Sunday, September 02, 2012

අපි කියවන්නෙ ඇයි..?

සාහිත්‍ය මාසේ පටන් ගන්න කොටම ලියන්න කියල හොඳ මාතෘකාවක් සෙට් වුණා.. හෙන සම්භාව්‍ය හෝ හර බර ලෙස නැතුව(එහෙම ලියන්න දන්නෙ නෑ) "මේ මාසේ ගිය මාසේ වාගේ නොවන්න..." කියල මේ ලියන්නේ...

ඇයි අපි කියවන්නේ කියල හිතල බලන්න කලින් මම කල්පනා කළා ඇයි මම කියවන්නේ කියල... අවංකවම බොන්න ඕනෙ ප්‍රශ්නයක්.. ඇයි මම කියවන්නේ...? එකක් පොඩි කාලේ ඉඳල ඇති වෙච්ච පුරුද්ද නිසා.. පොඩි කාලේ දි ඇයි කියවන්න ආස වුණේ ? සමහර පොඩි උන්ට පොත් දිය කරල පෙව්වත් ආසාවක් ඇති වෙන්නෙ නෑ නේ? දැන් මේ ලොකු වෙලා පොඩි කාලේ ගැන හිතල බලද්දි තේරෙනව.. පොඩි කාලේ ඉඳන් ම තිබ්බ ඔහේ පැත්තකට වෙලා ඉන්න කැමති ගතිය වගේ එක හේතුවක් වෙන්න ඇති..  අනිත් උන්ට සාපේක්ෂ්ව මට ටිකක් තිබ්බේ ගෑනු ගති(සුසන්තිකා ජයසිංහ වගෙ ගෑනු ගති නෙවෙයි හරිද) ඒ කිව්වේ මේ පැත්තකට වෙලා ඉන්න ගතිය විතරයි.. පොත් කියවන චරිත වල සාමාන්‍යයෙන් මේ ගතිය තියෙනව කියල මට හිතෙනව.. 

අනිත් එක පවුලෙ අයගෙන් එන පසුබිම... හැබැයි මම පොඩි කාලෙදි අපේ අම්මටයි තාත්තටයි නම් මාත් එක්ක පොත් කියවන්න තරම් නිදහසක් තිබුනේ නෑ.. අක්කටත් මට තරම්ම දැනටත් අවුල් නෑ...

හැබැයි එයාල මට එක එක පොත් ගෙනත් දුන්නා...  මුලින්ම කියවපු පොත් රසවත් වීම නිසා පොත් කියවීමට ආස වුණා වෙන්න පුලුවන්...

කොහොම හරි කියවන්න පටන් ගත්ත කෙනෙකුට ඇයි මේක දිගටම කරන්න ආස හිතෙන්නේ..මොනවද මේකෙන් ලැබෙන්නේ...නිකන් ඇබ්බැහි වීමක් ද?  සිංදුවලට, ෆිල්ම්ස් වලට වගේ..

හරි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කවුද මන්ද කෙනෙක් කියල තියෙනවා.. කොහොමද මේ සම්පූර්ණ වීම වෙන්නේ? මලාට පොතක් නොකියවන වුන් ඔය අපූරුවට ඉන්නේ..? කියවන උන්ට වැඩිය හොඳ තැන්වල ගොඩක් වෙලාවට එහෙම නැති අය ඉන්නවා..(දේශපාලකයෝ ගැන නෙවෙයි මේ කිව්වේ)

ලෝකෙ ගැන හිතන්න කලින් ආයෙත් මං ගැන හිතල බැලුවොත් මට ඒ ඒ පොත් වල හිටපු චරිත වලට ආස හිතුණා.. ඒ මිනිස්සු කරපු වැඩ වලට ආස හිතුණා.. ඒ වගේ වෙන්න ඕනෙ කියල හිතුණා...

ඒ කියන්නේ සරලව ඇඳ උඩ ඉඳන් වීරයෝ වෙන්න අවස්තාව මට කියවීම නිසා ලැබුණ... හැබෑ ලෝකෙදි ඔහේ පැත්තකට වෙලා හිටියට..

අනිත් පැත්තෙන් කවද හරි කවුරුවගෙ වෙන්න ඕනෙද කියන හැඟමත් ඔලුවට ආවා..(මාර්කෝනි හරි, ලොගී බෙයාර්ඩ් හරි,එඩිසන් හරි වෙන කවුරු හරි එකෙක් ගෙදර බිං කාමරේ ඉඳන් පරීක්ෂණ කරපු කතාවක් කියවපු දවසේ ඉඳන් මටත් පරීක්ෂණ කරන්න බිං කාමරයක් ඕනෙ වුණා...)

බැරිවෙලාවත් කවද හරි මම ලොකුවෙලා ගෙයක් හැදුවොත් එහෙම එකක් හදන්න තාමත් මගේ ඔළුවේ තියෙනවා..(බට්ටි නංඟි ඇතුළු පවුලේ සැම කචල් නොදැම්මොත් තමා ඉතින්..)

අපේ පාළුව තනිකම වගේ දේවල් පොත් කියෙව්වහම නැති වෙනව ද? මට නම් ඔව්.. ඒ චරිත ඉන්නවනේ අපිට කතා කර කර ඉන්න.. ප්‍රශ්නයක් වුණාම අර පොතේ වීරය නම් මේ වෙලාවට මොනව කරයි ද කියල හිතිල නැද්ද? ෂර්ලොක් හෝම්ස් ගේ තියරි අපි තාම දානවනේ හිටපු ගමන්...

ඊට පස්සේ පොත්වල ඉන්න චරිතවලට සිද්ද වෙච්ච දේවල් හැබෑවටම අපිටත් වෙනකොට හරි ආතල් නේද? මේව නම් ඉතින් මොනවගේ කතාද කියල හැමෝම දන්නවනේ.. (අර කම්මුලේ හොටු කියල අලුත්ම නවකතාවක් ලියපු අඩන එක්කෙනාගේ ඒව වගේ ඒව)

ඒ ඒ චරිත කියපු කරපු දේවල් ඇත්තට කරන්න ගිහින් චාටර් වෙන්නත් වෙලා ඇති නේ.. හිකිස්..

අනිත් වැදගත් ම දේ දැනුම සහ අවබෝධය ලැබීම..

දැනුම ලැබීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැබැයි අවබෝධය ලැබීම ටිකක් වෙනස් දෙයක්..

එකම කතාව කියවපු කිහිප දෙනෙක් ඒ කතාවෙන් අවබෝධ කරගන්න දේ එකිනෙකාට සාපේක්ෂයි කියල තමයි මට හිතෙන්නේ..

අනිත් අතට සමහර පොත් කියෙව්වහම දැනෙන රසය නම් හැමෝටම එකක් වගේ.. 

අපි කියවන්න ආස වෙන වැදගත්ම කාරණේ වෙන්නේ ඒ ඒ පොත් කියවීමෙන් ලැබෙන ඒ ඒ රස නිසා නේ.. මේ රසාස්වාදන හැකියාව හැබැයි හැමෝටමත් නෑ කියල මට සමහර වෙලාවට හිතිල තියෙනවා... සමහර අයට කෙලින්ම වචන වලින් කියපු අර්තයෙන් රස විඳිනව තවත් සමහරු කියවපු දෙය සාරාංශ කරල තේරුම් ගත්ත දෙයින් රස විඳිනව..(උ.පෙ ආර්ට් කරනකොට තියෙනව නේද රසාස්වාදන කියල සබ්ජෙක්ට් එකක්.. ඉස්සර නම් තිබ්බ කියල මට මතකයි.. හැබැයි මම කවදාවත් ඉගෙන ගෙන නෑ.. මං කලේ ගනන් )

දැන් එතකොට පොත් නොකියවන අයට මේ රස වින්දන ශක්තිය නැද්ද..?  අපිට එහෙම කියන්න බෑ නේද? ඒ අය වෙනත් දෙයක් ඒ වගේ රස විඳියි.. සමහර විට ක්‍රීඩාවක් වගේ දෙයකිනුත් පොතක් කියවල ගන්න ආතල් එක ගන්න පුළුවන් අය ඇති...

කියවීම නිසා දැනුම, අවබෝධය, රස වින්දනය,ආතල් හම්බෙනව කියල අපි හෙන ටෝක්ස් දැම්මට මලපොතේ අකුරක් නොදැනගෙන හිටිය අපේ පරණ කාලේ කට්ටිය කොහොමද ඔය සිරා වැඩ කරල තියෙන්නේ.. පරම්පරා ගානක් රස විඳින දේවල් ඒ මිනිස්සු කලේ කවුරුවත් ලියපු දේවල් කියවල ගත්ත දැනුමෙන්ද? අවබෝධෙන් ද? ශාස්ත්‍රය කාගෙන් හරි ඉගෙන ගන්න ඇති නමුත් නිර්මාණශීලි කම දියුණු උනේ කොහොමද? 

අපේ ජීවිත වෙනස් කරන්න පොත් වලට පුළුවන්... පොත් වල ඉන්න චරිත වලට පුළුවන්...

ඒක තීරණය වෙන්නේ අපි කොච්චර දුරකට විවෘත මනසකින් ලෝකය දෙස ජීවිතය දෙස බලනවද නැද්ද කියන එක මත නේද?  අපි අපේ ඔළුවේ පුරෝගෙන ඉන්න එක එක දෘෂ්ටි වලින් තොරව අලුත් දැනුමක් සහිත දෙයක් කියවීමෙන් සම්පූර්ණ පරිවර්තනයක් අප තුළ සිද්ද වෙන්න පුළුවන්.. හැබැයි ඒකත් එකිනෙකාට සාපේක්ෂයි..

මේ වගේ අංජබජල් මාතෘකාවක් ගැන පොර ටෝක් ටිකක් දාන්න හිතුනේ ෆේස්බුකියේ මගෙ යාළුවෙක් දාපු පින්තූරයක් දැකල.. ඒකෙ තිබ්බෙ මෙන්න මෙහම එකක් 

We Read to Know that We are Not Alone 

මේක නම් මටත් දැනිල තියෙන දෙයක්... 

අනේ මන්ද  මොකක් ද මම මේ ලිව්වේ කියල මටම නිකං මඤඤං  වගේ  කමක් නෑ ඔන්න ඔහේ කියවල අදහසක් දෙන්නකො බලන්න (තව මඤඤං අය ඉන්නවනේ)


11 comments:

  1. මටනං හිතෙන්නේ මෙහෙමයි,
    පත පොත කියවන්නේ නැති එක අද අපිට තියන ලොකු ගැටලුවක්.

    සරලව හිතන්න මෙහෙම අසුව දශකයේ මුල් භාගයට කලින් ඉපදුන අයගේ රස වින්දනයේ වෙනස සහ අද ඉන්න අයගේ රස වින්දනයේ වෙනස.

    අපිට ඒ කාලේ කොල්ලොත් එක්ක පාජාවේ නොයන වේලාවට කියවන්ඩ ටීපෝ උඩ මේස උඩ කනප්පු උඩ පොත් පත් තිබ්බා.

    අද ගෙදරකට ගිහිල්ලා බලන්ඩ මල් පැලයක් ඔතාගන යන්ඩ පත්තර කෑල්ලක් තියනවද කියලා.

    අනේ මන්දා කියන්ඩ හදනදේ මටත් කියා ගන්ඩ බැ වගේ.

    මමත් එව්වායේ ප්‍රයෝජනය හරියට ගත්තේ නැති හන්දා.

    දවසක් වෙච්ච දෙයක් මම කියන්නං

    අපේ මීතූරු හවුල රසවින්දනය දන්න රසවතූන්ගෙන් පිරුනු එකක් , අපි ඉදහිට මීවිතකට සෙට් උනත් රසවත් අරුත්බර ගීත තමයි කියන්නේ , එකිනෙකාගේ අවස්ථාව ආවහම තමන් දන්න ගීත කියනවා.

    මම ආසම ගීතයවන "පබලුනගේ නා මල්
    තිලකේ" කියුවට පස්සේ එතන හිටපු 90 දශකයේ මල්ලි කෙනෙක් අහනවා,

    කව්ද අයියේ ඒ සින්දුව කියන්නෙක් කියලා.

    දෙතූන්දෙනෙක්ම කොල්ලට සින්දුව ගැන කියලා දුන්නා.

    ඊ ලගට " පාළුව දෙවනත් කරගන නාඩන් " කියන කොට ඹූ ආයෙත් ප්‍රශ්න අහනවා උන්තිමට අපිට සින්දුව ගැනත් කියලා උළලේනා ගැනත් කියලා දෙන්ඩ උනා.

    ඔන්න අපේ රටේ අනාගතය.

    ReplyDelete
  2. පැතුම් ,අටම්පහුර.
    මම කියවන්න ඇබ්බැහි උනෙත් ඔයවගේම හේතු සාධක ටිකක් නිසා තමයි. අවුරුදු 8දි විතර පටන්ගත්තම 26ක් විතර වෙනකල්ම කියෙව්ව. අටම්පහුර කිව්ව වගේ කියවීම නැතිතැන රසවින්දනය නැතිවෙනව. ඒත් කරන්න දෙයක් නෑ. මොකද මේ තියන ආර්ථික ක්‍රමයත් එක්ක සාහිත්‍ය ඉගනගන්නවට වඩා කොම්පියුටර් ඉගෙනීම වාසිදායකයි. ඒකයි ඇත්ත. එක දෙයක් අත්පත් කරගන්නකොට තවත් දෙයක් ගිලිහෙනඑක නවත්තන්න බෑ. හොඳ උදාහරණයක් දෙන්නම් ඇමෙරිකාවෙන්,
    ටීවී ප්‍රෝගෑම් එකක මම දැක්ක, ලංකාවෙ නිවේදකයෙක් ඇමෙරිකාවට ගිහිල්ල. එදා "හැලෝවීන්" දවසක්. එහේ ඉන්න හැමෝම විවිධාකාරවූ ඇඳුම් ආයිත්තම් වෙස්මුහුණු වලින් සැරසිලා පාරෙ යනව. අපේ නිවේදකය තරුණ කෙනෙකුගෙන් අහනව ,හැලෝවීන් කියන්නෙ මොකක්ද කියලත් අමුතු ඇඳුම් ඇඳගෙන යන්නෙ ඇයි කියලත්‍. එයාට දෙන්න උත්තරයක් නෑ. මේ විදියට නව පරම්පරාවෙ 4-5 දෙනෙකුගෙන්ම හැලෝවීන් කියන්නෙ මොකක්ද කියලවත් දැනගන්න බැරිවෙනව. හැමකෙනාම කියන්නෙ අමුතු ඇඳුම් ඇඳගෙන පාරෙ යනඑක හැලෝවීන් කියල. තේරුම කවුරුත් දන්නෙ නෑ‍‍. අන්තිමට මැදි වයසෙ කලුජාතිකයෙක් තමයි කියන්නෙ හැලෝවීන් කියන්නෙ මොකක්ද කියල.

    කියවීම අඩුවීමත් එක්ක මෙහෙත් ඒ තත්වය ඇතිවෙන ලකුණු තියනව.

    ReplyDelete
  3. අටම්පහුර,

    මෙහෙමයි මට හිතෙන්නේ අදත් ඉන්නව කියවන අය.. අළුතින් කියවන්න පටන් ගන්න අයත් ඉන්නවා... ළමයින්ට කියවන්න පුරුදු කරන දෙමව්පියොත් ඉන්නවා.. මට හිතෙන්නේ සාපෙක්ෂව බැලුවොත් ඔයා ඔය කියන කාලෙට වඩා දැන් ඉන්න ළමයින්ට කියවන්න ලැබෙන අවස්තා වැඩියි... නමුත් ඔවුන්ගේ රසවින්ඳන හැකියාව එළියට පෙන්නුම් වෙන්නේ වෙන විදියකට කියල හිතිල නැද්ද?

    ඔයාල අපි ඒ ලබා ගත්ත දේ සරල සිංදුවක් අහල ඒක විඳල එළියට පෙන්නුම් කරනවා..හැබැයි දැන් ඉන්න අය ඒ රසවින්දනය වෙන වෙන විදියට එලියට දානව.. උදාහරනෙකට අවුරුදු 22ක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ගන්න.. එයා 1990 දි ඉපදුනා කියන්නේ ඔයාල අපි අහපු ගීත,ඒ පොත්පත්, ඒ පරිසරය, එයාලට තිබ්බෙ නෑ.. හැබැයි එයාලගෙ අම්මල එයාට පොඩි කාලේ ගෙනත් දුන්න පොත් කියවල එයාට දැනුන හැඟීම් එයා කොම්පියුටරෙන් ලස්සන ග්‍රැෆික් එකක් ව්දියට එළියට දානව..ඒකේ වැරැද්දක් නෑ නේද?

    ඕකම අපිට සාපේක්ෂව ගත්තොත් රුක්මනී දේවිගේ හරි නැත්නම් ඒ කාලේ හිටපු අයගේ සමහර සිංදු වලදි අපේ අම්මලට තාත්තලට දැනෙන රසය අපිට දැනෙනේ නෑ... මට හිතෙන්නේ අපි ජීවත් වෙච්ච කාලෙට සාපේක්ෂව බලල දැන් අයව මනින එක අසාධාරණයි වගේ..

    ReplyDelete
  4. රාජ්,

    මම හිතන්නේ කියවන්න අවශ්‍යතාව තියෙන මනුස්සය මොන වැඩේ තිබ්බත් ඒක කරනව නේද? හොඳ රසවිඳින්නෙක් වෙන්න කියවීම අවශ්‍යයි නමුත් සාහිත්‍යය රැකියාවක් ලෙස කරන්න ඕනෙ නෑනේ...කම්කරුවෙකුට උනත් හොඳ රසවතෙක් වෙන්න පුළුවන්..

    කොම්පියුටරේ නිසා කියවීමට හානියක් වුණා කියන එක ඒ ව්දියට ගන්නෙ නැතුව කොම්පියුටර් නිසා කියවීම පහසුවුණා කියලත් අපිට ගන්න පුළුවන්.. කියවන්න කම්මැලි අයට ඕඩියෝ බුක්ස් තියෙනව.. ඇඳ උඩ ඉඳන් කියවන්න/අහන්න ඕනෙ තරම් ගැජට් දැන් තියෙනව නේද? මට හිතෙන්නේ තමන් තුළ තියෙන අවශ්‍යතාව මත සාහිත්‍යය රසවිඳින්න රසවිඳීම ඉගෙන ගන්න දැන් ඉස්සරට වැඩිය අවස්තා තියෙනවා අපි හරියට යොදා ගන්නවනම්...

    හැලෝවීන් තරම් දුර යන්නෙ ඕනෙ නෑ.. ඇයි අපි වෙසක් එකට වෙස්මූනු දාගෙන ආතල් ගන්නේ? වෙසක් එකට ඔලුබක්කෝ නටන්නේ ඇයි..‍? මම නම් තාමත් දන්නෙ නෑ.. ඒව ඔය අපි කතා බහකරන 70-80 දශක වල ඉඳන් තිබිච්ච දේවල්.. මම හිතන්නෙ නෑ මේ කාලේ ඉන්න අයගෙයි අපෙයි ලොකු වෙනසක් ඒවගේ දේවල් වලින්නම් මනින්න පුළුවන් වෙයි කියල...

    ReplyDelete
  5. හර බර වචන වලින් දමලා ගහනවාට වඩා මෙහෙම සරලවම කියෝගෙන යන්න පුලුවන් විදිහට පෝස්ට් එක ලිව්ව එකට ගොඩක් ස්තුතියි...

    හරි දැන් පෝස්ට් එකට එමු...

    අර කිව්වත් වගේ සමහරුන්ට නම් පොත් දිය කරලා පෙවුවත් කියවන්ඩ ආස නෑ...මම නම් පොත් කියවන්ඩ ආස උනේ අපේ අම්මා පඩි ගත්ත දවසට මොනවා නැතත් පොතක් පත්තරයක් ගෙනත්දෙනවා. මුල්ම කාලේ ඒ නිසාම වෙන්ඩැති පොත් පත්තර කියවන්ඩ හුරුවෙන්ඩ ප්‍රදානම හේතුව උනේ..

    ගොඩක් වෙලාවකට අළුත් පොතක් අතට ගත්තම කියවල මිසක් ආයේ පොත පැත්තකින් තියන්ඩ බැරි ලෙඩකුත් තියෙන නිසා පොතක් ලැබුනොත් කියෝලා මිසක් අතාරින්නේ නෑ..

    ReplyDelete
  6. පොත් පත්තර නම් මේ ටිකේ කියවන්න උනේම නැහැ.බ්ලොග්ම තමා..නැවතත් කියැවීමේ ජිවිතයට යන්න ඕන..:)

    ReplyDelete
  7. අටම්ගේ කතාව ඇත්ත.. මේ ඉන්ටර්නෙට් කෙරුවාවත් අද දවසේ පොත් කියවීම අඩු වෙන්න හේතුවක් තමයි..

    ReplyDelete
  8. පොඩි කාලේ ඉදන්ම හැම උපන් දිනේටම අම්මා තෑගි දුන්නේ පොතක් තමා. එහෙම පටන් ගත්තු කියවිල්ල අන්තිමට නතර වුණේ ලියවිල්ලෙන් :)

    ReplyDelete
  9. පනුච්චිටත් කියවන්න පුරුදු කලේ තාත්තයි අම්මයි තමයි. මට මතකයි චූටි කාලේ අර ලොකු ලොකු අකුරු තියෙන ලස්සන රූප තියෙන පොත් ගොඩාරියක් ගෙනත් දුන්න තාත්තා... එදා ඉඳං තාම කියවනවා.. වැඩියම කියවන්න ආස පරිවර්තන සහ විද්‍යා ප්‍රබන්ධ තමයි...
    දැන් ලක ලැස්ති වෙන්නේ සාහිත්‍ය මාසේ පොත් ප්‍රදර්ශනේට :) :)

    ReplyDelete
  10. මධුරංග,කියවන්න කැමති හැමෝටම ඔය ලෙඩේ තියෙනව නේද? කනකොටත් කියෝනව,ටී.වී බලන්නෙත් පොත බල බල, ඉස්සර මටත් බැනුම් ගොඩයි පොතක් අතට ගත්තම වෙන්අ වැඩක් නෑ කියල..

    හිරුහිමාවී, කියවන දේවල් කාලෙන් කාලෙට වෙනස් වුණාට කියවන්න තියෙන ආසාව නැති වෙලා නෑ නේද?

    සරත් අයියා, පොත් පත් කියවීම අඩූ උනාට වෙන වෙන දේවල් කියවීම වැඩි වෙලා නැද්ද ඉන්ටර්නෙට් නිසා..? බ්ලොග්,වෙබ් සයිට්,ගොසිප්,පත්තර, වගේ ඒවා, කට්ටියගේ දැනුම පොත් කියවල වැඩි කරගන්නවට වඩා වැඩි වෙලා නැද්ද?

    හසිත, මටත් පොඩි කාලේ ඉඳන් අද වෙනකම්ම උපන්දිනේට පොත් හම්බවෙන සහ ගන්න පුරුද්ද තියෙනවා.. වෙලාවට උපන්දිනෙත් සාහිත්‍යය මාසේ නිසා අඩුපාඩුවක් නැතුව පොත් නම් ගන්නවා

    පණුච්චි,මමත් කැමතිම පරිවර්තන සහ විද්‍යා ප්‍රබන්ධ තමා.. වෙන ඒව නම් කියෝපු කාලයක් මතක නෑ..














    ReplyDelete
  11. වටිනා ලිපියක්. මගේ බ්ලොග් එකට පැමිණියාට ස්තුතියි. දිගටම රැඳී සිටින්න. ඔබට ජය.

    ReplyDelete