Wednesday, February 15, 2012

දස වසර

තාත්‍තා නැතිව දශකයක්... ජීවිතේ ගෙවිල යනවා... බොහෝ දේ වෙනස් වෙනවා... තාත්තා නෑ කියන එක දැනිච්ච වාර ගාන අනන්තයක් විතර ඇති... තාමත් ගොඩක් දවස් වලට රෑට මතක් වෙලා කඳුලක් දෙකක් එනවා... මොනව කරන්න ද මෙච්චර කාලයක් හිටපු එක ඉස්සරහටත් ඉන්නවා කියල හිත හදා ගන්නවා... මට අවුරුදු 20දි තාත්තා නැති වුණේ... වෙලාවකට මං කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.. මොකද අවුරුදු 20ක් තාත්තා මාත් එක්ක හිටපු නිසා... එහෙම නැති ළමයි කොච්චර ඉන්න ලෝකයක් ද මේක...

තාත්තා ගැන ලියන්න මහා දේවල් නෑ... සරලව කිව්වොත් සිරා පොරක්... ඕනේ දේකට ඔට්ටු හරිම අහිංසක චරිතයක්.. ඉස්සර අක්කගේ යාළුවෝ තාත්තට කිව්වේ නයිට් රයිඩර් කියල... මයිකල් නයිට්ගේ වගේ කොන්ඩේ ක්‍රේල් නිසා.. හැබැයි මැරෙණකම් ම තාත්තා ගියේ ෆුට් සයිකලේ... තාම අපේ ලොකු තාත්තා පදින්නේ ඒ සයිකලේ...

මම නොදන්න කාලේ ඒ කියන්නේ මම නැති කාලේ හපුතලේ හේරත් කිව්වම පළාතම දන්න මනුස්සයෙක්.. ඒ අපි බියගමට එන්න කලින්..  බොහෝම කාලයක් දේශපාලනේ කරල හොඳට අත්දැකීම් තියෙන.. දැන් රටේ ලොකුම තැන් වල ඉන්න අයත් එක්ක එකට කකා බිබී රට රට වල ඇවිදල අත්දැකීම් ගොඩක් තිබුණා... ඉස්සර බුලත් විටක් කකා ඔය කතා කියනවා...

මම හිතන්නේ ඔය 70 ගණන් වල නිල්පාට ආණ්ඩුව පෙරළිලා කොල පාට ආණ්ඩුව ආවට පස්සේ ඒ දේශපාලන වැඩ ගොඩක් ඒවා අත ඇරල තමයි 83 දී විතර බියගමට ආවේ.. හැබැයි හැම මැයි දිනේටම පෙලපාලි ගියා... කට්ටියම සෙට් කරගෙන ඡන්දේ ඇහුවා... රැස්වීම් වල කතා කළා... ඔන්න ඔය වගේ වැඩ නම් අන්තිම කාළේ වෙනකම් කළා... මරු කටක් තිබ්බේ... ඕනේ තැනක ඕනේ කෙනෙක් එක්ක කතා කරන්න හැකියාව තිබ්බා...

මුලින් අමාත්‍යාංශ ලේඛම් කෙනෙක් වෙලා ඉඳල පස්සේ එම්.බී.බී.එස්  (මේසන් බාස්ට බදාම සප්ලයි) කළා..ඒ මම පොඩි කාලේදි... රස්සාවක් නැතිකාලේ උගස් වවල උගස් අඹරණ මැෂිමට අත අහු වෙලා වම් අතේ මහපට ඇඟිල්ල විතරයි මම උපදින කොට තිබුණේ.. ජීවත් වෙච්ච අවුරුදු 55න් අවුරුදු 30ක් විතර හැමදේම කලේ තනි අතින්... ඉස්සර හැමෝම තාත්තව දන්නව අත නිසා..

බයිසිකලේ ඉස්සරහ බ්‍රේක් පස්ස බ්‍රේක් මාරු කරල හදාගෙන තිබ්බේ අත නිසා..

මහ වැස්සේ තෙමි තෙමී ඉස්සර මාව දාගෙන පදිනවා... හැමදාම හවසට අම්ම වැඩ ඇරිල එන වෙලාවට,අක්ක හරි මම හරි පන්ති හරි ඉස්කෝලේ හරි ගිහින් එන වෙලාවට පාර අයිනට වෙලා බයිසිකලේ තියාගෙන ඉන්නවා..  බයිසිකලේ නැඟල යන එන වෙලාවට ලඟ ගෙදරක කෙනෙකුට ඕනේ දෙයක් කඩෙන් ගෙනත් දෙන්න හරි කැමතියි...

දර පැළීමේ ඉඳන් උයල කන්න දෙන්න පැයක් යන්න නැතුව ඇති... හැමදාම නොවරදින ලුණු මිරිස, මයියොක්ක මැල්ලුම්... දවල්ට උයල ඉතිරි වෙන ටිකට බත් දාල වලඳෙම අනල හවසට කවන බත් කටවල් ටික... හදල දෙන තේ එක...

පරණ ගෙදර ඉඳන් අලුත් ගේ හදන්න බ්ලොක් ගල් ඔක්කොම හැදුවේ තනියම.. මැෂින් නැතුව ලෑලී අව්වුවට කබොක් ගලුයි බදාමයි දාල හදපු බිත්ති වලට අදටත් ගහන්න පුළුවන් කොන්ක්‍රීට් ඇණ විතරයි...

හැමදාම හවසට මද පමණින් ගත්තට වලි නෑ.. සද්ද නෑ.. පෙළපාලී යනකොට කිය කිය ගිය සිංදු කෑලී කිය කිය බිමට කුෂන් කෑල්ලක් දාගෙන හාන්සි වෙලා ඉන්න එක තමා කරන්නේ... පන්සලේ පෝය දවසට බැහැල වැඩ.. දායක සභාවෙත් හිටියද කොහෙද....කවදාවත් සිල් එහෙම නම් අරන් නෑ මම හිතන්නේ..

මාවයි අක්කවයි ඔඩොක්කුවෙ තියාගෙන ඉන්න ඇති මැරෙන්න දවස් ගානකට කලින් වෙනකම් ම...

යන්න එන්න වාහනයක් නැති නිසා තාත්තව ඉස්පිරිතාලේ අරං ගියේ ත්‍රීවීල් එකේ.. අම්ම තනියම... මම එන්.අයි.බී.එම් යනවා අක්ක කැම්පස් එකේ... පොඩි සෙම අමාරුවක් කියල තමා මුලින් ම ගෙනිච්චේ..
ඉස්පිරිතාලේ හිටපු සති දෙකේම මම විජේරාමේ ඉඳන් මහ ඉස්පිරිතාලේට පයින් ගිහින් තාත්තව බැලුවා... එක දවසක් මම ගියාම පුතේ මගේ අතපයහරියට රිදෙනවා පොඩ්ඩක් අතගාන්න කිව්වා... මම ඉතින් හෙමින් අතගානකොට.. මාව බඳාගෙන ඇඩුවා...  මම හැම වෙලේම හිතුවේ තාත්තට සනීප වෙයි කියලා... පොඩි කාලේ ඉඳන් මට තිබ්බ එකම බය තාත්ත නැති වෙන එක... ඒකට මම ඒ කාලේදිත් බය වෙලා හිටියේ...

අපි 3න් දෙනා හවස 5ට තාත්තව බලල බස් එකේ යනවා... යනකොට 3න් දෙනාටම ඇඩෙනවා... ඒ දවස් වල වතුර නැතුව ලයිට් කපන කාලේ... මම ගෙදර ගිහින් බාත්‍ රූම් එකට ඉටි පන්දමක් පත්තු කරගෙන ගියා.. යනකොටම ඒක නිවුණා... එකපාරටම මට හිතුණා තාත්ත නැති වෙයි කියල.. ඊට පස්සේ ආයෙත් පත්තු කරගෙන යනකොට හිතුව මේ සැරේ පත්තු වෙලා තිබුනොත් තාත්තාට සනීප වෙයි කියල...ඒ සැරෙත් නිමුණා... මම කලුවරේ හොඳටම ඇඩුවා.. හැබැයි 3වෙනි සැරේ නිමුණේ නෑ... මම හිතුවා හැමදේම හරියයි මට පිස්සු කියලා...

ඊට දවස් 2කට පස්සේ තාත්තා නැති වුණා...

කොළඹ මහ ඉස්පිරිතාලේ ගේට්ටුව ඉස්සරහා පිස්සෙක් වගේ මම ඇඩුවා... යන එන මිනිස්සුන්ට දුක කිය කියා ඇඩුවා...

මම අඩන එක නතර වුණේ තාත්තව භූමිදානේ කරල ආවට පස්සේ...

මල ගෙදරට ආපූ ගමේ මිනිස්සුත් ඇඩුවා... එච්චරට ගමේ අයත් එක්ක හිතවත්

අපිට හිත හදාගන්න තිබුණ එකම දේ මැරෙන වෙලාවේ තාත්තගේ මූණේ තිබ්බ ලස්සන හිනාව... මම මෝවරියට ගිහින් මිනිය අඳුර ගන්නකොටත් ඒ හිනාව දැක්කා...

අපි අවුරුදු 10ක් හැම්දාම තාත්තව මතක් කරල දානේ දුන්නා... 7 දවසෙ දානෙටයි 3න් මාසේ දානෙටයි විතරයි පිට මිනිස්සු ගෙනල්ල කෑම ඉව්වේ.... ඊට පස්සෙ ඉඳන් දානේ වැඩ හැමදේම කලේ අපේ නෑදෑයෝ විතරයි...

අවුරුදු 10කට පස්සේ බොහෝ දේවල් වෙනස් වෙලා... තාත්තා නැතිවෙලා අවුරුදු 10 වෙන්න දවස් 5කට කලින් මම මගේ දෙවෙනි කාර් එක ගත්තා... අක්කා රට නියෝජනය කරමින් පිටරටවල යන මට්ටමේ රැකියාවක් කරනවා.. අපිත් එක්ක පොඩි කාලේ නොහිටපු අපේ නංඟත් හොඳ රස්සාවක් කරගෙන හොඳට ඉන්නවා.. අම්ම අපි වෙනුවෙන් කරන්න තිබ්බ හැමදේම කරල පැන්ෂන් අරං නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා...

අපි එක්කෙනෙකුටවත් භෞතික වශයෙන් තාත්තට සලකන්න බැරි වුණා...  හැබැයි අපි අපේ උත්සාහෙන් මේ දැන් ඉන්න මට්ටමට ආවා... එහෙම එන්න පුලුවන් වුණේ තාත්තගෙ තිබ්බ නිහතමානී ගතිගුණයි ඕනේ දේකට මූණ දිල හිත හදාගන්න තිබිච්ච හැකියාවයි අම්මගේ හරි උපදෙසුයි නිසා... වෙන කිසිම දෙයක් අපිට තිබ්බෙ නෑ... අපිට කාත් එක්කවත් තරඟයක් තිබ්බේ නෑ... ලබා ගන්න ට්‍රයි කලේ නෑ.. රැල්ලට යන්නෙ නැතුව පාඩුවේ අපේ වැඩේ කරගෙන හිටපු එක විතරයි හැමදාම කළේ...

මම මේක ලිව්වේ තාත්තට නිවන් සුව පතන්න නෙවෙයි... නිවන ලබන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න මේ ආත්මෙදි විතරයි කියන එක මම විස්වාස කරන නිසා තාත්තට සුභ උපන්දිනයක් පතන්නයි මට ඕනේ...