕනේ.. පැත්ත මාරු වෙච්ච ගමන් ..අනේ අම්මපා මෙහෙමත් කාලකන්නි රටක් ..  )

Tuesday, October 08, 2013

ඉංග්‍රීසි බැරිවීමේ සාපය හෙවත් උසස් පෙල වීර ක්‍රියා ...

දැන් මේ x-ban  ප්‍රදර්ශනේට හෝ ගාල ලෑස්තිවෙන (පටන් අරන් ද මන්දා ) ගම්පහ  බණ්ඩාරනායකේ මල්ලි කෙනෙක් මට ඊ මේල් එකක් එවල අර අපි හදපු කාල යානේ විස්තර අහල තිබ්බා .. එයාල මේ සැරේ එකට එහෙම එකක් හදනවලු.. මම ඉතින් මතක විදියට ටිකක් කියල දුන්න .. මම හිතන්නේ මම ඉස්කෝලේ ගිහින් කරපු වැඩකින් මනුස්සයෙක් පරෝජනයක් ගන්නවමද කොහෙද ඔය .. :) කොහොම උනත් ඒ මල්ලිලා කරන ඒ වැඩේ නිසා මට ඇත්තටම  හරි සතුටක් ආව .. මේ දේවල් ලියල තියෙන එක කොච්චර වටිනවද කියල... 

ඉතින් ඔය ඉස්කෝලේ කාලේ කරපු ඒ වගේ වැඩ කිහිපයක් ලියන්න ඕනේ කියල මම හිතුවා .. මොකද ජිවිතේ කවද හරි මතක තියෙන්නේ ඉස්කෝලේදී කරපු ඔය වගේ වැඩ විතරයි .. ඉගෙන ගන්න මෙලෝ දෙයක් ඔලුවේ හිටින්නේ නෑ .. (එහෙම හිටින උන් ඉන්නවා' .. මම කිව්වේ අපි වගේ හුදී ජනයා ගැන ). 

මම උපතින්ම ටිකක් මන්ද බුද්ධික නිසා අණ්ඩපාල වැඩ එච්චරම කලේ නෑ .. කරන උන්ට හින් සීරුවෙ සපෝර්ට් එක දුන්න විතරයි ... 6-11 වෙනකම් බොහොම හැදිච්ච ගුණයහපත් දරුවා .. 12 දී ටිකාක් විතර හොඳයි .. 13 දී  "අයිසේ හේරත් තමුසෙට මම හැමදාම  කියල තියෙනවා නේද කෙමිස්ට්‍රි වෙලාවේදී ඉස්සරහ පේලියට එන්න කියල .. . කනෙන් ඇදල ගන්න කලින් එනවා මෙහාට ... තමුසෙලා ඔය පිටිපස්සේ ඉඳන් කරන මගුලක් නෑ .."

ඇත්තටම කරපු මගුලක් නම් නෑ තමා .. ලේනා සර් හරි .. 

අපිට ෆිසික්ස් සර් කෙනෙක් හිටියට කවදාවත් හරියට ෆිසික්ස් නම් ඉගෙන ගත්තද කියල මතක නෑ .. ගණන් උගන්නන්න හිටපු රන්ජන් සර් සිරා උනාට සර් ටික කාලෙකින් ගිය නිසා ගණන් හරියට කෙරුනේ නෑ  .. එහා පන්තියේ දසනායක සර් ඇවිත් බැලුවට ඉතින් අපිටම කියල සර් කෙනෙක් හිටියේ නෑ .. ඔය කෙමිස්ට්‍රි කරපු හේමචන්ද්‍ර සර් විතරයි පිළිවෙලකට පන්තියට ආවේ ..  ඒක ඔය ඒ ලෙවල් කාලේ පන්තිවල කොහොමත් හැටි කොල්ලෝ එකෙක්වත් ඉස්කෝලෙන් ඉගෙන ගන්නේ නෑනේ (එහෙම ඉගෙන ගන්න උන් ඉන්නවා .. හුදී ජනයා.. හුදී ජනයා ) සර්ල මිස්ලගේ වැරැද්දක් නෙවෙයි ..  වයසේ වැරැද්ද ..

හරි දැන් ඒ ලෙවල් පන්තිවල කරන ප්‍රධාන විෂයන් 3-4ට සැලකිල්ල ඔහොම නම් ඉංග්‍රීසි වලට කොහොම සැලකිල්ලක් තියෙන්න ඇති ද ? (මම හිතන්නේ අවුරුදු 13-14කට පස්සෙත් ඕව වෙනස් වෙන්න විදියක් නෑ )

අපේ පන්තියට ඉංග්‍රීසි ඉගැන්නුවේ කුමාරි මිස් .. දැන් නම් ඉන්නවද දන්නේ නෑ ... කොහොම හරි ඉතින් කුමාරි මිසුත් පන්තියට හැමදාම වගේ ආවා .. (අපෝ කුමාරි අක්කා ... කට්ටියගේ මුණ දෙල් ).. මිස් ඉංග්‍රීසි ඉගැන්නුවා ... කොල්ලෝ ඉගෙන ගන්නවා .. කෑ ගහනවා .. හිනා වෙනවා .. අල්ලපු එකාට ගහනවා.. පෑන් ගහනවා .. අන්තිම පීරියඩ් එක නම්  ඉතින් කොන්ඩෙ හදනවා .. කලිසම යට කරනවා ...මේකප් දානවා ඕව තමා ...   

කුමාරි මිස්ට ඉතින් ටිකක් අමාරුයි අපේ පන්තියේ හිටපු 30-35 ක් විතර කොල්ලෝ ටික බැලන්ස් කරන්න .. මොකද මිස්ටත් ඒ දවස් වල එච්චර වයස නෑ .. වැඩිම උනොත් 28-30ක් ඇති ..  මිස් ඉතින් දන්නා සෙල්ලන් දාල බනිනවා බනිනවා .. අපි ඉතින් හරි හරි මිස් කියල ඉන්නවා ..  ඕක තමා ඉතින් හැමදාම ... අපේ පන්තියේ හිටියා නම ගිය පොරවල් සෙට් එකක් ඒ කියන්නේ 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ චන්ඩි ලෙවල් එකේ හිටපු සහ ඒ ආසන්නයේ හිටපු උන් .. එකෙක් වැද්දා .. ඌට අපිට වැඩිය ඉංග්‍රීසි පුළුවන් .. ඒ කියන්නේ අපි නොදන්නා වචන ඌ දන්නවා .. හැමදාම උගේ වැඩේ මිස්ව බයිට් කරන එක ඔය මොකක් හරි වචනයක් හොයාගෙන ... නැත්නම් ඉතින් ඔය මොකක් හරි එකක් අල්ලගන්නවා .. මිස් සමහර වෙලාවට හොඳයි හැබැයි ඉතින් යකා නගිනවා හිටපු ගමන් ..

ඔන්න ඔහොම එක දවසක් ඉංග්‍රීසි මිස් පන්තියට ආවා .. සුපුරුදු සින්දුව තමා  ඉතින් .. කරුමේ කියන්නේ ඔය මොකක් හරි ගෙදර වැඩක් දීල  මිස් දැන් සිරාවට මේක බලනවා .. අම්මට හුඩු එකෙක්වත් කරලා නෑ ..(කරපු උන් හිටියා  හුදී ජනයා කරලා නෑ ..).. එල කිරි  වගේ මිස් එක එකාගේ පොත් බලන්න ගත්තා ...  මම කෙමිස්ට්‍රි වෙලාවට ඉස්සරම පේලියේ හිටියට නෝමල් ලැන්ඩ් කරන්නේ පිටිපස්සෙම පේලියේ බිත්තිය මුල්ල නෙවෙයි අනිත් මුල්ලේ ..  (අනේ ඉතින් මොනවා උනත්  ඉංග්‍රීසි මිස් ඉස්සර ඉඳන් ම මාත් එක්ක හොඳයි .. ඒ කියන්නේ මම එයාගේ හොඳ ළමයෙක් ) අනිත් සර්ලා මිස්ල තාත්තගේ නමින් මට කතා කලාට කුමාරි මිස් පැතුම් කියල කතා කරන්නේ .. හත්හිලව්වට ගහපු කලාබරේ කිව්වා වගේ මමත් ඉතින් ඔය වැඩේ කරලා නෑ..

දැන් ඉතින් මිස් ඉස්සරහ ඉඳන් එක එකාගේ පොත් බල බල එනවා .. (කස්ටිය ලොකු ටෝක්ස් දීගෙන හිටියට මේ වගේ වෙලාවල් වල ටිකක් බයයි .. පිටි පස්සේ උන් හෝ ගාල අල්ලපු එකෙක්ගෙන් කොපි කරලා මොකක් හරි කුරුටු ගානවා .. නැත්නම් මොකක් හරි බොරුවක් ප්ලැන් කරනවා )  .. මිස්ට දැන් උපරිම තදවෙලා  කරපු වැඩේ බලනවට අමතරව මිස් නොකරපු උන්ගේ මුළු පොතම පෙරලා පෙරලා බලන්න ගත්තා .අපරාදේ කියන්න බෑ පන්තියෙන් 2/3කම වගේ ඉංග්‍රීසි පොත බාගෙට හිස් .. ඒ කියන්නේ එකෙක්වත් කවදාවත් මොකුත් ලියල නෑ .. ඔය බලි ඇඳ ඇඳ ඉඳල .. 

එදා නම් කුමාරි මිස්ට 84000හස් 3ට විතර කේන්ති ගියා .. එනවා යන්න ඔක්කොමල ප්‍රින්සිපල්ගේ  ඔෆිස් එකට .. දෙන්නම් මම තමුසෙලට අද .. කොච්චර කෑ ගහ ගහ අපි උගන්නනවද .. (දන්නවනේ ඉතින්  බැනිල්ල )..

අද හරි තමා  කිය කිය කට්ටිය ඉතින් පෝලිමේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකට ගියා.. ඒ දවස් වල හිටියේ අබේරත්න සර් (මතක අය ඉන්නවනම් දන්නවා ඇති කොල්ලෝ පට්ට බයයි ...) 

සර් ඔෆිස් එකෙන් එලියට ඇවිල්ල කොරිඩෝ එකේ ඉඳන් දැන් නඩුව අහනවා .. 

මොකෝ කුමාරි මිස් .. නෑ සර් මේ ළමයි කවදාවත් මම කියන දේවල් කරන්නේ නැ .. පුදුම වදයක් දෙන්නේ .. ඉවසල ඉවසල බැරිම තැන තමා මම මේ ආවේ .. මට දැන් ඇති වෙලා  (ඔන්න ඔය වගේ ).. 

අපි ඉතින් වට වෙලා ඉන්නවා ... සමහරු උඩ බලනවා .. සමහරු වට පිට බලනවා .. 

මොනවද මේ ටීචර් කියන්නේ .. තමුසෙලා මොකද වැඩ කරන්නේ නැත්තේ ? 13ට ගියාම තමුසෙලා හිතන්නේ ඉන්නේ මහා ලොකු මිනිස්සු කියලද ..? කෝ කෝ ගන්නවා බලන්න පොත් .. 

"නෑ සර් මෙයා හරියට උගන්නන්නේ නෑ ..  කිසි දෙයක් තේරෙන්නේ නෑ .. බොරුනම් බලන්න සර් මේ අපි කවුරුත් මොකුත් ලියල නෑ  හෙන කාලෙකින් .. "

හෙන ගැහුවා වගේ වැද්ද පටන් ගත්තේ නැතැ ..එතකොටම සංජිවයද කොහෙදත් "එක තමයි සර් මේ බලන්න පොත් වල හැටි .. අපි ඉතින් මොනවා ලියන්නද මෙයා උගන්නන්නේ නැතුව .. "

කට්ටියම කොර...  අම්මට හුඩු  කියන්නේ වැඩ නොකරපු සෙට් එකම හෙන පොරවල් වගේ ඉතින් මෙන්න වෙලාව කියල සර්ට පොත් ටික පෙන්නන්න ගත්තා ... සරුත් එහෙන් මෙහෙන් බලල "හරි හරි තමුසෙලා දැන් යනවා පන්තියට  මිට පස්සේ හරියට වැඩ කරනවල  .. තමුසෙලට තව මාස කීයද විභාගෙට තියෙන්නේ .." ඔන්න ඔය වගේ පොඩි සරල ටෝක්ස් ටිකක් දාල අපිව එව්වා .. 

හැක් හැක් හැක් .. අපිට පට්ට ආතල් ..  වීරයෝ වගේ කට්ටියක් පන්තියට ගියා .. කට්ටියක් එහෙමම කැන්ටිමට ගියා .. කොහොම හරි ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල කුමාරි මිස් ආයෙත් පන්තියට ආවා ..

මිස් ගේ ඇස් වල කඳුළු පිරිලා ... ගියා මෙසේ ලඟට ගත්ත පොත් ටික.. එතකොට නම් මිස්ට හොඳටම  ඇඩුණා.. අපිත් කොර .. මම හිතුවේ නෑ කවදාවත් තමුසෙලා මට මෙහෙම කරයි කියල .. එකෙක් හරි හොඳ ළමයි ඉන්න නිසයි මම ආවේ .. මිට පස්සේ කවදාවත් මම මේ පන්තියට එන්නේ නෑ .. 

අනේ සොරි මිස් .. මිස්ට මොකද උනේ .. ප්‍රින්සිපල් බැන්නද ? කවුද එකෙක් ඇහුව .. අනේ යනවා යන්න.. තමුසෙලා ඔක්කොම එකයි .. මම ආයේ එන්නේ නෑ ...එහෙම කියල මිස් යන්න ගියා ..

ඊට පස්සේ මට මතක විදියට නම් කුමාරි මිස් අපේ පන්තියට ආවේ නෑ .. ඇත්තටම මිස්ට ප්‍රින්සිපල් බැනල හරියට උගන්නල නෑ කියල ... පස්සේ අපිට මාර අවුල් .. පස්සේ අපි ගිහින් ආයෙත් සමාව ගත්තා .. හැබැයි මිස් ආවේ නෑ .. ඊට පස්සේ එහා පන්තියට ඉංග්‍රීසි උගන්නපු ඩ්‍රකියුලා  මිස් එක පාරක් ද දෙපාරක් ද ආවා .. එච්චර තමා ...

මේවා මේ ලිව්වේ දැන් ඉන්න මල්ලිලට උනත් කියවල ආදර්ශෙට ගන්න .. ඒ කියන්නේ කොහොමද කට්ටියම සෙට් වෙලා ගේමක් දෙන්නේ වගේ .. තව පැහැදිලි කලොත් පොදු සතුරාට එරෙහිව බය නැතිව හඬ නගන්නේ කොහොමද වගේ .. තවත් පැහැදිලි කලොත් ටීම් වර්ක් කියන්නේ ඕකට .. 

හැබැයි කොල්ලනේ ඕව සහගහන වැඩ .. (ඒ ගහපු  "සහ" නිසා තාම හරියකට ඉංග්‍රීසි බෑ ..) ගුරුවරුන්ට ගෞරව කරලා හොඳට ඉගෙන ගන්න ඕනේ ...  තේරුනා ද?

ගුරු ගෞරවේ ඇඟට දැනෙන්න ඉස්කෝලෙන් අස් වෙලා කාලයක් යන්න ඕනේ ... ගුරුවරු කියන්නේ දෙවිවරු.. එකේ දෙකක් නෑ (ටියුෂන් අයත් එක්කම ). අපි හැමෝම අද මේ ඉන්න තැන වල ඉන්නේ ඒ මිනිස්සු උගුර ලේ රහ වෙනකම් කෑ ගහල උගන්නපු දේවල් වලින් 10% ක් හරි ඔළුවට ගත්ත නිසා .. ඉඳල හිටලා ඕවගේ නොසන්ඩාල වැඩ කලාට මම හිතන්නේ පහු පහු වෙනකොට ඒ අයටත්  ඕව සොඳුරු මතක වෙනවා .. අපිට වගේම ..  

ඔය වගේම ටීම් වර්ක්  නොසන්ඩාල කමකින් පස්සේ දවසක හමුවෙමු .. 

Monday, September 30, 2013

සිංහලෙන් ලියවුනු ඉන්ටර්නැෂනල් බෙස්ට් සෙලර්ස් ..

සාහිත්‍ය මාසේ අවසාන දවසේ ලියන්න සිරාම මාතෘකාව...හික්...  මම මේ අවුරුද්දේ ඇර අනිත් හැම අවුරුද්දෙම ඔය පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා...  ගියාම ගන්නේ පරිවර්තන විතරයි... එහෙම කරන්නේ මම ආස දේ එක නිසා මිසක් වෙන මහප්‍රාණ හේතුවක් නිසා නෙවෙයි...  ඉංග්‍රීසි පොත් ගත්තට වැඩක් නැත්තේ කියෙව්වට හරියට තේරෙන්නේ නැති කම නිසා.. මොකද මගේ කඩ්ඩ පට්ට නේ..   සිංහල පොත් කියවන්න ආස උනාට හැම පොතකම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම ජාතියේ කතා නිසා එච්චර උනන්දුවෙන් සල්ලි දීල ගන්න හිතෙන්නේ නෑ... 

ප්‍රධාන මාතෘකාවට ආයේ ආවොත් ඔරිජිනල් එක සිංහලෙන් ලියවුනු පස්සේ ලොව පුරා ජනප්‍රිය වෙලා ඔය මම කිව්ව විදියේ බෙස්ට් සෙලර් එකක් වෙච්ච පොත් තියෙනවද?  

එහෙම එකක් හෝ 2ක් තිබුනත් මහා ගොඩක් නම් නැති බව මම දන්නවා...  මට තියෙන ප්‍රශ්නේ ඇයි අපිට එහෙම ඒවා ලියන්න බැරි කියන එක.. පොතක් ලොවපුරා ජනප්‍රිය වෙන්න හේතුව මාකටින් ද? නැත්නම් ලියල තියෙන දේ ගත යුත්ත වැඩි කම ද? හිතට වදින කතා ලංකාවේ අයත් ලියල තියෙනවා.. හැබයි ඇයි ඒවා ලොව පුරා නොයන්නේ.. ? අපිට සුද්දන්ගේ පොත් පරිවර්තනය කරන්න හිතුනට සුද්දන්නට අපේ පොත් පරිවර්තනය නොකරන්න හිතෙන අවුල මොකක් ද?  අපි ක්‍රියේටිව් කියල දකින දේ ක්‍රියේටිව් මදිද..? 

මම මහා ගොඩක් පොත් කියවල නෑ.. මම කියවපු හොඳම සිංහල පොත මොකක් ද කියල ඇහුවොත් මට මතක් වෙන්නේ කුලසේන ෆොන්සේකා මහත්මය ද කොහෙද ලියපු ගමක වත කියල එකක්.. එකේ තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ද කොහෙද මොකක් හරි කේස් එකකට හැංගිලා ආපු කට්ටියක් අලුතින් ගමක් හදන හැටි..  ගමේ ලොක්ක වෙන්නේ මහපතිරන්නැහෙ කියල සරල බුද්ධිමත් මනුස්සයෙක්.. ඒ මනුස්සය අතු පැලේ ඉඳන් ගම ගොඩ නගන හැටි එකේ තියෙනවා.. මිනිස්සුන්ගේ හිත් වැඩ කරන විදිය සරලව අපේ විදියට ලියල තියෙනවා..  එක තව පොතක පරිවර්තනයක් ද කියල මම දන්නේ නෑ..  ගොඩාක් ඉස්සර බැලුවේ හැබැයි අදටත් මගේ හිතේ රැදුණු කතාවක්..

ඔය විදියටම ගුරුගිතය කියන පොත ගැන බැලුවොත් මට දුයිෂෙන් සහ මහපතිරන්නැහෙ එක සමානයි.. කතාව වෙනස්.. අල්තිනායි කෙනෙක් එකේ නෑ... හැබැයි දුයිෂෙන් ගැන අපි ඔක්කොම දන්නවා.. ලෝකෙම දන්නවා..  මහපතිරන්නැහෙව දන්නේ ලියපු කෙනයි..කියවපු අපි කීප දෙනෙකුයි විතරයි.. ලංකාවේ දුයිෂෙන් ල නැද්ද? ඇයි ඒ කතා ලංකාවෙන්  එලියට නොයන්නේ..

ඔය වගේම තමා ෆැන්ටසි .. අවුරුදු 100ක 200ක ඉතිහාසයක් තියෙන රටවල මිනිස්සු අනුන්ගෙන් අදහස් උස්සල හරි ලෝකෙම හෙල්ලෙන විදියේ කතා ලියනවා..  ෆැන්ටසි චරිත තිස්තුන් කෝටියකුත් තව පොඩ්ඩක් ඉන්න අපිට පට්ට කතාවක් ලියන්න හරි හමන් එකෙක් නෑ.... 

අපි හිතන්න බයයි ද කොහෙද..  අපිව හිතන්න බය කරපු ගතියක් මට නම් දැනෙනවා..  (මමත් බයයි නේ නැත්නම් මෙතන පොර ටෝක් දාන්නේ නැතුව මට එකක් ලියන්න තිබ්බනේ..)

මේ දවස් වල ලෝකෙම හිට් වෙලා ඉන්න පවුලෝ කොයියෝ ගේ සන්තියාගෝ නම් සැරිසරන්නා පොත මම මිට අවුරුදු 3-4කට කලින් ඔය පොත් ප්‍රදර්ශනෙන් ගත්තේ පාවුලෝ කොයියෝ ගැන මෙලෝ මගුලක් දැන ගෙන නෙවෙයි.. එක ඉන්ටර්නැෂනල් බෙස්ට් සෙලර් එකක් කියල ගහල තිබ්බ නිසා..

පොත කියවල ඉවරවෙනකොට එක ඇත්තටම බෙස්ට් සෙලර් එකක් විය යුතු එකක් කියල මට හිතුනා..  හැබැයි ඇත්තටම එකේ තියෙන්නේ අපි හොඳටම දන්නා සරල සංකල්ප ටිකක්..  අපි ඒ සංකල්ප පාවුලෝ කොයියෝට වඩා හොඳට දන්නවා.. හැබැයි අපි අවුරුදු 2500ක් විතර ඔය සංකල්ප ටික කබල් ගගා ඉඳල තියෙනවා විතරයි... ඒවා එලියට යවන්න එක්කෝ අපිට තේරෙන්නේ නෑ.. නැත්නම් තාමත් අපි දන්නවා කියල හිතන් හිටියට ඇත්තටම දන්නේ නෑ.... 

පාවුලෝ කොයියෝ ඉන්දියාවෙන් හරි ලංකාවෙන් හරි හොරෙන් උස්සල ඕව ලිව්වා වෙන්න පුළුවන් හැබැයි දැන් ඒ සංකල්ප වල ඔර්ජිනල් අයිතිය එයාගේ වගේම තමා.. එහෙම හිතන එක අපිට පට්ට සැපයි නේ...

තව ටිකක් වටේට වනල මේක ලියන්න පුළුවන් ..වැඩක් නෑ.. අනිත් එක දැන් නිදි මතයි..  කොහොම වුනත් ඇත්තටම ලංකාවෙන් ලියවුනු එහෙම පත පොත තියෙනවද කියල දන්නා කෙනෙක් කොමෙන්ට් එකක් දාල යන්න..

Sunday, September 29, 2013

පුරාවෘතයේ පැවැත්ම ... "No survivors? Then where do the stories come from I wonder?"

කොහොමද මේ පුරාවෘත බිහිවෙන්නේ ..? දැන් මේ අපි ආසාවෙන් කියවන, බලන රසවිඳින අතීත කතා නිකම් කාගේ හරි මනං කල්පිත විතරද ? ඇත්තටම සිටි මිනිසුන් ,සිදුවීම් නිසා මේවා හට ගත්ත නම් ඒ මොන මොන කාල වල ද? මම කියන්නේ මේ අපි දන්නා අවුරුදු 5000ක විතර අතීතේ  ගැන නෙවෙයි ..  ඊට එහා ගිය විශ්මිත මායා කරුවන් , නිර්මාණ කරුවන් , වීරයින්,දුෂ්ටයින්, සතුන්  සිටියා ද? අපි හැමෝම දන්නා මකරා කියන්නේ සංකල්පයක් විතරද ?   අපේ සිත් ඇතුලෙන් නිර්මාණ විදියට මේ එලියට එන්නේ කවදා හෝ අපි අත්දුටු දේවල් ද? (ඔලුව කොලොප්පන් වුනාම මට මේවා හිතුනට.. හැමෝටම ඒක  එහෙම ද?)

මීට අවුරුදු 7-8 කලින් මම මඩවල උපාලි හාමුදුරුවෝ හම්බ වෙච්ච වෙලාවක ඔය වගේ අබුත ප්‍රශ්නයක් ඇහුව .. මම ඇහුවේ ඔය අපි දන්නා ජාතක කතා කොහේ සිද්ද වෙච්ච ද? මොන කාලේද කියන එක.. ඒ කියන්නේ යටගිය දවස සිටි බ්‍රහ්මදත්ත කොහෙද හිටියේ වගේ ප්‍රශ්නයක් ..  හාමුදුරුවෝ සාමාන්‍යයෙන් ඔය විද්‍යා පැත්තටම බර නිසා තමා මම එක ඇහුවේ .. මම ඒ හාමුදුරුවන් ව හම්බ වෙච්ච පලවෙනි වතාව.  අපි හාමුදුරුවන් ව කඳුබොඩ පන්සලට බස්සන්න යන ගමන් ද කොහෙද  නිකමට අහපු දෙයක් මේ .. හාමුදුරුවෝ කිව්වේ ඔය හැමදේම මේ පෘථිවිය මත සිද්ද වෙච්ච දේවල් කියල .. ඒ කියන්නේ මේක චක්කරේ වගේ මිනිස්සු ඇති වෙනවා දියුණු වෙනවා විනාශ වෙලා යනවා කියල ... කොහොම වුනත් හාමුදුරුවෝ කිව්වා සමහරවිට වෙනත් ග්‍රහලෝක වල ජිවිය තියෙන්න පුළුවන් .. නමුත් ඔය ගොඩක් අපි දන්නා ජාතක කතා නම් යම් යම් කාල වලදී මේ පෘථිවිය මතම සිද්ද වෙන්න ඇති කියල ...  (මෝඩ ප්‍රශ්නෙකට සරල උත්තරයක් )..

පස්සේ කාලෙක මම කියවපු පොතක තිබුනා බලංගොඩ ආනන්ද මෛත්‍රිය  හාමුදුරුවන්ගෙන් කවුදෝ කෙනෙක් අහපු ප්‍රශ්නෙකට උන් වහන්සේ උත්තර දීල තිබුනේ ඔය දෙවිවරු ගැන එහෙම ඉස්සර ඉඳන් මිනිස්සු විශ්වාස කරන, පැවතීගෙන එන කතාව තමා හරි ... පහුකාලීනව ගොඩ නැගෙන එක එක මත වැඩක් නෑ  කියල .. දැන් එතකොට ඔය අපේ දෙවි දේවතාවන්ගේ කතා ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ කවදා හරි වෙලා තියෙන්න ඇති ...දෙවියන් ගැන එහෙම හෙන සිරා  සීන්  තියෙනවනේ .. මම කියන්නේ හෙන වීර චරිත වෙන්න ඇති .. අහස මුහුද දෙබෑ  කරගෙන ආපු කතා එහෙම සමහරවිට ඇත්ත වෙන්න ඇති .. මොකද ඔය දෙවියන් යදින කොට කියන මන්තරද,ශ්ලෝක ද වල තියෙන දේවල් කවුරු හරි ජොලියට ලිව්වා වෙන්න බෑ නේ ...

දැන් එතකොට කතරගම දෙවියෝ ,පත්තිනි දෙවියෝ , විෂ්ණු දෙවියෝ  සහ අනෙකුත් සෙට් එක ලංකාව ඉන්දියාව වගේ පැතිවල ඉන්න අතරේ  සියුස්,හර්කියුලිස්,ප්‍රොමිතියස් ,ඇතිනා  වගේ අය යුරෝපය හරියේ ඉන්න ඇති ...තෝර් එහෙම නොර්වේ පැත්තේ ඉන්න ඇති...   

එහෙම හිතල බැලුවම මේ අපි අද දකින හැමදේම තව අවුරදු හෙන ගානකින් පුරාවුර්ත වෙනවනේ...  හැක් අපේ බ්ලොගුත් පුරාවුර්ත වෙයි.. හරි ජොලි...

මේ විදියට කාලෙන් කාලෙට ඇතිවෙලා නැති වෙලා යන ශිෂ්ටාචාර වල බොහෝ සැඟවුණු දේ තියෙන්න පුළුවන්.. සමහර විට එක පුද්ගලයෙක් දෙන්නෙක් විතරක් දන්න දේ...  කට වචනයෙන් රැක ගෙන එන දේ වගේම මොනවා හරි විදියකට ලියවිලි වශයෙන්...   එක එක ජන කොටස් වලට ආවේනික වෙච්ච බොහෝ අමුතු දේවල් අපි දකිනවනේ.. ඒ දේවල් කවද හරි මේ ලෝකේ සිද්ද වෙලා ඒවායින් යම් යම් ප්‍රතිඵල මිනිස්සු ලබාගෙන ඇති... පරම් පරාවෙන් පරම් පරාවට එන්නේ මම හිතන්නේ අවුරුදු ලක්ෂ ගානක් පරණ දේ වෙන්න පුළුවන්..  අපි දන්නා ඉතිහාසය ඇතුලේ අවුරුදු ලක්ෂ ගානකට කලින් තිබිච්ච දේවල් දැන් දැන් ටික ටික හොයා ගන්නවා... ඒ කියන්නේ ඒ බොහෝ දේවල් ඇත්ත වීමේ සම්භාවිතාවක් තියෙනවා..  අර හනුමන්තා ඇතුළු සෙට් එක හදපු පාලම මේ ලඟදි නාසා එකේ අය ආයේ හොයා ගත්ත ලු..  ඉතින් රාමායනය ඇත්ත වීමේ සෑහෙන සම්භාවිතාවක් තියෙනවා.. (රාවණා ආයේ නැගිට්ටෝත් නම් මරේ මරු..)  වාල්මිකී බොරුවක් කරලා නෑ..

ඊළඟට ඔය නැති වෙලා ගියා කියන ඇට්ලන්ටිස් නම් වූ අති දියුණු ශිෂ්ටාචාරය...  මම හිතන්නේ  iPhone වර්ෂන් පහළොස්දාස් දෙකක් (15002ක්)  විතර වත් දියුණු වෙලා තියෙන්න ඇති...  ඇට්ලන්ටිස්  කොහෙද තිබ්බේ කාටද අයිති එකක් ද කියන එක කොහොම වුනත්  එහෙම එකක් කවදාවත් නොතිබ්බනම් කොහෙන්ද එහෙම කතාවක් අපි අතර තියෙන්නේ..

"No survivors? Then where do the stories come from I wonder?" මේක අර  කපිතාන් ජැක් ස්පැරෝව් (නොදන්නා අයට : මේක තියෙන්නේ Pirates of the Caribbean - The Black Pearl එකේ) අහන්නේ නිකන් නෙවෙයි.. පදනමක් ඇතුව..   අපි හිතමු ඇට්ලන්ටිස් කියල එකක් තිබ්බ ඒක විනාශ වුණා කියල.. හැබැයි ජන කතාවක් විදියට හරි ඒක පවතින්න හේතුවක් තියෙන්න ඕනේ.. කවුරු හරි අහපු දැකපු කෙනෙක් ගෙන් තමයි පුරා වෘතයක් පටන් ගන්න ඕනේ..


හරි අපි මෙහෙම හිතමු.. ඔය සේරම මිනිස්සු හිතින් මවා ගත්ත සුරංගනා කතා..  (තනිකරම දේශපාලන කුමන්ත්‍රණ මේ වංචා දුෂණ යට ගහන්න ) ඒත් කොහොමද ඕක මුලින්ම හිතන මිනිස්සුන්ට ඔය වගේ අමුතු අදහස් ඔළුවට එන්නේ....  කොච්චර නිර්මාණශීලි වෙන්න ඕනෙද.. ? මිත්‍යා කතා වල සමාජය අවුරදු ලක්ෂ ගානකට එහා තියෙන්නේ.. දැන් ඉන්න (අවුරදු 1000ක් ඇතුලත )  කෙනෙක්ට ඒ දේ මවන්න මුලික වෙන්නේ මොකක් ද?   මිනිස් සිත පුදුමාකාරයි.. මොළය සෑහෙන්න දියුණුයි ඒක ඇත්ත..  හැබැයි මොළයට ප්‍රොසෙස් කරන්නත් හිතට හිතන්න පටන් ගන්නත් කොහෙන් හරි වස්තු බීජයක් ඔළුවට එන්න ඕනේ..  එකක් ඔළුවට ආවට පස්සේ ඒක වටා කතාවක් ගොඩනගන්න හරි ලේසියි.. අපි කතාවක් ලියන්නේ අපි කොහෙන් හරි අහපු දැකපු සිද්දියක් මුල් කරගෙන.. මම විද්‍යා ප්‍රබන්ද පොතක් ලිව්වේ මම කියවපු විද්‍යා ප්‍රබන්ද වලින් මගේ ඔලුවේ ඉතිරි වෙලා තිබ්බ සංකල්ප පාවිච්චි කරලා.. මම හිතන්නේ අනිත් අයත් එහෙම තමා.. හැබැයි එක තැනකින් මේ සියල්ල පටන් ගන්න ඕනේ.. කොහෙද ඒ තැන..?


හරි ලෝකය තුල ජිවය ඇති වෙලා නැති වෙලා යනවා.. මේ ඇති වීමේ නැති වීමේ සයිකල් එක මෙට්‍රික් ක්‍රමයට අවුරදු බිලියන්ස් වලින් හරි බෞද්ධ ක්‍රමයට කල්ප වලින් හරි වෙන්න පුළුවන් ..  ඔය තරම් කාලයක් තිස්සේ වෙච්ච හෝ වුණා යයි සලකන දේවල් අද දක්වා පවතින්න මුලික වෙච්ච සිස්ටම් එක මොකක් ද?

ඕක ගැන බොහොම අපුරු මතයක් මම දන්නා කෙනෙක් ගෙන් ඇහුව..  අපිට වඩා සිත දියුණු කල කෙනෙක් කියල කියමුකෝ..  අපි මොකක් හරි නිර්මාණයක් කරනකොට (සංගීත තනුවක්, කතාවක්, නව නිපැයුමක් වගේ ඕනෙම එකක ඔරිජිනල් වර්ෂන් එක) ඒ පුද්ගලයාගේ සිත ඒ අරමුණ වෙතටම නාභිගත වෙනවා.. ඒ කියන්නේ සිත සියුම් වෙලා ඒ අරමුණෙන් ඉන්නකොට විශ්වයේ තියෙන ඒ සබ්ජෙට්ක් එකට අදාළ දැනුම එයාට විවෘත වෙනවා...  දැනුම කියන්නේ හැමවෙලේම විශ්වය තුල ගලා යන දෙයක්.. කාලෙන් කාලෙට ඔය විදියට ඕක විවෘත කරන්න පුළුවන් අය බිහිවෙනවා...

ඉතින් මට හිතෙනවා විද්‍යාවේදී උගන්නනවනේ ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කරන්න බෑ කියල..ඔය අවුරුදු බිලියන් කල්ප ගානක් තිස්සේ සිද්ද වෙච්ච දේවල් විශ්වය තුල යම්කිසි ශක්ති ප්‍රභවයක් විදියට ඇති කියල..

මම අහල තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කට හඬත් ඒ විදියට තැන්පත් වෙලා තියෙනවා කියල.. . (මම අහපු ඔය සංකල්පේ දාල මම ඒ දවස් වල  විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වා දේවදත්ත මේ අපි ඉන්න කාලේදී සයන්ටිස්ට් කෙනෙක් වෙලා ඒ විදියට තැන්පත් වෙලා තියෙන  බුදු බණ අහල නිවන් දකින සීන්  එකක් තියෙන එකක්... පොඩි ලව් කේස් එකකුත් එක්කම.. :D)

ඔන්න ඉතින් කරනවනම් පරීක්සන...


කාලෙකින් ඔලුව කරකුට්ටන් වෙච්ච විදියේ එකක් ලිව්වා... මේ දවස් ටිකේ පිස්සුවෙන් වගේ වැඩ කරලා ඊයේ පෙරේදා ලෙජන්ඩ් ඔෆ් ද සිකර් බලන්න ගත්තා (අද බලල ඉවර කළා J) .. ඔය සිකරයාගේ පුරාවෘත්තේ බල බල ඉන්න කොට හිතිච්ච දේවල් ටිකක් තමා මේ ලියල දැම්මේ.. වැඩිය සීරියස් ගන්න එපා.. 


Saturday, September 14, 2013

සොෆ්ට්වෙයාර් මැජික් සමඟ අධික වැඩ ...

මෙහෙ ආවට පස්සේ මාස 2ක විතර ෆ්‍රී ටයිම් එකක් තිබ්බට දැන් සති තුන හතරක් විතර එක  දිගට මැරී ගෙන වැඩ. අපි දෙන්නම එක විදියට වැඩ ... ලංකාවේ අයිස් ගහපු ඔක්කොටම හරියන්න දැන්  හෝ ගාල වැඩ ...   උදේ 10ට වැඩට ගිහින් හවස 5ට මාරු වෙලා සැපසේ හිටපු අවුරුදු 3කින් පස්සේ එක දිගට මෙහෙම වැඩ කරන්න හිතයි,ඔළුවයි,කඳයි ,බඩයි  හදාගන්න සැහෙන්න අමාරුයි.  දැන් ඉතින් වට්ටුඩු  කියල බෙරේ ගහනවා ... පොඩි මොකක් හරි වැඩක් කරගෙන ඉන්න හිතාගෙන ආපු බට්ටි නංගිට මටත් වඩා වැඩ ... මොනවා කරන්නද .. දෙන්න හස්බන්ඩ් වයිෆ් කියල නෑ  ... වැඩ කරද්දී ප්‍රොජෙක්ට් එකේ තව කෙනෙක් විතරයි ..දෙන වැඩේ කරන්න වෙනවා..   සෙනසුරාදා ඉරිදාත් රෑ 12-1 වෙනකම් දෙන්නත් එක්ක වැඩ කළා .... කවද කාපු ටකරන් ද කිව්වලු ...


මම දැන් අවුරුදු 10ක් විතර මේ සොෆ්ට්වෙයාර් කොටන වැඩේ කරනව ...  ඕකෙන් මුල් අවුරුදු 2කේ  හෙනම කට්ටක් කෑව.  පොඩි එකා නිසා ඕනේ කුණු ගොඩක් කරනවනේ ...  එක දිගට පැය 30-35 ක් ඔෆිස් එකේ වැඩ කරපු දවස් තිබුනා .. එහෙම ඉඳලත් සුද්දගෙන් පර්මිෂන් නැතුව ගෙදර යන්න විදියක තිබුනේ නෑ .. රස්සාව තිත්ත වෙලා හිටියේ ..  හැබැයි අමාරුවෙන් ඇදගෙන ගියා . පස්සේ පස්සේ කොම්පැනි වල සිස්ටම් එක  තේරුම් යනකොට මැරී ගෙන වැඩ කරන එක මම අතැරලා  දැම්ම ... ඇත්තටම අවශ්‍ය  දවස් වල නිදිමරන් කලත් අනිත් දවස් වල වෙලාවට මාරු වෙන්න ඉගෙන ගත්තා ... මුල්ම රස්සාව කරන දවස් වල  නයිට් වැඩ කරන එක ෆන් එකක් වුණාට දැන් නම් 6-7 වෙනකොට ඉන්න අමාරුයි ..  එකක් එහෙම හිටියට ඒ හැටි වැඩක් වෙන්නේ නැති නිසා ... වැඩ අතින් වත් අපේ ජිවිතේ අතින්වත් මහා ලොකු සෙතක් වෙන්නේ නෑ  අපි ගොඩක් රෑ වෙනකම් වැඩ කලාට  (මේක අදාළ නොවන රස්සාවල් තියෙනවා )

සොෆ්ට්වෙයා ජොබ් කරන අය දන්නවා ඇති නිතර සිද්ද වෙන මෙන්න මේ වැඩේ ගැන ...

හික් ...  ඔය කතාව නොකියපු සොෆ්ට්වෙයාර් කාරයෙක් නම් හොයා ගන්න බෑ ඕනේ ඔට්ටුවක් ... මම කරපු මුල්ම ජොබ් එකේදී දවසක් මම කරපු මොකක් හරි සිස්ටම් එකක් ගැන කතා කරන්න ලොක්කා ළඟට ආවා .. ඇවිල්ල ඇහුවා අන්න අර ක්ලයන්ට් කියනවා අරක වැඩ කරන්නේ නෑලූ  මොකද වෙලා තියෙන්නේ කියල බලන්න කියල... මට ඉතින් 100% ෂුවර් ඒක වැඩ කියල ... මම ඉතින් පොර වගේ කිව්වා නෑ එහෙම වෙන්න බෑ මගේ මැෂින් එකේ ඒක වැඩ කියල.. පොර මා දිහා කින්ඩි හිනාවක් දාල පල් එකට වගේ "පුතා මේ සොෆ්ට්වෙයාර් වල මැජික් නෑ ...ඕකේ වැඩ කලාට එකේ වැඩ කරන්නේ නෑ ... ඉක්මනට හොයලා මට කියන්න කියල "..  ඊට පස්සේ ඉතින් කොම්පුටරේ පරම්පරාව මතක් කර කර අවුල හොයන එක තමා කරන්නේ .. 

ඒ  මීට අවුරුදු 8-9කට කලින් . වැඩේ කියන්නේ  මේ දැන් සැහෙන්න දියුණු වෙලා තියෙන පරිගණක සහ මෘදුකාංග වලත් ඔය ලෙඩේ ඔහොමම එනවා .. මෙහෙ දැන් අපේ වැඩ බලන රෝබෝටික්කෙක් වගේ ඉන්න චීන කොලුවා කෑ ගහනවා මම අහගෙන හව් කම් ඊට් වර්ක්ස් ඉන් යුවර් මැෂින් නොට් ඉන් මයි මැෂින් කියල. සොෆ්ට්වෙයාර් වල මැජික් තියෙනවද කියල හිතෙනවා වෙලාවකට ... 

ඔහොම වෙන්නේ අපි වැඩ කරනකොට අවධානය තියෙන්නේ ගොඩක් වෙලාවට කරන වැඩේ හරි ලොජික් එක හරි ගැන විතරයි.. වැඩ කරන මැෂින් වල කොන්ෆිගරේෂන්, කරන පොඩි පොඩි සෙට්න්ග්ස්  වල වෙනස් කම් , නැත්නම් ඩේට බේස් වල මොකක් හරි, නැත්නම් කරපු වෙන මොකක් හරි වෙනසක් අපිට අමතක වෙනවා නැත්නම්  අනිත් කෙනාගේ එකේ තියෙන ඔය වගේ අවුලක් තමා ... හරියට ටෙස්ට් නොකර සුද්දන්ට එහෙම යැව්වම සුද්දා ඉතින් අනාතයි .. හික් ... 

ඊට පස්සේ තියෙන අනිත් ලොකුම අවුල තමා මේක 


මේක බැලුවම මම හිතන්නේ ඕනේ කෙනකුට තේරෙයි ... ඔය ප්‍රශ්නේ සොෆ්ට්වෙයාර් නෙවෙයි ලංකාවේ නම් හැම ප්‍රොජෙක්ට් එකකම වගේ තියෙනවා .. ඒ කියන්නේ කරන්න ඕනේ මොකක් ද කියල හරියට කතා බහ නොකිරිම .. ගොඩක් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් ෆේල් වෙන්න ලොකුම හේතුව තමා මේක ...

මෙහෙ වැඩ වල තාක්ෂණික පැත්ත නම් ලංකාවේ ගොඩක් කොම්පැනි වලට වඩා සෑහෙන්න  දියුණුයි  අපි වගේ උඩින් පල්ලෙන් තියරි එක බලල කොහොම හරි වැඩේ කරලා දාන්න ට්‍රයි නොකර කරන්න තියෙන උපරිම හොඳට වැඩේ කරන එක තමා මෙයාලගේ හොඳම ගතිය .. මෙහෙ වැඩ කරන්නේ චීන අය  තමා.. මැලේ අය අයිස් ... හැබැයි  ඕනෙම තැනක ඉහලම පුටුවේ ඉන්නේ මැලේ ජාතිකයෙක්...  ජාතිවාදය හීන් නුලෙන් තියෙන ලක්ෂණ තියෙනවා... චයිනිස් අය තනිකරම රොබෝලා වගේ තමා.. ඔලුව වැඩ කරන්නේ නියම කොම්පියුටර් වගේ.. අපිට හැරෙන්නවත් අමාරුයි... මේ මාසෙට සැහෙන්න දේවල් ඉගෙන ගත්ත තාක්ෂණික සහ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් වල නියම විදියට වැඩ කරන හැටි ගැන... 

ලංකාවේ ගොඩක් කොම්පැනි වල අරමුණ සුද්දෙකුට මොකක් හරි අටවල දීල සල්ලි ටිකක් හොයා  එක නිසා වැඩ කරන අයට ඕනේ උනත් වෙලාව අරගෙන හොඳට වැඩ කරන්න බෑ... ගොඩක් කොම්පැනි වල ඉහළ පුටු වල අවශ්‍යතාවය නිසා සිරා විදියේ ප්‍රොඩක්ට්ස් හදන්න අමාරුයි...  අනිත් එක අපි ගොඩක් වෙලාවට මේ ජොබ් එක කරන්නේ තවත් රස්සාවක් විදියට විතරයි.. හැබැයි ලෝකේ ගන්න ගොඩක් රටවල ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන්ගේ ජීවිතේම මේ තාක්ෂණික දේවල් තමා.. දැන් අපේ ලීඩ් වගේ ඉන්න චීන කොලු ගැටයත් එහෙම එකෙක්.. සිගරට්  බොනවා කෝඩ් ලියනවා..හතර වටේට කෑගහනවා...  වෙන ලයිෆ් එකක් නම් නැ වගේ.. මරු පොර...

වැඩ කරන වටපිටාව ගැනත් නොකියම බැ.. දැනට තාවකාලිකව අපි වැඩ කරන්නේ මෙහෙ ආණ්ඩුවේ ඔෆිස් එකක.. මොකද අපි කරන ප්‍රොජෙක්ට් එක තනිකරම රජයේ සහ මෙහෙ අගමැති  යටතේ තියෙන්නේ ... මේක හරි ගියොත් තව අවුරුදු 5-10කින් ලංකාවෙන් මේ සිස්ටම් එක සල්ලි දීල ගනියි... හෙහ් හෙහ්...

කොහොම හරි කට්ටිය වැඩ කරන්නේ ලොකු රවුම් මේසයක් වටේ ඉඳන්.. 

මෙන්න මේ වගේ

අපි කස්ටිය එක පැත්තක්,චීන්නු ටික එක පැත්තක් අපිට ඉස්සරහින් ඉන්න මැලේ කෙල්ලෝ ටික වෙනම ලෝකයක්... උන්ගේ වැඩේ කන එක.. කනවා කියන්නේ උදේ 10 විතර ඉඳන් හවස 3-4 වෙනකම් එක එක ජාති කනවා.. තලු මර මර.. දන්නවනේ මුස්ලිම් අය  සද්දෙට කන විදිය.. ඊට පස්සේ සද්දෙට ගුඩුස් යවනවා.. හික්.. වටේ ඉන්න උන් ගැන කිසිම ගානක් නැ.. ඉඳල හිටලා මොනවා හරි මුරුක්කු බිස්කට් බෝතලයක් අපිටත් දෙනවා..  ඒ ටික නියම අයිස් ලෝකයක්.. එයාලට කරන්න හරි හමන් වැඩක් නෑ තාම..


ආතල් ම සින් එක තම ඉන්න කට්ටිය භාෂා 4ක් කතා කරන එක..(මැලේ,චීන,ඉංග්‍රීසි,සිංහල) සමහර වෙලාවට දෙමළත් ඇහෙනවා.. හික්.. කවුරු කාට මොනවා කිව්වත් තේරෙන්නේ නැ... ඉංග්‍රීසියෙන් කතා කරන කොට වැදගත් උනාම ඇති...  උන් අපිට මොනවා කියනවද අපි උන්ට මොනවා කියනවද දෙයියෝ තමා දන්නේ..  මුණ බලාගෙන හිනා වෙලා ඕනේ කුනුහරුපයක් කියන්න පුළුවන්.. අර මචං ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරා එයාර් පෝට් එකේ සුද්දට හිනා වෙලා කතා කළා වගේ... හෙහ් හෙහ් හෙහ්..

පෞද්ගලිකව මට මෙහෙ ආපු නිසා ටෙක්නිකල් අතින් හොඳක් සහ නරකක් වුණා වගේ.. මොකද මම ගොඩක් කාලයක් කෝඩ් ලියන එකෙන් අයින් වෙලා පොඩ්ඩක් විතර සිස්ටම් ඩිසයින් සහ ආකිටෙක්ට් වැඩ කර කර ඉඳල එක පාරටම මෙහෙ ඇවිල්ල තනිකරම කෝඩ් වලට ආයෙත් බහින්න වෙච්ච එක ටිකක් අමාරුයි.. අනිත් එක රස්සාව පටන් ගත්ත කාලේ ඉඳල ඕනෙම විදියේ ප්‍රෝග්‍රෑමින්  ලැන්ග්වේජ් එකක් ඉගෙන ගෙන වැඩ කර කර හිටිය නිසා මම පහුගිය කාලේ තීරණේ කළා ප්‍රධාන වශයෙන් Android මුලික වෙච්ච මොබයිල් ඇප්ලිකෙශන් විතරක් ඉදිරියට කරන්න.... හැබැයි දැන් ආයෙත් Java වෙබ් developmant තමා කරන්නේ..  ඉතින්  ගොඩක් දේවල් මට අලුතින් මතක් කරගෙන/ඉගෙන ගෙන තමා කරන්න තියෙන්නේ... එක්ස්පිරියන්ස් වලින් ගොඩ දාන්න පුළුවන් හැකියාව ටිකක් අඩුයි... මොනවා කරන්නද කියල දැන් ඉතින් මුල ඉඳන් මේක කරනවා..  ළුණු බිකත් බඩටනේ කියල... හැබැයි තාක්ශනේ මොකක් වුනත් නියම විදියට ප්‍රොජෙක්ට් එකක් කරන සිස්ටම් එක ඉගෙන ගන්න පුළුවන් මෙහෙන්.. (මැනේජ්මන්ට් කොහොම උනත් )

කොහොමත් ඉදිරි මාස 6ක් විතර යන කම් මේ කට්ට මේ විදියට තියෙයි... ඊට පස්සේ මොනවා වෙයි ද දන්නේ නැ.. දැනට ඉතින් උදේ යනවා හවස එනවා.. වික් එන්ඩ් එකේ රස්තියාදු හරි නිදා ගන්න එක හරි තමා.. නැත්නම් ෆිල්ම්ස් ... ජිවිතේ එකා කාරී වෙලා... අද උදේ නම් ලංකාවට ගිහින් පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න තරම් හිතුනා..  අපේ අක්කයි අම්මයි මාව අවුස්සන්නම කෝල් කරලත් කියනවා අද දවසම අපි පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා ජෙලස් නේද කියල....  සෝ සෑඩ්..

    

Sunday, August 18, 2013

මගේ සිංහල බ්ලොග් ලිවිම...

මේක මේ ඊයේ හදිසියට ලියල දාපු පෝස්ට් එකේ ලියන්න කියල හිතන් හිටපු පොඩි පොර ටෝක් එකක් .. ඊයෙ ගෙදර එනකොට පොඩ්ඩක් රෑ වුණා .. රස්තියාදුවට සීමාවක් නෑනේ ... :) 

මම හිතන්නේ මම මේ බ්ලොග් එක පටන් ගත්ත කතන්දරේ එහෙම මිට කලින් ඇනිවසරි පොස්ට් වල දාල තියෙනවා .. ඉතින් පරණ තැටි ආයේ කරකවන්න ඕනේ නෑනේ..  කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ල මම අවුරුදු 7ක් කළා .. ලොකු සීන් එකක් නෙවෙයි .. මොකද ලියන්න හිතුනම ලියනවා නැත්නම් නෑ ..ඇත්තටම අවුරුදු 7ක් ලිව්වට මම පොස්ට් 200ක් වත් ලියල නෑ .. ඉතින් පරණ උනාට පොරක් නෙවෙයි ..  අනිත් එක මම මේක ලියන්න පටන් ගත්ත කාලේ ඉඳලම ලියන තවත් පරණ බ්ලොග් තියෙනවා .. ඔවුන් තාමත් ලියනවා ඕනනම් පොඩි වෙනසක් ඇති පටන් ගත්ත දිනයේ..එච්චරයි ..

උදාහරනෙකට මෙන්න මේ බ්ලොග් එක..  


මේ 2005 ඉඳන් බ්ලොග් ලියන කෙනෙක්.. පලවෙනි සිංහල යුනිකෝඩ් පොස්ට් එක මට වඩා පොඩ්ඩක් පරක්කු වෙලා දාල තියෙන්නේ හි හි.. ඔන්න ඔහොමයි ඉතින් පරණම එකා වෙලා තියෙන්නේ..  

කොහොම හරි මම මේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නේ මට හිතුනම තමා. වෙන කිසිම බාහිර සාධකයක් නිසා කවදාවත් ලියල නැ.. කොටින්ම හැමදාම උදේ පාන්දර වැඩට ගිහින් ඉස්සෙල්ලාම මේක බලල වැඩ පටන් ගන්න බට්ටි නංගිගේ හිතසුව පිණිසවත් මම මේකේ මොකුත් ලියල නැ.. අනේ අරකෙ මොනවා හරි ලියන්නකෝ කියල කිව්වට ඉතින් මට එහෙම මොකුත් ලියන්න හිතෙන්නේ නෑ.. බ්ලොග් අංසෙන් නම් ඔන්න පොඩ්ඩක් ස්වාධින කමක් යාන්තමට වගේ තියෙනවා .. J

අනිත් එක තමා ලියන්න දේවල් නැති කම ...ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමා  අනිත් බ්ලොග් ලියන අය හැම පැත්තම කවර් වෙන විදියට ලියල දානවනේ මම තව මොනවා ලියන්නද කියන එක ..සහ ඔය එක එක අංශ ගැන තියෙන මගේ තියෙන බොහෝම අඩු දැනුම.. උදාහරනෙකට දේශපාලනය සහ ලංකාවේ තියෙන ප්‍රශ්න.. ලංකාවේ තියෙන ප්‍රශ්න සහ දේශපාලනය කියන්නේ 2ක් නෙවෙයි එකක්.  මම දේශපාලන සබ්ජෙක්ට් එක  මොකුත් දන්නේ නැති කම  සහ ඒවා ගැන දන්නා බොහෝ අය ඉන්න නිසා ඕක ගැන ලියල වැඩක් නැ..  

ඊට පස්සේ තාක්ෂණික දේවල්...  මම ඔය කොම්පුටර් අන්සේ රස්සාවක් කලාට මොකද දන්න ලබ්බක් නෑ... ඒ කියන්නේ ඔය එදිනෙදා කරන රස්සාවට අදාළ තාක්ෂණික දේවල ඇරුනාම ගැජට් බැජට් සහ අලුත්ම හෝ පරණ  හෝ ටෙක්නිකල් දේවල් ගැන දැන් එච්චර ඔලුවේ නැ... දැන් ඉන්න පොඩි උන් සිරාවටම බොහෝ දේවල් දන්නවා ඉතින් ටෙක්නිකල් දේවල් ලියල වැඩකුත් නැ... 

ඊට පස්සේ ආගම දහම ගැන... මේක ගැන කතා කරලා මෙලෝ වැඩක් නැ කියල මට දැනට අවුරුදු 5-6ක ට කලින්ම හිතුනා.. ඉතින් ඒවා ගැන දන්න අය සහ  උනන්දු අය ගේ කතා බහ එහෙන් මෙහෙන් බල බල ඉන්නවා.. මගේ මතය ලියන්න මට එච්චර හිතෙන්නේ නැ..  

කලාවටත් ඉතින් හෙන හැකියාවක් නැති නිසා ඒ අන්සේ ගැනත් ලියන්න දෙයක් නෑ... චිත්‍රපට බැලීම ,ටීවී සිරිස් බැලීම වගේ දේවල් ගැන ඉතින් ලියන්න තරම් දෙයක් නෑ... පිස්සුවෙන් වගේ බලනවා මිසක්...  මම පට්ට බිසී විදියට ඉදන් ගොඩක් වෙලාවට කරන්නේ ඒක .. හි හි...

ඊට පස්සේ ගවේෂණ , වාර්තාමය ලිපි, ආදී වෙනත් කරුණු ඇතුලත් අධ්‍යාපනික ලිපි වගේ ඒවා ලියන්න තරම් දැනුමක් හෝ හැකියාවක් නැති නිසා සහ හොයල ලියන්න තියෙන පට්ට කම්මැලි කම නිසා ඒවගේ දේවල් ලියන්නෙත් නැ...  වැඩිය එලිපහලියට යන්නේ නැති ගෙදරට වෙලා ෆැන්ටසි ආතල් ගන්න ගතිය නිසා ආතල් සිද්දීත් වැඩිය නැ.. (පරණ සින් ට්කක් වත් පස්සේ ලියල දාන්නම්).. ඊට පස්සේ ජිවිතේ ගැන, රස්සාව ගැන ,මිනිස්සු ගැන එච්චර අත්දැකීම් නැති නිසා ඒවා ගැනත් මොකුත් ලියන්න හිතෙන්නේ නැ...  හැබැයි ගොඩක් අයගේ ජිවිත අත්දැකීම් වලින් මම බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා...

කොටින්ම ඉතින් එදිනෙදා කාල බිලා ඉන්නවා මිසක්, සිද්දි මොකුත් නැති නිසා (හෝ සිද්ද වෙන සිද්දි වලට මම දෙන බර අඩු නිසා ද මන්ද) එහෙමට කියල ලියන්න දෙයක් නැ.... ගොඩක් වෙලාවට  15x7 වගේ ඔන්ලයින් හිටියට මම කරන මගුලක් නැ...  බොහොම අමාරුවෙන් ඉන්ටනෙට් කනෙක්ට්  වෙලා බ්ලොග් ලියන අයව සිරාවටම අගය කරන්න ඕනේ...  

හැම අනිවසරි පොස්ට් එකකදීම හිතනවා තව ටිකක් වැඩිපුර ලියනවා, කමෙන්ට් කරනවා ටිකක්   මනුස්සයෙක් වගේ මේ බ්ලොග් කෙරුවාව කරනවා කියල හැබැයි ඉතින් ලියපු දාට පහුවදා ඉදන් ඉතින් ආයෙත් බැක් ටු නෝමල්.. :P කොහොම හරි මේ බ්ලොග් නිසා ඉගෙන ගෙන තියෙන දේවල් නම් හෙනට වටිනවා.. මේක නිසා අඳුර ගත්ත හිත මිත්‍රයෝ ටිකත් ගොඩක් වටිනවා...  යලට මහට ලියල ඔහේ ඉන්න නිසා වලි හෝ තරහකාරයෝ නම් කවුරුත් නැ... ඉස්සරහටත් ඉතින් එහෙමම ඉමු.. බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ නැනේ... අනිත් එක අපිට තියෙන එක එක විදියේ ප්‍රශ්න එලෝ කෝටියක් එක්ක මේ බ්ලොග් කට්ටක් නිසා තව අලුත් ප්‍රශ්න ඔලුවේ දාගන්නේ මොකටද..


ඉතින් ඔන්න ඔහොමයි මම අවුරුදු 7ක් තිස්සේ මේක ලිව්වේ... ඉස්සරහටත් වැඩි වෙනසක් නම් වෙන එකක් නැ... කලින් පොස්ට් එකේ සුබ පතපු කස්ටිය ආයේ සුබ පතන්න මහන්සි වෙන්න එපා.. හි හි..  ඒ සුබ පැතුම් වලට බොහොම ස්තුතියි... මේක මේ තවත් එක පොස්ට් එකක් විතරයි.. ලියන්න මෙලෝ දෙයක් නැතුව හිටිය මට පොඩි පොයින්ට් එකක් හම්බ වුණා මොනවා හරි කුරුටු ගාන්න..  කවදා හරි ලියන තව පොස්ට් එකකින් නැවත හමුවෙමු.. 

හුටා..!!!! අදට මම මේ බ්ලොග් එක පටන් අරන් අවුරුදු 7ක් ගෙවිලා..

7 වෙනි වසර සමරන්න එක්ක ටිකක් බරසාර පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ.. හැබැයි අමතක වුනා... දැනට මේකෙන් නිල වශයෙන් අවුරුදු 7 සමරල හෙට අනිද්දට එකක් ලියල දාන්නම්.. මේ අවුරුදු 7තේ මේක බලපු සහ කොමෙන්ට් කරපු ඔක්කොටොම තැන්කු... :)

Sunday, August 04, 2013

My Life Is So Much More Interesting Inside My Head

මේක මට ඉස්සර ඉඳලම තියෙන ලෙඩක්.. ඒ කියන්නේ යථාර්තයට වඩා ෆැන්ටසියට කැමති වීම ... ඔය ෆැන්ටසිය ඇතුලේ මම බොහෝ දේවල් කරලා තියෙනවා... තාමත් කරනවා කොටින්ම මේ දැනුත් මේක ලියන්නේ ඔය ෆැන්ටසිය අස්සේ ඉඳන් ... මට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ ලෙඩේ තියෙනවා කියල මම හිතන්නේ .  එකම දේ අපි ලොකු වෙන්න වෙන්න අපි ඒ ෆැන්ටසි ලෝකෙන් ඈත් වෙනවා .. මේ ෆැන්ටසි ලෝකේ ජිවත් වෙන්න තියෙන කැමැත්ත ලස්සනට  විග්‍රහ වෙච්ච තනි වාක්‍යක් මේ මාතෘකාව.

 මම මේක මුලින්ම දැක්කේ මම කලින් වැඩ කරපු තැන හිටපු මල්ලි කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එක විදියට . උට ටිකක් මොලේ කචල් ... හැබැයි මු මේ ස්ටේටස් එක දාපු වෙලාවේ මට හිතුන යකෝ මුට වැඩිය මට කචල් නේ කියල.. හි හි .. 

ෆැන්ටසියට වඩා යතාර්ථය දකින්න කියල තමයි අපිට හැමෝම උගන්වන්නේ... අපි යතාර්ථය කියල දකින්නේ ඇත්තද? නැත්නම් සමාජය විසින් අපිට ඇත්ත කියල දකින්න සලස්සපු තවත් ෆැන්ටසියක් ද?  

මේ ලෝකේ රිද්මය හරියට හදුනාගත්ත මිනිස්සු කාලෙන් කාලෙට බිහිවෙනවා. ඔවුන් ඒ රිද්මය එක එක විදියට පාවිච්චි කරලා බොහොම අපුරු ෆැන්ටසි නිර්මාණය කරනවා .. හොඳ සහ නරක දෙකටම..  ඔය අතරින් අපි වගේ හුදී ජනයා තම තමන් කැමති ෆැන්ටසි තොරගෙන් ඒවා ඇතුලේ ජිවත් වෙනවා.

ගොඩක් වෙලාවට අපි අපේ ෆැන්ටසි ලෝකෙට හිර වුනාම අපිට අනිත් කෙනාගේ ෆැන්ටසිය පෙන්නේ නෑ .. මට වගේ වෙලා තියෙන්නේ දේශපාලනය,ආර්ථිකය,සමාජ ප්‍රශ්න වගේ ෆැන්ටසි එච්චර පෙන්නේ නෑ .. මට පෙන්නේ හඳට යන සින්, ඒලියන් සීන්, ඊට පස්සේ ඔය හයි ටෙක් සීන් සහ සුරංගනා කතා වගේ දේවල් තමයි..  තවත් කෙනෙකුට කලාව සංගීතය වගේ ෆැන්ටසි ඇති .. මහ පොළොව සමඟ ගැටී වැඩ කරන ගොවියා,කම්කරුවා ගේ ෆැන්ටසිය ඔය හැම එකටම වඩා වෙනස් ඇති... ආගම ෆැන්ටසියක් කරගත්ත අයට ඔය අනිත් ෆැන්ටසි හැම එකටම වඩා වෙනස් ලෝකයක් පේනවා ඇති ..

හැබැයි සංවේදී කම සහ මානුෂික හැඟීම්  වල වෙනසක් මේ ෆැන්ටසි වෙනස නිසා සිද්ද වෙනවද? හිතන්න ඕනේ දෙයක්..

තමන් ජිවත් වෙන ෆැන්ටසියට අදාළව  බොහොම  වැදගත් දේවල් මේ ලෝකෙට කරපු මිනිස්සු ඉන්නවා ... අරගලයේදී මියයන පිඩිතයා  සහ අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශගමියා දක්වා තමන් දකින ඒ ෆැන්ටසිය නිසා ලෝකයට යම් මෙහෙයක් කරන මිනිසුන් ඉන්නවා.. වඩා වැදගත් වන්නේ කවුරුන් කළ  මෙහෙයද කියන එක අවසානයේ තම තමන් ජිවත් වෙන ෆැන්ටසියට සාපේක්ෂයි ... 

සමාජ ප්‍රශ්න නිසා එකිනෙකා ජිවත් වෙන්න කැමති ෆැන්ටසි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. හැබැයි හිත යටින් තියෙනවා අපි ඇත්තටම ආස කරන ෆැන්ටසිය .. අපිට අපි ආස කරන ෆැන්ටසියට යන්න බොහෝ වෙලාවට ඉඩක් ලැබෙන්නේ නෑ .. සමාජය කියන ෆැන්ටසි ජෙනරේටරය කාලෙන් කාලෙට අපිව එක එක ෆැන්ටසි වල හිර කරන නිසා.  

හැබැයි පොඩි කාලේ තමන්ගේ හිතට කාවදින ෆැන්ටසිය තුල අපිව හැමදාම ජිවත්කරවන සුළු ස්භාවයක් මේ විශ්වයේ තියෙනවා. අපි එක හරියට දකින්න ඕනේ ..අනිත් ෆැන්ටසි වලට හිර නොවී තමන් ආස කරන දේ වෙනුවෙන් යන මිනිස්සු  අවසානයේ ඒවා තුලින් අපූරු දේවල් කරන්නේ ඒ නිසා වෙන්න ඇති ...

මට හිතෙන්නේ මේ ෆැන්ටසි අප තුල මුලින්ම වපුරන්නේ අප කියවන පොත පත. පොත් පත් නොකියපු අය තමන්ට සහජයෙන් උරුම වන හෝ ජිවත් වන සමාජය විසින් තල්ලු කරන ෆැන්ටසි වල ජිවත් වෙනවා. සමහරවිට දැන් දැන් වෙන වෙන දේ වලිනුත් පොඩි උන් ෆැන්ටසි හදාගන්නවා ඇති .. 

මට හිතෙනවා අපිට අපි ජිවත් වෙන ෆැන්ටසිය හරියට අඳුන ගන්න පුළුවන් නම් මේ ලෝකය වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියල. සැරෙන් සැරේ එක එක ෆැන්ටසි වලට හිර වෙන්නේ නැතුව..
  
අප ජිවත් වන ෆැන්ටසි සියල්ලෙන්ම තොර වූ එක්තරා නිර්මල ස්භාවයක් මේ විශ්වයේ පවතිනවා... තමන් ජිවත් වූ ෆැන්ටසිය අවබෝධයෙන් යුතුව ගෙවා නිම කරලා අවසානයේ සියලුම ෆැන්ටසි යනු මායාවක් පමණයි කියල දකින මිනිස්සු අවසානයේ අන්න ඒ නිර්මල ස්භාවයට පත්වෙනවා. ඒක ෆැන්ටසි  වලින් ස්වයක්තයි ඒ කියන්නේ ෆැන්ටසි ඉන්ඩිපෙන්ඩන්ට්..  

කොහොම හරි ඉතින් ඒ කුමාරයා මකරව  මරල කුමාරිව බේරගත්තලු .. ඊට පස්සේ ඒ කුමාරයයි කුමාරියි බොහොම සතුටින් ජිවත් වුනාලු.. අම්මට හුඩු වැලිවේරියේ දෙන්නෙක් මරලා නේද වතුර ඉල්ලලා උද්ගෝෂණ කරලා.. අනේ අම්මප මේ ආණ්ඩුවනම් .. !

Sunday, July 21, 2013

සිංහල යුනිකෝඩ් ලියන්න හොද ෆොනටික් මෘදුකාංගයක් ගැන උදව්වක්...

මම මෙච්චර කල් පාවිච්චි කලේ ගාර්ප් සිංහල සොෆ්ට්වෙයාර් එක... මොකක්දෝ හේතුවකට මම දැනට පාවිච්චි කරන ලැප් ටොප් එකේ මේ  ගාර්ප් එක වැඩ කරන්නේ නැ... සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත දා ඉදල ගාර්ප් එක පාවිච්චි කරපු නිසා ඊට පස්සේ අලුතින් එකතු වෙච්ච සිංහල යුනිකේත සොෆ්ට්වෙයාර් ගැන මට එච්චර අදහසක්  නෑ.. මට ඕනේ වෙබ් පිටු වල සහ වින්ඩෝස් වල ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ්,එක්සෙල්,නෝට් පෑඩ් වගේ ඒවයෙත් කෙලින්ම ෆොනටික් විදියට ලියන්න පුළුවන් එකක්.. ගාර්ප් එකේ ඔය පහසුකම් ටික ඔක්කොම තිබුණ .. 

දැන් මේ ලියන්න ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලින්.. මේක හොදයි වෙබ් පේජ් වල ලියන්න .. හැබැයි කෙලින්ම වින්ඩෝස් වල ලියන්න මේක පාවිච්චි කරන්න නම් බෑ වගේ .. කට්ටිය සිංහල ලියන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ටික කොහේ හරි ලිස්ට් එකක් හදල තියෙනවද..? මම ගූගල් කරලා හොයා ගත්ත කීපයක් ට්‍රයි කළා එකක් වත් අර මම කියපු ඔක්කොම පහසුකම් එක්ක හොයා ගන්න බැරි වුණා.. මේ ලැප් ටොප් එක ෆොර්මැට් කරලා මට ඕනේ විදියට හදාගන්න බෑ.. ඉතින් තව ටික කාලයක් යනකම් සිංහල ලියන්න මොකක් හරි අටව ගන්න ඕනේ ... අලුතින් මොකක් හරි එකකට හුරු වෙන එකේ මගේ අවශ්‍යතා ටික ඔක්කොම හරි යන එකක් හොයලම හුරු වෙන්නයි හිතුවේ ...  

මේ බ්ලොග් ලියන අයියල අක්කල ,නැන්දල මාමල,නංගිලා මල්ලිලා,ආච්චිලා සීයල සහ මචං ල මචින්  ලාගෙ අදහස් ටිකක් දෙන්න ප්ලීස්... ලා ....

Thursday, June 06, 2013

මැලේ මිනිසුන්ගේ දේශයේ සත් දිනක්…

          පහුගිය මැයි 25  සෙනසුරාදා උදේ 7.45ට යෙදුනු සුභ මොහොතින් සිරි ලංකාද්වීපයෙන් ගුවන් ගතවී පැය 3කුත් විනාඩි තිස් හතලිස් පනස් ගානක ගුවන් සවාරියකින් පසු බස්ටි නංඟී මැතිනිය සමඟ මම මහතා මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස්සෙමු. ඒ අවුරුදු 2ක් මැලේ මිනිසුන්ගේ රටේ පිහිටි ආයතනයක වැඩ කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි.

මම මීට පෙර ඉන්දියානූ මිනිසුන්ගේ දේශයට වරකුත් තායි මිනිසුන්ගේ දේශයට වරකුත් ගොඩ බැස තිබුණද මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස නොතිබූ බැවින් මෙය අලුත් අත්දැකිමක් විය. මැලේ මිනිසුන් ආතල් ජන කොටසකි (ජන කොටස් හැට හුටහමාරකි)

ප්ලේනයෙන් බැස ටැක්සියක් ගෙන කලින් කතාබස් කරගෙන තිබූ ආකාරයට අදාළ පුද්ගලයා හමුවීමට එපාට්මන්ටුවට ආවිට අයියෝ සල්ලි කියා සුද්ද සිංහලෙන් කියනා යෙදුමක් මතක් විය. අප සිතා සිටියේ මැලේ මිනිසුන් යනු පට්ට සුපිරි ජාතියක් ලෙසය. හතර වටේම පට්ට පාරවල් සහ පට්ට කාර්ය.  බලන බලන් අත තට්ටු හැට හුටහමාරක් ඇති එපාට්මන්ටු බිල්ඩිං ය. එහෙව් රටේ අපට ඉන්නට මුන් සුදානම් කර ඇති එපාට්මන්ටුව හරියට ජයික් හිල්ටන් සිහිනය මාළිගාවත්ත ප්ලැට්වලින් එළිවීමක් වැනිය. බස්ටි නංඟීගේ මූණ දෙස බැලීම පවා දුක් සීන් එකකි.. ඕනෑම එකක් බොහෝ විට ඔන්න ඔහේ කමක් නෑ ගානෙන් ඉන්න මටත් මේ සීන් එක නම් ඇල්ලුවේ නැත. 

අපිව මෙහි ගෙන ආ නිල වශයෙන් අපේ මෙහි බොසා අපට එම තට්ටු නිවාසයේ ඇති එක එක එපාට්මන්ටු පෙන්නමින් ඒවා වර්ණනා කරයි.. උගේ හැටියට ඒවා මෙහි ඇති අපට සුදුසු ඉතාම හොඳ තත්වයේ ඒවාය. අපට වැඩ කිරීමට ඇති ස්තානය පේන දුරින් තිබීම සහ අපට පයින් වැඩට යාමට හැකිවීම ඌට ඒවා මාකට් කිරීමට ඇති පොසිටිව් ෆැක්ටර්ස්ය. සුමානයක් විතර එක දිගට මැරීගෙන එක එක ඒවාට මහන්සි වී පට්ට මහන්සියෙන් ආ අපිට වැටී නිදාගන්න තැනක් නොදී මූ අපිට අර එපාට්මන්ටු අවුරුද්දක බද්දකට ගැනීමට යෝජනා කරමින් හෙන ටෝක්ස් දෙයි. එනපොට හොඳ නැති බව හීනියට වගේ මගේ කුඩා මොළයට වැටහී මහන්සි නිවා ගන්නා තෙක්  හෝටලයේ නැවතී අද කළ යුතු දේ හෙටට කල් තබා ඒ රාජකීය එපාට්මන්ටුවෙන් ගැළවී ඊට සාපේක්ෂව ටිකක් විතර හොඳ හෝටලයකට යාන්තම් සෙට් වුනෙමු.

හෝටලයට පැමිණ මේ සිද්දිය පිළිබඳව මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද (වයසින් අංකල් වුවද අනිත් සෑම එකකින් ම එලම කොල්ලෙකි..) මහතෙකුට ඇමතුමක් දුන්නෙමු. ඒ මහතාගේ උපදෙස් පරදි සියලු කටයුතු හෙටට කල් තබා අප දෙදෙනා මලා සේ වැටී නිදාගත්තෙමු..

මැලේ මිනිසුන්ගේ දේශයේ අප ගෙවූ පළමු දිනය එසේ නිමා විය…

පහුවදා උදේ පාන්දර අටට විතර නැඟිට මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතා, එම මැතිනිය සහ පුතනුවන් සමඟ ඉහත කී පට්ට එපාට්මන්ටුව බැලීමට නැවත වරක් පිටත් වී ගියෙමු… ඒ මැලේ මිනිසුන්ගේ රටේ සෑම එපාට්මන්ටුවක් ම මෙසේම දැයි කන්ෆර්ම් පිට දැන ගැනීම සහ රටතොට සහ එහි ජීවිතවීම ගැන උපදෙස් ආදිය ඒ මහතාගෙන් ලබාගැනීමේ බලාපොරොත්තුව සහිතවය…මඤඤං  වී සිටි අප දෙදෙනාට රට ගැන,රටේ මිනිසුන් ගැන, උන් සමඟ කටයුතු කිරීම ගැන, වැඩ කටයුතු සිද්ද කර ගැනීම ගැන පියෙකු මෙන් උපදෙස් ඒ මහතා ද මවක මෙන් උපදෙස් එම මැතිනියද ලබා දුන්නෝය. ඒ මහතා විසින් ලබා දුන් ප්‍රණීත භෝජන සංග්‍රහය ගැන ද නොකියාම බැරිය. ඒවා මහත් ඵල මහානිසංස ලැබෙන පිං කං ය…

ඒ උපදෙස් වලට අනුව අප දෙදෙනා පෙර කී එපාට්මන්ටුවෙන් නූලෙන් ගැලවී අපිට හරියන එපාට්මන්ටුවක් අප හොයා ගනිමු යන ගට් එක හිතට අරගෙන නැවත පෙරකී හෝටලයටම සෙට් වුණෙමු. මෙහිදී අපගේ බොසාගේ හිත මද වශයෙන් රිදුණද ඒ හිත එක මොහොතකට හදන්නට අපිට අවුරුදු 2ක් කට්ට කන්න බැරි නිසා ඒවා ඒ ඒ විදියට සිද්ද වෙන්න ඉඩ ඇර අපි කෙලින් තීරණයක් ගතිමු.. අප ගත් තීරණය ගැන ඒ වන විටත් මැලේ දේශයේ සතියක් ගෙවා තිබූ අප මිතුරාටද, එදින ගොඩ බැසගත් නව මිතුරාටද දැන් වූ නමුත් ඔවූහූ අර පට්ට එපාට්මන්ටුවේ ජීවත් වීමට තීරණය කළ බව පසුව දැන ගන්නට ලැබිණි. ඒවා ඒ ඒ අයගේ කැමත්තය… 

දෙවන දවස එසේ නිමාවූ අතර 3න් වෙනි දවසේ මට පළමු වරට වැඩට යාමට සිදුවිය.

අවුරුදු 3-4ක් ඩෙනිමයි අතට අහුවූ ටීෂර්ට් එකකුයි ඇඳන් වැඩට ගිය මට ජෙන්ටා ගසා වැඩට යාම සියල්ලට වඩා අජූත කාරනාවක් විය. නමුත් මැලේ රටේ දී අප වැඩ කළ යුත්තේ එසේය. ඒවාට හිත හදාගත යුතු විය.

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උදෑසන ටැක්සියක් කතා කරගෙන දන්නා ඉංග්‍රීසියෙන් යන්න ඕනෑ තැන ගැන ටැක්සි කරුවාට පාර කියූවෙමි. ඌ ගත් කටටම ගාන මෙච්චරයි යනවනම් යමු නෝ මීටර් කියා කැඩිච්ච ඉංගිරිසියෙන් කියා මට ඕනෑවට වගේ හිටියේය. ඕනේ මඟුලක් යැයි කියා ඔන්න ඔහේ යමු කියා අලුත් ජොබ් එකේ පළවෙනි දවස වෙනුවෙන් නොවටිනා ගානක් ටැක්සියට ගෙව්වෙමි.. ඒවා වැළැක්විය නොහැකිය.. අපි සුද්දන්ගෙන් කඩන ලෙසට උන් අපෙන් කඩා ගන්නේය..

ඔපීසිය නම් පට්ටය.. ඒ කියන්නේ සිරාවටම පට්ටය… ලෝකයේ බිහිවන නව නිර්මාණ බොහෝමයක උපත සිදුවන තැනකි.. පේටන්ට් බල පත්‍රම බර ගානක් හිමි කමක් ඇති මැලේ දේශයේ මහ ආණ්ඩුවේ වියදමින් දුවන රිසර්ච් ඇන්ඩ් ඩිවෙලප්මන්ට් සෙන්ටර් එකකි. 

නැනෝටෙක්නොලොජි,ඉලෙක්ට්‍රොනික්ස්,මයික්‍රෝබයොලොජි,කොමියුනිකේෂන් ටෙක්නොලොජි ආදී මෙකී නොකී සෑම දෙයක් පිළිබඳව පරයේෂණ කරන ආයතනයකි… 

මෙවැනි තැනක මම මොන ලබ්බක් කරන්නේදැයි ඔබට සැකයක් ඇත්නම් එය මෙසේ පැහැදිලි කළ හැකිය.. මැලේ රටේ රජයට සම්බන්ධව කරන නව සංකල්පයක් සහිත පද්ධතියක වැඩ කිරීම වෙනුවෙන් ඔවුන් මාව,බස්ටී නංඟීව සහ තවත් අපේ කොල්ලන් 4 දෙනෙකු තෝරාගත්තෝය. බොහෝ විට ලංකාවෙන් තවත් අයට එම අවස්තාව ලබා ගැනීමට හැකිවනු ඇත.. අදාළ ක්ෂේත්‍රයේ වසර 7-8ක පළපුරුද්ද ඇතිනම් චෑන්ස් ලබා ගත හැකිය..  වැඩි චිස්තර සඳහා ටොප් ජොබ්ස් බලන්න. නැතිනම් මාව අමතන්න..

එතන පස්ට කැන්ටිමක් ද ඇත.. උදේ දවල් කෑම ඉතා ප්‍රණීත ලෙස එතනින් සාධාරණ මිලට ලබා ගත හැක.
ඔය ආකාරයට 3න් වෙනි දවස ගෙවී ගිය අතර හවස ගෙදර යාමට නැවත ටැක්සියක් නොගෙන පුරුදු වෙන්නටත් එක්ක කෝච්චියේ සහ මොනෝ රේල්ලුවේ හෝටලයට ගියෙමි.. එතැන් පටන් අලුත් එපාට්මන්ටුවක් සොයා ගන්නා තෙක් උදේ හවස වැඩට ගියේ මේ ක්‍රමයෙනි..

අලුත් එපාට්මන්ටු සොයා ගැනීමද ආතල් ජනක වැඩකි,  ඉන්ටර්නෙට් එකෙන් බලා, දුරකතන ඇමතුමක් ලබා දී ඒජන්තවරයා සහ අයිතිකරුවා සමඟ වෙලාවක් වෙන් කරගෙන ඒවා බැලීමට යායුතුය. එසේ බැලීමට ගිය පළමු එකේදීම මට අර ඉහත කී මහත්මා කී කතාව සත්‍ය බව වැටහී ගියේයේ.. තවත් අඹ ගස් ඕනෑ තරම් ඇත.. බොහෝ ඒවා මී පැණි මෙන් රස ඇති අඹ ඇති ගස් ය.. මැලේ රටේ ද අන්ඩ පාලයෝ සිටින බව මෙයින් මට විසි පස්වන වරට පමණ තහවුරු විය..

කෙසේ හෝ ටැක්සි වලට බොරු ගනන් ගෙවමින් උන්ට කැඩිච්ච ඉංග්‍රීසියෙන් පාර කියමින් සොයා ගත් දෙවන එපාට්මන්ටුව (මෙය කොන්ඩෝවකි) පට්ට ලෙස අපේ සිත් ගත්තෝය.. ඒ කියන්නේ බස්ටි නඟිගේ සිත් ගත්තාය. ඒ කියන්නේ ඒ වැඩේ ෆයිනල් ය..

යට කී මහත්මාට ඩේලී අප්ඩේට් දෙමින්,ස්ටේටස් රිපෝට් යවමින්,උපදෙස් ලබාගනිමින් කෙසේ හෝ නියමිත පරිදි එම කොන්ඩෝව අපි අවුරුද්දක් සඳහා ලබා ගත්තෝය. ඒ මැලේ දේශයේ ගෙවුණු 4වෙනි දවසේදීය..

පස්වෙනි දවසේදී හීන් සීරුවේ බඩු ටික ගෙනත් දමා.. වැඩට ගොස් හීන් සීරුවේ අලුත් ගෙදරට ඇවිත් නිදා ගත්තෙමු.. මම වැඩට ගිය දාට පසු දින බස්ටි නඟාද වැඩ පටන් ගත්ත අතර අපි දෙන්නා දැන් වැඩ කරන්නේ එකම තැනය.. ඒ කියන්නේ අල්ලපු පුටුවේය..  (එහි හොඳ සහ නරක දෙකම ඇති අතර ඒවා බ්ලොග් වල ලිවීම සුදුසු නැත…)

හයවෙනි දවසේ උදේ පාන්දර අපේ එපාට්මන්ටුවට පොඩ්ඩක් දුරින් ඇති ගේට්ටුවකින් ටෙක්නොලොජි පාක් එකට ඇතුළත් වී පැය භාගයක් ආතල් එකේ ඇවිදීමෙන් ඔපිස් එකට ඉතා පහසුවෙන් ආ හැකි බව අප සොයා ගත්තෙමු.. ඒ සොයා ගැනීමත් සමඟ ටැක්සි වලට බොරු ගනන් ගෙවීම සහ උන්ට පාර කියා දෙමින් ගමන් යෑමේ කරදරයෙන් ගැළවුනෙමු.. කකුල් රිදීම වෙනම කතාවකි…

එසේ 6වෙනි දවස ගෙවා දමා අද සෙනසුරාදා මැලේ දේශයට පය ගසා ගෙවුණු සත්වන දවසේ යාන්තම් ඉන්න හිටින්න තැනක් පිළිවෙලකට සකස් කරගෙන මනුස්ස ස්වරූපයෙන් ඉදිරි වසර 2ක ගෙවීම නිල වශයෙන් ආරම්භ කළෙමි… මේ සියල්ලේ ගෞරවය ඉහත කී මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතාට, එම මැතිනියට පින් සිදු වන්නට ලබා ගත් දේමය.. සුළු සුළු ඇණ ගැනීම් කීපයක් මැද්දේ උවද සාර්ථක සතියක් ගෙවීමට මා වැනි මන්ද ඩයල් එකකට හැකිවූයේ ඒ විසේසන්න උපදෙස් මහිමයෙනි..

කෙසේ හෝ අවසන් වශයෙන් පැවසිය යුතු දෙයක් වන්නේ..  ලංකාව හැර යාමේ බලා කිසිම බලාපොරොත්තුවකින් තොරව සිටි මට බොහෝම සාමාන්‍ය ලෙස අලුත් ජොබක් සොයා ගැනීමට දැමූ ඇප්ලිකේෂන් එකක් බැක් ෆයර් වීමෙන් ලබා ගත් දෙයකි මේ ගමන සහ රැකියාව.. අවුරුදු 2ක අවසානයේ (ඊට කලින් දොට්ට නොදැම්මොත්) නැවත ලංකාවට පැමිණ සෙට්ල් බෙට්ල් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ ගමන පැමිණියෙමි… අපි නොදන්න බොහෝ දේ ලෝකයේ සිදුවන නිසා යන්තම් හෝ ඒ දේ සමඟ ගැටී වැඩ කිරීමේ අවස්ථාවක් ලැබීමත්, ඒ අවස්ථාව මට ඕනෑ හැම දේම (ගෙදර උන්දෑටත් රස්සාවක් සමඟම) දීමට ඔවුන් එකඟ වීමත්, කීයක් හරි වැඩියෙන් හම්බ කරගෙන ගැජමැටික්ස් ටිකක් එකතු කරගෙන යාමට හැකි නිසාත් ආ ගමනකි..


මෙහි බොහෝ දේ හොඳය.. හැබැයි ලංකාව ඊට වඩා බොහෝ හොඳය…

ප.ලී 

මෙම පෝස්ටය පසුගිය සෙනසුරාදා ලියා අවසන් කලද මාගේ google එකවුන්ට් එක මෙහි සිට බාවිතා කිරීමෙ  තිබූ ගැටලුවක් නිසාවෙන් බ්ලොගයට ලොග් වීමේ හැකියව ලැබුනේ අදය.