Tuesday, July 17, 2012

ලෝකයම අතිශය සුන්දර වූ එක් මොහොතක්...

දිනය මට මතක නැත. බොහෝ විට 2008 හෝ 2007 වසරේ අග භාගය විය හැක. ජීවිතයේ වැදගත් තීරණයක් වෙනුවෙන් මහත් වේදනාවකින් යුතුව රැයක් ගත කළෙමි. හිත කැමති වී සිටි දෙය සහ හිත අකමැති වුවත් ප්‍රායෝගිකව කලයුතු දෙයක් පිළිබඳව තීරණය කිරීමට ගත කළ නිදි වර්ජිත රැයක අවසානයේදී එක්වරම....

මා කළ යුත්තේ මෙයයි යන්න මට ක්ෂණයකින් අවබෝධ විය. ඒ අවබෝධවූ දෙයත් සමඟ මුළු රැය පුරාම මා සිතින් ගතින් විඳි වෙහෙස එක මොහොතකින් අතුරුදන් වී ගිය හැටි මට තාමත් සංවේදනය කළ හැකිය. එය එතරම් සුන්දරය. අඳුරුව හිර වී තිබුණු කාමරය දීප්තියෙන් බැබලෙන සේ දැනිනි. දකින දකින හැම දෙයම පෙර නොදුටු තරම් ලස්සනකින් අතිශය චමත්කාර ලෙස පෙනෙන්නට විය. හිත තුළ වූ සැහැල්ලුව විස්තර කිරීමට හෝ පැහැදිලි කිරීමට නොහැකි තරම්ය. නමුත් ඒ සුන්දරත්වය මා සමඟ පැවතියේ විනාඩි කිහිපයකි. ඉන්පසුව සියල්ල යථා තත්වයට පත්විය. හිතේ සැහැල්ලුව පමණක් ඉතිරි විය. 

රැය පුරා මා පෙළු ගැටළුවට පිළිතුර හිත කැමති දේවත් හිත අකමැති දේවත් කිරීම නොව සිත කැමති දෙය ලබා ගැනීමට උත්සාහ නොකර සහ අකමැති දෙයට වෛර නොකර සිටීමය. එය වචන මාත්‍රයකින් කෙනෙකු දෙන උපදෙසකින් තේරුම් ගැනීමකට වඩා ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයකි. 

අවසානයේදී මට කරන්නට සිදු වූයේ මගේ සිත අකමැතිව තිබූ දෙයයි. සිත කැමතිව සිටි දෙය කිසිසේත්ම සිදු නොකල යුතුව තිබුණු දෙයක් යැයි පසුව අවබෝධවිය. නමුත් සියල්ල අවසානයේ සිදුවූයේ  මා සිතාගෙන සිටි කිසිවක් නොව මගේ ජීවිතයට වඩාත්ම සුදුසු දෙය මට හිමිවීමය. කලින් මා විසින්  කැමති සහ අකමැති යැයි වෙන්කරගෙන තිබූ සියල්ල කිසිවකට බාදාවක් නොවී ක්ෂය වී ගියේය. ඒවා කොතරම් මට අදාළ නොවිය යුතුව තිබූ දේවල් දැයි පසුව මට වැටහී ගියේය.

ජීවිතයේ එක්වරක් හෝ ඔබත් මෙවැනි අත්දැකීමට මුහුණ දී ඇත්නම් හැර මා මෙහි විස්තර කළ දෙය නිවැරදිව තේරුම් ගත නොහැකි වීමට ඉඩ ඇත. හරියට ඔබ අඳුරු බැලුම් බෝලයක් තුළ හිරවී එළියට යා නොහැකිව, එළියට යාමට දඟලමින්, ඔහේ පාවෙමින් සිටින විට එක්වරම එය බිඳීයාමක් අත්දැකිය හැකිනම් අන්න එවැනි නිදහසක්, ක්ෂණික සතුටක් ඊට සමාන කළ හැකිය.

මෙය කිසිදිනක ලියා තැබීමට මට අවශ්‍ය නොවිණි. එතරම් වැදගත් යැයි කිසිදිනෙක නොසිතුවෙමි.  නමුත් අහේතුකවම අද ලියන්නට සිතුණු නිසාවෙන් ලියා තැබීමි.

6 comments:

  1. http://helaravana.tk/
    රාවන පරපුරට දැනුම ලබාදෙන තවත් එක් දැනුම මංජුසාවක්.....................

    ReplyDelete
  2. තමන් කැමති දේවල් ලැබෙන තරම් සතුටක් තියේ යෑ.

    ReplyDelete
  3. ඔව්ව ඔහොම තමා මචො

    ReplyDelete
  4. මධුරංඟ,

    කැමති දේ නිකම් ලැබෙන්නේ නෑනේ.. කැමති දේ ලැබෙනකම් තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න ඕනේ නේද?

    තරිඳුවා, උඹට හරියට තේරිලා නෑ වගේ..

    ReplyDelete
  5. ඇත්ත පැතුම්.. එත් කරන එක ලේසි පාසු දෙයක් නෙවෙයි.. මමත් ඔහොම තත්ව වලට මුහුණ දීලතියෙනවා. බොහොම වෙලාවට අකමැති දේ කරලා තියෙනවා. හැබැයි හැම එකම නැතත් සමහරක් හරි කියල පස්සේ තේරුම් අරගෙනත් තියෙනවා. හැම දේම සාපේක්ෂයි..

    ReplyDelete
  6. සරත් අයියේ, ඇත්තටම තීරණ ගන්නකොට අපි ගොඩක් වෙලාවට දකින්නේ එක පැත්තක් විතරයිනේ ද? අපේ හිතට පහසු සහ හිත කැමති තීරණේ නේ අපි ගන්න හදන්නේ හැමවෙලේම. හැබැයි අපි ගත යුතු තීරණය හැමවෙලේම හරි එක වෙන්න ඕනේ ඒක කොච්චර අපේ හිතට හරි නොගියත්. දැන් හිත සතුටු කරන්න තීරණ ගන්න එකේ විපාක විඳින්න වෙන්නේ ගොඩක් වෙලාවට පස්සෙ කාලේ. අමාරුවෙන් හරි තීරණේ අරගෙන කාලයක් ඒකත් එක්ක ජීවත් වෙනකොට අපිට සුදුසුම විදියට අපේ ජීවිත වලට අවශ්‍ය දේ ලැබෙනවා.

    ReplyDelete